සිකුරු අපලයෙන් බේරෙන්නේ මෙහෙමයි | Page 2 | සිළුමිණ

සිකුරු අපලයෙන් බේරෙන්නේ මෙහෙමයි

සිකුරු ග්‍රහයා සියලු සැප සම්පත්  දෙනවා වගේම අපල කාලවලදී සියලු දේ අවුල් කරනවා

කේන්ද්‍ර පිටපත පරීක්ෂා කරගෙන අපලය වළකන මැණික් පලඳින්න

සිකුරු අපලයට ස්තෝත්‍රය කියවන්න

 ප්‍රවීණ ෙජ්‍යාතිර්වේදී අගස්ති ප්‍රනාන්දු

 

නව ග්‍රහ මණ්ඩලයේ දෙදෙනෙකු ගැන පසුගිය සතියේ සඳහන් කළ ආකාරයට එහි සුකොමලිය වුවද අපල කාලයන්හි විපත්ති දෙන ‘සිකුරු ග්‍රහයා‘ගෙන් සිදුවන පීඩනයන් සඳහා කළ යුතු එක් පිළිවෙත්ද ජීවිතය අසාමාන්‍ය ලෙස ඇවිද වන හිසක් නැති කඳක් ඇති ඔහේ දුවන රාහුගෙන් අපල කාලයන්හිදී නිදහසක් ලබා ගැනීමටද මෙම ලිපිය ඔබට යහපතක් වනු ඇත.

සිකුරු හෙවත් ‘කිවි‘ සියලු සැප සම්පත් දෙන්නකු ලෙසට අපගේ සිත්වල සටහන් වී තිබුණද අපල කාලයේදී ජීවිතයේ ප්‍රියයන්ගෙන් වෙන් වීම, ජීවිතයේ රසාස්වාදයට ගැටලු ඇති වීම නොසිතන ආකාරයක ගැටලුවලට මැදිහත් වීම තමාගේ දේපළ මිල මුදල් නිවාස ආදිය සඳහා ගැටලු ඇති වීම, රැකියාව මෙන්ම අනෙකුත් ආදායම් මාර්ගයන් අවුල් සහගත තත්ත්වයකට පත් වී කුමක් කළ යුතුද යන්න සිතා ගැනීමට නොහැකි වනවා මෙන්ම, ශරීරයේ ජීවන ක්‍රියාවලියද සමතුලිතතාව නොමැති වීමෙන් දියවැඩියාව, ශරීරය දුර්වල වීම, හෝමෝන ක්‍රියාකාරී බව අඩපණ වීම නිසා ඇතිවන ආබාධයන් ඔබ නොදැනුවත්වම ඔබව ආක්‍රමණය කර අකර්මණ්‍ය තත්ත්වයට පත් කරනවා ඇත. මෙහිදී සිකුරු සියලු දේ දෙනවා මෙන්ම අපල කාලයේ නරක දශාවන් නිසා මෙවන් දේ සිදු කරන බව ඔබ නොදන්නවා විය හැකිය.

ඒ නිසාම තමන්ගේ මෙන්ම දරුවන්ගේ යහපතට දක්ෂ ජ්‍යෝතිෂ විශාරදයකු හමුවට ඔබ සියලු දෙනාගේම නිවැරදි කේන්ද්‍ර පිටපත් අවම වශයෙන් අවුරුදු කීපයකට වරක්වත් පරීක්ෂා කරවාගෙන ඒ සඳහා වත්පිළිවෙත් කළ යුතු කාල සීමාවන් නිර්ණය කරගෙන සූදානම් වීම ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලින් ඔබට යහපතක් ලබා ගැනීමට මුලික වනු ඇත. මෙය සෑම ග්‍රහ පිහිටීමකටම පොදු වන දෙයක් බවද ඔබ සිත්හී තබාගන්න.

සිකුරු අපලයට බොහෝ සෙයින් පිහිට වන පහත දැක්වෙන ස්තෝත්‍රය එම අපල කාල සීමාවේදී රාත්‍රි නින්දට පෙර හැකි තරම් ගායනා කරන්න. එයද ඔබට නියත සහනයක් ලැබෙනවා ඇත.

භීම කෘන්ද මෘතා ලාභං

දෛත්‍යානං පරමං ගුරුම්

සර්ව ශාස්ත්‍ර ප්‍රවන්තාරං

භාර්ගවං ප්‍රනමාම්‍යයම්

මෙම වටිනා ස්තෝත්‍රය පාඩම් කර ගන්න. අන් අයටද මේ ගැන දැනුම්වත් කරන්න. එය ඔබටද පිනක් යහපතක් ලැබෙන දෙයක් බව සිත්හී තබා ගන්න. මෙම අපලය සඳහා අත්දුටු තවත් යහපත් දෙයක්නම් මෙම කාලසීමාවේදී ඔබට යහපතක්, ශක්තියක් ගෙන දෙන බලවත්ම ග්‍රහයා තව තවත් බලගන්වා ඒ මඟින් යහපතක් ලබා ගැනීමට ඇති හැකියාවයි.

