වදමල් නටුවෙන් මස් දලු කපා සුව කරන අපේ කාලයේ ජීවකයා | සිළුමිණ

වදමල් නටුවෙන් මස් දලු කපා සුව කරන අපේ කාලයේ ජීවකයා

ඇස් වෙදකම සඳහා අපි යොදා ගන්නේ අපේ පාරම්පරික වෙදකම මඟින් උරුම කර දී ඇති ඖෂධ. මේවා සකස් කර ගන්නේ අපිමයි

අතකට, අත්දෙකටම හෝ පාදවල මහපට ඇඟිලිවලට රෝග තත්ත්වය අනුව බෙහෙත් බඳිනවා. දිනපතා පැය හතරක් තමන්ට පහසු විදියට පැමිණ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්

අද දරුවන්ට කවන්නෙ පොවන්නෙ වගේම නළවන්නෙත් ජංගම දුරකථනයෙන් යූ ටියුබයේ ඇති විවිධ වැඩසටහන් පෙන්වමින්. එය අපේ ඇස්වලට එතරම් හොඳ දෙයක් නොවෙයි

රෝගියාගේ කේන්දර පරීක්ෂා කර බැලීම ඖෂධ ලබා දීමේදී ඉතා වැදගත් වෙනවා. ග්‍රහ පිහිටීම අනුව ඇතැම් අයට සම්පූර්ණ සුව නොලැබෙන අවස්ථා මතු වෙනවා. එහිදී ඔවුන්ගේ වැඩ කටයුතු කර ගැනීමට හැකි පරිදි වර්ණ හා ආලෝක හඳුනා ගැනීමට හැකි තත්ත්වයට ප්‍රතිකාර මඟින් සුවය සලසා දෙනවා

 

රීරයේ සියලු අංගයන් නියමාකාරයෙන් පැවතිය ද ඇස් නොපෙනී ගියොත් ඉන් අත්වන ඉරණම පිළිබඳ අපට සිතා ගැනීමටවත් නොහැකිය. අවට ලෝකය දෙස බලා එහි යථා ස්වභාවය තේරුම් ගෙන සිහි නුවණ උපදවා ගැනීමේ ප්‍රධාන අවයව වන්නේ දෑස් ය. ඒ කාර්ය කළ හැකි අන් කිසිදු ඉන්ද්‍රියක් නැති බැවින් ඇස්වල පෙනීම නැති වූ අයකුට යළි පෙනීම ලබා දෙනවා යනු ජීවිතය දුන්නා හා සමානය. මෙවර අපේ කතානායකයා සර්වාංග හා අක්ෂි රෝගවලට ප්‍රචලිත ගම්පහ ජයසේකර වෙද පරම්පරාවෙන් පැවත එන්නෙකි.

එහි හය වැනි පරම්පරාව නියෝජනය කරන හෙතෙම, සියලු සර්වාංග රෝග සඳහා වෙදකම් කළද වඩාත් සුවිශේෂී වන්නේ ඇස් රෝග සඳහාය. ඇසේ සුද මතුවීම, ග්ලුකෝමාව, ලිංගනාශය, ඇසිපිය එසවීමේ අපහසුව, බිලිඳු වියේ ඇති වන වපරය, වර්ණ අන්ධතාව, ළඟ නොපෙනීම, දුර නොපෙනීම, පසු අන්ධභාවය ආදී වාත, පිත, කප යන තුන් දොස් කිපීම නිසා හටගන්නා ඇස් රෝග 76 කට හෙතෙම ප්‍රතිකාර කරයි. විශේෂයෙන්ම බොහෝ අක්ෂි වෛද්‍යවරුන් වෙදකම් කිරීමට මැළිකමක් දක්වන අර්ම හෙවත් ඇසේ මස් දළු ඇති වීමේ රෝගයට හේ ප්‍රශස්ත ලෙස ප්‍රතිකාර කරයි. ඔහු පාරම්පරික දේශීය වෛද්‍ය චතුර ජයසේකර ය.

