මල් පූජාව තරමටම අනුහස් සහිත පහන් පූජාවක් | සිළුමිණ

මල් පූජාව තරමටම අනුහස් සහිත පහන් පූජාවක්

 

මෙම අපල සමයේ ඔබ දෙවියන් වැඳ පුදා ගැනීමට පැමිණිවිට කිරි වෙහෙර අසල ඇති ප්‍රාර්ථනා නුගය වෙත ද යෑමට ද අමතක නොකරන්න. මෙම ස්ථානයට මෙම නම ලැබී ඇත්තේ ද දහසක් දෙනාගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වූ නිසා බව ඔබ නොදන්නවා ඇත.

නම් වශයෙන් සඳහන් කිරීමට නොහැකි වුවද එම ස්ථානයේදී සිදු කරන ලද වත්පිළිවෙත්වලින් තමන්ගේ ප්‍රාර්ථනාවන් ද අපල, මෙන්ම අමනුෂ්‍ය දොස් වලට ද ඉමහත් ප්‍රතිඵල ලබා නැවත මෙම ස්ථානයට පැමිණ තෑගි පූජාවක් පැවැත්වූ අය ගැන අත්දැකීමෙන්ම දනිමි. ඒ, දෙවියන්ට පින්දී තමන්ට ලැබුණු සහනයට කෘතගුණ සැලකීමක් වශයෙනි.

ඔබට යම්කිසි ආකාරයක ග්‍රහ දෝෂයක්, අපලයක් නිසා කරදර බාධක පැමිණෙන්නේ දැයි දක්ෂ ජ්‍යොතිෂවේදියකුගෙන් කේන්ද්‍ර පිටපත පරීක්ෂා කරවාගෙන දැනුම්වත් වන්න. එහිදී සඳහන් කරන ග්‍රහ දෝෂ ඇතිකරන ග්‍රහයන් සඳහා කළ යුතු පහන් පූජාවන් ගැන මෙම ලිපියෙන් ඔබ දැනුම්වත් කිරීමට කැමැත්තෙමි.

මෙම ප්‍රාර්ථනා නුගය හෙවත් ප්‍රාර්ථනා බෝධිය පිහිටා ඇත්තේ කිරි වෙහෙරට දේවාලය දෙසට ඇති දොරටුවෙන් ඇතුළු වන්නේ නම් දකුණු පසින්ය. එම ස්ථානයේ අටවිසි බුදුවරුන්ගේ පිළිරූ ද බුදුන් වහන්සේගේ ප්‍රතිමාව ද පිහිටා ඇත. කිසිත් නොමැතිව මල් අසුන පමණක් ඇති තැන පිහිටා ඇති නුගය මෙම ප්‍රාර්ථනා නුගයයි. බුදුන්වහන්සේ වැඳ පුදාගෙන කිරිවෙහෙර වන්දනාමානකොට මෙම ස්ථානයට පැමිණ එම ස්ථානය හොඳින් පිරිසුදු කරගන්න. ඔබට කහ දියර ස්වල්පයක් රැගෙන යා හැකි නම් එයින් මල් අසුන දෝවනය කර පිරිසුදු කරගන්න. එසේම ඔබ මෙම කටයුත්ත සිදුකිරීමට පැමිණෙන විටදී පේවී මස්මාංශවලින් වැළකී ඉතා පිරිසුදු සිතින් කටයුත්ත සිදුකිරීමට සිතට ගන්න. මේ සඳහා පේවීමට අවම වශයෙන් දින තුනක කාලයක්වත් ඔබ නිර්මාංශව, පිරිසිදු සිතින් ගතින් සූදානම් වන්නේ නම් ඉතා මැනවි.

