සංවේදී හිතක් ඇති Hඅකුර හිමියෝ | Page 2 | සිළුමිණ

සංවේදී හිතක් ඇති Hඅකුර හිමියෝ

තනි මතයට කටයුතු කරන්න එපා

මිතුරු ඇසුරේදී පාඩු එමටයි

 ඒ. ජේ. දීපාලෝක  (ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය ඉසිවර සහන  ජ්‍යොතිෂ්‍යය සේවය)

නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම් වෙන්නේ. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ H අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කරන අතර මෙයට පෙර ලිපිවලින් A අකුරේ සිට G අකුර දක්වා විස්තර සාකච්ඡා කරන ලදී. මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ H අකුර මුලට යෙදී නම පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි. ඔබට H අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේනම් එහි බලපෑම අවම වෙයි. ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ H අකුර මුලට යෙදී නම පටන් ගන්න කෙනෙක්නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතය හා කොතරම් සමීපද කියලා.

මේ අය සංවේදී හිතක් ඇති විවෘත පුද්ගලයින් වෙයි. නමුත් අදහස් දැක්වීමේ දී බොහෝ ප්‍රවේශම් වෙයි. හැමෝම හොඳ මිනිසුන් යැයි සිතා විශ්වාස කරන්නට යෑම එතරම් සුබදායක නොවේ. මිනිසුන් ඇසුරු කිරීමේදී පාඩු විඳින්නට සිදු වන අවස්ථා වැඩිය. ජීවිතයේ වැදගත් දේවල් ක්‍රියාවට නැංවීමේදී උගත් බුද්ධිමත් අයගේ හෝ ඒ පිළිබඳ දැනුම ඇති විශ්වාසදායක අයගේ උපදෙස් හා මඟ පෙන්වීම ලබා ගැනීම ඉතාම යහපත් බව මතක තබා ගත යුතුයි. තම තනි මතයට අදහසට අනුව කටයුතු සිදු කිරීමට යාම තුළ අපහසුතාවන්ට පත් වන අවස්ථා වැඩිය. ස්වාධීනව හිතාමතා කටයුතු කරන ගතිය ඔබ තුළ පවතී. ඔබ ඔබටම ආවේණික ක්‍රමවේදයට අනුව ජීවිතය ගත කරයි. කාගෙවත් අණසකට නීතිවලට යටත් වීමට කැමැති නැත. නමුත් ගරු කළ යුතු අයට ගෞරවය දක්වයි. නම්‍යශීලී විය යුතු තැනකදී නම්‍යශීලී වෙයි. අසාධාරණයට විරුද්ධව නැඟී සිටින කෙනෙකි. සැම විටම සමානාත්මතාව අගය කරයි. ඔබ තමන්ට යමක් තිබෙන බව අන් අයට ඇඟවීමට කැමතිය. අන් අයට ප්‍රිය මනාප ලෙස අන් අයගේ ආකර්ෂණය ඇති වන ආකාරයට නිතරම සිටීමට උත්සාහ කරන ඔබ ඇඳුම් පැලඳුම් කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරයි. විලාසිතා කිරීමට කැමතිය. සෑම තැනකදීම අන් අය අතර කැපී පෙනීමේ ස්වභාවයෙන් යුක්ත වෙයි. ඔබ අන් අයගේ ඇගැයීම ද නිරන්තරයෙන් අපේක්ෂා කරයි. ගෙදරදොර පිරිසිදුව තබා ගැනීමට උත්සාහ කරයි. මල් වැවීම වැනි අලංකරණ කටයුතුවලට ද කැමතිය.