වර්ෂ 1970 දී පාරම්පරික වෛද්‍ය අයිවන් ජයසේකර හා නන්දා ජයසේකරට දාව මහරගමදී ඔහු මෙලොව එළිය දුටුවේය. ඔහුගේ වේලාපත්කඩය අතට ගත් මුත්තණුවන් වූ බුද්ධදාස ජයසේකර වෙදමහතා අලුත උපන් මුනුපුරා සිය වෙද පරම්පරාවේ නාමය ඉදිරියට ගෙනයන බව සැකහැර දැන ගත්තේය. බිලිඳාට චතුර ජයසේකර යැයි නම් තැබූ හෙතෙම, දරුවා පාසල් විය වන තෙක් ගම්පහ වැලිවේරියේ ඉඹුල ග්‍රාමයේ මහගෙදර රඳවන ලෙස සිය පුතු හා ලේලියගෙන් ඉල්ලීමක් කළේය. ඊට අනුකූලතාව දැක් වූ චතුරගේ මවුපියන් කුඩා චතුර සමඟ එහි විසූහ. කුඩා කල පටන් මුත්තණුවන්ගේ සමීපයේ රැඳෙමින් වෙදකම ගැන අයනු ආයනු කියවීමට වරම් ලැබූ චතුර එය ඉතා ආසාවෙන් උගත්තේය. පාසල් විය එළඹෙන විට මවුපියන් සමඟ මහරගම පමුණුවට පැමිණි චතුර, මහරගම විද්‍යාකර විද්‍යාලයට ඇතුළත් විය. උසස් පෙළට වාණිජ අංශයෙන් පෙනී සිටි හෙතෙම ඉන් සමත් විය. චතුරට වයස අවුරුදු 18ක් ඉක්ම යන තැන ඔහුගේ පියා මෙලොව හැර ගියේය. ඉන් අනතුරුව චතුර වැඩිදුර අධ්‍යාපනය සහ රැකියාවක් සඳහා ජපානය බලා පිටත්ව ගියේය. වසර හයකට පසුව නැවත මෙරටට පැමිණි හෙතෙම පසුව රුසියාව බලා පිටත් විය. වසර කිහිපයකට පසු නැවත ලංකාවට පැමිණි ඔහු පූර්ණකාලීනව වෙදකමට යොමු විය.

ඇස් රෝග හට ගැනීමට මූලික හේතු පිළිබඳව පැහැදිලි කරමින් පාරම්පරික දේශීය වෛද්‍ය චතුර ජයසේකර කතාවට මුල පිරුවා. “ඇස් රෝග හට ගැනීමට පසුබිම සැකසෙන්නේ ගර්භිණී සමයේදී. අතීතයේ තරුණියක හා තරුණයකු විවාහ වීමට ප්‍රථම ඔවුන් ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වුණා. සාමාන්‍ය‍ෙයන් අපි ගන්නා ආහාරය ජීර්ණය වෙලා පසුදා අසූචි පිට වුණාට; එය රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජස්, ශුක්‍ර කියලා කොටස් හතකින් තමයි ජීර්ණය වෙන්නේ; ඒ සඳහා එක කොටසකට 7 බැගින් දින 49ක් ගතවෙනවා. ඒ නිසා විවාහයට දින 49ට පෙර තමන් ගන්නා ආහාරපාන මොනවාද යන්න ඔවුන් තීරණය කළා. වැඩිහිටියන් ඒ සඳහා අවශ්‍ය ආහාර පිළියෙල කර දුන්නා. ඒ නීරෝගීමත් දරුවකු පිළිසිඳ ගැනීම අරමුණු කරගෙන. නමුත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. අද විවාහ වෙන්න කලින් දවසේ ඉඳන් නිදි වරනවා. හරියට කෑමක් බීමක් නැහැ. විවිධ විෂ සහිත ආලේපන මුහුණේ ඇඟපතේ තවර ගන්නවා. බොහෝවිට ගන්නේ කෙටි ආහාරපාන. මේ දේවල් පිළිබඳ වර්තමාන පරම්පරාව දැනුම්වත් වෙන්න ඕන. ආවට ගියාට මවුපියන් වෙන්න බැහැ. තමන්ට නීරෝගී දරුවකු ඕන නම් මේ දේවල් ගැන වැටහීමක් තිබෙන්න ඕන.”

