ස්වීප් දිනුමෙන් මංමුළා වී හිටිතැනටම වැටුණු දහතුන් කෝටිපතියා | සිළුමිණ

ස්වීප් දිනුමෙන් මංමුළා වී හිටිතැනටම වැටුණු දහතුන් කෝටිපතියා

- ගමේ පාර හැදුවේ ලක්ෂ 18ක් වැය කරලා තනි වියදමෙන්
- ඉස්සර හිටියේ යාළුවො තුන්හතරදෙනයි, දිනුමෙන් පස්සේ යාළුවො 30ක් 40ක් විතර හිටියා
- කෝටි තුන හමාරකට හදපු ගේ කෝටි එකයි විස්සකට වික්කා

සූ කෙළක් ධනය ඇති සිටු කුමරකු අසූ කෙළක් ධනය ඇති සිටු කුමරියක සමඟ විවාහ වීමෙන් අනතුරුව දෙදෙනාම සුඛිත මුදිත ජීවිතයක් ගත කරනු වෙනුවට මහමඟ සිඟමනට වැටුණු කතා පුවතක් අපට අසන්නට ලැබෙන්නේ මහා ධන සිටු යුවළගේ කතාවෙනි. මෙම කතාව ක්ෂණිකව සිහියට නැඟුණේ මීට සත් වසකට පෙර රුපියල් කෝටි 15කට ආසන්න මුදලක ලොතරැයි දිනුමක් හිමිකරගත් තරුණයකු අද ගෙවන දිවි පෙවෙත ගැන දැනගන්නට ලැබුණු විටදීය.

අපි ඔහු "කුමාර" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. ඔහු වියළි කලාපයේ දුෂ්කර ගම්මානයක උපන් තරුණයෙකි. ගොවිතැනින් දිවි සරි කරගත් කුමාරගේ පවුලට අගහිඟකම් සහ දුක්ගැහැට අමුතු දේවල් නොවේ. කුමාරට වැඩිමහල් අක්කා කෙනකු සහ නංගිලා දෙදෙනකු විය. නැඟණියන් දෙදෙනාම ස්නායු රෝගයකට ගොදුරු වී සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වීම නිසා හම්බ කළ සෑම සතයක්ම විය පැහැදම් වූයේ ඔවුන්ට ප්‍රතිකාර කිරීමටය. එයින් ඔවුහු තවතවත් දරිද්‍රතාවට ගොදුරු වූහ. කොපමණ දුෂ්කරතා තිබුණත් කුමාරගේ මවුපියන් කුමාරටත් ඔහුගේ අක්කාටත් ඉගැන්වීමට අතපසු නොකළේ දුප්පත්කමෙන් ගොඩවෙන්නට ඇති එකම මඟ අධ්‍යාපනය බව තරයේ විශ්වාස කළ නිසාය.

ගමේ පාසලෙන් අකුරු කළ කුමාර අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීමෙන් අනතුරුව ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට නගරයේ පාසලකට ඇතුළත් විය. ඔහුට සරසවි වරම් අහිමි වුවද රජයේ රැකියාවක් ලබා ගැනීමට හැකිවිය. ඔහුගේ වැඩිමහල් සොයුරිය ද ගුරු පත්වීමක් ලබා ගත්තාය. දියණිය සහ පුත්‍රයා රජයේ රැකියාවල නිරත වුවද කුමාරගේ පියා වාසනාව උරගා බැලීම පුරුද්දක් කරගෙන සිටියේ සිය ආබාධිත දියණියන් දෙදෙනා නිසාමය. ලොතරැයිපත් මිල දී ගැනීමේ පියා සතු පුරුද්ද කුමාරට ද ඇති වූයේ ඔහු අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපනය ලබන කාලයේදීමය. පියාත් පුතාත් තරගයට මෙන් ලොතරැයිපත් මිල දී ගෙන වාසනාව උරගා බැලූහ.

"ලොතරැයි මිල දී ගන්නා විට සමහර වෙලාවට අකුරු අංක බලලා ගත්ත අවස්ථා තිබුණා. එහෙම නැතිව ටිකට් කාඩ් පිටින් ගත්ත අවස්ථාත් තිබුණා. සමහර දවස්වලට ටිකට් 20ක් මිල දී ගත්තත් එකම ටිකට් එකකටවත් ජයග්‍රහණ ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවට නම් දුක හිතෙනවා. සමහර දවස්වලට රු: 500, රු: 1000 වගේ දිනුම් ලැබිලා තියෙනවා. කොහොම වුණත් අපි ලොතරැයි මිලදී ගැනීම අත් හැරියේ නැහැ. නංගිලා දෙදෙනා සනීප කරගැනීම වගේම අපිට පිළිවෙළට ඉන්න හිටින්න ලස්සන ගෙයක් හදා ගැනීමේ සිහින ඒ ලොතරැයිපත් අතරේ තිබුණා." යනුවෙන් කුමාර පැවසුවේය.

