සැක සංකා­ව­ලට ජීවිතේ උකස් කරන්න එපා කොවි­ඩ්ව­ලින් බේරෙන්න හත­ර­වැනි එන්න­තත් ගන්න | සිළුමිණ

සැක සංකා­ව­ලට ජීවිතේ උකස් කරන්න එපා කොවි­ඩ්ව­ලින් බේරෙන්න හත­ර­වැනි එන්න­තත් ගන්න

සුගිය සති කීපය තුළ කොවිඩ් ව්‍යාප්තියේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණේ දෛනිකව වාර්තා වන රෝගින් සංඛ්‍යාව 100 ඉක්වමිනි. කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා එන්නත්කරණයට යොමු වන ලෙස සෞඛ්‍ය බලධාරින් විසින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසාය.

 

කොවිඩ් එන්නත්කරණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී අගෝස්තු 11 වන දා වන විට 1 වෙනි මාත්‍රාව ලබා ගත් පිරිස 17, 106, 818 ලෙසත් 2 වෙනි මාත්‍රාව ගත් පිරිස 14, 577, 502 ලෙසත් වාර්තා වී තිබේ. එහෙත් 3 වෙනි මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා ගෙන තිබෙන්නේ 8,060,993 ක් පමණි. 4 වෙනි මාත්‍රාව ලබා ගත් පිරිස 82,238 කි. මේ අනුව කොවිඩ් එන්නත් ලබා ගැනීම කෙරෙහි දක්වන උනන්දුව කෙමෙන් කෙමෙන් අඩු වී ඇති බවක් පෙන්නුම් කරයි. මේ වන විට ලංකාවේ ජනගහනයෙන් 39,662,637 ක පිරිසක් එන්නත්කරණයට ලක් වී සිටිති.

"මේ දවස්වල කොවිඩ් රෝගින් වාර්තා වීම ඉහළ ගිහින් තිබෙනවා. කොවිඩ් වසංගතය පාලනය කළ හැකි හොඳම විසඳුම එන්නත්කරණයයි. පසුගිය දෙසැම්බර් කාලයේ ලෝකයේ ඔමික්‍රෝන් රෝගින් වාර්තා වුණත් ලංකාවේ එය හොඳින් පාලනය වුණේ ඒ වන විට අපේ රටේ ජනතාව එන්නත්කරණයට යොමු වී මාස 3ක් 4ක් වැනි කෙටි කාලයක් ගත වී තිබුණු නිසයි. ඒත් දැන් ඒ අය එන්නත් ලබාගෙන අවුරුද්දක් විතර ගත වී තිබෙනවා. කොවිඩ් වර්ධක මාත්‍රාව ලබා ගත යුතු වන්නේ ඒ නිසයි. 1වන මාත්‍රාව විතරක් ලබා ගත් අය 2වන මාත්‍රාව ලබා ගත යුතුයි. 2වන මාත්‍රාව ලබා ගත් අය 3වන මාත්‍රාව හෙවත් 1 වන වර්ධක මාත්‍රාව ලබා ගත යුතුයි. 3 වන මාත්‍රාව ලබා ගත් අය 4 වන මාත්‍රාව හෙවත් 2වන වර්ධක මාත්‍රාව ලබා ගැනීම ඉතා වැදගත්. වයස අවුරුදු 12 - 19 අතර ළමයින්ට වර්ධක මාත්‍රා අවශ්‍ය වෙන්නේ නැහැ. පාසල් ආරම්භය සමඟ පාසල් දරුවන් එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. හැබැයි අපි කිසිම අවස්ථාවක කොවිඩ් එන්නත්කරණය නැවැත්තුවේ නැහැ. ප්‍රජාවගේ සහභාගිත්වයේ අඩු වීමක් තමයි තිබෙන්නේ." යනුවෙන් සඳහන් කළේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ය.

