සුදු පාලකයන් ලංකාව හැර යෑමේ සැබෑ පසුබිම | සිළුමිණ

සුදු පාලකයන් ලංකාව හැර යෑමේ සැබෑ පසුබිම

සුභාස් චන්ද්‍ර බෝස්

ලංකාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය අවසන් වූ දින සිට මේ දක්වා පසුගිය හැත්තෑපස් වසර පුරාම ඒ ගැන නොයෙකුත් කරුණු ලියැවී ඇතත් ඊට හේතු වූ සැබෑ සාධක මෙතෙක් මෙරට නිසි ලෙස සාකච්ඡාවට බඳුන් වී නැත. 

එහෙත් ඉන්දියාවේ මතු වූයේ ඊට වෙනස් තත්ත්වයකි. එය සංකේතවත් කරන ජාතික උත්සවයක් පසුගිය සැප්තැම්බර් අට වැනිදා ඉන්දියාවේ දිල්ලි අගනුවර අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ඉන්දීය නිදහසේ සැබෑ වීරයා සහ පියා සුභාස් චන්ද්‍ර බෝස් මිස මහත්මා ගාන්ධි නොවන බව පළමු වරට එරට රජය නිල වශයෙන් පිළිගත්තේ එදාය. ඒ බව සනිටුහන් කරමින් එදින චන්ද්‍ර බෝස්ගේ විශාල පිළිමයක් අගමැති මෝදි දිල්ලියේ සුප්‍රසිද්ධ ඉන්දියා වාහල්කඩදී (India Gate) විවෘත කළේය.

මුළු දකුණු ආසියාවටම බලපෑ මෙහි පසුබිම අපි දැන් ඉතා කෙටියෙන් විමසමු.

වසර 1940 වන විටත් සිය දකුණු ආසියා යටත්විජිතයන්ට ස්වයං පාලනයක් ලබා දීමට උනන්දුවක් නොදැක්වූ බ්‍රිතාන්‍ය පාලකයන් ඉන් වසර හතකට පසු දෙවසරක් ඇතුළත, එනම් 1947 සහ 1948, ඉන්දියාව (සහ ඒ සමඟම ඉන්දියාවෙන් වෙන්වූ පාකිස්තානය), මියන්මාරය සහ ලංකාවට ස්වාධීනත්වය ලබා දීමට නොකැමැත්තෙන් හෝ පෙලඹුණේ ඇයි?

ඊට හේතු වූයේ හුදෙක් ඒ රටවල අභ්‍යන්තරිකව පැනනැඟුණු සන්නද්ධ හෝ නිරායුධ අරගල හෝ උද්ඝෝෂණ නොව ඒවාට තල්ලුව දුන් යෝධ බාහිර බලවේගයකි. ඒ බ්‍රිතාන්‍යයන්ගේ 'හිරු නොබසින අධිරාජ්‍යය' දෙදරුම් කවමින් 1939 යුරෝපයෙන් පටන් ගෙන 1941දී මහා සංග්‍රාමයක් බවට පත්ව 1945 මැද භාගයේ අවසන් වූ දෙවැනි ලෝක යුද්ධයයි. මෙම යුද්ධයේදී සුද්දන්ට විරුද්ධව සටන් කිරීමට ඉන්දියාවේ සහ මියන්මාරයේ (එවකට බුරුමයේ) සන්නද්ධ සටන්කාමීන්ට ජපන් ආධාර ලැබිණ. ජපනුන්ට යටත් වූ මලයාවේ (අද මැලේසියාව සහ සිංගප්පූරුව) සිට සටන් මෙහෙය වූයේ ඉන්දියානු ජාතික හමුදාවේ නායක සුභාස් චන්ද්‍ර බෝස් ය. බුරුමයේ (අද මියන්මාරය) සටන් මෙහෙය වූයේ එරට විමුක්ති හමුදාවේ නායක අවුන් සාන් සෙනෙවියාය. ලන්දේසීන්ට විරුද්ධව සටන් කළ ඉන්දුනීසියාවේ සුකර්ණ ඇතුළු පිරිසට ද එලෙසම ජපන් සහාය ලැබිණ. ලංකාවේ ද සාමාන්‍ය ජනතාව අතර ඇතැම් අය ජපනුන්ගෙන් බ්‍රිතාන්‍යයන්ට වැදුණු ප්‍රහාර ගැන එළිපිට නොපෙන්වා සතුටු වූහ.එමෙන්ම අප රටේ ද ජපන් ඔත්තුකරුවෝ සිටියහ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දියාවට නිදහස දීම ගැන උනන්දු වූයේ 1944දී ජපන් හමුදා සහ ඉන්දියානු ජාතික හමුදාව බුරුමය හරහා ඉන්දියා දේශ සීමාවට ආසන්න වෙමින් සිටියදීය. ඉන්දියානු ජාතික හමුදාවට එක්වූ භටයන් වැඩි පිරිසක් කලින් බ්‍රිතාන්‍ය-ඉන්දියා යුද හමුදාවේ සේවය කරමින් මලයාවේ ස්ථානගතව සිට පසුව ජපනුන්ගේ පැත්ත ගත්තෝ වූහ. ඒ ජපනුන් සුද්දන් පන්නා දමා එරට අල්ලා ගත්තාට පසුය. එය එසේ වුවද යුද්ධයෙන් පසු ඉන්දියාවට නිදහස දීමේ පොරොන්දුව මත නේරු ඇතුළු අනෙකුත් ඉන්දියානු ජන නායකයන්ගේ හොඳ හිත දිනාගන්නට බ්‍රිතාන්‍යයන් තැත් කළේ ඒ අවස්ථාව වන විටත් ඉන්දියානු සෙබළුන් ඉතා විශාල ගණනක් බ්‍රිතාන්‍යයන්ගේ ජයග්‍රහණය සඳහා සටන් වැදී සිටි බැවිනි. එවකට බ්‍රිතාන්‍ය-ඉන්දියා යුද හමුදාවට බැඳී බුරුම පෙරමුණේ ජපනුන්ට විරුද්ධව සටන් කළ භටයන් අතර පසු කලෙක ලංකා යුද හමුදාපති වූ මේජර් ජෙනරල් රිචඩ් උඩුගම ඇතුළු ලාංකිකයන් සුළු පිරිසක් ද වූහ. උඩුගම එවකට ලුතිනන්වරයෙකි.