මෙහිදී ඔබ දක්ෂ අයකු මාර්ගයෙන් කේන්ද්‍ර පිටපත පරීක්ෂා කරවාගෙන එම ග්‍රහයාගේ කිරණ ශක්තිය තමාට යහපතක් ලබා ගැනීමට එම ග්‍රහයාට උචිත නියමිත මැණික ඒ සඳහා ගත යුතු ලෝහයෙන් මුදුවක් සාදා එම ග්‍රහයාට අයත් ඇඟිල්ලේ පැලඳ ගන්න. මෙයද අත්දුටු යහපත ලැබෙන දෙයක් බව පැවසිය හැකිය.

සිකුරු ග්‍රහයා ගැනද පූජාවක් පැවැත්විය යුතු ආකරය ඔබ දැනුම්වත් විය යුතුය. මෙයට ප්‍රථමයෙන්ම පාට තුනකින් යුතු රෙදි රියනක්, කැකුළු හාල්, ගිතෙල්, දුම්මල ආදිය සහිතව පූජා වට්ටියක් පිළියෙල කරගන්න. වියළි බෙලි ගැට මද කුඩුකර ඒ සමඟ සඳුන් දෙවර්ගයේ කුඩු මිශ්‍රකර සාදාගත් සුවඳ ධූපයද සමඟ කරඳ ගහ මුලක පිරිසිදු කර එහි ගිනිකොන දිශාවට කුඩා මැස්සක් තනා ඒ මත පූජාව තබා සුවඳ දුම් අල්ලන්න. අනතුරුව දන්නා තරමින් සිකුරු දෙවි වර්ණනා කරමින් සිකුරු දශාවේ හෝ අන්තරයේදී අපලයන් මඟින් සිදුවන අනිටු විපාක, දොස්, රෝග පීඩා ආදිය දුරු කර සෙත සලසා නීරෝගි සම්පත, අසුබ පල, යස ඉසුරු රැක දෙන ලෙස ඉල්ලා යදින්න.

සිකුරාදා දිනයකදී පෙරවරුවේ කිරිබතක් ගිතෙල් මිශ්‍රව සාදා, කැවිලි වර්ග නවයක්, රතු සුදු අරලිය මල් සමඟ බෝ සමිදුන් වෙත පූජාවක් සිදු කර ආගමික වතාවත් අවසානයේ කරණීය මෙත්ත සුත්‍රය කියා දෙවියන්ට පින් දෙන්න. මෙහිදී පින් අනුමෝදන් කිරීමේදී පත්තිනි මෑණියන් හට ප්‍රමුඛත්වය දෙන්න. මෙයද ඔබට හැකියාවක් ඇති සෑම අවස්ථාවකදීම සිදු කළ හැකි යහපත් දෙයක් බව පැවසිය යුතුමය.

පත්තිනි මෑණියන් හටද සියලු දේ සම්පුර්ණව පලතුරු පූජාවක් සළුවක් සහිතව පත්තිනි දේවාලයකදී ඔබට සිදු කළ හැකිය. මෙම දේවාලය භාරව සිටින ප්‍රධාන කපු මහතා හමු වී මෙම පූජාව තැබිය යුතු ආකාරයත්, ඒ සඳහා කිරි බතක්, අඹ විශේෂයෙන් රඹකැන් සමඟ කැප කළ යුතු ආකාරයත් දැනගත හැකි වෙනවා ඇත. එම පූජාවෙන් පසුව ඔබ දන්නා කියන අයෙකු ලවා සෙත් කවියක් සාදාගෙන එයද දින 7ක් බෝධින් වහන්සේ නමක් අසලදී වත්පිළිවෙත් සිදු කර ගායනා කරන්න. මීට අමතරව දරුවකු ලැබීමට ආසන්න කාන්තාවකට ප්‍රණීත ආහාරයක් සමඟ පිරිසුදු රසකැවිලිද පූජා කරන්න. එය එම පත්තිනි දෙවොල අසලදීම ඔබට සිදු කළ හැකිනම් ඉතාමත්ම යහපත් බව සිතට ගන්න.

මේ සෑම කටයුත්තක් අතරදීම මෙම ග්‍රහ අපලයෙන් සිදු විය හැකි සියලුම උපද්‍රවයන්, ආපදාවන්, ශාරීරික අබල දුබලතාවන්ගෙන් තමාව ආරක්ෂා කර පිහිට ලබා දෙන ලෙසට යදින්න. එසේම සියලුම කටයුතු පිරිසිදුවත්, භක්තියෙන්, විශ්වාසයෙන් යුතුව සිදු කිරීම සඳහාත් සිතින් ගතින් පේවී සිදු කරන්න. සිතට ගන්න.

ඔබට නියතවම යහපත ලැබෙනු ඇත.

Comments