කොළඹ ජාතික රෝහලෙත් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පවත්වා ගෙන යනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථානයේත් දිනපතාම කොවිඩ් එන්නත් ලබා දීම සිදු වේ. ඊට අමතරව ප්‍රාදේශීය මට්ටමෙන් තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින්ද කොවිඩ් එන්නත් ලබා දීම අඛණ්ඩව සිදුවේ. එහෙත් පසුගිය කාලයේ ජනතාව කොවිඩ් එන්නත්කරණයට යොමු නොවුණේ ඔවුන්ට තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල කාලය මිඩංගු කිරීමට සිදු වූ නිසා විය යුතුය. එමෙන්ම කොවිඩ් පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව පනවා තිබූ පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය යන්න ළිහිල් කෙරිණි. දුරස්ථභාවය රඳවා ගැනීම, දෑත් සේදීම බොහෝ දෙනකුට අමතක විය. මෙයින් සිදු වූයේ කොවිඩ් පැතිරීම යළි හිස එසවීමයි.

"ලංකාවේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකම කොවිඩ් එන්නත් ලබා දුන්නා. ඒත් කවුරුවත් ආවේ නැහැ. අදටත් ගොඩාක් දෙනා අරගෙන තිබෙන්නේ 1 සහ 2 මාත්‍රා විතරයි. 3සහ 4 යන වර්ධක මාත්‍රා ජනතාවගෙන් 60% ක්ම ගත්තේ නැහැ. ඒ නිසා ඇස්තමේන්තු කරලා ලංකාවට ගෙන්වපු කොවිඩ් එන්නත් විශාල තොගයක් ඉතිරි වුණා. දැන් ආයේ කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්වන නිසා ජනතාව තුළ පොඩි උනන්දුවක් තිබෙන බව පෙනෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් කොවිඩ් එන්නත් මාත්‍රා ලබා ගන්න කියලා. කොවිඩ් එන්නත් ගැනීමට අවශ්‍ය අය තමතමන්ට අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට දුරකතනයෙන් කතා කරලා වේලාවක් වෙන් කරගෙන එන්න. මොකද දැන් අපි ළඟ තිබෙන එන්නත් තනි තනි පුද්ගලයන්ට විදින්න බැහැ. එක කුප්පියකින් හය දෙනෙකුට විදින්න ඕනෑ. අවශ්‍ය අය දුරකතනයෙන් කතා කළාම අපිට පුළුවන් කට්ටිය ලෑස්ති කරගෙන එන්නත්කරණය පටන් ගන්න. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සෙනසුරාදා දවස ඒ සඳහා වෙන් කරගෙන සිටිනවා. " යනුවෙන් රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැහැදිලි කළේය.

එහෙත් මේ වන විට ඇතැමුන්ට කොවිඩ් එන්නත පිළිබඳව විවිධ සැක සංකා මතු වී තිබේ. ඊට හේතුව මේ දිනවල කොවිඩ් එන්නත්කරණය සඳහා ලංකාවේ භාවිත වන එකම එන්නත වන ෆයිසර් එන්නතේ සක්‍රීය කාලය මාස 3කින් දීර්ඝ කිරීමයි. මේ අනුව 2022 ජුලි 31 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ ෆයිසර් එන්නතේ සක්‍රීය කාලය 2022 ඔක්තෝබර් 31 වැනි දිනය දක්වා දීර්ඝ වී තිබේ. සාමාන්‍යයෙන් අප දන්නා ආකාරයට කිසිම නිෂ්පාදනයක කල් ඉකුත් වීමේ දිනය පසුපසට දැමිය නොහැකිය. එකී දිනය ඉකුත් වූ පසුව භාණ්ඩ පරිභෝජනයෙන් ඉවත් කිරීම පොදු පිළිවෙතයි. එසේ තිබියදී ෆයිසර් එන්නතේ කල් ඉකුත් වීමේ දිනය මාස 3කින් දීර්ඝ කිරීම පුද්ගලයන් තුළ ඇති කරන්නේ කුතුහලයකි.

