පාස්කු ප්‍රහාරයෙන් දින පහකට පසු සහරාන්ගේ බිරිය අල්ලා ගත් මෙහෙයුම | සිළුමිණ

පාස්කු ප්‍රහාරයෙන් දින පහකට පසු සහරාන්ගේ බිරිය අල්ලා ගත් මෙහෙයුම

සමන්තුරේ නිවෙසක කාමරයකින් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු සැකකරුවන් විසින් භාවිතා කරන ලද භාණ්ඩ තොගය හා ඔවුන් භාවිතා කළ ධජය අත්අඩංගුවට ගත් අවස්ථාව.

සර 4කට ආසන්න කාලයක් රඳවා ගෙන සිටි සහරාන් හෂීම්ගේ බිරිය වන ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට පසුගිය සිකුරාදා කල්මුණේ මහාධිකරණය නියෝගය කළේය. අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සැකකාර කාන්තාව රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසටය. ෆාතිමා හාදියා මීට වසර හතරකට පෙර ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වන්නේ. පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයක් ගෙවී ගිය පසුවය. 

ප්‍රහාරයට සම්බන්ධ සියලු ත්‍රස්තයෝ ඒ වන විට මරාගෙන මැරී තිබුණාහ. තිරය පිටුපස සිටි බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත් වූ අතර, සෙසු පිරිස් පිළිබඳව ද හෙළිදරව් වෙමින් තිබුණි. සහරාන් හෂීම් ද මළවුන්ගේ ලැයිස්තුවට එක්ව සිටියේය. ෂැන්ග්‍රිලා හෝටලය සඳහා එල්ල කරන ලද ප්‍රහාරයෙන් සහරාන් මියගොස් ඇති බව, පැය කිහිපයක් යෑමට පෙර ආරක්ෂක අංශ සනාථ කර ගත්තේය. සහරාන්ගේ පවුලම ප්‍රහාරයට දින තුනකට පෙර අතුරුදන් වූ බවට මාධ්‍යයට තොරතුරු වාර්තා වන්නට පටන් ගත්තේය.

ඉස්ලාමීය සහෝදරත්වයේ ලෝකයක් නිර්මාණය කිරීම සඳහා වෙර දරන ලද සහරාන් සමඟ ඔහුගේ එක සහෝදරියක් සිටියේ අමනාපයෙනි. එක් දරු මවක් වූ ඇය, විසි හැවිරිදි මොහොමඩ් හාසිම් මාදිනියාය. සිය සැමියා සමඟ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටින හාසිම් මාදානියා, අප්‍රේල් දහ අටවෙනිදා, සහරාන්ගේ මවුපියන් පදිංචි වී සිටින නිවෙසට යන විටත්, පවුලේ කිසිවකු එහි නොසිටියේය.

මඩකළපුව සියොන් පල්ලියේ පිපිරීම පමණක් නොව කාලයක පටන් මුස්ලිම් අන්තවාදය සිය ලැඟුම් ගෙය බවට නැඟෙනහිර පළාත පත් කරගෙන තිබූ හෙයින් ’සහරාන්ගේ පවුලේ සැඟවීම’ සහ ‘ත්‍රස්තවාදයේ ඊළඟ ඉලක්කය’ පිළිබඳ කතාබහේදී නැඟෙනහිර පළාත සඳහා විශේෂ අවධානයක් ආරක්ෂක අංශ යොමු කර තිබුණි.

ප්‍රහාරයෙන් දින පහකට පසු 26 වෙනිදා සැන්දෑවේ සවස හතරට පමණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර විසින් 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ වෙත දන්වා සිටියේ, සමන්තුරේ ප්‍රදේශයේ, යම් සැක සහිත භාණ්ඩ තොගයක් ඇති බවට, ආරංචි ලැබී ඇති බැවින්, ඒ පිළිබඳව සොයා බැලීම සඳහා හමුදා සහාය ලබා දෙන ලෙසය. තුන් වෙනි විජයබා බල ඇණියට අයත් පිරිසක් ඒ සඳහා යෙද වූ මේජර් ජෙනරාල් මුදලිගේ, සමස්ත තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් පසු විය.