මේ දිනවල ඔබට රවි ග්‍රහයාගෙන් අපල උපද්‍රව සිදුවන්නේ නම්, පාට පහකින් යුත් මල්, අලුත් පහන්වැටි 21 සමඟ සුදු හඳුන් තෙල්, අබ තෙල්, රන්තැඹිලි තෙල්, තල තෙල් සහ එළඟිතෙල් ස්වල්පයක් මිශ්‍ර කර සාදාගන්න. මෙම පහන් 21ට අවශ්‍ය ප්‍රමාණයට තෙල් සූදානම් කරගත යුතුය. ඒ සමඟ සුවඳවත් හඳුන්කූරු, බෝධින් වහන්සේට පූජා කිරීමට ගිලන්පස ඖෂධ මංජුසාව, දැහැත් ද රැගෙන යන්න. ඉතා පිරිසුදුව මෙම දේවල් සූදානම් කරගෙන යෑමට අමතක නොකරන්න.

මෙම මල් සහ ඖෂධ, දැහැත් පූජා කිරීමෙන් පසුව පහන් 21 දල්වා පිරිසුදු වතුර කලයක් ගෙන නුගය වටා අවම වට හතක් ගමන් කරමින් තමන්ගේ සියලු ග්‍රහ අපල දෝෂ දුරුවේවා යයි සිතින් ප්‍රාර්ථනය කරමින් සිත එක්තැන් කර මෙම සිදු කරන්නාවූ පුණ්‍ය ක්‍රියාවේ ආනිසංසයෙන් යහපත උදාවේවායි පතන්න. ඉන්පසු "සමන්තා චක්ක වාලේසු" ගාථාවේ මුල් දෙපදය පමණක් ගායනා කර දෙවියන්ට ආරාධනා කර පිරිත් පැන් සූත්‍රය ගායනා කරන්න. ඉන්පසු නැවතත් තමන්ගේ අපල උපද්‍රව දුරුවේවා යැයි ප්‍රාර්ථනය කර එම නුගයේ පඬුරක් ගැටගසා මෙම කටයුතුවලින් සහනයක් ලැබුණු පසු නැවත පැමිණ මෙම ආකාරයටම පූජා කටයුතු සිදු කරන බවට සිතින් බාර වෙන්න. ඉන්පසු දෙවියන්ට පින්දී විශේෂයෙන්ම, කතරගම දෙවියන් හට පින්දීමට අමතක නොකරන්න. ඉන්පසු රන් පැහැති වස්ත්‍රයක් සමඟ අසරණ අයකුට කෑමවේලක් පූජා කරන්න.

සඳු හෙවත් චන්ද්‍රයාගෙන් ඔබට අපල උපද්‍රවයක් ඇත්නම් ඉහත ආකාරයට දැහැත්, ඖෂධ, ගිලන්පස සමඟ අලුත් පහන් වැටි 14ක් සූදානම් කර ගන්න. මේ සඳහා පොල්තෙල්, අබතෙල්, තැඹිලිතෙල් පමණක් මිශ්‍ර කර මෙම පහන් 14ට අවශ්‍ය තෙල් සකසා ගන්න. පෙර පරිදිම කටයුතු සිදුකර පිරිසුදු පැන් කල 3ක් අවම වට හතබැගින් බෝධින් වහන්සේ වටා ගමන් කරමින් පෙර පරිදිම අපල උපද්‍රව දුරුවේවා යැයි සිතින් ප්‍රාර්ථනය කරමින් කටයුතු සිදුකර පෙර පරිදිම දෙවියන්ට ආරාධනා කර ඒ වත් පිළිවෙත් සිදු කරන්න. මෙහිදී ද කතරගම දෙවියන්ට වෙනමම පින්දීමට අමතක නොකරන්න. සියල්ල අවසන් වූ පසුව අසරණ අයකුට ආහාර සමඟ ඖෂධ ලබා දෙන්න. කේන්තිකාරයා වන කුජ ග්‍රහයාගේ අපල උපද්‍රවයන්ට ඔබ මුහුණ පා ඇත්නම් එයින් සහනයක් ලබා දීමට හොඳම කාලයත් හොඳම ස්ථානයක් මේ ප්‍රාර්ථනා නුගය බව ඔබ නොදන්නවා ඇත. කුජ අධිපති කතරගම දෙවියන්ගේ අඩවියේ උන්වහන්සේ වැඩ සිටින සමයක ජීවමාන උන්වහන්සේගේ ඉදිරියේ ඔබගේ කන්නලව්ව කිරීමට සිතට ගන්න.

