‘නන්නත්තාර’ මට හැඟෙන දේ නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමක් | සිළුමිණ

‘නන්නත්තාර’ මට හැඟෙන දේ නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමක්

 

1989 වසරේදී වෙද හාමිනේ ටෙලි නාට්‍යයෙන් සිය නිර්මාණ ජීවිතය ඇරඹි ඔහු, 1990 දී වසරේ හොඳම ටෙලිනාට්‍ය ලෙස “වෙදහාමිනේ“ වෙනුවෙන් උන්ඩා අභිනන්දන සම්මානයෙන් පිදුම් ලබන්නේය. MTV නාලිකාව වෙනුවෙන් කරනු ලබන වෙස්මුහුණ ටෙලි නාට්‍ය ඔහුගේ ඊළඟ නාට්‍ය වන්නේය. දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැජන, සතර දෙනෙක් සෙන්පතියෝ“ ආදි වශයෙන් ප්‍රේක්ෂක මනසේ රැඳෙන ටෙලිනාට්‍ය අධ්‍යකවරයකු වන ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම ටෙලි නිර්මාණය වන්නේ “නන්නත්තාර“ ය. රැපවාහිනි මාලා නාට්‍ය තුළ නොමැකෙන නමක් තැබූ ඔහු සැමවිටම ප්‍රේක්ෂකයාට අලුත් දෙයක් දෙන්නට වෙහෙසෙන්නෙකි. වසර පහළොවකට පසු යළිත් රූපවාහිනි තිරය මත සිය ලකුණ තබන ජයන්ත සමඟ කරන පිළිසඳරකි මේ.

 

මෙපමණ කාලයක් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත් වී සිටින්නට බලපෑ විශේෂ කාරණාවක් තිබෙනවද?

ඔව් ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කර්මාන්තයේ පසුව උදා වූ වැරැදි වෙළෙඳපොළ තර්කනය තමයි අප ඉන් බැහැර කළේ.

මිනිසුන් ඉල්ලන දේ දෙනවා යැයි අමුම අමු මිථ්‍යාවක් පතුරවමින් වඩාත් සිල්ලර දේ සහ වඩාත් ලාභ දේ ඉතාම බාල මට්ටමෙන් නිපදවමින් රසිකත්වය කියන එක බිංදුවටම බස්සමින් මේ කර්මාන්තය තුළට පැමිණි උග්‍ර වාණිජ ප්‍රවේගයන් සිදු කරන හානියට සමපාත වන්නට අපට කවදාවත් හිතුණේ නැහැ. ඒ නිසා හැමවිටම එබඳු ඉල්ලීම් බැහැර කිරීමේ දෘඪ ප්‍රතිපත්තියකයි අප සිටියේ.

නමුත්, සියල්ලන් සහ සියලු දේ මේ අවරරසිකත්ව ව්‍යාපාර ඉදිරියේ මුනිවත රකිද්දී, මේ ප්‍රශ්නය තේරුම් ගත් ශ්‍රී ලංකාවේ කළමනාකරණය පිළිබඳව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් (NSBM හරිත සරසවිය) නිහඬවම ඊට එරෙහිව යොදන සද්ව්‍යාපාරයක් විදියට ටෙලිනාට්‍ය කෘතියක් නිර්මාණය කිරීමට ඉදිරිපත්වීම අප සසල කළ හේතුවක් වුණා. එහි ආරාධනය අප එක්වරම පිළිගන්නේ ඒ නිසායි. අනෙක තමන් හමුවේ පවත්නා කවර ආර්ථික ප්‍රශ්න හමුවේ වුවත්, ශ්‍රී ලාංකීය රසිකාගාරය වෙනුවෙන් හැම විටම පෙනී සිටින සුලු ස්වාධීන රූපවාහිනියත් මේ කාර්යයට දායක වීම අප ධෛර්යමත් කිරීමට හේතු වූ බව කියන්න ඕනෑ.

සමාජ මාධ්‍ය විසින් අද සියලුම සාම්ප්‍රදායික මාධ්‍ය අභියෝගයකට ලක් කර තිබෙනවා. තරුණ ප්‍රජාව අද ඒවායින් බොහෝ විට ඈත් වූ බවක් තමයි පෙනෙන්නේ. මේ තත්ත්වය නිර්මාණකරුවකුට මොනවගේ අභියෝගයක්ද එල්ල කරන්නේ?