පිටත්ව ගිය හමුදාවෝ, සමන්තුරේ ප්‍රදේශයේ නි‍ෙවසක ඉදිරිපස ඇති ගරාජ් කාමරයක් බඳු කුඩා ස්ථානයක් වටලා, එහි තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් ඇතුළු ත්‍රස්තවාදීන් විසින් භාවිත කරන ලද බඩු භාණ්ඩ රාශියක් සොයා ගැනීමට සමත් විය. සහරාන් විසින් සිය ප්‍රහාරයට පෙර, නිකුත් කරන ලද වීඩියෝවේ පසුබිම සඳහා භාවිත කරන ලද අරාබි අකුරු සහිත කළු ධජය ද ඒ සමඟ විය. ඩ්‍රෝන් කැමරා, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ආදිය, නිරීක්ෂණය කරන ලද ආරක්ෂක අංශ, තහවුරු කර ගන්නා ලද්දේ, ප්‍රහාරයෙන් පසු සහරාන් හෝ ඔහුගේ සහචරයන් විසින් මෙම බඩු තොගය දමා පැන යන්නට ඇති බවය.

අයිතිකාරයෙකු නොමැති මෙම බඩු තොගය, කිසිවකු විසින් දමා ගොස් ඇති බව නිවෙස් හිමියා පවසන ලද්දේ, එම කාමරය තමන් විසින් කුලියට දෙන ලද පිරිස සඳහා වගකීම පවරමිනි. අවසානයේ කිසිවකුගේ වගකීමක් නොමැති භාණ්ඩ තොගයක් සමඟ, සිය ඉදිරි කටයුතු සඳහා ආරක්ෂක අංශ යොමු වන්නට පටන් ගත්තේය.

අවට නිවෙස් ද පරීක්ෂා කරමින් ඉදිරි කටයුතු සිදු කරගෙන යන අතරේ ඊට කිලෝමීටර් හතකට පමණ එහායින් නින්දවූර් ආසන්නයේ තවත් නි‍ෙවසකින් එවැනි භාණ්ඩ තොගයක් සොයා ගැනීමට පොලිසිය සහ හමුදාවෝ සමත් වූහ. එවලේ දමා ගිය භාණ්ඩ තොගයක් සේ ඒවා දිස්වූයේ, ඒ වන විටත් එහි සිටි පිරිස පැන ගිය සටහන් මැකී ගොස් නොතිබුණු බැවිනි. පුපුරන ද්‍රව්‍ය ආදිය සමඟ යම් පිරිසක් නිදාගෙන සිටි බවට වන සාධක ද, එහි විය.

පෙර සිටම ප්‍රදේශවාසීන් සමඟ හමුදාව සහ පොලිසිය පවත්වාගෙන ගිය මනා සම්බන්ධීකරණය හේතුවෙන් ඒ වන විට ජනතාව විසින් තොරතුරු ගණනාවක් ආරක්ෂක අංශ වෙත ලබා දෙමින් සිටියේය. දහවල් කාලයේ නාඳුනන පිරිසක් එම නි‍ෙවසේ සිට පිටව ගිය බවට ගම්වාසීන් විසින් දැනුම් දෙන්නේ, එම සම්බන්ධතාව මතය.

සයින්දමරුදු ගම්මානයේ නි‍ෙවසකින් දිගින් දිගටම වෙඩි හඬක් නිකුත් වන බව ගම්වැසියෙක් පැමිණ ආරක්ෂක අංශ වෙත දන්වා සිටින්නේ මේ අතරය. සන්ධ්‍යාව පසුවී රාත්‍රිය කරා වේලාව එළැඹ තිබුණේය. කල්මුනේ නගර සභාවට අයත් සයින්දමරුදු ගම්මානය උදාගමක්, සුනාමි ගම්මානයක් ඇතුළු ‍එකිනෙක අතිශය සමීපව පිහිටි ගෙවල් යායකි. මේ නිසාම එම සීමාසහිත ප්‍රදේශය අධික ජනඝනත්වයකින් යුක්ත විය. පටු පාරවල් ආදියෙන් යුක්ත වීම නිසා, නිසි සැලසුමකට අනුව එම ප්‍රදේශය කරා ළඟා වීම ද අභියෝගයකි.

