මහ රෑ සූර් සාද­ය­කදී තඹු­ත්තේ­ගම කෝටි දෙකේ කොල්ලය සැල­සුම් කළ හැටි | සිළුමිණ

මහ රෑ සූර් සාද­ය­කදී තඹු­ත්තේ­ගම කෝටි දෙකේ කොල්ලය සැල­සුම් කළ හැටි

නොනිදන නගරයක් බවට පරිවර්තනය වෙමින් ඇති තඹුත්තේගම සිටින ව්‍යාපාරිකයන් අතර ලසන්ත ගුණවර්ධනට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. ව්‍යාපාරික පවුලකින් පැවත එන තරුණයෙක් වන ලසන්ත ගුණවර්ධනට අද ඇත්තේ සිය පියාගෙන් උරුම වූ “ගුණවර්ධන ස්ටෝර්ස්“ වෙ‍ෙළඳ ව්‍යාපාරය පමණක් නොව ආර්ථික මධ්‍යස්ථානයේද තොග වෙළෙඳ ව්‍යාපාරයක් හිමිකරගෙන ඇත්තේ සිය ව්‍යාපාර පුළුල් කරමිනි. ලසන්ත ගුණවර්ධනගේ ව්‍යාපාරයන්ට ලොකු හයියක් වූයේ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකි. ඔහු සිය ව්‍යාපාරික ගනුදෙනු සියල්ලක්ම පාහේ සිදුකරනු ලැබුවේ එම බැංකුව සමඟිනි.

 

එදා සැප්තැම්බර් 26 වෙනිදාය. වේලාව සවස 2.00ට පමණ ඇත. ලසන්ත දියාලාගම හන්දියේ පිහිටි සිය ව්‍යාපාරික ස්ථානයේ සිට එළියට බසින්නේ කළු පැහැති ඉටි මලු දෙකක පුරවා ගත් නෝට්ටු තොගයක් රැගෙනය. එම නෝට්ටු පිරවූ මලු දෙක ඔහු සුපුරුදු ලෙස සිය මෝටර් රථයේ පසුපස අසුනේ තබා මෝටර් රථයට ගොඩ වූයේ බැංකුව වෙත ගමන් කිරීමේ සූදානමිනි.

මෝටර් රථය බැංකුවට ඇතුළු වන දොර අසල සුපුරුදු ලෙස නතර කරන විට වේලාව සවස 2 යි මිනිත්තු 04 ට පමණ ඇත. බැංකුව ඉදිරිපිට මෝටර් රථය නතර කරනවාත් සමඟ එතැනට දිව එන්නේ බැංකු ආරක්ෂකයාය. ඒ ලසන්න රැගෙන ආ මුදල් පාර්සලය රැගෙන බැංකුව තුළට යන්නටය. බැංකු ආරක්ෂකයා මෝටර් රථය අසලට පැමිණිමත් සමඟ ලසන්ත සුපුරුදු ලෙස මෝටර් රථයේ අගුල් ඉවත් කරනුයේ බැංකු ආරක්ෂකයාට එහි පිටුපස පැති දොර විවරකර එහි ඇති මුදල් පිරවූ බෑග් දෙක ගැනීමටය. බැංකු ආරක්ෂකයාද ඒ සැණින් පැති දොර විවර කර ඒ තුළට සිය සිරුර රිංගවා මුදල් පාර්සල් දෙක අතට ගන්නවාත් සමඟ ප්‍රතිවිරුද්ධ දෙසින් වේගයෙන් පැමිණි අංක තහඩු නොමැති යතුරු පැදියක් එකවරම නතර කරනුයේ මෝටර් රථයේ පිටුපසට කිට්ටු වන්නටය. එහි සිටි දෙදෙනාම අත්වැසුම් දමා හඳුනා ගැනීමට නොහැකි වන ලෙස මුහුණු මුළුමනින්ම ආවරණය වන ලෙස හිස් වැසුම් පැලඳගෙන සිටියේය.