"එන්නත් මෙරටට ගෙන්වීමේදී කල් ඉකුත්වීමේ දිනය සැලකිල්ලට ගෙන භාවිත කළ හැකි ප්‍රමාණය ඇස්තමේන්තු කරලා අවශ්‍ය තරම් තොග ගෙන්විය යුතුයි. එසේ නොමැතිව දීර්ඝකාලින දත්ත භාවිත කර අනාගතයේ දිනක කල් ඉකුත්වීමේ දින වෙනස් කිරීමට ඉඩ තබා ගනිමින් අනවශ්‍ය තොග ගෙන්වීමට සෞඛ්‍ය බලධාරින්ට හැකියාවක් නැහැ. ශීතදාම පවත්වා ගැනීමට නොහැකි නිසා ෆයිසර් එන්නත අපේ රටේ භාවිත කිරීමට බැරි බව මුලින් ප්‍රකාශ කළ ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා, පසුව අනවශ්‍ය තොග ගෙන්වා ගැනීම සහ එම එන්නතේ මිල සැක සහිත ගනුදෙනුවක් බව අපි එදත් කිව්වා. මේ දූෂිත ගනුදෙනු සහ අත්තනෝමතික වැරදි තීරණ පිළිබඳව කිසිදු සොයා බැලීමක් කළේ නැහැ. ඖෂධ ආනයනය කිරීමේ පිළිගත් සම්ප්‍රදායක් තිබෙනවා. ඊට පටහැනිව අවශ්‍ය තොග ගැන තක්සේරු නොකර කඩිමුඩියේ එන්නත් ගෙන්වීමෙන් ඇ:ඩොලර් මිලියන 4කට වඩා වැඩි වටිනාකමක් ඇති ෆයිසර් එන්නත් විනාශයට පත්වීම හරහා වැරදි තීන්දු තීරණ හෙළිදරව් වෙනවා.

එය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එන්නතේ කල් ඉකුත්වීමේ දිනය වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ගබඩාවල තිබෙන එන්නත්වල කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් හෝ භාවිතයට ගැනීම ඔවුන්ට ඉතිරි වී තිබෙන එකම විකල්පය වෙන්න පුළුවන්. ඒත් එය සුදුසුම විකල්පය නෙමෙයි. කොවිඩ් එන්නතේ කල් ඉකුත්වීමේ දිනය වෙනස් කරන්නේ දූෂිතයන් ආරක්ෂා කරන්නද ? එන්නත් ලබාදෙන වේගය වැඩි නොකර අනවශ්‍ය ප්‍රමාණවලින් එන්නත් ගෙනාපු වරද වහගන්න දැන් එහි ආයු කාලය වෙනස් කරනවා. " යනුවෙන් චෝදනා කළේ සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේශ් ය.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ ෆයිසර් එන්නතේ කල් ඉකුත් වීමේ දිනය වෙනස් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කරන ලද්දක් බවය.

සාමාන්‍යයෙන් ඖෂධ නියාමන අධිකාරියේ මූලික රෙගුලාසිවලට අනුව ඖෂධයක හෝ බහාලුමක සඳහන් කර ඇති කල් ඉකුත්වීමේ දිනය වෙනස් කිරීම පමණක් නොව අපැහැදිලි වන සේ කුරුටු ගෑම පවා නීති විරෝධි දඬුවම් ලැබිය හැකි වරදකි. නමුත් සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම කල් ඉකුත්වීමේ දිනය වෙනස් කරන බවයි. ඒ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකරගෙන් විමසුවේ එබැවිනි.