ඔහු වැඩිදුරටත් පැහැදිලි කළ පරිදි සාමාන්‍යයෙන් මොළය වර්ධනය වීම ආරම්භ වන්නේ කලල අවස්ථාවේදී වන අතර එය පූර්ව මොළය, මධ්‍ය මොළය හා අපර මොළය ලෙස කොටස් තුනකට බෙදේ. මේ අතරින් මධ්‍ය මොළය පෙනීම සඳහා වැදගත් කාර්යයක් ඉටු කරන අතර, එය කොටස් දෙකකින් සමන්විතය. ඒ රතු න්‍යෂ්ටිය හා සිව් බිඩි දේහය වශයෙනි. ගැබ් ගෙන මාස තුනේදී පමණ මෙම කොටස් වර්ධනය වීම ආරම්භ වේ. ඇසේ පෙනීම ලබා දෙන දෘෂ්ටිය සම්බන්ධ වන්නේ මේ රතු න්‍යෂ්ටිය හා සිව් බිඩි දේහය යන ස්නායු දෙකටය. මෙම ස්නායු දෙක මොළය පිටුපස තිබෙන අපර කපාල කණ්ඩයට සම්බන්ධ වේ. එමඟින් පෙනීම ලබාදෙන අතර දරුවකුගේ පෙනීම තීරණය වන්නේ මේ කාලයේදීය. මේ නිසා විවාහයට ප්‍රථම මව විසින් ගන්නා ආහාර පාන වර්ග පමණක් නොව ඇයට ඇතිවන මානසික සංකූලතා සහ වෙනත් රෝග සඳහා ලබා ගන්නා බෙහෙත් වර්ග ද දරුවාගේ පෙනීම සඳහා බලපායි. එමෙන්ම දරුවා ඉපදී පළමු පැය බාගය ඇතුළත මවු කිරි ලබා දීම ද අනිවාර්ය වේ. අපර කපාල කණ්ඩයට අවශ්‍ය සීනි නැතහොත් ග්ලුකෝස් ප්‍රමාණය ලැබෙන්නේ එලෙස ලබා දෙන මවු කිරිවලිනි. ඒ මොහොතේදී මවු කිරි නොලැබී ගියහොත් දෘෂ්ටි මණ්ඩලයේ විවිධ සංකූලතා හට ගනී. මිනිස් සිරුර නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වීමට නම් නොකඩවා මියෙන තුරුම ඔක්සිජන් හා සීනි නැතහොත් ග්ලුකොස් මොළය ඇතුළු සියලුම පටක සඳහා ලැබිය යුතුය. එය එසේ නොවන්නේ කුමන මොහොතකද ඒ මොහොතේ සිට අපට නීරෝගී පුද්ගලයකු හමු නොවේ. අද බොහෝ දරුවන් කූඩා කාලයේ සිටම ඇස් කන්නාඩි පලඳින්නේ මේ පිළිබඳ ඒ දරුවන්ගේ මවුවරුන් දැනුම්වත් වී නැති බැවිනි.

“ඉස්සර මේ රටේ මේ තරම් ඇස් රෝග තිබුණේ නැහැ. මේ වෙද්දි පුංචි දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා බොහෝ දෙනා ඇස් කන්නාඩි පලඳිනවා. මේ සඳහා වැඩි පුරම බලපා තිබෙන්නේ නූතන තාක්ෂණික උපකරණයි. විශේෂයෙන්ම ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප් සහ පරිගණක වැනි උපාංග නිසා මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා. අද දරුවන්ට කවන්නේ පොවන්නෙ නළවන්නෙත් ජංගම දුරකථනයෙන්. යූටියුබයේ ඇති විවිධ වැඩසටහන් පෙන්වමින්. එය අපේ ඇස්වලට එතරම් හොඳ දෙයක් නොවෙයි.

අතීතයේදී මිනිසුන් අතර ඇස් රෝග හරිම අඩුයි. එහෙම දෙයක් හැදෙනවා කියන්නේ ඉතාම දරුණු තත්ත්වයක්. ඒ කාලේ රෝගය හඳුනා ගන්නේ දරුණු අවස්ථාවට පැමිණියාට පසුවයි. උදාහරණයක් හැටියට කාචය නැමැති රෝගය පෙන්වා දෙන්න පුළුවන්. මේ රෝගයේ දෝෂ තිබෙන තැන් පහක් තියෙනවා. ඇසේ උඩ කොටස දෝෂය ඇති වුණාම දුර පේන්නේ නෑ. ඇසේ පැත්තක දෝෂය ඇති වුණාම ඒ පැත්ත පේන්නේ නෑ. ඇසේ යට කොටසේ දෝෂය ඇති වුණාම ළඟ පෙන්නේ නෑ. ඇස් මැද්දේ දෝෂය ඇති වුණාම කුඩා දේ විශාල වෙලා පේනවා. ඒ වගේම ඇසේ හරස් අතට තැන්පත් වුණාම රූප දෙක වෙලා පේන්න ගන්නවා. මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ ඇසේ රෝග ලක්ෂණ හඳුනා ගැනීමට කල්ගතවීම නිසයි. ඒ විදියට උත්සන්න වුණාම ඇහැට වේදනාව දැනෙන්න පටන් ගන්නවා. ඇස තුළ පටල හයක් තියෙනවා, ඉන් තුන් වැනි පටලයේ තැන්පත් වුණාම තමයි ඉහතින් කියපු කාචය කියන රෝගී තත්ත්වය ඇති වන්නේ.

