අර්බු­ද­යෙන් ගොඩ ඒමට මාන­සික සෞඛ්‍ය යහ­පත්ව පවත්වා ගැනීම වැද­ගත් | සිළුමිණ

අර්බු­ද­යෙන් ගොඩ ඒමට මාන­සික සෞඛ්‍ය යහ­පත්ව පවත්වා ගැනීම වැද­ගත්

ලාංකේය සමස්ත සමාජය වෙළා ගෙන ඇති සමාජ ආර්ථික දේශපාලනික අර්බුදය හමුවේ දැවැන්ත මානසික කැලඹීමක් ජනතාව තුළ ඇතිවී තිබේ. ඕනෑම මිනිසකු ඉපදුණ දවසේ සිටම යම්කිසි ආතති තත්ත්වයකින් පෙළෙයි. එහෙත් සමාජ ආර්ථීක දේශපාලන තත්ත්වයන්ගේ ඇතිවන අවිනිශ්චිතභාවය නිසා මේ ආතති තත්ත්වය වැඩිවෙයි. මිනිසාට යම් ආතතියක් පැවැතීම නිසා වැඩ කිරීමට පෙලඹෙයි. මෙය රෝගයක් නොවෙයි. ආතතිය යනු මානව වර්ගයා තුළ පවතින ආරක්ෂණ යන්ත්‍රණයකි. එසේම මානසික සෞඛ්‍ය යනු රෝගවලින් තොරවීමක් පමණක් නොවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ දැක්වීම අනුව යහපත් සෞඛ්‍ය යනු කායික ශාරිරික මානසික යන සමස්තයේ ම සම්මිශ්‍රණයකි. මේ සමස්තය තුලනය නොවීමට අද පවතින ආර්ථික සමාජීය ප්‍රශ්න බරපතළ ලෙස බලපා තිබේ. පුළුල්ව එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ප්‍රශස්ත මානසික මට්ටමක් අවශ්‍ය වෙයි. එමෙන් ම ජාතික අර්බුදයකදී සාමුහිකව මුහුණදීම වැදගත් වෙයි. අර්බුදයෙන් මිදීමට තනි තනිව පවුල් ඒකක වශයෙන් සාමාජීය සහ ජාතින් ඒකක ලෙස සාමූහිකව කටයුතු කළ යුතුයි. සියලු දෙනාගේ මානසික තුලනය ඇති කිරීමේ සත්කාරයට දායකවීම පාලකයාගේ සිට සියලු සමාජ ස්ථරයන්ගේ වගකීම වෙයි.

මානසික ආතතිය ඇති වූ විට මනසේ ක්‍රියාකාරීත්වය ස්වයංව අප තේරුම් ගත යුතුය. අපෙ රටේ සෞඛ්‍ය සාක්ෂරතාවයෙන් ඉතා පසුගාමි තත්ත්වයක පැවැතීම හමුවේ මානසික රෝග හඳුනා ගන්නේ කෙසේද යන කාරණාව තේරුම් ගැනීම අපහසු වීමට හේතුවකි. අපේ එදිනෙදා ජිවිතයේ හිතන පතන අදහස් ආකල්ප විශ්වාස ඇඳහිලි චරිත ලක්ෂණ හෝ හැසිරීම් රටාව ප්‍රමාණයෙන් ගුණයෙන් වැඩිවිමෙන්,එයින් තමන්ට හෝ වෙනත් කෙනෙකුට එය කරදරයක් වන තත්ත්වයක් ඇති වූ විට යම් මානසික රෝගී තත්ත්වයක් ලෙස එය හැඳින්විය හැකියි. මෙවැනි අවස්ථාවලදී තරහා යෑමක් සිදුවෙයි. තරහා යාම මානසික ආතතියේම එක් කොටසක් ලෙස තේරුම් ගෙන එය දුර්වලයා පිටින් නොයවා සිටිය යුතුයි. තමන්ගේ තරහාවට හේතුව තමා තේරුම් ගත යුතුයි; එයින් මිදීමට වැඩ පිළිවෙළක් සකස් කරගත යුතුයි. තවත් කෙනෙක් පිටින් තමන්ගේ ආවේගය පිට නොවිය යුතු යැයි අවබෝධ කරගත යුතුය. ගැටලු මනසේ හිර කොටගෙන නොසිට පිටතට මුදා හළ යුතුයි. හිතන පතන සියලු චර්යාවන්වල රටාවන් පවති. පුද්ගලයාගෙන් පුද්ගලයාට ආවේණික ප්‍රශ්නවලට මුහුණදීමේ එම රටාවන් වෙනස් වෙයි. මේවා ආරක්ෂණ යන්ත්‍රණයන් වෙයි. එහිදී සමහරුන් කතා කිරිමෙන්, කතා නොකර විඳදරා ගැනීමෙන්, මත් පැනට ගොදුරු වීමෙන්, ආගමික කටයුතුවල යෙදිමෙන් ගැටලු විඳදරා ගැනීමට උත්සහා කරයි.මෙවැනි තත්ත්වයන්වලදී තමන්ට සුදුසුම ක්‍රමය මොකක්ද එය අනුගමනය කළ යුතුයි. ආතතිය වැඩි ඇතැම් පිරිස් ප්‍රචණ්ඩත්වයට යොමුවීම වරදකි. එහිදී අප බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය.

