ලෝක­යක් මවිත කළ තාදිගේ ටෙනිස් වික්‍ර­මය | Page 2 | සිළුමිණ

ලෝක­යක් මවිත කළ තාදිගේ ටෙනිස් වික්‍ර­මය

 

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පිහිටි රෝඩ් ලේවර් අරීනා ටෙනිස් පිටිය එකම හිස් ගොඩක් වී තිබුණි. දෑස් දල්වා බලා සිටි ප්‍රදර්ශනාත්මක තරගය ඇරඹිණි. එක් ක්‍රීඩකයකු ලෝකයම දන්නා ටෙනිස් ක්‍රීඩා ලෝලීන්ගේ වීරයකු වන සර්බියාවේ නොවැක් ජොකෝවික්න්‍ ය. අනෙකා ක්‍රීඩාශීලීත්වයෙන් පරිපූර්ණ වූ කුඩා කොල්ලෙකි. තලෙලු සමකට මෙන්ම සැමගේම සිත් පැහැර ගන්නා සිනාවකට උරුමකම් කියන මේ පුංචි ක්‍රීඩකයා වෙත සැමගේ නෙත් ඇදී ගියේ ක්ෂණයෙනි. කුඩා මයික්‍රෆෝනයක් වත දක්වා පැලඳ ගත් මේ පුංචි කොලු ගැටයා පිටියට ප්‍රවේශ වූයේ සියල්ලන්ගේම ළෙන්ගතු ආදරය මැදය. ඇසිල්ලකින් මුළු පිටියේම දැඩි නිහඬතාවකි. ඉන් අනතුරුව නොනවත්වාම රැව් දෙන අත්පොළසන් නද ලෝක පූජිතයා සහ ආගන්තුක කොලු ගැටයා වෙනුවෙනි.

තරගය කොතරම් තීව්‍ර වුව ද ලෝක ප්‍රකට නොවැක් මේ ගාම්භීර, ක්‍රීඩාශීලී කොල්ලාට ලබා දුන්නේ පුදුමාකාර සහයෝගයකි; මිත්‍රත්වයකි. තරගය අවසන් වීමට ඇත්තේ විනාඩි කිහිපයක් පමණි. උද්වේග කර තක්ෂණික පහර එල්ල කරමින් සිටි මේ කුඩා ක්‍රීඩකයා එල්ල කළ තවත් එවැනිම පහරක් හමුවේ ලෝක ප්‍රකට ටෙනිස් ක්‍රීඩක නොවැක් පරාජිත වූයේ අපගේ කථා නායකයාට ජයග්‍රහණය හිමිකර දෙමිනි. අද අපේ කතාවේ නායකයා පිළිබඳ ලෝකය කතා බහ කරන්නට පටන් ගන්නේ ඒ විජයග්‍රහණයේ තත්පරය ගෙවීයෑම සමඟය.

ඒ මෙතෙක් කතාවයි.

මේ කතාව සමඟ ලොව පුරා පැතිර යන්නේ ලෝක ප්‍රකට නොවැක් පරාජයට පත් කළ මේ පුංචි වීරයා ශ්‍රී ලාංකිකයකු බවයි. තාදි කරුණානායක ලෙස නම් ලද ශ්‍රී ලංකා මාතාවගේ ගෞරව නාමය ලෝකයේම ප්‍රකට කළ තාදි ඕස්ට්‍රේලියාවේ සිට සිළුමිණ සමඟ එක්වූ මොහොතයි මේ.

තාදි මුලින්ම සුබපැතුම් වගේම අපේ ආදරය..අපි පුංචි කාලේ මතක එක්ක අපි කතාව අරඹමු.

ක්‍රීඩාව කියන්නේ මම ඉතාමත් ආස දෙයක්. මගේ තාත්තාත් ක්‍රීඩාවට හරිම ආස කෙනෙක්. ටෙනිස්වලටත් තාත්තා හරි ආසයි. එක දවසක් තාත්‍තා අරන් ආව සෙල්ෆ් ප්ලේ කරන්න පුළුවන් ටෙනිස් ක්‍රිඩා කරන උපකරණයක්. ඒක හරියට මේස් එකකට බෝලය දාල සෙල්ලම් කරනවා වගේ එකක්. ඒක ඇත්තටම ගෙනාවේ තාත්තාට සෙල්ලම් කරන්න. තාත්තා එක්ක මමත් සෙල්ලම් කළා එහෙම තමා ටෙනිස්වලට ආස හිතුණේ. මගේ රට ශ්‍රී ලංකාවට ආව දවස්වලත් මම ටෙනිස් සෙල්ලම් කරල තියෙනවා.

මෙහෙම සෙල්ලම් කරන කොට තාත්තා මාව පුහුණුව සඳහා අරන් ගියා. ඒ පුහුණුව මම හොඳින්ම සිදු කළා. මෙහේ ළමයි ටෙනිස් ක්‍රීඩා කරන්න පටන් ගන්නේ අවුරුදු තුනේදි විතර. ඒත් මම පටන් ගන්න කොට මගේ වයස අවුරුදු හතයි. මම පටන් ගත්ත මුල් දවස්වල අනෙක් අයගේ මට්ටමට එන්න ගොඩක් කැපවීමෙන් සෙල්ලම් කළා. ඒ නිසාම මට හොඳින් ටෙනිස් ක්‍රීඩා කරන්නට හැකි වුණා.