අනෙක් රෝගී තත්ත්වය තමයි ග්ලූකෝමා ( නීල කාච) රෝගී තත්ත්වය. මෙය බොහොම කලාතුරකින් ඇතිවෙන රෝගී තත්ත්වයක්. මෙය කාචය කියන රෝගී තත්ත්වය සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී පවතිනවා. මෙහි රෝග ලක්ෂණ වන්නේ ඇසේ සහ හිසේ දරුණු වේදනාවක් ඇති වීම, ඇසින් රැස් විහිදෙනවා මෙන් දැකීම, ඇස රතු වීම ආදියයි. මීට හේතු වන්නේ අයිරිස් නම් මාංශ පේශී විනාශ වීම නිසා ඇතිවෙන තත්ත්වයයි. මෙහිදී රෝගියාට රෝගය උත්සන්න වන තෙක් දැනෙන්නෙ නැහැ. මුලින්ම එක ඇසකට එනවා. කලාතුරකින් ඇස් දෙකටම එන්න පුළුවන්. හොඳම දේ වන්නේ අපි කලින් සඳහන් කළ මුලික රෝග ලක්ෂණ දැනුණු විගස ප්‍රතිකාර ගැනීමයි.

ඒ වගේම ග්ලුකෝමා රෝගී තත්ත්වය ඇති වීමට අපි නොහිතන හේතුත් බලපාන්න පුළුවන්. උදාහරණයකට කිසියම් අනතුරක් නිසා හිසේ ඇති වූ තද තැල්මක් මේ සඳහා බලපෑ හැකියි. එය වසර දහයකට පහළොවකට පෙර ඇති වූ තැල්මක් විය හැකියි. එවැනි තත්ත්වයකදී රෝගය විනිශ්චය කිරීමේදී එය නිවැරදිව තේරුම් ගත යුතුයි. ඒ අනුව එම තැල්මට පළමුව ප්‍රතිකාර කර, අනතුරුව ඇස් දෙකට ප්‍රතිකාර කළ යුතුයි.

කාචය කියන රෝගී තත්ත්වය වර්ධනය වීමත් සමඟ ග්ලුකෝමාව ඇති වන බව අප කලින් පෙන්වා දුන්නා. මේ ග්ලුකෝමා තත්ත්වයෙන් අනතුරුවයි ලිංගනාශය කියන රෝගී තත්ත්වය ඇති වන්නේ. එය ඉතාම බරපතළ තත්ත්වයක්. ඒ තත්ත්වයේදී සමහරුන්ට කැරකි කැරකි රූප පේනවා. සමහර අයට ලොකු වස්තු කුඩා වී පෙනෙනවා. කුඩා වස්තු ලොකු වී පෙනෙනවා. කෙළින් ඉරක් දිහා බැලුවම ඉර කෙළින් පෙන්නේ නැහැ, කැඩි කැඩී තිබෙන ආකාරයටයි පෙනෙන්නේ. ඇහැ ඉදිරියෙන් පෙනෙන්නේ නැහැ. කෙළවරවලින් පමණයි පෙනෙන්නේ. මෙය ආරම්භ වන්නේ ඇසේ සුද මතුවීමෙන්. ඇහේ සුද එන ක්‍රම කිහිපයක් තිබෙනවා. උපතින් සුද එන රෝගයකුත් තිබෙනවා. තැල්මෙන් එන එකකුත් තිබෙනවා. ඇහැ අධික රස්නයට නිරාවරණය වීම නිසා එන එකකුත් තිබෙනවා. අධික ශීතල නිසා එන තත්ත්වයකුත් තිබෙනවා. ඒ වගේම දියවැඩියාව නිසා එන එකකුත් තියෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. දියවැඩියාව 2 වැනි වර්ගය කියන තත්ත්වයට ඇවිත් ඇහේ සුද මතු වුණොත් කොස්, දෙල්, පොළොස්, මඤ්ඤොක්කා, ඌරු මස්, හරක් මස්, වැව් මාළු,මෝර මාළු කන්න හොඳ නැහැ.