"ඖෂධයක කල් ඉකුත්වීමේ දිනය වෙනස් කරන්න බැරි බව ඇත්ත. සාමාන්‍යයෙන් ඕනෑම ඖෂධයක කල් ඉකුත් වීමේ දිනය තීරණය කරන්නේ අඩුම වශයෙන් අවුරුදු 5ක් වත් පරීක්ෂණ කරලා. සමහරවිට එය අවුරුදු 10 වෙන්නත් පුළුවන්. Stability Datas මුල් කරගෙන තමයි එය තීරණය කරන්නේ. ඒත් ෆයිසර් එන්නත ලෝකයට දුන්නේ පළමුවැනි දෙවැනි සහ තුන්වැනි මට්ටමේ පරීක්ෂණ කිරීමෙන් පසුව. කොවිඩ් එන්නත් ඉක්මනට පර්යේෂණ කරලා ඉක්මනට ලෝකයට දුන් ඖෂධ හැටියට හඳුන්වන්න පුළුවන්. හැබැයි අත්‍යවශ්‍ය පරීක්ෂණ අවසන් වුණා කියලා ඒ ඖෂධ සමාගම් එයාලාගේ පරීක්ෂණ නවත්වන්නේ නැහැ. ඒවා දිගටම කරනවා. ඒ අවස්ථාවේදී ෆයිසර් එන්නත නිෂ්පාදනය කරන ඖෂධ සමාගම සොයාගෙන තිබෙනවා ෆයිසර් එන්නතේ සක්‍රීය කාලය තවදුරටත් දීර්ඝ වශයෙන් පවතින බව. ඒ නිසයි ෆයිසර් එන්නතේ කල් ඉකුත්වීමේ දිනය මාස 3කින් දීර්ඝ කළේ. එම ඖෂධ නිෂ්පාදනය කළ සමාගම්වල පරීක්ෂණ දත්ත මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබෙනවා. ඒ අනුව ෆයිසර් එන්නතේ සක්‍රීය කාලය තවදුරටත් දීර්ඝ කළ හැකි බව ඔවුන් තීරණය කර තිබෙනවා. සමහරවිට මෙහි කල් ඉකුත්වීමේ දිනය තවත් දීර්ඝ වෙන්න පුළුවන්. මොකද මෙම එන්නත ඉතා කෙටි කාලයකින් ලෝකයට මුදා හැරිය නිසා. ඒ නිෂ්පාදන සමාගම ඒ අයගේ පරීක්ෂණ නවත්වන්නේ නැහැ. තවත් අවුරුදු ගණනක් පරීක්ෂණ කරනවා. ෆයිසර් එන්නතේ කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය, යුරෝපීය සංගමය (Europe union) ඇතුළු ඊට සමාන්තර සංවිධාන පිළිගෙන තිබෙනවා. ඒ නිසයි ෆයිසර් එන්නතේ කල් ඉකුත්වීමේ දිනය වෙනස් කරන්නේ. එහෙම නැතිව රජයකට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරියට හිතුවක්කාර විදිහට කිසිම ඖෂධයක කල් ඉකුත්වීමේ දිනය වෙනස් කරන්න බැහැ." යනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර පැහැදිලි කළේය.

ඔහු විස්තර කරන ආකාරයට ෆයිසර් එන්නතේ කල් ඉකුත්වීමේ දිනය වෙනස් කිරීම පිළිබඳව ජනතාවට බිය වීමට හෝ සැක සංකා ඇති කර ගැනීමට අවශ්‍ය නැත. එබැවින් එන්නත්කරණය සඳහා හැකි ඉක්මනින් ඉදිරිපත් වී කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට දායකත්වය දැරීම ජනතාවගේ වගකීමකි.

නමුදු තවත් පිරිසකගේ සිත් තුළ කොවිඩ් එන්නත් කෙරෙහි සැක සංකා මතු වී තිබෙන්නේ දැනට පවතින විදුලි කප්පාදුවත් සමඟ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයේ තැන්පත් කර තිබෙන එන්නත්වල ගුණාත්මක තත්ත්වයට හානි සිදු විය හැකි යැයි විවිධ මත පළවීමත් සමඟය.

"සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකම අධි ශීතකරණවල එන්නත් ගබඩා කර තිබෙනවා. මෙම අධි ශීතකරණ තුළ විදුලිය විසන්ධි වුණත් පැය 12ක් සුරක්ෂිතව තබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම පොඩි ජෙනරේටර් දීලා තිබෙනවා. ඒ නිසා ඒ ගැන ගැටලුවක් ඇති කර ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. තියෙන එකම ප්‍රශ්නය එන්නත් අරගෙන අපි පිට්ටනිවල විවිධ ස්ථානවල විදිනවා. ආයේ ඉතිරි එන්නත් ගෙනත් ශීතකරණයේ තැන්පත් කරනවා. මෙවැනි අවස්ථාවක ශීතදාමය වෙනස් වෙන්න පුළුවන්." යනුවෙන් රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ පැවසීය.

මේ වන විට කොවිඩ් වයිරසයේ ඔමික්‍රෝන් අනුප්‍රභේද ගණනාවක් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. ලංකාවේද ඔමික්‍රෝන් AB5 අනු ප්‍රභේදය හඳුනාගෙන ඇත. වර්තමානයේ රට තුළට පැමිණෙන අයගේ ඇන්ටිජන් පරීක්ෂණයක්වත් සිදු කෙරෙන්නේ නැත. රටේ පවතින අයහපත් වාතාවරණය සහ ආර්ථික අර්බුද හමුවේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟයක් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. එම නිසා කොවිඩ් රෝගය පාලනය කිරීමට ගත හැකි එකම විසඳුම එන්නත්කරණය පමණි.


 

 

Comments