අර්බුද කළමනාකරණය කර ගැනීමට නොහැකියාව මානසික රෝගවලින් කෙළවර වෙයි. අපේ අධ්‍ය­ාපන ක්‍රමවේදයට සහ මාධ්‍යයට මෙහිදී විශාල වගකිමක් ඇත.එනම් සෞඛ්‍ය සාක්ෂරතාව මානසික සෞඛ්‍ය භාවමය සහ සංජානනිය බුද්ධියේ වෙනස පිළිබඳ කතා කිරිමට මෙන්ම ඒවා විධිමත් සහ අවිධිමත් අධ්‍ය­ාපන ක්‍රම දෙක ඇතුළෙම ඇති විය යුතුයි. එසේ ම රටක් ලෙස පාලකයන් සහ සියලු සමාජ ස්ථරයන් එක් තැනකට කේන්ද්‍ර වී අර්බුදයක් විසඳා ගැනීමට හැකි විය යුතුයි. මේ මානසික ගැටලු සහ මානසික රෝග දෙවර්ගයක් වෙයි. සියලුම මානසික රෝගවල ලක්ෂණ සම්බන්ධයෙන් ගත් විට සාමාන්‍ය ජිවිතයේදි අපිට ඇතිවන හැඟීම් අදහස් චර්යාවන්ගේ හැසිරිම් ප්‍රමාණයෙන් සහ ගුණයෙන් වැඩි වන්නේ නම් එය අපට හෝ වෙනත් කෙනෙකුට බලපාන්නේ නම් එය මානසික රෝගී තත්ත්වයක් ලෙස හැඳින්වෙයි. සතුට දුක බය සැක කලබලවීම් සාමාන්‍ය මිනිස් ගති වෙයි. මේ හැඟිම් ප්‍රමාණයෙන් සහ ගුණයෙන් වැඩි වූ විට විෂාදය දක්වා යයි. මේ තත්ත්වයන් දෙක තේරුම්ගත යුතුයි;

වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ සමස්ත ජනගහනයට අඩු වැඩි වශයෙන් බියක් සහ සැකයක් කනස්සල්ලක් සාංකාවක් අවිනිශ්චිතභාවයක් ඇති වී තිබෙයි. මේ හේතුන් මත ඇතිවන මානසික කැලඹිමක් සම්පූර්ණ සාධාරණය වන අතර; මෙය රෝගී තත්ත්වයක් නොවෙයි. ආතතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. මේ ආතතිය ප්‍රමාණයෙන් වැඩිවී දරාගැනීමට නොහැකි තත්ත්වයට පත්වූ විට එය රෝගයක් බවට පත්වෙයි. අපේ බුද්ධියේ වර්ග දෙකක් වෙයි; එනම් භාවමය සහ සංජානනය බුද්ධීයයි. ඕනෑම සිදුවීමක් තුළ ඇතිවන බලපෑම් එයට බලපාන ආකාරය අනුව වෙනස් වෙයි. මේ අවස්ථාවේදී බහුතරයක් ජනතාව යම් පීඩාවකට පත්වී ඇත. එය රෝගයක් නොවෙයි. මානසිකව කඩා වැටුණ විට සියල්ල දකින්නේද අගතිගාමි ලෙස වන අතර ඔවුන්ට බලාපොරොත්තුවක් නැත. මෙසේ ඍණාත්මක අදහස් ඇති වුවහොත් එය අහිතකර ලෙස බලපානු ලබයි. ජාතියට ස්වභාවයෙන්ම ඔරොත්තුදීමේ හැකියාවක් ඇත. මෙහිදී අප පර්යේෂණ කිරීමෙන් ඔප්පු කළ කරුණක් නම්, යම් අගතියකට පත් වු බොහෝ පිරිසක් ඒ තත්ත්වයෙන් මිදීමට යම් යම් ක්‍රමෝපායන අනුගමනය කරයි. එසේම අර්බුදයක් හමුවේ ජාතියක් ලෙස එකමුතු වීම සුනාමි ,කොවිඩ් වැනි ව්‍යසනයන් හිදී අපි දුටුවෙමු. රටේ ජයග්‍රහණයකදී ජනතාව විදී බැසීමත් ව්‍යවසනයකට මුහුණදී නැවත ප්‍රශස්ත මට්ටමකට පැමිණ ප්‍රිතිඝෝෂා පැවැත්වීමත් සුවිශේෂි ලක්ෂණ වෙයි; යථාර්ථවාදිව බැලුවිට බරපතළ අර්බුදයකදී අතිබහුතරය මානසික කඩාවැටිමක් හෝ මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වී නැති බවත් පැහැදිලි කරුණකි. දැනට පවතින අර්බුදය වුවත් යථාර්ථවාදීව තේරුම් ගතහොත් අපට ජාතියක් වශයෙන් මේ අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාවක් ඇත. ඒ සඳහා මානසික සෞඛ්‍ය තත්ත්වය ඉතා වැදගත් වෙයි. මානසික බිඳ වැටුණ අයට ශාරිරික රෝග වැලඳීම වැඩිවන අතර ආසාදන පවා වැඩිවීම ප්‍රතිශක්තිකරණය අඩුවීම සිදුවෙයි.

