රාජ්‍ය සම්මානය දිනාගැනීම මගේ හීනය සැබෑවීමක් | සිළුමිණ

රාජ්‍ය සම්මානය දිනාගැනීම මගේ හීනය සැබෑවීමක්

නාඩගම්කාරයෝ  සහ  බොනිකර තරු  ටෙලිනාට්‍යවල  සංගීත නිර්මාණය කරේ ඉතාලියේ ඉඳන්

මගේ අලුත්ම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය “මැස්සා”

 

ඔහු නමින් දිනේෂ් දිසානායකය. සන්ෆලවර් සංගීත කණ්ඩායමේ නිත්‍ය ඕගන් වාදකයා වූ ඔහු මේ වනවිට ඉතාලියේ තමයි ජීවත් වෙන්නේ. මේදිනවල ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැඟි ටෙලි නාට්‍ය ගණනාවක සංගීත අධ්‍යක්ෂකවරයා ඔහුයි. 2021 වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා හිමි රාජ්‍ය සම්මානය තම නමට ලියාගත් දිනේෂ් මේ දිනවල සමාජ මාධ්‍යයෙහි බෙහෙවින් කතාබහට ලක්වන චරිතයක් බවට පත්වෙලා. ඒ ඔහුගේ “සඳවර්ණාවී” ගීතය නිසා. ඉතාලියේ පදිංචිව සිටිමින් මෙරට ටෙලිනාට්‍ය සඳහා සංගීතයෙන් දායක වෙමන් නිර්මාණකරණයේ යෙදෙන දිනේෂ් රසඳුනට කතා කළා.

 

මගේ උපන් ගම නිට්ටඹුව. මම විවාහකයි. බිරිය ඉතාලි පුරවැසිභාවය තියෙන කෙනෙක්. අපි ඉතාලියේ රෙජ්ජෝ (reggio) කියන නගරයේ පදිංචිවෙලා ඉන්නේ. මං ලංකාවේ ඉද්දි පදිංචිවෙලා හිටියේ වෙන්නප්පුවේ. ඒ නිවසෙම තමයි මගේ ශබ්දාගාරය තිබුණේ. මගේ අම්මා දැන් ඒ නිවසේ ඉන්නේ.

මං 2020 නොවැම්බර් මාසේ ඉතාලියට ආවේ. ඉතාලියට එන්න කලින් “සන්ෆ්ලවර් ” සංගීත කණ්ඩායමේ නිත්‍ය ඕගන් වාදකයා විදිහට තමයි කටයුතු කළේ. මම බෑන්ඩ් එකෙන් අයින් වෙලා ඉතාලියට ආවට පස්සෙ සංගීත කටයුතු නතර කරේ නැහැ. සංගීත කටයුතු දිගටම කරගෙන ගියා. ඒ අතරේ ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණ කටයුතුත් දිගටම කරා. මේ වනවිට බෙහෙවින් ජනප්‍රිය “නාඩගම්කාරයෝ” සහ “බොනිකර තරු” ටෙලිනාට්‍යවල සංගීත නිර්මාණය කරේ ඉතාලියේ ඉඳන්. ඒ කාලය තුළ සංගීත අධ්‍යක්ෂණ කටයුතු වලට වැඩිපුර මුල්තැන දීලා වැඩ කරන්න මට හැකියාව ලැබුණා.

මම මේ වෙද්දී ටෙලිනාට්‍ය දහතරක පමණ සංගීත අධ්‍යක්ෂණය කරල තියෙනවා. නාඩගම්කාරයෝ, හාර කෝටිය, කෝටිපතියෝ, හුළං ගෙදර, රාජ යෝගය, කළු කුරුල්ලා, ආගන්තුකයා, දුවිලි අහස, හිරු ඇවිදින්, බොනිකර තරු. ඒ අතරින් මේ දිනවල ඉතා සාර්ථකව විකාශනය වී අවසන් වුණ “නාඩගම්කාරයෝ”ත් “බොනිකර තරු”ත් විශේෂයි.

මගේ අලුත්ම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය “මැස්සා”. ඒක ටිකක් වෙනස් විදියේ කතාවක්. මුඩුක්කුවල ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවිත ගැන තමයි ඒ තුළ දිගහැරෙන්නේ. ඒක දැන් විකාශන කටයුතු ආරම්භ කළා. ඊට අමතරව මගේ අලුත්ම ගීතය මම මීට සති දෙකකට පෙර සමාජ මාධ්‍ය වෙත මුදා හැරියා. ඒ “සඳවර්ණාවී” ඊට සෑහෙන ප්‍රතිචාර මේවනවිටත් ලැබී තිබෙනවා.

 

Comments