මේ සඳහා ද පෙර සඳහන් කළ ආකාරයටම ඖෂධ දැහැත්, ගිලන්පස සමඟ අබතෙල් සහ රන්තැඹිලි තෙල් සමඟ සුදු හඳුන් තෙල් ද මිශ්‍ර කර පහන් වැටි 14කට අවශ්‍ය ප්‍රමාණයට තෙල් සූදානම් කරගන්න. ඒ සමඟ කපුරු ද ගෙනයන්න. ඔබ ඉහත ආකාරයට කටයුතු කාරණා සිදුකර කපුරු සමඟ පහන් දල්වා පෙර සේම පිරිසුදු පැන්කළ 3ක් සාදාගෙන එය රැගෙන මෙම නුගය වටා වට 3 බැගින් ගමන් කර දෝවනය කරන්න. ඒ සමඟම තමන්ට ඇති ග්‍රහදෝෂ අපල උපද්‍රවයන් දුරුකොට ආරක්ෂාව, දියුණුව ලබාදෙන ලෙස කතරගම දෙවියන් සිතින් යදින්න, තමන්ගේ ප්‍රාර්ථනාව සිහි කරන්න. ඉන්පසු පෙර පරිදිම පිරිත් සජ්ඣායනය කර දෙවියන්ට පින්දී කතරගම දෙවියන් හට විශේෂයෙන් පින් පමුණවන්න. අවසානයේ දුගී අයකුට ආහාර සමඟ ඖෂධ දෙන්න.

සෙනසුරු, රාහු, කේතු යන ග්‍රහයන්ගේ පීඩනයකට ඔබ මුහුණ දී ඇත්නම් මේ අවස්ථාවේදී ඒ සඳහා ද කටයුතු කළ හැකි බව සිහිපත් කරගන්න. මෙම ග්‍රහයන් තිදෙනා වෙනුවෙන් කටයුතු කිරීමේදී නොකඩවා දින 3ක් මෙම කටයුතු සිදු කළ යුතු බව ද සිහියේ තබාගන්න. ඒ සඳහා සෑම දිනකම දිනකට පහන් වැටි 12 බැගින් සූදානම් කරගන්න. ඒවා දැල්වීම සඳහා තලතෙල්, එළඟිතෙල්, අබතෙල්, පස්තෙල් සමඟ තැඹිලිතෙල් මිශ්‍ර කර දින 3 කට පහන් 36ක් සඳහා සූදානම් කරගන්න. මීට අමතරව පාට 5කින් මල් වට්ටි 7 බැගින් ද, ගිලන්පස ජාති 7ක්ද, දැහැත් සමඟ ඖෂධ මංජුසා 7ක්ද දිනපතා සූදානම් කරගත යුතුය. දිනපතා මෙම පූජාවන් ඒ ඒ ග්‍රහයන් සඳහා පූජා කර පිරිසුදු පැන් කළ 12 බැගින් බෝධිය දෝවනය කරන්න. පෙරසේම තමන්ගේ ප්‍රාර්ථනය ද සිදුකරන්න. ඉන්පසු පිරිත් සජ්ඣායනා කර විශේෂයෙන් කතරගම දෙවියන්ට ද පින් දෙන්න.

සෙසු ග්‍රහයන් වෙනුවෙන් කළ යුතු වත්පිළිවෙත් සහ

මෙම කටයුතුවලින් ඔබට ලැබෙන ආශිර්වාද ගැන

ඊළඟ සතියේදී...

 

Comments