එවකට ලංකාවේ සිටි ජාතික නායකයන් ජපන් අනුග්‍රහය ලැබූ සන්නද්ධ අරගලවලට සම්බන්ධ නොවූ නමුත් මලයාවේ සහ එවකට එහි කොටසක් වූ සිංගප්පූරුවේ පදිංචිව සිටි ලාංකිකයන් පිරිසක් ඊට දායක වූහ. සෙස්සෝ 1930 දශකයේ සිට මලයාවට සහ සිංගප්පූරුවට සංක්‍රමණය වූයේ විවිධ රැකියා සඳහාය. ඔවුන්ගෙන් පැවතෙන්නෝ අද ඒ රටවල පුරවැසියෝය.

වසර 1944 පෙබරවාරි 15 වැනිදා සිංගප්පූරුවේ ලාංකිකයන් වෙත ඉන්දියානු නිදහස් සංගමයෙන් (Indian Independence League) ඉංග්‍රීසි බසින් නිවේදනයක් නිකුත් කෙරිණ. (ඒ වන විට ජපනුන් සිංගප්පූරුවෙන් සහ මලයාවෙන් බ්‍රිතාන්‍යයන් පලවා හැර දෙවසරක් ගත වී තිබිණ). නිවේදනය නිකුත් කෙරුණේ ඉන්දියානු සංගමයේ සියොනාන් ශාඛාව - ලංකා දෙපාර්තමේන්තුව යන හිසින්ය. ජපනුන් සිංගප්පූරුව නම් කළේ සියොනාන් යනුවෙනි.

එම නිවේදනයේ මෙසේ සඳහන් විය.

“ලංකාවේ නිදහස ඉන්දියාවේ නිදහස සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී. එබැවින් සියලුම ලාංකිකයන් ඉන්දියානු නිදහස් සංගමයට සහ ඉන් මෙහෙයවන ව්‍යාපාරයට සම්පූර්ණ සහයෝගය දිය යුතුය. මූලික යුතුකමක් ලෙස ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම සියලු ලාංකිකයන් මෙම සංගමයේ කාඩ්පත් ලබාගත යුතුය”.

ඉහත කී නිවේදනය නිකුත් කිරීමට තුඩු දුන් පසුබිම සකස් කළේ තරුණ සිංහලයකු වූ ග්ලැඩ්වින් කොතලවල ය. ඔහු පසු කලෙක ලංකාවේ අගමැති වූ සර් ජෝන් කොතලාවලගේ ඥාතියෙකි. 1930 දශකයේදී සිංගප්පූරුවට පැමිණි ග්ලැඩ්වින් ජපන් ආක්‍රමණය පටන් ගත් අවධියේ මලයාවේ වෙළෙඳ ව්‍යාපාරයක නියැළී සිටියේය.

