බහිරවයා දෙවියෙක්ද? යක්ෂයෙක්ද? බහිරව පිහිට ලබා ගත හැකි ක්‍රම | Page 2 | සිළුමිණ

බහිරවයා දෙවියෙක්ද? යක්ෂයෙක්ද? බහිරව පිහිට ලබා ගත හැකි ක්‍රම

බහිරව සහ වාමන රූප භයංකාර ලෙස නිර්මාණය කර ඇති නිසා ද බොහෝ අයගේ සිත් තුළ ඇති වන්නේ යහපත් චිත්ත රූප නොවේ

බොහෝ දෙනකු නිවෙසක්, අලුත් ගොඩනැඟිල්ලක හෝ යම් භූමියක අභිනවයෙන් කටයුත්තක් ආරම්භ කිරීමට මෙන්ම මැණික් පතලක්, ගල් කොරියක් ආරම්භ කිරීමට පළමුව ද බහිරව දෙවියන් සඳහා පූජාවක් පැවැත්වීම එදා සිට අදද සමාජයේ මුල් බැසගත් ශාන්තිකර්මයක් ලෙස පිළිගැනේ.

බහිරවයන් යනුවෙන් හඳුන්වන්නේ කුමන දේව කොට්ඨාසයක් ද, යක්ෂ කොට්ඨාසයක් ද යන්න පිළිබඳ බොහෝ අයට නිශ්චිත පිළිතුරක් නොමැති නිසා ඔවුන් කවුරුන්ද යන්න ප්‍රථමයෙන් ඔබ දැනුම්වත් විය යුතුය.

ප්‍රධාන වශයෙන් බහිරව කොටස් දෙකක් මෙම විශ්වය තුළ තමන්ගේ බලය අණසක පතුරවමින් සියලුම වස්තුවලට අධිපතිව ඒවායේ ආරක්ෂාව භාරව කටයුතු කරනු ලබයි. මෙම දෙකොටස ආතාල බහිරව සහ පාතාල බහිරව යනුවෙන් හඳුන්වන අතර, ඔවුන් ගණනාථ, නීලකන්ඪ, මානාංඩ, මරන්ධගන්න, වේකාක්ෂ (වේකාල), ශිව චන්ද්‍රකේෂව, දණ්ඩ කර්ණ , සුත්‍රදෝදර යනුවෙන් හඳුන්වයි. පොළොව මතුපිට ආකාශයේ පවතින දෙයට අරක්ගත් බහිරවයන් ආතාල බහිරව යනුවෙන්ද, පොළොව යට ඇති වස්තුව එනම් රන් රිදී, මැණික්, නිධන් වස්තුවලට අරක්ගත් බහිරවයන් පාතාල බහිරවයන් යනුවෙන් ද හඳුන්වනු ලබන අතර පොළොවෙන් උඩ ඇති ගේදොර, ඉඩකඩම්, ව්‍යාපාර ස්ථාන සඳහා පූජාව පවත්වනුයේ ඊට අරක්ගත් ආතාල බහිරවයන් සඳහා වන අතර, ඔවුන්ගේ සංකේතය සුනඛයකු වශයෙන් දක්වා ඇත.

පාතාල බහිරවයන් සඳහා කටයුතුවලදී නාග රූපය ද යොදා ගන්නා අතර මැණික් පතල් ඇරඹීමට ප්‍රථම මෙම පාතාල බහිරව සඳහා පූජාව කැපකර අතුරු අන්තරාවලින් ආරක්ෂාව සිදු කර එම වස්තුන් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම නියතයෙන් සිදු කරනු ලබන දෙයකි. මෙහිදී අෂ්ට බහිරවයන් එනම් දිශා අටට අධිපති බව දරන බහිරවයන්ට කඩවර හත් කට්ටුවද, කතරගම දෙවියන් උදෙසා ද පුද පූජාවන් පවත්වා බාරහාර වීමෙන් පසු පතල් කැණීමක ආරම්භ කිරීම සම්මත සිරිත වෙයි. සිංහල දේව පුරාණය පොතෙහි, බහිරව අෂ්ටක නම් පුස්කොළ පොතෙහි සඳහන්ව ඇති පරිදි බහිරව එක් අවස්ථාවක දේව විලාසයෙන් ද තවත් අවස්ථාවකදී යක්ෂ විලාසයෙන් ද සිටින බව එහි සඳහන්ව ඇත. දේව විලාසයෙන් නිධන් වස්තුන් ඇති තැන්වලට ගමන් කරන විට නිල් පැහැති ආලෝකයක් දක්වන බව ද එහි සඳහන්ව ඇත.