සමාජ මාධ්‍යවල අභියෝගය තරුණ පරපුර සාම්ප්‍රදායික මාධ්‍යයන්ගෙන් ඈත්වීම මා දකින්නේ අන් කිසිවක නොව එම සම්ප්‍රදාය මාධ්‍යන්ගේම දුර්වලකමක් හැටියට. මා එක උදාහරණයක් කියන්නම්. වියපත් සන්නිවේදන මාධ්‍යයක තිබිය යුතු ප්‍රකාශනයේ ව්‍යක්තභාවය (fluency in expression) යම් පමණකින් හෝ තවමත් සාම්ප්‍රදායික මාධ්‍ය සතුයි. සමාජ මාධ්‍ය එන්න එන්නම කරන්නේ අධික චිත්තවේගයකින් යුක්තව තම ප්‍රකාශන අව්‍යක්තව මුදාහැරීමයි. අව්‍යක්ත භාවය පමණක් නොවෙයි, තම ප්‍රකාශනයේ නිරවද්‍යභාවය පිළිබඳවවත් ඔවුන් වගකීමක් දරන්නේ නැහැ. සාම්ප්‍රදායික මාධ්‍ය සිතන්නේ එය තමා නව විලාසිතාව වශයෙන්. එසේ සිතා ඔවුන් කරන්නේ සමාජ මාධ්‍ය අනුකරණය කිරීමයි. එසේ කිරීම සඳහා ඔවුන් කරන්නේ දශක ගණනාවක් මුළුල්ලේ ගොඩනැඟුණු තම ප්‍රකාශන ව්‍යක්තභාවය කුඩුපට්ටම් කර ගැනීම. මේක හරියට ගුත්තිල මූසිල වීණා වාදනය තරගයේදී ගුත්තිල තත් සිඳලූ විට මූසිලයාත් එය අනුකරණය කරන්නට ගොස් තිබුණු සංගීතයත් නැති කරගත්තා වගේ වැඩක්.

අනුන් අනුකරණ නොකොට ස්වීය වූ විවිධ ක්‍රමවේදයන් අලුතින් සොයා ගනිමින් පැවතුණු සාරය සහ වටිනාකම් අමතක නොකරමින් නවතාවයෙන් යුක්තව කටයුතු කරන සාම්ප්‍රදායික මාධ්‍යයකට මේවා එතරම් ගැටළු කියා මා සිතන්නේ නැහැ.

නන්නත්තාර පසුගිය කොටස් දෙක බැලුවහම මට පෙනුණේ එය thriller ගණයට වැටෙන නාට්‍යයක් බවයි. ඇයි එවැනි නාට්‍යයක් කරන්න හිතුවේ?

ඇමරිකානු ශ්‍රව්‍ය දෘෂ්‍ය කලා වෙළෙඳපොළ ලොව පුරා තම නිෂ්පාදන අලෙවිය සඳහා ඉක්මන් හඳුනාගැනීමක් වෙනුවෙන් තමයි thiller, drama, comedy ආදී වශයෙන් කලා නිෂ්පාදන ප්‍රවර්ගකරණයක් හඳුන්වා දෙන්නේ. ඒ අනුව නන්නත්තාර thriller එකක් වශයෙන් හැඳින්වීමේ එතරම් වරදකුත් නැහැ. හැබැයි එහි එතරම් නිරවද්‍යභාවයකුත් නැහැ. මක්නිසාද එය සියලු කලාත්මක රසභාවයන් ජනනය කරන කෘතියක් නිසා. කලා කෘතියෙන් ප්‍රකාශිත මුඛ්‍යාර්ථය උද්දීපනය කිරීම සඳහා කුමන රස භාවයට මුල්තැන දෙනවාද වශයෙන් වෙනම කල්පනා කිරීමක් මට නැහැ. මා කරන්නේ මට දැනෙන, මට හැඟෙන දේ නිර්මාණාත්මකව ප්‍රකාශයට පත්කිරීමයි නන්නත්තාරත් එහෙමයි.