මේ වකවානුවේ ජපන්නු “සුදු අධිරාජ්‍ය වාදය” හෙළා දකිමින් “ආසියාව ආසියාතිකයන්ට හිමි විය යුතුය” යනුවෙන් බටහිර යටත්විජිත පාලකයන්ට විරුද්ධව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළහ. ඉන්දියාව සහ ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිතයන් වූ බැවින් ඒ රටවලින් සුද්දන් පලවා හැරීමේ සටනට සහාය නොදෙන අය ජපනුන් විසින් සලකන ලද්දේ බ්‍රිතාන්‍ය ඔත්තුකරුවන් ලෙසය. ඒ නිසා ග්ලැඩ්වින් කොතල­ාවල සුභාස් චන්ද්‍ර බෝස්ගේ අනුදැනුම ඇතිව ඉන්දියානු නිදහස් සංගමයේ ලංකා ශාඛාව හෙවත් ලංකා දෙපාර්තමේන්තුව (Ceylon Department) සහ නිදහස් ලංකා ඒකකය (Free Lanka Unit) පිහිටු වීය. ලංකා දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා වූයේ ග්ලැඩ්වින් ය. ඉන්දියානු නිදහස් සංගමයේ සන්නද්ධ අංශය වූයේ ඉන්දියානු ජාතික හමුදාවයි. ග්ලැඩ්වින් එහි මේජර් තනතුරකට පත්විය.

නිදහස් ලංකා ඒකකයේ සාමාජික විමලතිස්ස ඉන්ද්‍රසෝම මෙසේ පවසයි. (ඔහු පසු කලෙක සිංගප්පූරුවේ වෙළෙඳ කොමසාරිස්වරයා විය).

“ඉන්දියානු ජාතික හමුදාවේ වරනොලත් නිලධාරීන්ගේ පුහුණු කඳවුරේදී අපේ (ලාංකික) ස්වේච්ඡා භටයන්ට යුද පුහුණුව ලබා දුන්නා. සබ්මැෂින් තුවක්කු, එල්.එම්.ජී. තුවක්කු , 303 රයිෆල්, පිස්තෝල, ග්‍රනේඩ් බෝම්බ, වෙනත් පුපුරන ද්‍රව්‍ය සහ යුද ටැංකි නාශක අවි ආදිය පාවිච්චි කරන අන්දම අපට කියා දුන්නා. මෙසේ පුහුණුව ලැබූ පළමු ලාංකික සෙබළ කණ්ඩායම විසිර යෑමේ පෙළපාළිය 1944 මාර්තු 22දා සිංගප්පූරුවේදී පැවැත්විණ.

ඉන්ද්‍රසෝම ජපන් හමුදා සමඟ මෙරටට ගොඩබැසීමට සූදානම් කරනු ලැබූ ලාංකික කණ්ඩායමක සාමාජිකයකු විය. මෙම ව්‍යාපාරයට බැඳුණු අනෙක් සිංහලයන් අතර ජී. ආර්. විජේදාස, පී ඩබ්ලිව් වර්ණසූරිය, හෙන්රි පෙරේරා, ලයනල් දොඩම්පේ. ඇල්ෆ්‍රඩ් ගුණවර්ධන, ජී. සී. ආතර්, ජේම්ස් විමලසුරේන්ද්‍ර, ජී.සී. ඩේවිඩ්. චාල්ස් ද සිල්වා, කේ. ඩී. එඩ්මන්ඩ්, සුසිරිපාල ද සිල්වා සහ කබ්රාල් යන අය ද වූහ.

බෙංගාලියකු වූ සුභාස් චන්ද්‍ර බෝස්ගේ ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට බැඳුණු ලාංකිකයන් අතර කැපී පෙනෙන වෙනසක් විය. එනම්, ඔවුන් වැඩි දෙනකු සිංහලයන් වීමයි. සිංහලයන් මෙන් දස ගුණයක් ලාංකික (යාපන) දමිළයන් සිංගප්පූරුවේ සහ මලයාවේ විසූ නමුත් බෝස්ට එක් වූයේ ඉන් ඉතා ටික දෙනෙකි. ඉන්දියානු ජාතික හමුදාව සහ ඊට අනුබද්ධ අංශ සඳහා අවශ්‍ය වූ ලාංඡන සහ පදක්කම් තැනුවේ ද අදත් සිංගප්පූරුවේ සුප්‍රසිද්ධ පී. බී.ද සිල්වා සිංහල ස්වර්ණාභරණ සමාගමයි.