මේ සියලු සාධක ඔස්සේ, සිතා බලන ලද යුද හමුදාව, පොලිසිය සමඟ එක්ව අඳුරේම, ගම්වැසියා විසින් පවසන ලද වෙඩි හඬ සොයා, යන්නට විය. ඒ වන විටත් සන්ධ්‍යාවේ, භාණ්ඩ තොගය අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණි හමුදා පිරිස හැර විශේෂ භට පිරිසක් ද මෙම කණ්ඩායම තුළ නොසිටියේය. කිලෝමීටර් පහක් පමණ දුරකින් පිහිටා තිබූ එම ප්‍රදේශය කරා හමුදාව සහ පොලිසිය ළඟා වන විටම දැක ගැනීමට හැකිවූයේ, මීටර් ගණනාවක් දුරින් පිහිටි නිවෙසක උඩ සිටින තුවක්කුකරුවෙකි. අඳුරේම තුවක්කුකරුවා සිටින ප්‍රදේශය වටා හමුදාව පෙළ ගැසෙන්නට විය. හමුදා බලය, භටයන් පහළොවකට පමණ සීමා වුවත්, මෙම තුවක්කුකරුවාගේ අවදානම තේරුම් ගත් පළපුරුදු මේජර් ජෙනරාල් මුදලිගේ ‘අවම අවි බලයෙන් උපරිම ආරක්ෂාව’ සඳහා වන තීරණයකට එළඹුණේය.

ඒ සමඟම නොනවත්වා වෙඩි තබන්නට සැඟවුණු තුවක්කුකරුවෝ පටන් ගත්හ. ටී පනස් හයේ තුවක්කු තුනකින් පමණ නොනවත්වා වෙඩි තබන බව අවබෝධ කර ගත් හමුදාවෝ, ආරක්ෂිතව සිය තුවක්කු මාන ගෙන සිටියේ, ඊළඟ නිමේෂය සඳහා සිය අණදෙන නිලධාරියා විසින් තීන්දුව නිකුත් කරන තෙක්ය. අධික ජනඝනත්වයකින් යුත් ප්‍රදේශයේ, සැලසුම්සහගතව කටයුතු කළ යුතු බවට ක්ෂණිකව තීරණය කළ මේජර් ජෙනරාල් මුදලිගේ, ඉලක්කය අත් නොහැර සිටින ලෙසත් සාමාන්‍ය ජනතාවට කිසිදු හානියක් නොවන ආකාරයෙන් කටයුතු කිරීම සඳහා ද හමුදාවට අණ ලබා දෙන්නට විය. 

තවමත් නොනවත්වාම, සැඟවුණු වෙඩික්කරුවෝ උණ්ඩ මුදා හරිමින් සිටියහ. ප්‍රදේශයම අඳුර අතරේ, ඒක පාර්ශ්වික වෙඩි පිටියක් බවට පත්ව තිබුණි.

ඒ අතරේ ද නොනවත්වා වෙඩි ප්‍රහාර, සතුරු දිශාවෙන් එල්ල වෙමින් තිබුණි. අඳුරේ වුවද වෙඩික්කරුවා සිටින ස්ථානය නිශ්චය කර ගැනීමට හමුදාවෝ ඒ වන විට සමත්ව සිටියහ. ස්ථානය නිශ්චය කර ගත් පසු, ඉලක්කය බලා පමණක් වෙඩි තබන ලෙස හමුදාවන්ට අණ ලැබෙන්නට විය. ඒ සමඟ මෙතෙක් ඒකපාර්ශ්විකව තිබූ වෙඩි පිටිය ද්වන්ද සටනකට මුල පුරා තිබුණි.

මෙතෙක් සයින්දමරුදු ප්‍රදේශය පමණක් දෙදරුම් කෑ වෙඩි හඬ රටටම ඇසෙන්නට පටන් ගත්තේ, මාධ්‍ය වෙත මෙම තොරතුරු දැනගැනීමට ලැබීමත් සමඟය. නාඳුනන පිරිසක් පැමිණ තමන් පිළිබඳ නොකියන ලෙසත්, ඒ සඳහා ඔවුන්ට මුදල් ලබා දීමට සූදානම් බවත් ගම්වැසියන් වෙත දන්වා ඇති බව වෙඩි හඬ අතරේම පැමිණි ගම් වැසියෝ හමුදාවට දැනුම් දුන්හ. තම ගමට පැමිණි නාඳුනන කල්ලිය වාසය කරන නිවෙස, පෙන්වීම සඳහා, ගමේ තරුණයන් කිහිප දෙනකු පෙරමුණ ගෙන සිටීම ද හමුදාවට අමතර සවිබලයක් සපයා තිබුණි.