යතුරු පැදිය නතර කරනවාත් සමඟ පා පැදිකරු බිමට පැන මෝටර් රථයේ රියදුරු අසුන පැත්තට දිව එන්නට වූයේ බෝර 12 වර්ගයේ ගිනි අවියක්ද අතැතිවය. රියදුරු අසුනේ සිටි ලසන්ත දෙසට ගිනි අවිය මානමින් “ දීපන් සල්ලි බෑග් එක“ යැයි කියා ඔහු කෑමොර දුන්නේය. ලසන්න ඒ වන විටත් සිටියේ මෝටර් රථයෙන් එළියට බසිමිනි. තමා දෙසට ගිනි අවිය මානගෙන සිටි පුද්ලයාව තල්ලු කරගෙන එකවරම ඔහු දිව යන්නේ බැංකුව ඇතුළටය. ඒත් එක්කම බැංකු ආරක්ෂකයාද මෝටර් රථයෙන් බැස ලසන්ත පස්සෙන් බැංකුව තුළට දිව යන්නේ අතට ගත් මුදල් බෑග් දෙකම අතහැර දමාය.

ගිනි අවිය අතැතිව සිටි පුද්ගලයා එය බැංකුව දෙසට මානමින් කිසිවකුටත් පිටතට එන්නට ඉඩ නොදී රැකවරණය දෙන විට ඔහු සමඟ පැමිණි සඟයා මෝටර් රථයේ පැති දොරින් රිංගා මුදල් පාර්සල් දෙක අතට ගෙන දිව යන්නේ යතුරු පැදිය වෙතය. එම බෑග් දෙක ඔහු යතුරු පැදියේ පසුපස අසුනේ තැබුවේය. එවිට නොට්ටු මිටි කිහිපයක් බිම වැටෙන්නට වූයේ අනපේක්ෂිත ලෙසිනි. එම නෝට්ටු ඇහිදිමින් කොල්ලකරු නැවත බෑගයට පුරවමින් සිටියදී ඔය අසලින් ගමන් කරමින් සිටින්නේ තඹුත්තේගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් බුද්ධික කුමාරය. එහිදී ඔහුගේ නෙත අහඹු ලෙස ගැටෙන්නේ බිම වැටී ඇති මුදල් තොගයක් අහුලමින් සිටි ඒ කොල්ලකරු වෙතය. ඒ එක්කම කාන්තාවක් කෑගසාගෙන බුද්ධික ඉදිරියට දිව එන්නට වූයේ “බැංකුව කොල්ල කනවා“ යැයි කියා ගෙනය.

ඒත් එක්කම බුද්ධික සිය යතුරු පැදියේ වේගය වැඩි කරමින් එතැනට කඩා පැන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපටයක දසුන් පෙළක් සිහි ගන්වමිනි. බුද්ධික ඒ ආ වේගයෙන්ම යතුරු පැදිය බිම පෙරළා ගෙනම ඉදිරියට පැන්නේය. ඒ වන විටත් මුදල් අහුලමින් සිටි කොල්ලකරු ඈත තියාම බුද්ධික එනඅයුරු දැක වැටී තිබුණු මුදල් ඇහිළීම පසෙකලා යතුරු පැදියට ගොඩ වී එය පණ ගන්වා සිටියේ ගිනි අවිය අතැතිව තමාට ආරක්ෂාව ලබා දෙමින් සිටි සඟයා පැමිණෙන තුරුය. බුද්ධික සිය යතුරු පැදිය අතහැර පනිනවාත් සමඟ ඔහුගේ ඉදිරියට මුණ ගැසෙන්නේ ගිනි අවිය අතැතිව සිටි කොල්ලකරුය. මඟ හරස් කළ බුද්ධික ඔහුට පලා යන්නට ඉඩ නොතබිමින් පොඩි සෙල්ලමක් දැම්මේය. ඒත් එක්කම කොල්ලකරු ඔහු අත වූ ගිනි අවිය එල්ල කරන්නේ බුද්ධිකගේ පපුවටය. ඒත් එක්කම කොල්ලකරු ගිනි අවියේ කොකා ගැස්සුවේය. ඒ බව බුද්ධිකට හොඳින්ම දැනුණේය. ඒත් එක්කම බුද්ධික තිගැස්සී ගියේය. හැබැයි කොකා ගැස්සුවත් ගිනි අවියෙන් උණ්ඩය පිටවූයේ නම් නැත. ඒ බුද්ධිකගේ වාසනාවටය. එසේ නොවුණි නම් මේ කතාව ලියැවෙන්නේ වෙනත් විදිහකටය.

ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් කොල්ලකරු එසැණින් යතුරු පැදියට ගොඩවී පලා යන්නට වූයේ වේගයෙනි. එහෙත් ඔහුට මීටර් දහය පහළොවකට වඩා නිදහසේ යන්නට බුද්ධික ඉඩ දුන්නේ නැත. පාද දෙකට වෙර යොදා කොල්ල කරුවන් පලායන යතුරු පැදිය පස්සේ ඔහු දිව යන්නට වූයේ විදුලි වේගයෙනි. යතුරු පැදිය පස්සෙන් ගිය ඔහු එහි එල්ලෙන්නේ යතුරු පැදිය ද වේගයෙන් ධාවනය වෙමින් තිබියදීය. ඒ කොල්ලකරුවන් දෙදෙනාව සිය දෑතින්ම බදාගෙනය. ඒත් එක්කම යතුරු පැදියත් සමඟ ඔවුන් තිදෙනාම ඇද වැටෙන්නේ මහා පාරේය. ඒ යැයි කියා බුද්ධික ඔවුන් දෙදෙනාව අතහැරියේ නැත. තදින්ම අල්ලා ගෙන සිටියේ ඔවුන්ගේ ඇඟ මතද නැඟීය.

බැංකුවෙන් ලබාදුන් දුරකතන ඇමතුමට අනුව ඒ වන විටත් තඹුත්තේගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණෙමින් සිටියේය. එහෙත් ඒ අය එනවිට බුද්ධික මුදල් ටිකත් බේරාගෙන කොල්ලකරුවන් දෙදෙනාවත් මෙල්ල කර හමාරය.

“කීයක් විතර සල්ලි තිබ්බද? “ ලසන්තව වටකරමින් ඔය අතරේ බොහෝ අය අසන්නට ගත්තේය.

“ලක්ෂ 50ක්“ යැයි ලසන්ත ඒ හැමෝටම කීවේය.

හැබැයි ලසන්ත ඒ කියා තිබුණේ සැබෑවක් නම් නොවීය. ඇත්ත ගාන ඔහු කීවේ පොලීසියේදීය.

“සර් ඔතන ලක්ෂ 223ක් තියෙනවා“

“ සර් එතැන ගොඩක් අය වටවෙලා හිටියා. ඒ නිසා මම බය වුණා ඇත්ත ගාණ කියන්න“ කොල්ල කෑ මුදල ලක්ෂ 50ක් යැයි කියන්නට මුල් වූ කාරණාව පොලිස් ස්ථානාධිපති හමුවේ ඔහු හෙළි කළේ එසේය.

එය එතැනින් හමාර වූයේ නැත. උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර යන අයගෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ජේ. අතුකෝරාලට උපදෙස් ගොන්නක්ම ලැබුණේය. ඒ අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී විමලසේන, සැරයන්වරුන් වන ජයසිංහ, කුමාර, කොස්තාපල්වරුන් වන උදාර, චරිත්, ජයතිලක සහ දිසානායක යන නිලධාරීන් සමඟ එක්වන අතුකෝරාල ඒ ගැන ප්‍රශ්න කරන්නට ගන්නේ අල්ලා ගත් කොල්ලකරුවන් දෙදෙනාගෙනි.

මේ එක් කොල්ලකරුවෙක් එකී බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකි. ඒ වන විට ඔහු බැංකුවේ ආරක්ෂක සේවයට පැමිණ මාසයක් දෙකක් නැති තරම්ය. දෙදරු පියෙක් වූ ඔහු පදිංචිව සිටියේ කළුන්දෑගමය. යුද හමුදා සේවයේ නිරතව සිටියෙක්ද වන අජන්ත ඒ වන විට සිටියේ හමුදා සේවයෙන් විශ්‍රාම ගෙනය.