ඇතැම් අවස්ථාවලදි පවතින අර්බුද හමුවේ පාසල් දරුවාගේ සිට කැලඹිමෙන් සිටිය හැකියි. කලබලකාරි මුරණ්ඩු අකීකරු විය හැකියි; එවැනි අවස්ථාවලදී මිතුරු කණ්ඩායම්වල සහයෝගය අවශ්‍ය වෙයි. අනෙක් සියලු බාහිර පාර්ශ්වයන් විසින් ඔවුන් හුදකලා වී නොමැති බවට මනෝභාවයක් ඇති කළ යුතුයි. මානසික රෝගයක් වර්ධනය වීම වැළකීම සඳහා ගත හැකි මානසික සෞඛ්‍ය ප්‍රථමාධාර විශාල ලෙස ඇත. අප සාධාරණ මානසික කැලඹීමත් මානසික රෝගයත් යන කරුණු දෙක අතර වෙනස වටහා ගත යුතුයි. මානසික රෝගී තත්ත්වයක් ඇතැයි දැනගත් වහාම ඒ අය නිසි වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි.

ඇතැම් විට සතුට දුක තරහා බය සැකය හැඟීම් ප්‍රමාණය ඉක්මවා ගියවිට ඒ පුද්ගලයා අසාමාන්‍ය ලෙස එම හැඟීම් පිට කරන්නේ නම් එය රෝගී තත්ත්වයකට පත්වීමක් ලෙස හැඳින්විය හැකිය. යමකුට බරපතළ හේතුවක් නොමැතිව ප්‍රමාණය ඉක්මවා දුකක් සැකයක් කේන්තියක් වැනි හැඟිම් දැනෙන්නේ නම් එය ඊට පෙර එම පුද්ගලයාගේ නොදැකපු චර්යාවක් නම් එම පුද්ගලයාගේ මානසික මට්ටම වෙනස්වීමක් නම් එය එක්තරා මානසික රෝගි තත්ත්වයකට ඉඟියක් පළ කිරීමක් විය හැකියි. එදිනෙදා වැඩ කටයුතු අතහැරීම, කැලඹුණු හිතක් ඇතිවීම, නින්ද නොයාම ආහාර අරුචිය යන සියලු මේ වෙනස් වීමේ තත්ත්වයන් සති 4හෝ 6 අතර පැවතීම යම් මානසික රෝගී ලක්ෂණයක ආරම්භයක් විය හැකිය. බොහෝ අයගේ මානසික මට්ටම දෝලනය වුවත් මානසික අවපීඩනය ඇති පුද්ගලයන්ට ජිවත් වීමට ඇති කැමැත්ත අඩුවිය හැකියි. දිවි නසා ගැනීමට පෙලෙඹිය හැකියි. යම් කෙනකුට දවස පුරාම මේ දිවිනසා ගැනීම පිළිබඳ හිතෙන්නේ; දිවිනසා ගැනිමට ක්‍රමෝපායන් පිළිබඳ සිතන්නේ නම් ඒ සඳහා සූදානම් වන්නේ නම් එය ක්‍රියාවක් දක්වා වර්ධනය කිරීමට ඇති වැඩි ප්‍රවණතාවයකි. එවැනි තත්ත්වයක් ඇති අය සමඟ විවෘතව අදහස් විමසිය යුතුයි. දිවිනසා ගැනීම සම්බන්ධයෙන් අදහසක් තියෙනවාද ඒ සඳහා ක්‍රමෝපායන් හිතෙනවාද යන්න පිළිබඳ විමසිය යුතුයි.