ඒ සමඟම, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ අමතා විස්තර ලබා ගෙන තිබුණි. තමා විසින් පාලනයක් ඇතිව, මෙහෙයුම කරගෙන යන බව යුද හමුදාපතිවරයාට දැන්වීමෙන් අනතුරුව, මේජර් ජෙනරාල්වරයා, අමතන ලද්දේ, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය.

නවතම තත්ත්වය විමසන ලද, සටන් බිමේ කෘතහස්ත නිලධාරියා, ප්‍රථමයෙන්ම හමුදාව ස්ථාන ගත කර ඇති ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාගෙන ”මහින්ද… ඔයා ඉන්නේ කොහේද…?’ යැයි විමසන්නට විය. ”සර්, මමත් ඉන්නේ ෆ‍්‍රන්ට් එකේ…’ යැයි පවසනවාත් සමඟ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විමසා සිටියේ, ”මහින්ද… හෙල්මට් දාගෙන, බොඩි ආමර් ඇඳගෙන ද ඉන්නේ… යන තැනක හෙල්මට්, ජැකට් දාගෙන යනවා…’ කියාය. ඇසින් දුටුවකු පවසනවා සේ, යුද බිමේ අතිශය පළපුරුදු, සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඒ බව විමසන විටම, මේජර් ජෙනරාල් මුදලිගේ සිය ශරීරය දෙස නිතැතින්ම බලන්නට විය. කඩිමුඩියේ, ඒ සියල්ලම අමතක වී තිබූ අතර, වහ වහා සිය ජීප් රථයේ ඇති බොඩි ආමරය සහ හෙල්මටය පැලඳ ගනිමින්ම, සිය ජ්‍යෙෂ්ඨයාගේ උපදෙස් ලබා ගත් මේජර් ජෙනරාල්වරයා, යළිත් සටනට පිවිසියේය.

තවමත් නොනවත්වාම එක් ත්‍රස්තවාදී ඉලක්කයක් විසින් හතර අතට වෙඩි තබමින් සිටියේය.

එම ඉලක්කය බලා, අවට නිවාසයන්හි වහලට ද හමුදාවෝ මේ වන විට නැඟ සිටියහ. වහල දිගේ බඩගාමින් සිටි එක් හමුදා භටයකු, නිවාස අතර තිබූ පාරේ සිට වෙඩි තබනා ත්‍රස්තවාදියාව පැහැදිලිව දර්ශනය කර ගැනීමට සමත්ව තිබුණි. අතිශය ඉවසීමෙන් යුක්තව, වහල දිගේම පැමිණි භටයා, මොහොතකින් වෙඩි තබන ත්‍රස්තවාදියා ද ඉදිරියට ඉහළ සිට පනින ලද්දේම වෙඩි තබාගෙනය. ඒ සමඟ, ත්‍රස්තවාදියා තිගැස්සී ගිය අතර, එම විරාමයෙන්ම කෙහෙල් කඳක් සේ ත්‍රස්තයා බිම ඇදගෙන වැටුණේය.

වේලාව පස්වරු 7.15 ට ආසන්න වී තිබුණි. ත්‍රස්තවාදීන් සැඟවී සිටි නි‍ෙවසේ වහල ද පුපුරා යමින් විශාල පිපිරුමක් සිදු විය. මොහොතක් ගත විය. තවත් එවැනිම පිපිරුම් දෙකක් ඇතිවී, විශාල ගින්නකින් ත්‍රස්තවාදීන් සැඟවී සිටි ප්‍රදේශය වැසී යන්නට විය. අවසාන පිපිරුම් හඬත් සමඟ ත්‍රස්තවාදීන් සිටි ප්‍රදේශයේ වෙඩි හඬ නෑසී ගියේය.

සියලු ආරක්ෂක වළලු තර කරමින් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, විශේෂ කාර්ය බළකායේ කලාප අණදෙන නිලධාරි පොලිස් අධිකාරී අතුල රත්නායක ඇතුළු පිරිස ත්‍රස්තවාදී නිවස්නය දෙසට ගමන් කළහ. වෙඩි තැබීම ආරම්භ කළ ත්‍රස්තවාදියා සිය අවිය සමඟම නිවස්නය ඉදිරිපිට පාරේ වැටී සිටියේය. තවත් මහත දෙහත ත්‍රස්තවාදියකු ඌරකු සේ සිය අවිය සමඟ වත්ත ඇතුලේ, ගේ අසලම මැරී වැටී සිටිනවා ආරක්ෂක අංශ නිරීක්ෂණය කළහ.