මගේ පාසල Rivercrest Christian College Clyde. මේ වසරේ ටෙනිස් ක්‍රීඩා නායකයා මම. මේ සියලු කටයුතු අතරතුරේ පාඩම් කටයුතු කරන්නටත් මම කැපවෙලා වැඩ කරනවා. අම්මා සහ තාත්තා කියන්නේ හොඳ ගති ඇති බුද්ධිමත් පුතෙක් වෙන්න කියලයි.

මෙම තරගය සඳහා තාදි තේරී පත්වූ ආකාරය සවිස්තරාත්මකව කියන්නට තාදි හරියටම දන්නේ නැත. මේ අමිල දුලබ අවස්ථාව තාදිට ලැබුණු හැටි අපි අසා දැනගන්නේ තාදිගේ ආදරණීය තාත්තා තාරක කරුණානායක ගෙනි. තාරක කරුණානායක අප කලකට ඉහත සිට අද දක්වාම තදින් ඇළුම් කරනු ලබන ගායන ශිල්පියෙකි. මන්දාරම් වැහි වැටෙනා (අම්මා) ගීතයෙන් රටක් හඳුනා ගත් තාරක කලක් සික්ස්ත් ලේන් සංගීත කණ්ඩායමේ ප්‍රබලම චරිතයයි. ඔහු මේ පවසන්නේ තම පුතු තාදි මෙම තරගය සඳහා තේරී පත්වූ ආකාරයයි.

" මෙහේ තිබෙනවා සුපර් ටෙන් කියල ප්‍රෝගෑම් එකක්. එහිදි වෙන්නෙ හොඳම ක්‍රීඩකයා තෝරන එක. මෙම ප්‍රෝගෑම් එකේ තාදි ඉහළම ස්ථානයක ඉන්නවා. ඒ හින්ද තමයි මේ අවස්ථාව තාදිට හිමිවුණේ. තාදි ටෙනිස් ක්‍රීඩාවට හොඳින්ම අනුගත වුණා. අපට පුළුවන් හැම සහයම හැම වෙලාවෙම පුතාට ලබා දුන්නා.

එදා තරගයට එන්න කියල ආරාධනා කරල තිබුණට එතනට යනකල් මේ අවස්ථාව ලැබේවි කියල අපි හිතුවෙ නෑ.

තාදිගේ සීයා රෙජිනෝල්ඩ් කුරේ මහතා. ඒ කියන්නේ තාදිගෙ අම්මගේ තාත්තා. සීයා නැතිවෙලා කියල ආරංචිය අපට ලැබුණේ තාදි තරගයට යන්න ඉස්සෙල්ල දවසේ රෑ. ඒ ආරංචිය ලැබුණු ගමන් තාදිගෙ අම්මා හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට යන්න සැලසුම් කළා. නමුත් තාදිව මේ තරගයට අනිවාර්යයෙන් එක්කන් යන්න අපි තීරණය කළා.

තාදි එතනට යද්දි පොඩ්ඩක් එක්සයිට් වෙලා හිටියෙ. මොකද අම්මා හොඳටම අඬනවා තාදි බලන් හිටියා. ඒ නිසා වගේම සීයා නැති වෙලා කියන ආරංචියත් නිසා තාදි හිටියෙ දුකෙන්.

කොහොමහරි අපි තරගය තිබෙන තැනට ඒ කියන්නේ රෝඩ් ලේවර් අරීනා ටෙනිස් පිටියට ගියා.

එතනදි තමයි තාදිට මේ විරල අවස්ථාව හිමි වුණේ.

නැවත අපි හැරෙන්නේ තාදි වෙතටය. ඒ මොහොත ගැන තාදිට තවමත් ඇත්තේ අවිනිශ්චිත ස්වභාවයකි.

"ඇත්තටම ඒ වෙලාවෙ මට හිතාගන්නට බැරි වුණා. කලින් මම මේ අවස්ථාව ලැබෙනවා කියල මම දැනගෙන හිටියෙ නැහැ. එතන හිටිය ටෙනිස් පිටියේ වීරයෝ. ඇත්තටම මගේ ලෝකෙත් එයාල වීර චරිත. කොහොම හරි මට තරගය තිබ්බේ නොවැක් ජොකෝවික් සමඟ.