එසේ විමසිම අගතියට කරුණක් නොවන අතර එම පුද්ගලයා මානසික වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි. පවුලේ කවරකු හෝ එවැනි උත්සාහයක යෙදී ඇති නම් මෙය පරම්පරාවෙන් පරම්පරාවට යන තත්ත්වක් විය හැකියි. මෙවැනි තත්ත්වයන්ට හේතුව ඔරොත්තු දීමේ හැකියාව සමහර අය තුළ නිසිලෙස ගොනු නොවීමයි. එසේම යම් කෙනකු එක් වතාවක් හෝ මේ සම්බන්ධයෙන් උනන්දු වි ඇති නම් ඉන් අනතුරව එම තත්ත්වයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇත. යම් අවස්ථාවකදී මරණයට කුමනාකාරයෙන් හෝ සුදානම් වී ඇති නම් ඒ අදහස ක්‍රියා මාර්ගයක් දක්වා යාමේ හැකියාවක් ඇත.

මේ විෂාදය සහ සිය දිවිනසා ගැනීම්වලට අදාළ අදහස් යමකුට පැමිණියොත් එය තෝරා බේරාගෙන හඳුනා ගැනීමේ වගකීම පවතිනුයේ ඔවුන්ගේම සමීපතමයන්ටය. එය නොසලකා සිටිය යුතු නැත.

මෙය අර්බුදයක් නිර්මාණය වී ඇති අවස්ථාවකි. මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් බිඳ වැටුණ මනස ඍණාත්මකව සිතුවිලි ඇතිවූ මනස සාධාරණයක් නොකරන අතර සියල්ල දකිනුයේද අගතිගාමි ලෙසයි. අනාගතය පිළිබඳ අනපේක්ෂිත අදහස් අගතිගාමී අදහස් ඉවත් කර ඒ සිතුවිලි වෙනස් ආකාරයකට හැරවීමෙන් හිත ධෛර්යමවත් කර අභියෝග ජය ගැනීමේ හැකියාව අපේ බහුතරයක් ජනතාවට ඇත. සියලු දෙනාගේ සමාජ වගකීම එක් පැත්තකින් මානසික හැඟීමට ලඝුකර සියලු බලාපොරොත්තු අතහැර සිටීම නොව කළ යුතු වන්නේ ඒ තත්ත්වය තේරුම්ගෙන කළමනාකරණය කරගෙන එයින් ගොඩ ඒමයි. ඒ උත්සහයේදී අතිශයින් වැදගත් වන්නේ තමන්ගේ හිතට දුක දැනෙන අවස්ථාවලදී එය තමන්ගේ සමීපතමයකුට කිව යුතුයි. තනියම ගැටලුවකට මුහුණ දීමට උත්සහ නොදැරිය යුතුය. එවිට යම් අවස්ථාවක දී තනියම ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇතිවිය හැකිය. බලාපොරොත්තු අතහැර අගතිගාමී ස්වරූපයකට පත්වන්නේ පැහැදිලි ලෙසම මානසික අවපිඩනයේ රෝග ලක්ෂණයක් පවතින අවස්ථාවලදීය. එවැනි අවස්ථාවකදී ඒ අය ප්‍රතිකාර ගත යුතුයි. මානසික අවපීඩනය හඳුනා ගතහැකි පහසුම ක්‍රමය සිතුවිලි සහ ක්‍රියාකාරිත්වය මන්දගාමිත්වයයි. මුළු ලෝකයේ ම අනෙක් පුද්ගලයන් දකින්නේ කළුවර චිත්‍ර ලෙසයි. එමෙන්ම ඉච්ඡා භංගත්වයක් ඇතිවෙයි. වෙනදා කටයුතු කිරීමට සිතට සතුටක් නොමැතිවීම වෙනදා මෙන් නින්ද නොයාම, හුදකලා වීම සුළු දේකටත් කඳුළු ඒම ජීවිතය නැති වුවත් එතරම් තැකීමක් නොවීම මේ තත්ත්වය හඳුනා ගැනීමට හොඳම ක්‍රමයන් වෙයි.