අර්ම හෙවත් මස් දළු ඇතිවෙන තත්ත්වයේදී ස්වේත මණ්ඩලය මුල්කරගෙන හට ගන්නා රෝග එකොළහක් තිබේ. ඒ ප්‍රස්තාරී, ගුක්ල,රක්ත,අධිමා, ස්නායු, ගුත්ති, අර්ජන්, පිෂ්ටක, ජාල, ශිරාජ, බලනා යන අර්ම ලෙසටයි. මේ සඳහා ප්‍රතිකාර ලබාදීමේදී මුලින්ම ත්‍රි දෝෂ සමනය කළ යුතුය. එහිදී ප්‍රධාන වශයෙන් ඇසට බෙහෙත් දැමීම මඟින් මස් දළු සුව කළ හැකි අතර පාරම්පරික දේශීය වෙදකම අනුව වදමල් නටුවෙන් මස් දළු කැපීම මඟින් ද රෝගියා සුවපත් කරයි. මෙහිදී රෝගියා සුදුසු අසුනක හිඳුවා ඇස ඇරගෙන සිටීමට සලස්වා වදමල් නටුවක් ගෙන අර්මය පිරිමැදීම කළ යුතුය. මෙය කෘෂ්ණ මණ්ඩලයට හානි නොවන ආකාරයට ඉතා සියුම්ව කළ යුතුය. නැතහොත් මීට වඩා දරුණු ප්‍රතිළුල ඇති විය හැකිය. දින කිහිපයක් මෙලෙස සියුම්ව වද මල් නටුවෙන් කැපූ පසු සෑම දිනකම නාලිකාරඤ්ජන නම් ඖෂධය ගැල්විය යුතුය. මෙමඟින් ඉතා කෙටි කාලයක් තුළ අර්ම හෙවත් මස් දළු රෝගය සුව කළ හැකිය.

“වසර පන්දාහකට වඩා පැරණි අපේ හෙළ වෙදකම පිළිබඳව අද අපට අගයක් නැහැ. එදා ළිඳක් ළඟ නාන ගමන් කකුළ අතුල්ලන්න කළු ගලක් තිබුණා. ඒක අපි ඇතිල්ලුවේ කුණු යන්න විතරක් නෙමෙයි; ස්නායු සන්තර්පණය කරන්න. දවස ගානේ මේ විදියට ස්නායු සන්තර්පණය වෙනකොට ඉහෙන් බහින ලෙඩක් හැදුණේ නැහැ. අපි ගිය වැසිකිළිය බලන්න; ඇන තියාගෙන තමයි අපි වැසිකිළියට ගියේ. අද එහෙම ඇන තියාගෙන වාඩිවෙන්න පුළුවන්ද? එහෙම වාඩිවෙලා යද්දි මළබද්දය නැති වුණා. මාංශ පේශි ශක්තිමත් වුණා. එහෙම දවසට විනාඩි පහක් දහයක් ඉන්න පුළුවන් නම් ගොඩක් රෝගවලට අත්දුටු ඔසුවක්. මම ජපානයේ ඉන්න කාලේ ඔවුන්ගේ තරුපහේ හෝටල්වලට ගියාමත් දැක්කේ; ඇන තියන් වාඩිවෙන වැසිකිළි කොමඩ් එක දී තිබුණේ නැමෙන්න අමාරු ආබාධිත අය සඳහා. දැන් අපි යන්නේ මොන වැසිකිළියටද, ආබාධිතයන්ගෙ එකට. අපි හිතන් ඉන්නේ අරක ගොඩේ එක,මේක පොෂ් කියලා. ඇත්ත නම් ඒකේ අනික් පැත්ත

බොහෝ දෙනකු මට දැන් හතළිස් ඇඳිරිය; හැට ඇඳිරිය යැයි කියනවා. යම් වයස් මට්ටම්වලදී ඇස් පෙනීමේ යම් දුර්වලතා නොයෙක් හේතු නිසා ඇති වෙන්න පුළුවන්. මේ නිසා ළඟ හා දුර නොපෙනීම ඇති වෙන්න පුළුවන්. එලෙස නොපෙනීමේ ලක්ෂණ පැමිණි විගස ප්‍රතිකාර කිරීම තුළින් නැවත ඇස් පෙනීම ලබා ගන්න පුළුවන්. එවිට කන්නාඩි පැලඳීමට හෝ කාච පැලඳීම අවශ්‍ය වෙන්නේ නෑ. කන්නාඩි පැලඳීම ප්‍රතිකාරයක් කියලායි හුඟ දෙනෙක් විශ්වාස කරන්නේ. ඒක කාලයක් පලඳින විට ඇස් පෙනීම සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා කියලා බොහෝදෙනා සිතනවා. ඒක අමූලික බොරුවක්. රෝගයක් නම් ඊට නිසි ප්‍රතිකාර කළ යුතුය. කන්නාඩි දැම්මා කියා රෝගය සුව වන්නේ නැහැ. රෝගය සුව නොකර කන්නාඩි දැම්මොත් මියයන තුරුම කන්නාඩි පලඳින්න වෙනවා.