ඒ සමඟම මෙහෙයුම් කටයුතු එදිනට නවතා දමා, උදෑසන වන තෙක් අවට ආරක්ෂාව තර කරන්නට මේජර් ජෙනරාල්වරයා තීරණය කළේය. ඒ අනුව සියලූ භට පිරිස් වළලු ආකාරයෙන් ස්ථානගත කර, මුළු ගමම අගුලු ලෑමට, මේජර් ජෙනරාල්වරයා කටයුතු කළේය. සියලූ දෙනා ඒ ලෙසම පසුදා පාන්දර වන තෙක් සිටිය යුතු බවට දැනුම්වත් කර, හමුදාවන්ට ද එලෙසම සිටින ලෙස අණ දුන් මේජර් ජෙනරාල් මුදලිගේ, මහා මාර්ගය ආරක්ෂා කිරීම විශේෂ කාර්ය බළකායට පවරා දුන්නේය.

විශේෂ බලකා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ද තාවකාලික ලෙස සටන නිමාවූ භූමියට මේ වන විට පැමිණ සිටියේය.

පසුදා පාන්දරට එළි විය. නිදි නොමැතිව ප්‍රදේශය වටා ආරක්ෂාව තහවුරු කරන ලද සෙබළ මුළුව වෙත, තමන් සිටින ස්ථානයට ම, උදෑසන තේ කෝප්පය ලබා දෙමින් හමුදාවෝ ඊළඟ දිනය ආරම්භ කළහ. මේ වන විට වේලාව අලුයම හතර පමණ වී තිබුණි. අලුයම සිටම සිය නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් එදින සැලසුම විස්තර කරන ලද මහින්ද මුදලිගේ, පාන්දර 5.30 වන විට ගම්වැසියන්, පුබුදුවන්නට පටන් ගත්තේය. පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍රය ඔස්සේ දෙමළ භාෂාවෙන් දැනුම්වත් කරමින්, ගමේ සියලූ දෙනා අසල තිබූ පිට්ටනිය වෙත කැඳවනු ලැබීය. නිදි ඇඳුම් පිටින්ම ගම්වැසියෝ සිය දරු පිරිවර සමඟ හමුදා නිවේදනයට අවනත වෙමින්, පිට්ටනිය කරා ළඟා වූහ. වෙනම හමුදා භට පිරිසක් මෙසේ පැමිණෙන මහජනතාව පරීක්ෂා කරමින් පිට්ටනියට ඇතුළු කර ගත්හ.

ඊට පෙරදා රාත්‍රියේ මෙම කුඩා ගම්මානයේ මරාගෙන මැරෙන ත්‍රස්තයන් සමඟ සටන් වදින විට, මෙවැනි මහා ජනසන්නිපාතයක් එම ගම්මානයේ සිටිනවා යැයි ආරක්ෂක අංශ පවා සිතුවේ නැත. උදෑසන හත වන විට ගමම, ජනශුන්‍ය කලාපයක් බවට පත්ව තිබුණි.

පාන්දර හිරු එළිය පතිත වෙනවාත් සමඟම, හමුදාවට දැකිය හැකි වූයේ, ත්‍රස්තයන් රැඳී සිටි නි‍ෙවසේ වහලය මත තුවක්කුවක් අත දරා මැරී සිටි ත්‍රස්තවාදියකුගේ මළ සිරුරය. වෑන් රථය ද සෝදිසි කර ගත් හමුදාව, අවට සියලු ආරක්ෂාව තහවුරු කර ගනිමින් ත්‍රස්තයන් රැඳී සිටි නි‍ෙවසට ඇතුළු වූහ. මිනී ගණනාවක් පසු කරමින් සහ මියැදුණු ත්‍රස්තයන්ගේ ඇඟ මත වැටී තිබූ, ආයුධ එකතු කර ගනිමින් හමුදාව සමඟම මේජර් ජෙනරාල් මුදලිගේ ද නිවසට ඇතුළු වීය. ”සර්… බොඩීස් බර ගණනාවක් තියෙනවා. සමහරු කෑලි කෑලි… තව සමහර බොඩිස් පිච්චිලා…’ ඉදිරි පෙළ සෝදිසි කරනා සෙබළු විසින් මේජර් ජෙනරාල්වරයා වෙත දැනුම් දුන්නේය.