දෙවි දේවතාවන් සඳහා පුද පූජා පවත්වන අය වුවද තමන්ගේ දියුණුව, බලාපොරොත්තු, අපල උපද්‍රව සහ වෙනත් කරුණු උදෙසා බහිරව දෙවියන්ට ද පුද පූජාවන් පවත්වන බව ඇතැම් විට ඔබ නොදන්නවා ඇත. මෙයට හේතුව බොහෝ අයගේ සිත් තුළ බහිරව කියන නාමය භයංකර, විපත් ගෙන දෙන, යක්ෂ ආත්ම නිධන් ආරක්ෂා කරන මියගිය ආත්මයන් ද බහිරවයන් වන බවට මුල් බැස ඇති නිසාය. එසේම බහිරව සහ වාමන රූප භයංකාර ලෙස නිර්මාණය කර ඇති නිසා ද බොහෝ අයගේ සිත් තුළ ඇති වන්නේ යහපත් චිත්ත රූප නොවේ.

බහිරවයන් අතීතයේ සිටම යම් යම් අවස්ථාවලදී ඇදහීමට ලක්ව ඇති අතර මින් ප්‍රධාන වශයෙන් අභයගිරි දැගැබ දකුණු ගෝපුර හෙවත් දොරටුව දෙපස සංඛ සහ පද්ම යන බහිරව දේවතාවන් සඳහා පුද පූජාවන් සිදු වන අතර වාර්ෂිකව පවත්වනු ලබන මහා උත්සවයකින්ද පුද පූජාවන් පවත්වන බව බොහෝ අය නොදන්නවා ඇත.

තමන්ගේ සුබ සිද්ධියට, ව්‍යාපාර ඉඩකඩම් දියුණුවට මෙන්ම දරුඵල සඳහා ද, සුව නොවන රෝග, සොර සතුරු උවදුරු සඳහා ද ඉතා විශ්වාසයෙන් හා භක්තියෙන් පිහිට පතා විශාල පිරිසක් එහි පැමිණෙන අතර එම කාරණා ඉටු වීම නිසා නැවත පැමිණ පුද පූජා පවත්වා බාර හාර නිදහස් කරන අයුරු දක්නට ඇත. සංඛ බහිරව සහ පද්ම බහිරව යන දේවතාවන් උදෙසා ලංකාවේ වන්දනාමාන පුද පූජා පවත්වන එකම ස්ථානය ද මෙයයි.

සංඛ බහිරවයන් රත් මල්මාලාවක් පැලඳ සැර පරුෂ විලාසයක් දක්වන සොරකම්, අපරාධ, වංචාවලට ලක් වූවන්ට පිහිට වන අතර, පද්ම බහිරව දේවතාවන් ඉතා සෞම්‍ය ගති ඇති අයකු බැවින් සුදු මල් මාලාවක් පැලඳ මනුෂ්‍යයන්ගේ දරුවන්ගේ විභාග, රැකී රක්ෂා, විවාහයක්, ගොවිතැන් කටයුතු, අපල දුරුකර සුව නොවෙන රෝග සුවකර දීමට පිහිට වෙයි. එසේම ඈත අතීතයේ සිටම කතරගම දේවාල භූමියේ ඇති දිවුරුම් ගල මෙන්ම මෙම දේවාලයන් ද උසාවි නියෝග මත තමන්ගේ නිදොස් බව ප්‍රකාශ කිරීමට දිවුරා සිටීම ද මෙම ස්ථානය අද දවස දක්වාම භාවිත වේ. මෙම ස්ථානයේ දෙවියන් උදෙසා මුරුතැන් පූජාව, වරම් පූජාව, කිරි ඉතිරීමේ පූජාව සහ වාර්ෂිකව සිදු කරනු ලබන පෙරහර පූජාව ද ප්‍රධාන තැනක් ගනී.

අභයගිරියේ දකුණු ගෝපුර හෙවත් දොරටුවට දකුණු පසින් සංඛ බහිරව දෙවොල ද වම් පසින් පද්ම බහිරව දෙවොල ද පිහිටා ඇති අතර, අටමස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් මෙහිදී පුද පූජා පවත්වා පිහිට ආරක්ෂාව ඉල්ලා සිටීම ද මෙහිදී දෛනිකව සිදු වේ. වාර්ෂිකව පැවැත්වෙන පෙරහර පූජා මංගල්‍යය සඳහා රාජ්‍ය අනුග්‍රහය ද ලැබෙන අතර, රටේ සියලු දෙනාටම යහපත පතා සිදු කරන එම පූජාව අවසානයේදී දේව දානය සහිත කිරිබත් පැමිණ සිටින සියලු දෙනාට බෙදා දී දෙවියන්ට පින් අනුමෝදන් කරයි. මෙම විස්තර ඔබ වෙත ඉදිරිපත් කළේ බොහෝ අය තුළ බහිරව දේවතාවන් ගැන ඇති වැරැදි ආකල්ප සහ බිය දුරු කරලීමටය.

මීළඟ ලිපියෙන් බහිරව දේවතා පිහිට ලබා ගැනීමට පූජාවක් පවත්වන ආකාරය බලාපොරොත්තු වන්න.

අගස්ති ප්‍රනාන්දු

Comments