ඉන්දියානු නිදහස් සංගමය සහ ඉන්දියානු ජාතික හමුදාව ප්‍රධාන වශයෙන් සමන්විත වූයේ බෙංගාල, පන්ජාබ්, ගුර්කා, ද්‍රවිඩ සහ ඉන්දීය දමිළ ආදී විවිධ භාරතීය ජන

වර්ග වලින්ය.

නිදහස් ලංකා ඒකකයේ සිංහල ගුවන් විදුලි ප්‍රචාරයක් බුරුමයේ (වත්මන් මියන්මාරයේ) සිට විකාශනය කෙරිණ. එම සිංහල විකාශනය ඇරඹුණේ බුරුම, හින්දුස්තානි සහ ඉංග්‍රීසි විකශනවලින් පසුවය. ඉන්දියානු ජාතික හමුදාවට අනුබද්ධව පැවති මෙම ගුවන් විදුලි මධ්‍යස්ථානය භාරව සිටියේ එම හමුදාවේ කපිතාන් වරයකු වූ ඩොඩ්වෙල් කුරේ නම් සිංහල තරුණයෙකි. ජපන් දොමෙයි පුවත් ඒජන්සිය මඟින් එවන ලද වාර්තාවල ඉංග්‍රීසි පිටපත සකස් කළේ ඩොඩ්වෙල් ය. ඔහු යටතේ සිටි ලුතිනන්වරුන් වූ අබේසිංහ සහ සිරිසේන සිංහල පිටපත සැකසූහ. සිය අරමුණ ජයගතහොත් ලක් පොළොවේ එසවීම සඳහා අසිපතක් දරාගත් සිංහ රුවක් සහිත ත්‍රිවර්ණ ධජයක් ද ලංකා දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් විසින් නිර්මාණය කෙරිණ.

එහෙත් ඇමෙරිකන් යුද බලය ඉදිරියේ ජපන් හමුදා ශක්තිය හීන වීම නිසා ජයගත නොහැකි වූ අරමුණක් වෙනුවෙන් සිංහල තරුණයන් සතර දෙනෙකුට දිවි පුදන්නට සිදු වීම මෙම විමුක්ති ව්‍යාපාරයේ ඛේදවාචකය විය. ඒ සතර දෙනා “හිකරි කිකාන්” නම් නම් ජපන් ඔත්තු සේවාවක සාමාජිකයෝ වූහ. වෙළෙඳ සමාගමක මුවාවෙන් පවත්වා ගෙන ගිය මෙම ඔත්තු සේවාව, ඉන්දියානු නිදහස් සංගමය සහ ජපන් යුද්ධ හමුදාව අතර සම්බන්ධීකරණ අංශය විය. එහි අරමුණ වූයේ ඉන්දියාව සහ ලංකාව ආක්‍රමණය කිරීමට අවශ්‍ය යුද්ධෝපක්‍රමික රහස් තොරතුරු සැපයීමයි. 

ඒ සතර දෙනා වූයේ ටියුඩර් ගුණරත්න, වර්නන් ප්‍රනාන්දු සහ එඩ්වින් ජයකොඩි, ජෝසෆ් ජයකොඩි දෙසොහොයුරන්ය. ඔවුන්ට නියමිතව තිබුණේ ජපන් සබ්මැරීනයකින් ගොස් ලංකාවේ දකුණු වෙරළට ගොඩබැස කිරින්ද වනයේ සිට ජපනුන්ට රහස් ගුවන් විදුලි පණිවුඩ යැවීමයි. එනමුදු ඔවුන්ගේ අවාසනාවකට ජපන් නාවිකයන්ට සිදු වූ වැරදීමකින් තරුණයන් සතර දෙනා ගොඩ බැස්සේ දකුණු වෙරළ ආසන්නයටය. පසුව වාර්තා වූ අන්දමට එහිදී බ්‍රිතාන්‍යයන්ට හසු වූ ඔවුන් වෙඩි තබා මරණ ලදහ.