මනුෂ්‍ය දෑසකට දැකිය නොහැකි පරිදි මිනිස් සිරුරු සතර අතේ කැබලි වී විසිර තිබුණි. මස් වැදිලි නොමැති තැනක් ගෙදර සහ ඒ අවට නොතිබුණි. අවසාන මොහොතේ, හමුදාව මට්ටු කිරීමට නොහැකි වග දැනගත් ත්‍රස්තයෝ, තමන් සතුව තිබූ බෝම්බ පුපුරුවා ගෙන, සමූහයක් ලෙස මියයෑමට ගත් තීන්දුවේ ප්‍රතිඵලය පසුදා උදෑසන දිස්වූයේ එසේය.

කුඩා නිවෙස තුළ සම්පූර්ණ සෝදිසිය සිදු කරන අතරේ, නිවෙස වටින් ගොස් කාමර සෝදිසි කිරීමට, මේ වන විට සෙබළු කටයුතු යොදමින් සිටියහ. ඒ සමඟම මේජර් ජෙනරාල්වරයා වෙත පැමිණි සෙබළෙක් පවසා සිටියේ ”සර්… එහා කාමරයක කට්ටියක් ඉන්නවා වගේ, වටින් ආවොත් පේනවා…’ කියාය. ඒ සමඟ මේජර් ජෙනරාල් මුදලිගේ, එම කාමරයට, ජනේලයෙන් සිය දෑස යොමු කළේය. පුටු සැටියක් වැනි යමකට මුවා වූ කාන්තාවක්, මේජර් ජෙනරාල්වරයා සමඟ ඇහැට ඇහැ ගැටෙන්නේ, මේ මොහොතේය. වික්ෂිප්ත දෑසින් යුතුව ඇය, ජෙනරාල්වරයා වෙත සංඥාවක් ලබා දුන්නාය.

ගැහෙමින් එසවුණු ඇයගේ අතක්, මඳක් මීට මොලවා මුව වෙත කිට්ටු කරමින්, වතුර ලබා දෙන ලෙස, ඇය විසින් හස්ත සංඥාවෙන්, ආයාචනා කර සිටියාය. ඇයගේ සංඥාවට සිත යොමු කරන අතරේම, මේජර් ජෙනරාල් මුදලිගේ දුටුවේ, දෑස් මානාගෙන, තමා දෙස බලා සිටින කුඩා දරුවෙකි.

එම දෙදෙනා බේරා ගන්නා ලෙස සිය සෙබළුන්ට අණ දුන් ජෙනරාල්වරයා, ඔවුන් තුවාල ලබා ඇති හෙයින්, වහාම ගිලන් රථයක් ගෙන්වීමට කටයුතු කළේය. පෙර දින රාත්‍රියේ මෙහෙයුම ආරම්භ වන විටම, යුද හමුදා ගිලන් රථ ද ගෙන්වා තිබූ අතර, ඒ සැණින්ම කාමරයේ ජනේලය කැඩූ සෙබළු, සුළු තුවාල ලබා සිටි කාන්තාව සහ දරුවා එළියට ගත්හ. එකදු වචනයක් හෝ කතා නොකළ කාන්තාව දෙමළ බසින් ”අම්මේ… අම්මේ…’’ යැයි කියනා දරුවා ද ගිලන් රථයට දමා පිටත් කර හරින්නට හමුදාව සමත් විය.

මියගිය දහසය දෙනකුගේ සුන්බුන් වූ සිරුරු හමුදාව විසින් සොයා ගැනීමත් සමඟ මෙහෙයුම් කටයුතු අවසන් විය. ජීවත්ව සිට තමන් විසින් බේරා ගන්නා ලද්දේ, සහරාන්ගේ භාර්යාව වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා සහ ඔහුගේ සිවු හැවිරිදි දියණිය බව හමුදාව දැන ගන්නේ පැයකට පමණ පසුවය.