බෝර 12 වර්ගයේ ගිනි අවියක් අතැතිව වැඩ ගොඩක් පෙන්වූ අනෙකා බ්‍රහක්මන ගම 03 කණුවේ පදිංචිකරුවෙකි. 50 වියැති ඔහු සුසිල් කුමාරය. නමුත් තඹුත්තේගම පැත්තේ බොහෝ දෙනෙක් ඔහුව දැන හඳුනන්නේ ජොවා යැයි කී විටය. වැලි සහ පස් ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටින ඔහු කලකට පෙර නම් දරා සිටියේ මංකොල්ලකෑම් සහ අපරාධ සම්බන්ධයෙනි. මෙම මුදල් කොල්ලයේ බොහෝ සැලසුම් දියත් වී තිබුණේ ඔහුගේ නිවසේදීය. රැගෙන ආ ගිනි අවිය පවා ජොහාගේය.

මෙම කොල්ලය පිටුපස සිටි සැඟවුණු චරිතයක් එළියට එන්නේ අජන්තත් ජොහාත් කොල්ලයට පැමිණි යතුරු පැදියේ හිමිකරු සොයා යාමේදීය. එම යතුරු පැදිය ඔවුන්ට දී තිබුණේ එම සැඟවුණු චරිතය විසිනි. ඔහු රාජංගණය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි. රාජාංගණයේ නවසිරිගම පදිංචිකරුවෙක් වූ ඔහු නමින් සුරංග මහේෂ් සූරියආරච්චිය. ප්‍රාදේශීය සභාවේ පාරවල් බෝක්කු ඉදිකරන කොන්ත්‍රාත් ලබා ගනිමින් අද ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටින මෙම මන්ත්‍රීවරයා එදා රෑම පොලිසිය අත්අඩංගුවට ගත්තේ පලා ගොස් සැඟවෙන්නට කිසිදු ඉඩක් නොතබමිනි.

රැල්ලට මන්ත්‍රීවරයෙක් වූ සුරංගව පොලිසිය හඳුනාගත්තේ මෙම කොල්ලයේ මහ මොළයක් ලෙසිනි. මෙම කොල්ලය සැලසුම් කෙරුණේ යැයි කියැවෙන්නේ මේ තිදෙනා කන බොන තැනකදීය. ඉක්මනින්ම පොහොසත් වන්නට ක්‍රමයක් සොයමින් සිටි ඔවුන් තිදෙනා අවසානයේදී තීරණය කරනුයේ බැංකුවක් කොල්ල කන්නටය. එය එතරම් පහසු කටයුත්තක් නොවූ බැවින් ඔවුන් සිතන්නේ බැංකුවට මුදල් රැගෙන එන ව්‍යාපාරිකයෙක් අල්ලා කොල්ල කන්නට ය. ඒ සඳහා සුදුසු පුද්ගලයා කවුරුන්දැයි තෝරා ගැනීමේ වගකීම පැවරෙන්නේ බැංකු ආරක්ෂකයා වූ අජන්තටය. ඒ සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා ගුණවර්ධන ස්ටෝර්ස් අධිපතිවරයා බව අජන්ත තේරුවේය. සති අන්තයකට පසු එළඹෙන මුල්ම දිනයේ ඔහු ලොකු ගාණක් බැංකුවට රැගෙන එන බවද අජන්ත හොඳින්ම දැන සිටියේය.

සියල්ල සැලසුම් කෙරුණේ පොලීසියට කිසි දිනක හසුනොවන්නට වග බලා ගනිමිනි. ඒ සඳහා වෙට්ටු දමමින් වේගයෙන් ධාවනය කළ හැකි යතුරු පැදියක් ලබා දෙන්නේ මන්ත්‍රීවරයාය.

මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ එම යතුරු පැදිය රැගෙන යන්නේ ජොවාය. ඒ ඔහුගේ නිවසටය. යතුරු පැදියේ අංක තහඩු දෙක ගැලවෙන්නේ එහිදීය. අනතුරුව යතුරු පැදියේ බදෙහි සහ රිම්වල කහපැහැති ස්ටිකරයක් අලවන්නේ පොලිසිය නොමග යැවීමේ අපේක්ෂාවෙනි. ඒ මෙම කොල්ලයෙන් පසු පොලීසිය පන්නන්නේ කහපැහැති ස්ටිකරයක් ඇලවූ යතුරු පැදියක් පස්සේ වූ බැවිනි.