ඔත්තු සේවයට බැඳුණු අනෙක් සිංහල තරුණයන් වූයේ ලයනල් හෙට්ටිහේවා, ජෝජ් තලල්ලේ, දයානන්ද, පියසේන, සැම්සන් සිල්වා සහ ක්‍රිස්ටි සෙනෙවිරත්න (පසුකලෙක ලේක් හවුස් ඩේලි නිව්ස් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ)ය. එහෙත් සිය ජීවිත පරදුවට නොතබා බේරීමට ඔවුන්ට හැකි විය.

1945දී ජපානය යුද පරාජය බාර ගත් අගෝස්තු මාසයේම සුභාස් චන්ද්‍ර බෝස් ජපානයේ ටෝකියෝ නුවර බලා යද්දී ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. එහෙත් මෙය අද දක්වා විවාදයට ලක් වී ඇති කරුණකි. ඔහුගේ මරණය සිදු වූයේ වෙනත් අයුරකින් යැයි ද මතයක් පවතී. තවමත් ජීවතුන් අතර සිටින බෝස්ගේ දියණිය, ඇනීටා බෝස් ද ඒ ගැන ස්ථිර වශයෙන් නොදනී. යුරෝපයේ පදිංචිව සිටින ඇගේ මව අවුස්ත්රියානු කාන්තාවකි.

යුද්ධයෙන් ජපානය සහ ජර්මනිය පරාජයට පත්වුවද ඇමෙරිකන් ආධාර ලැබ ඉන් ජයගත් බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ඒ වන විට දෙදරා ගොස්ය. ඒ නිසාම ඔවුන්ට සිය අධිරාජ්‍යය තවදුරටත්

පවත්වා ගෙන යෑම දුෂ්කර විය. ඊට අමතරව යුද්ධය ජය ගැනීමට බ්‍රිතාන්‍යයට යුද්ධාධාර සපයමින් සංග්‍රාමයට සම්බන්ධ වූ ඇමෙරිකා එක්සත් ජනපදය ද අත්ලාන්තික් ප්‍රකාශනය (Atlantic Charter) මඟින් බ්‍රිතාන්‍යයට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළේය. ඉන් එකක් වූයේ බ්‍රිතාන්‍යය සිය යටත් විජිතයන්ට ස්වයං පාලනය ලබා දිය යුතු බවයි. එය පශ්චාත් ලෝක යුද සමයේ ඇමෙරිකාව සුපිරි ලෝක බලවතකු වීමේ පළමු පියවර විය.

එනමුදු එවකට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි දැඩි අධිරාජ්‍යවාදියකු වූ වින්ස්ටන් චර්චිල් එසේ නිදහස දීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් ඉතිහාසයේ ගමන වෙනස් කිරීමට ඔහුට නොහැකි විය. යුද්ධය අවසන් වූ 1945 න් පසු වසරේදී බ්‍රිතාන්‍ය- ඉන්දියා රාජකීය නාවික හමුදාවේ ඉන්දීය භටයන් ගැසූ කැරැල්ලෙන් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය තවත් දුර්වල විය. ඉන්පසු බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් චර්චිල්ගේ කොන්සවටිව් පක්ෂ රජය පරාජයට පත්වූ අතර, ඉන් ජය ගත්තේ ක්ලෙමන්ට් ඇට්ලීගේ ලේබර් පක්ෂයයි. ඔහු ඉන්දියාවට (සහ ඉන් වෙන්වූ පාකිස්තානයටත්) මියන්මාරයටත් නිදහස ලබා දීමට නොපැකිළ පියවර ගත්තේය. ඒ සමඟම ලංකාවට ස්වාධීනත්වය අඩුපාඩු සහිතව වුවද ලැබීම නිරායාසයෙන්ම සිදු විය. බ්‍රිතාන්‍ය පාලකයන් ඉන්දියාව සැලකුවේ සිය අධිරාජ්‍ය කිරුළේ මැණික (Jewel in the Crown) ලෙසය. එය නැති වූ පසු ලංකාව තව දුරටත්

යටත් විජිතයක් ලෙස තබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නොවීය.

මෙම ලිපියට කරුණු සපයාගත් ප්‍රධාන මූලාශ්‍රය මහාචාර්ය එස්.එන්. අර්සකුලරත්න විසින් ඉංග්‍රීසියෙන් රචිත SINHALESE IMMIGRANTS IN MALAYSIA AND SINGAPORE (මැලේසියාවේ සහ සිංගප්පූරුවේ සිංහල

සංක්‍රමණිකයෝ) නම් කෘතියයි.


Comments