සහරාන්ගේ පියා වූ ඇවිදීමට අපහසු රෝගියකු වූ මොහමඩ් කාසිම් හයාතු, මව වන අබ්දුල් කාදර් සිත්ති උම්මා සහ සහරාන්ගේ පුතා ද මළවුන් අතර වූහ. සහරාන්ගේ සහෝදරයා වූ රිල්වාන් සමඟින් බිරිය නප්නා සහ දරුවන් ද, ෂයිනි සහ ඔහුගේ බිරිය වූ අප්රින් සහ දරුවන් ද සහරාන්ගේ නැඟණිය වූ හිදයා සහ ඇගේ සැමියා වූ රිෂාන් ද, 21 වැනිදා මරාගෙන මැරෙන ප්‍රහාරයට එක්වූ මඩකළපුව බෝම්බකරු වූ මොහමඩ් නසාර් මොහමඩ් අසාර් ගේ බිරිය, මීගමුව පිපිරීමේ බෝම්බකරු කස්තුන්ගෙ බිරිය වූ දමිළ ජාතික කාන්තාවක් වූ පසුව මුස්ලිම් ආගමට එක්වූ පුලස්තිනි රාජේන්ද්‍ර හෙවත් සාරා සහ තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ බිරිඳත් සමඟින් මොහමඩ් නියාස් නමැත්තකු ද මියගොස් ඇති බව ආරක්ෂක අංශ පසුව තහවුරු කර ගත්තේය.

මෙම බෝම්බ පිපිරීම සහ වෙඩි ප්‍රහාර නිසා පිරිමි 04ක් කාන්තාවන් 06ක් සහ දරුවන් 06 දෙනකු ඇතුළු 16 දෙනකු මිය ගොස් තිබේ. ඒ සමඟම දෙවන ප්‍රහාරය සඳහා ආගමික ස්ථානවලට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම මොවුන්ගේ අරමුණ විය. ඒ වෙනුවෙන් සැලසුම් සකස් කළ මෙම අන්තවාදී පිරිස ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන මුස්ලිම් කතුන් යොදා ගැනීමට තීරණය කළහ.

ඒ වනවිට මෙම පිරිස සමඟ සහරාන්ගේ බිරිය, රිස්වාන් සහ ෂයිනිගෙ භාර්යාවෝ සහ මියගිය බෝම්බකරුවන් තිදෙනකුගේ භාර්යාවෝ සිටියහ. නිවස්නය සෝදිසි කළ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් මරාගෙන මැරෙන මුස්ලිම් කාන්තාවන් ලවා විහාරස්ථානවලට පහරදීමේ සැලැස්මක සියලු තොරතුරු අනාවරණය කරගන්නා ලදි.

පන්සල්වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන කාන්තාවන් යොදා ගැනීම සහරාන් කල්ලියේ උපාය විය. විහාරස්ථානවලට යෑම සඳහා සුදු ඇඳුම් අවශ්‍ය විය. ඒ වෙනුවෙන් මේවා මිලදී ගෙන ඇත්තේ ගිරිඋල්ල ජයසුමන ටෙක්ස්ටයිල් ආයතනයෙනි. මුස්ලිම් කාන්තාවන් විසින් රුපියල් 29000ක පමණ කාන්තා සුදු ඇඳුම් කට්ටල 09 ක් සහ යට ඇඳුම් ඇතුළු රෙදිපිළි සිය ප්‍රහාරය සඳහා මිලදී ගෙන තිබුණි. මෙම කාන්තාවන් මහත සිරුරුවලින් යුත් නිසාත්, බෝම්බ බැඳගෙන යෑමට ඉඩ අවශ්‍ය නිසාත් ඒ වෙනුවෙන් විශාල ප්‍රමාණයේ සායවල් සහ හැට්ට මිලදී ගෙන තිබුණි. මෙම මිලදී ගත් ඇඳුම් ඇඳ, සහරාන් කල්ලියේ කාන්තාවන් විහාරස්ථානවලට ගොස් ඇත්තේ සිය ප්‍රහාරය සඳහා පෙරහුරුවක් ලබා ගැනීමටය.

සයින්දමරුදු ත්‍රස්ත නිවස්නයේ බෑගයක තිබී මෙම කාන්තා ඇඳුම් යුගල 05ක් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගත්තේය. අන්තවාදී මුස්ලිම් කාන්තාවන් 09 දෙනකු විහාරස්ථානවලට යවා එකවර ප්‍රහාර එල්ල කිරීම සඳහා වූ සැලසුම ආරක්ෂක අංශ වෙත හෙළි වන්නේ මේ අනුවය.

රට පුරා ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන රැසක් ඉලක්ක කර, 2019 වසරේ වෙසක් උත්සවය ලෙයින් සැමරීම සඳහා ත්‍රස්තයන් යෙදූ උපාය එසේ හෙළි විය.

මනෝජ් අබයදීර

Comments