ඇස් පෙනීම දුර්වල වීමට හේතු හැටියට නව තාක්ෂණ උපාංග වගේම විෂ සහිත ආහාර, මත්පැන්, දුම්බීම, අව් වැසිවල තත්ත්වය, අධික වෙහෙස, හිස තැළීම, අනතුරකදී අධික ලෙස හිස ගැස්සීම, දුක්වීම, දහවල් කාලයේ නිදා ගැනීම හා රාත්‍රියට අධිකව නිදිවැරීම, තද අව්වේ ඇවිත් තද සීතල ජලය නෑම, සීතල හා රස්නය සහිත වතුර පානය, ඇසට ගිනි රස්නය වැදීම සහ අධික කාම සේවනය වැනි කරුණු මේ සඳහා බලපානවා. මෙවැනි දේ තුළින් උදරයේ උඩ කොටසේ නහර හා ශිරා අවහිරතා ඇති වෙනවා. මේ ස්ථාන ඇසේ ස්නායු හා බැඳී පවතිනවා. ඒ තුළින් වාතය, පිත, සෙම්, ලේ කියන දෝෂ කාරක වස්තු අක්ෂිතලය මත රැඳෙනවා. එමඟින් විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙනවා.

ඇස් වෙදකම සඳහා අපි යොදා ගන්නේ අපේ පාරමිපරික වෙදකම මඟින් උරුම කර දී ඇති ඖෂධ. මේවා සකස් කර ගන්නේ අපිමයි. මේ බෙහෙත් ගල්වන්නේ අත් දෙකට හා පාදවල මහපට ඇඟිලිවලට. මෙහිදී එක අතකට නැත්නම් අත්දෙකට හෝ පාදවල මහපට ඇඟිලිවලට රෝග තත්ත්වය අනුව බෙහෙතේ බඳිනවා. දිනපතා පැය හතරක් තමන්ට පහසු විදියට පැමිණ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. රැකියා කරන අය රාත්‍රියේ නින්දට යනවිට අප ලබා දෙන ප්‍රතිකාර කළාට ගැටලුවක් නැහැ. ප්‍රතිකාර ලබා දීමේදී රෝගියාගේ කේන්ද්‍රය පරීක්ෂා කර බැලෙනවා. එය රෝගියාට ඖෂධ ලබා දීමේදී ඉතාම වැදගත් වෙනවා. ඇතැමුන්ගේ ග්‍රහ පිහිටීම අනුව සම්පූර්ණ සුවය නොලැබෙන අවස්ථා මතු වෙනවා. එහිදී ඔවුන්ගේ වැඩ කටයුතු කර ගැනීමට හැකි පරිදි වර්ණ හා ආලෝක හඳුනා ගැනීමට හැකි තත්ත්වයට ප්‍රතිකාර මඟින් සුවය සලසා දෙනවා.”

ඔබත් අක්ෂි රෝගයකින් පෙළෙන්නේ නම් සතියේ දිනවල සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 8.30 සිට සවස 4.00 දක්වාත්, ඉරිදා සවස 3.00 සිට 5.00 දක්වාත් වෙද මහතා හමුවිය හැකිය. (මත්තේගොඩ ඇල්ෆා නිෂ්පාදනාගාරය පසුකර මීටර් දහයක් පමණ ගිය තැන සහන ප්‍රතිකාර මධ්‍යස්ථානය හමුවේ. මීට අමතරව මහරගම පමුණුව පාරේ සහන ඔසු මධ්‍යස්ථානයේදීද, ගම්පහ, වැලිවේරිය කිරිඳිවැල සිද්ධමුල්ල යන ස්ථානවලදී ද වෙද මහතා හමුවිය හැකිය.)

ඡායාරූප - රුක්මාල් ගමගේ

 

Comments