නන්නත්තාර නිර්මාණ පසුබිම ගැන කතා කළොත්…..?

ලෝක ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරමක දීප්තිමත් සගයකු සේම මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදියකුද narco terrorist වන මෙල්වින් දියෝගු නමැති ශ්‍රී ලාංකිකයා නැවත ශ්‍රී ලංකාවට පලා එන්නේ බිඳවැටුණු ඉහත කී ජාවාරමේ රහස් වට්ටෝරුවක් ද රැගෙන, තමා හඳුනාගත හැකි සියලු අනන්‍යතාද විනාශ කරමින්.

රටක, කලාපයක පමණක් නොව මුළු මහත් ලෝකයේම වූ තරුණ පරපුරක් මහත් ව්‍යසනයකට ලක් කෙරෙන සුලු ඔහු විසින් මෙරට තුළ අදෘශ්‍යමානව ගොඩනඟන මත්ද්‍රව්‍ය අධිරාජ්‍යය සැක නොකරන ලද ඖෂධ ව්‍යාපාරයක වේශයෙන් පෙනී සිටියි. එසේම එය අනන්‍යතා අහිමි ගැහැනුන්ගෙන් සහ මිනිසුන්ගෙන් පිරුණු අභිරහස් සමාජ යටිධාරාවක් (social undercurrnt) වශයෙන් වර්ධනය වෙයි. ඔහු මෙන්ම ව්‍යාජ ගොඩනැඟීමක් වූ ඔහුගේ පවුල ද සමන්විත වන්නේ කෙසේ හෝ ධනය ඉපයීම නමැති පරම ඉලක්කයක් හඹා යන්නන්ගෙන් පමණයි. මව, භාර්යාව, සහෝදර සහෝදරියන් යනු එහි නෑකම් නොව තනතුරු යි. ආදරය යනු එහි තහනම් වදනයි. පාපය යනු එහි අවසර පදයයි.

වැඩිමහල් පුත් තනතුර හොබවන මනනන්දට ගණිකාවක් සමඟ පමණක් විවාහ වීමට අවසර ලැබෙන්නේ ඒ නිසයි. ගණිකාව හෙවත් රම්භා ද පෙර දවස කුවේණිය මෙන් තම සපිරිවර වූ නන්නත්තාරයන් හැරදමා ඩේවිඩ්ගේ කාටල දිව්‍යලෝකයට පිවිසෙන්නීය. ඉතිං කාටවත් ප්‍රශ්නයක් නැත.

ප්‍රශ්නය වන්නේ රම්භා නියම ගැහැනියකගේ ලීලාව දක්වමින් මනනන්ද ට ආදරය කිරීමයි. එය වුවමනාවෙන්ම අනන්‍යතාව අහිමි කරගත් මත්ද්‍රව්‍ය කාටලයේ අය අතරත්, කොහොමටත් අනන්‍යතාව අහිමි නන්නත්තාරයින් අතරත් බිහිසුණු යුද්ධයක් බවට පත් වෙයි.

වින්ඩීසල් නමින් හඳුන්වන ඥානපාල නමැත්තා මේ යුද්ධය හඳුන්වන්නේ ආදරය සහ අනාදරය අතර යුද්ධය වශයෙන්.

නන්නත්තාර යනු ඒ බිහිසුණු සහ දිග්ගැස්සුණු ආදරය යුද්ධයේ කතාවයි.

නූතනයේ ජනප්‍රිය වී තිබෙන ටෙලිනාට්‍ය අතර විශාල තරගයක් තිබෙනවා. නන්නත්තාර ඒ අතර විශේෂ වෙයි කියන විශ්වාසය ඔබට තිබෙනවද?

ටෙලිනාට්‍ය අතර එහෙම තරගයක් තිබෙනවාද නැද්ද යන්න මා දන්නේ නැහැ. හැබැයි තිබෙනවා නම් එය වඩාත් යහපත් දේ කිරීම පිළිබඳ තරගයක් විය යුතුයි. තරග කළ යුත්තේ වඩාත් බාලවීමට නම් එබඳු තරගයක මම ප්‍රේක්ෂකයෙකුවත් නොවේ. තරගයක ප්‍රතිලාභ ලැබිය යුත්තේම ජතාවටයි.

 

Comments