සතුරු කරදරවලට ජීවිතය පුරාවටම ඔබට මුහුණ දීමට සිදුවන අවස්ථා එමටය. නමුත් ඔබට ඒවාට මුහුණ දීමේ ශක්තියක් සේම බුද්ධිමත් භාවයක් ඇත. අවබෝධයෙන් කටයුතු කරයි. සමහර විට ඔබ දන්නා හඳුනන අය ම ඔබට විරුද්ධ වන අවස්ථා ඇත. ස්වභාවයෙන් තැන්පත් පෙනුමක් ඇතත් ඉතා ඉක්මනින් කේන්ති යන ගතිය පවතී. කිපුණු විට ඉතාම නපුරුයි. නමුත් හිතේ තරහ වැඩි කල් තබා ගන්නේ නැත. ඉතා ඉක්මනින් සාමකාමී වෙයි. නමුත් මොවුන් තුළ ඉතා ඉක්මනින් දුකට පත් වන ගතිය පවතී. නමුත් තමන්ගේ හිතේ තිබෙන දුක කිසි වෙලාවක පිටතට පෙන්වීමට කැමති නොවේ. හොඳ දරා ගැනීමේ හැකියාවක් ද මොවුන්ට තිබේ. උත්සාහය සහ උනන්දුව ඇති මොවුන් ජීවිතයේ සාර්ථක කරගන්නා පුද්ගලයින් ලෙස හඳුනා ගැනීමට පුළුවන්. මොවුන් තුළ කලාත්මක හැකියාවන් මෙන්ම ඒ පිළිබඳ දක්ෂතාවන් ද ඇත. මොවුන් තුළ ඉතා ඉහළ රස වින්දනයක් පවතී. සම්භාව්‍ය නිර්මාණ රස විඳීමට ප්‍රිය කරයි.

ජීවිතයේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා මොවුන් වඩාත් ම උත්සාහ දැරිය යුතු පුද්ගලයින් ලෙස හැඳින්විය හැකිය. සාර්ථකත්වය කරා පිය නැඟීමේදී බොහෝ වැරදීම්වලට ලක්විය හැකිය. නිසි මඟ සොයා ගැනීමට තරමක කාලයක් වෙහෙසක් දැරිය යුතුය. නමුත් අවසානයේ සාර්ථකත්වය කරා මොවුන් පියමන් කරයි. ඉතාම හොඳ ආර්ථිකයක් ගොඩනඟා ගත්තත් මොවුන්ගේ අතීතය ඉතාම දුෂ්කර කටුක එකක් වෙයි. ආර්ථිකමය වශයෙන් බොහෝ පාඩු විඳ දරා ගැනීමට සිදු විය හැකිය. මෙම අකුර හිමි ධනවත් පුද්ගලයන් බොහෝමයක් දෙනා ඉතා කැපකිරීම් කර දුක් සේ ඒ ස්ථානයට පත්වූ බව කිව හැකිය. නමුත් ස්ථාවරත්වයක් ගොඩ නඟා ගත් පසු ඔවුන් කිසිවෙකුට කවදාවත් වැට්ටීමට නොහැකිය. ඒ ඔවුන් වැටෙන තැන හොඳින් ඊට පෙර හඳුනාගෙන තිබෙන බැවිනි. සුන්දර ප්‍රේමයක් මොවුන් අපේක්ෂා කරයි. ආදරණීය පුද්ගලයින් වශයෙන් හැඳින්විය හැකිය. අහිංසක ගති පැවතුම් මොවුන් තුළ ඇත. ජීවිතේ බොහෝ බරපතළ දේවල් මොවුන්ට තේරෙන්නේ හෙමින්ය. මොවුන් තේරුම් ගැනීම එතරම් අපහසු නැත. මේ අය බොහෝ දෙනෙක් විවාහ ජීවිත සාර්ථක ව ගෙවනු දැකිය හැකිය. විචක්ෂණශීලී භාවයකින් යුතු මොවුන් ඉගෙනීම අතින්ද සාර්ථකත්වයත් ගොඩනඟා ගනී. සතුරු කරදර සහ බාධක කල් තියා හඳුනා ගැනීමත් උසස් අයගේ මඟපෙන්වීමත් තුළ මොවුන් ඉතා පහසුවෙන් සාර්ථකත්වය ළඟා කර ගත හැකි පුද්ගලයින් ලෙස පෙන්වා දිය හැකිය.

Comments