එය එතැනින් හමාර වන්නේ නැත. මුදල් කොල්ලකා පලා ගොස් අතරමගදී ඔවුන් යතුරු පැදියේ අලවා ඇති කහ පැහැති ස්ටිකර් ගලවා දමා එය සඟවා වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකට ගොඩවීමටද සැලසුම් කර තිබුණේය. එම රථය ජොවාට අයත් වූවකි. ඔහු එය යම් ස්ථානයක නතර කර තැබුවේ කල්තියා කළ සැලසුමකට අනුවය. යතුරු පැදිය අතහැර එම රථයට ගොඩවන විට හැඳ සිටින ඇඳුම් උනා දමා අලුත් ඇඳුමකින් සැරසෙන්නට පවා ඔවුන් සැලසුම් කරගෙන සිටියේය. ඒ සඳහා සූදානම් කරගත් ඇඳුම් කට්ටලය පවා අත්අඩංගුවට පත්වන විටත් ඔවුන් සතුව තිබුණේය.

ලසන්ත මුදල් රැගෙන බැංකුවට එන යන වේලාවන් ගැන හොඳ අවබෝධයක් බැංකු ආරක්ෂක අජන්තට තිබුණේය. ඒ අනුව ජොවාගේ නිවසේ සිට යතුරු පැදියේ නැඟී ඔවුන් දෙදෙනා තඹුත්තේගම නගරයට එන්නේ සවස 1.40 ට පමණය. ඒ එන විට හීන් අඩියක් ගැසීමට ද ඔවුන් දෙදෙනා අමතක නොකළේය. ඒ හිතට වීරියක් ගන්නටය. ඒ පැමිණි ඔවුන් යතුරු පැදිය බැංකුව පෙනෙන නොපෙනන දුරකින් නතර කරගෙන බලා සිටියේ මුදල් රැගෙන ලසන්ත බැංකුවට පැමිණෙන තුරුය. ලසන්තගේ වාහනය බැංකුවට කිට්ටු වනවාත් සමඟ යතුරු පැදිය පණ ගන්වා ගත් අජන්ත විදුලි වේගයෙන් එතැනට එන්නේ ජොවාව පසුපස තබාගෙනය. ඒ පැමිණි ඔවුන් තප්පර 30ක් තුළ සාර්ථක මුදල් කොල්ලයක් සිදු කළත් එය අසාර්ථක වන්නේ සිය ජීවිත අවධානම ගැන නොතකා එතැනට කඩා වැදුණු සැරයන් බුද්ධික කුමාර ඊළඟ තප්පර 30 තුළ කොල්ලකරුවන්ව සිය ග්‍රහණයට ගත් බැවිනි.
 

කවුද මේ  සැරයන් බුද්ධික

 

බුද්ධික කුමාර සේවය කළේ තඹුත්තේගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේය. සිය පෞද්ගලික යතුරු පැදියට ඉන්ධන පුරවා ගැනීමට ගොස් නැවත පැමිණෙමින් සිටි බුද්ධිකට තමාගේ දෑස් ඉදිරිපිට සිදුවන මංකොල්ලය දැක ගන්නට ලැබිණි. ඔහු සිය ජීවිත අවධානම නොතකමින් කොල්ලකරුවන් අතරට කඩා වදින්නේය.

ඒ ගැන බුද්ධික කුමාර කියන්නේ මෙවනි කතාවකි.

“ඒ වෙලාවේ මම මගේ ආරක්ෂාව ගැන නෙමෙයි බැලුවේ. අනිත් අයගේ ආරක්ෂාවයි. පොලිස් නිලධාරියෙක් හැටියට මට බලාගෙන ඉන්න බැහැ ඒ කොල්ලය සිදු වෙනකම්“ යැයි ද බුද්ධික කියන්නේය.

බුද්ධික කුමාර එතැන ලොකු සටනක් කළේය. කොල්ලකරුවෙක් ඔහුගේ පපුවටම ගිනි අවිය තියා කොකා ගැස්සුවේය. එහෙත් බුද්ධිකගේ වාසනාවට ගිනි අවිය ක්‍රියාත්මක නොවීය.

බුද්ධික යනු පොලීසියේ සොයා ගැනීමට නොහැකි තරමේ දුර්ලභ චරිතයකි. අවංකත්වය ඔහුගේ ජිවිතයේ ලියැවී ඇති ආදර්ශ පාඨයකි. බොහෝ පොලිස් නිලධාරීන් සුඛිත මුදිත ජීවිතයක් ගතකරමින් සිටියදී සිය දරු තිදෙනා සහ බිරිය සමඟ සතුටින් ඔහු පැල්පතක ජීවත් වන්නේ ඒ නිසාය.