ඇත්තටම ඔහු මා එක්ක හොඳට යාළු වුණා. හරිම හොඳට මාව බලා ගත්තා.ප්‍රදර්ශන තරගයක් වුණත් ඔහු මට විශාල ශක්තියක් ලබා දුන්නා. මට පහරක් මඟ හැරුණොත් ඒ වෙනුවෙන් මාව දිරිමත් කළා. මම ක්‍රීඩා කරන්නේ ලෝකයේ හොඳම ක්‍රීඩකයන් අතරින් එක්කෙනෙක් එක්ක කියල මට අමතක වන තරමට එතුමා නිහතමානී වුණා. අවසානයේ මම තරගය ජය ගත්තා. ඒ වෙලාවෙත් ඔහු මගේ ළඟට ඇවිත් උණුසුම් සුබපැතුම් ලබා දුන්නා. මේ වෙලාව මට තවමත් හිතාගන්න අමාරුයි. ඒ තරමට හොඳ තරගයක් මම ලබා දීල තිබුණා. ඔහු මාව තුරුලු කරගෙන ටික වේලාවක් මට සුබ පැතුවා. ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් ...ඔයාට ඒක කරන්න පුළුවන් කියලත් ඔහු මට කිව්වා.

සැබෑවටම තාදි ශ්‍රී ලංකාවේ අභිමානය ලෝක ටෙනිස් ලෝලීන් අතර ප්‍රකට කළ ටෙනිස් තරුවකි. දස හැවිරිදි තාදි ගැන ලෝකයේම අවධානය හිමි වන්නේ මේ වයසින් කුඩා ක්‍රීඩකයාගේ පිරිපුන් දස්කම් සහ විස්කම් නිසාවෙනි. තාදි ශ්‍රී ලංකාව ගැන පවසන්නේ අභිමානයෙනි.

ශ්‍රී ලංකාවට ආවම මම ඉන්නම කැමති සීයලගේ ගෙවල් දෙකේ. සීයා නැතිවුණාම දුක හිතුණා. එදාම තමා තරගය තිබුණෙත්. අම්මා එදා ශ්‍රී ලංකාවට ගියා. ඒ අතරේ තමයි මමයි තාත්‍තයි මැච් එකට ගියේ. මම කිහිප සැරයක් ශ්‍රී ලංකාවට ඇවිත් තියෙනවා. ඒ මගේ රට. මගේ තාත්‍තගෙ ගම කළුතර. කළුතර ඉන්නකොට බීච්වලට යන්න සෙල්ලම් කරන්න තමයි මම ආසම. ඒ වගේම වැව් බලන්න යන්නත් මම ගොඩක් ආසයි. මගේ රටට ආවම කණ්ඩලමේ යන්න තමයි මම ගොඩක් ආස. පරිසරය එක්ක ඉන්න මම ගොඩක් කැමතියි.

තාදි ටෙනිස් ක්‍රීඩාවට අමතරව දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. කුඩාම කාලයේ සිටම ටෙනිස් ක්‍රීඩාවට මෙන්ම චිත්‍ර කලාවට ද දස්කම්පාන තාදි නිරතුරුවම නිර්මාණ වෙනුවෙන් ද කාලය කැප කරනු ලබන බව ඔහු පවසයි.

" මම චිත්‍ර අඳින්න ගොඩක් ආසයි. පාසලේ අධ්‍යාපන කටයුතු, ටෙනිස් පුහුණුවීම් වගේම චිත්‍ර අඳින්නටත් මම කාලයක් ගන්නවා. ඉඩක් ලැබෙන හැම වෙලාවෙම මම චිත්‍රයක් අඳිනවා. අම්මා තාත්තා වගේම මගේ යාළුවොත් ඒ චිත්‍ර ලස්සනයි කියල කියනවා. ඒක මට ලොකු සතුටක්.

අවසානයේ අප කතා කරන්නේ තාදිගේ බලාපොරොත්තු ගැනයි.

ඇත්තටම අම්මයි තාත්තයි නංගියි එක්ක සතුටින් ඉන්න එකට මම ගොඩක් ආසයි. මගේ නංගි දිනන්‍යා. එයත් මට මගේ කටයුතුවලට ගොඩක් උදව් කරනවා. ඒ වගේම හොඳ අධ්‍යාපනයක් ලබල හොඳ ටෙනිස් ක්‍රීඩකයෙක් වෙන්නත් මම ගොඩක් කැමතියි. ශ්‍රී ලංකාවෙ ඇවිදින්නත් කැමැත්තක් තිබෙනවා. මේ හැමදේම අතරේ ලෝකයටම සේවය කරන හොඳ ලෝවැසියෙක් වෙන එක තමයි මගේ බලාපොරොත්තුව.

ඔහුගේ බලාපොරොත්තුව ලෝකයට සේවය කරන ලෝ වැසියකු වීමය. දැන් තාදි ලෝකයම දන්නා ටෙනිස් ක්‍රීඩකයකු වී හමාරය. කෙටි කලකින් ලෝකයේම ටෙනිස් ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට පාත්‍ර වූ තාදි ශ්‍රී ලංකාවේ නම ලෝකයේම ප්‍රකට කළේය. දැන් තාදිගේ නම කියවෙන විට ශ්‍රී ලංකාවේද නම කියවේ. තාදි ශ්‍රී ලාංකිකයකු වීම අපට ද අභිමානයකි.

තාදි ලෝකයම දිනන්නට ඔබට හැකි බව අපි දනිමු.

 

Comments