එතැන් සිට කිසිදු කටයුත්තක් කිරීමට නොහැකි වෙයි. කෑම අරුචිය, මේ වියෝ දුක ඇති කෙනකුට ඇති මානසික අවපීඩනය එවැනි අයට ඇති වීම හඳුනා ගැනීමට පහසු ක්‍රියාවකි. මෙවැනි රෝගි තත්ත්වයන් ඇති අය රෝග ප්‍රතිකාර ගතයුතුය. චර්යා ප්‍රජානන චිකිත්සාව සරල මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයකි. එනම් හිතන ක්‍රමය වෙනස් කිරීමයි. හැඟීම්, විශ්වාස, ඇදහිලි, අදහස් සහ චර්යාවන් සමඟ බැඳී ඇත. මේවා එකිනනෙකට සම්බන්ධව පවතී. හිතන පතන ආකාරය වෙනස් වෙයි. අපේ සිතුවිලි එකිනෙකට ගමන් කරයි. වර්තමාන ආර්ථික දේශපාලන අර්බුදයන් හමුවේ අගතිගාමි හැඟීම් ඇතිවිය හැකිය. කඩා වැටීම නිසා අදහස් ඍණාත්මක වෙයි. මේ චිකිත්සාවෙන් එම සිතුවිලි වෙනස් කිරීම සිදු වෙයි. අදහස් එකිනෙකට බැඳී එයට අනුරූප හැඟීමක් ඇති වෙයි. මානසික අවපීඩනය ඇති කෙනෙකුට ඍනාත්මක සිතුවිලි නතර කර ධනාත්මක සිතුවිලි ඇති කළ යුතුය. තමාටම වුවත් මෙය කළ හැකියි. කිරීමට නොහැකි දේ ගැන නොසිතා තවත් මානසිකව කඩා නොවැටී අගතිගාමි සිතුවිලි දක්වා යාම නතර කර සිතුවිලි වෙනස් කිරීම තමාටම කළ හැකියි. ඇතැමුන්ට උපදේශනය හරහා කරුණු කාරණා තේරුම් කර මේ තත්ත්වයෙන් ගොඩ ගැනීමට හැකි වෙයි.

පවතින අර්බුදයේ නිශේධාත්මක අංශය පමණක් කතා නොකර මේ අර්බුදයෙන් ගොඩ ඒමට සිතුවිලි වෙනස් කරගත යුතුයි. මේ රටේ වසර 74 ක් පැවැති වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ දේශපාලනික ක්‍රමෝපායන් නිසා අද අපි මෙවැනි තත්ත්වයකට මුහුණ පා ඇත. නමුත් මේ අර්බුදය නිසා සම්පූර්ණයෙන්ම අගතිගාමිව අනාගතයක් නැති රටක් ලෙස අප අනාගතය නොදැකිය යුතුයි. මානසික අවපීඩනය දිවිනසා ගැනීම් සංකල්පයෙන් අපි බැහැර විය යුතුයි. මානසික සෞඛ්‍ය ගොඩ නඟා ගැනීම තහවුරු කළ යුතුයි. මානසික රෝග අනෙක් රෝග මෙන් වළක්වාලීමට හැකිය; යන පණිවුඩය අපි මාධ්‍ය තුළින් ලබාදීම අවශ්‍යයි. එවැනි රෝග තත්ත්වයකට පත්වුව හොත් එයට ලැජ්ජ විය යුතු නැත. එවැනි අය දිරිමත් කළ යුතුයි . එහි සම්පූර්ණ වගකිම පවතින්නේ වෛද්‍යවරුන්ට පමණක් නොවෙයි. සමස්ත සමාජයටම එහි වගකීමක් ඇත. මානසික රෝග වැළැක්වීම සඳහා ආතතිය වැළැක්වීමට නම් මේ අර්බුදය හමුවේ ජිවන චර්යාවන් වෙනස් කරගෙන කටයුතු කළ යුතුයි; තමන්ගේ හිත මිතුරන් සමඟ මෙහිදි අදහස් හුවමාරු කරගැනීම, විනෝදාස්වාදය සඳහා යම් මාධ්‍යයන් තෝරාගැනීම, උපදේශන ලබාගැනීම්,ආගමික කටයුතුවල නිරත වීම ඉතා හොඳ මැදිහත්වීම වෙයි. මානසික අවපීඩනයට අවශ්‍ය කරන එකම ප්‍රතිකාරය පෙති කරල් පමණක් නොවෙයි. මනස සුවපත් කරන මෙවැනි ප්‍රායෝගික ක්‍රමෝපායනවල නිරතවීම වඩා වැදගත් වෙයි.

 

Comments