බුද්ධිකගේ ඉතිහාසය පිරික්සීමේදී මුළු ජීවිතයම පිරී ඇත්තේ දුක් කම්කටොලු වලිනි. බුද්ධිකගේ උපන් ගම එප්පාවලය. මව්පියන් ගොවීන්ය. සහෝදරයන් පස්දෙනෙක් සහ සහෝදරියකගෙන් යුත් පවුලේ තුන්වැන්නා බුද්ධිකය.

ඔහු 1978 වසරේ මැයි 01 වෙනිදා උපන්නෙකි.

“මගේ තාත්තා ඩී. ඒ. පියසේන, අම්මා ඩබ්ලිව්.ජී. පොඩි හාමිනේ. මගේ තාත්තගේ ආශාවක් තිබුණා මම පොලිස් නිලධාරියෙක් වෙනවා දකින්න. ඒ වෙනකොට අගහිඟකම් බොහෝමයක් තිබුණා. ලොකු කට්ටක් කාලයි ඒ තරමින් වත් ඉගෙන ගත්තේ. තාත්තගේ ආශාව නිසාම මම තීරණය කළා පොලිසියට බැඳෙන්න“ බුද්ධික පවසන්නට විය.

“තාත්තා නැති වෙන්නේ 1998 සැප්තැම්බර් 21 වෙනිදා. තාත්තා නැති වෙනකොට මගේ අතේ සත පහක්වත් නැහැ. අපි ජීවත් වුණු පොල් අතු සෙවිලි කරපු පොඩි පැලේ තාත්තගේ මිනියවත් තියා ගන්න ඉඩක් ඒකේ තිබුණේ නැහැ. ගෙදර යන්න රුපියල් 1000ක් වත් කාගෙන්ද ඉල්ල ගන්නේ කියල හිතා ගන්න බැරිව අසරණ වෙලයි හිටියේ. ඔය වෙලාවේ තමයි අපේ ප්ලැටුන් එකේ හිටපු ටීම් එක එකතු වෙලා මගේ අතට රුපියල් 45,000ක් දුන්නේ. ඒකෙන් තමයි එදා මම තාත්තගේ අවසන් කටයුතු කළේ. එදා ඉදන් මම මේ යුනිෆෝම් එකට පට්ට ආදරෙයි“ මනුෂ්‍යයෙක් ලෙස අද තමා දෙපයින් නැඟී සිටින්නේ පොලිසිය නිසා බව බුද්ධික කියන්නේ අභිමානයෙනි.

2021 ජූලි 31 වෙනිදා සිට අද දක්වාම බුද්ධික සේවයේ නිරතව සිටින්නේ තඹුත්තේගමය. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පැවසුවේ බුද්ධික විසින් පොලීසියේ අභිමානය රැක ගනිමින් කළ ඒ වීර ක්‍රියාව අගයමින් ඔහුව උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස උසස් වීම් ලබා දීමට ක්‍රියා කරන බවය. ඊට අමතරව ඔහුට මුදලින් රුපියල් ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක්ද ලබාදීමට නියමිතය. පොලිස්පති මේ වන විට බලා සිටින්නේ අනුරාධපුරයේ පොලිස් ප්‍රධානීන්ගෙන් එම නිර්දේශ තමා වෙත ලැබෙන තුරුය.

පොලිසියේ අභිමානය රැක දුන් බුද්ධිකට උසස් වීම් සහ ත්‍යාග මුදල් ලබාදීමෙන් පොලිස් දෙපාර්තමේන්තුව සීමා වන්නේ නැත. උතුරු මැද පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් තීරණය කර ඇත්තේ බුද්ධික ජීවත් වෙන එප්පාවල පිහිටි වැඩ නිම නොවූ නිවස අංග සම්පූර්ණ නිවෙසක් බවට පොලිසියේ දායකත්වයෙන් ගොඩ නඟා දීමටය. දැනටමත් ඊට මූලික අඩිතාලම දමා අවසන්ය.

 

 

Comments