අගහිඟකම් ඔවුන්ව වෙළාගෙන සිටියත් ලොතරැයි මිලදී ගැනීම අතපසු නොකළ කුමාර සහ කුමාරගේ පියා 2015 වසරේ එක්තරා දවසක ලොතරැයි මිල දී ගැනීමට නිවසේ සිට කිලෝමීටර් 17ක් දුර ගියේ වාසනාව ඔවුන් සොයාගෙන ඒවි යැයි යන තද විශ්වාසයෙනි. එදින රාත්‍රියේ ලොතරැයි දිනුම් ඇදීමේ රූපවාහිනි වැඩසටහන නැරඹූ කුමාරට ජයග්‍රහණය හිමි වූ බව දැන ගත් මොහොත ජීවිතයේ වාසනාවන්තම හෝරාව විය. එතෙක් වැඩිම මුදලක් එකතු වී තිබූ රු. කෝටි 15කට ආසන්න මුදල් ත්‍යාගය කුමාරට හිමි විය. එයින් සියයට දහයක මුදලක් රජයේ බදු මුදල් ලෙස ගෙවූ පසු ලැබුණු ඉතිරි මුදල් වියපැහැදම් කිරීමට කුමාර රිසිසේ සැලසුම් හැදුවේය.

ප්‍රථමයෙන් කුමාර අත ගැසුවේ ආබාධිත නංගිලා දෙදෙනාට ප්‍රතිකාර පටන් ගැනීමයි. එමෙන්ම අලුත් නිවෙසක් ඉදි කිරීමේ කටයුතු ද ලහි ලහියේ ආරම්භ විය. මීට අමතරව නිවෙසට යන අබලන් පාර කුමාරගේ වියදමින් පිළිසකර කරනු ලැබුවේ වසර 10ක් පුරා පාර හදා දෙන්නට යැයි ප්‍රාදේශීය සභාවෙන් කළ ඉල්ලීමෙන් ඵලක් නොලැබුණු නිසාය.

"අපේ පාරේ කිලෝ මීටර් 2ක දුර ප්‍රමාණයක් අපි ඉතා උසස් තත්ත්වයෙන් හැදුවා. ප්‍රාදේශීය සභාවේ මෝටර් ගේටරය අපි කුලී පදනමට ගත්තා. පස් ගෙනල්ලා, පාර තළලා, ගල් අතුරලා අපි හොඳ ප්‍රමිතියට පාර හැදුවා. කිලෝ මීටර් 2ක පුරා වීදි පහන් කණු 10ක් දැම්මා. කොහොමහරි ලක්ෂ 18ක් විතර පාරට වියදම් වුණා. තව අපෙන් උදවු උපකාර ඉල්ලාගෙන එන උදවියටත් උදව් කළා. පන්සල්වලටත් උපකාර කළා. පින් දහම්වලටත් සල්ලි වියදම් කළා. මම හදපු ගෙදරටත් කෝටි 3 1/2ක් වියදම් වුණා." කුමාර ඔහුට ලැබුණු කෝටි ගණනක මුදල් වියදම් වූ ආකාරය විස්තර කළේ එලෙසිනි.

මේ කාලයේ කුමාර වටා එක්රොක්වූ මිතුරු කැල වෙනුවෙන් සියලු බරපැණ දැරීමට සිදු වූයේ ද කුමාරටය. ඔවුන් දුන් උපදෙස් ඉස් මුඳුනින් පිළිගත් කුමාර එක් එක් ව්‍යාපෘති සඳහා ඉතා නිර්ලෝභිව මුදල් වැය කළේය. එහෙත් ඔහු නොකළ එකම දෙයක් තිබිණි. ඒ යම් මුදලක් බැංකුවක ස්ථාවර තැන්පතුවක් වශයෙන් හෝ තැන්පත් නොකිරීමයි. රක්ෂණ නියෝජිතයන් සහ බැංකු නියෝජිතයන් දවසකට දහදොළොස් වතාවක් ඔහු සොයා පැමිණ ඔහුට උපදෙස් දෙනවිට එය ඔහුට දැනුණේ වදයක්, කරදරයක් ලෙසිනි. ඒ අතරවාරයේදී 2016 වර්ෂයේදී ඔහුගේ විවාහය සිදු වූයේ ඔහු කලක් දැන හඳුනාගෙන සිටි පෙම්වතිය සමඟිනි. කුමාර කෝටිපතියකු වූවා කියා සිය පෙම්වතිය අමතක කළේ නැත. ඔහුගේ බිරිය පවා මුදල් කළමනාකරණය පිළිබඳව ඔහුට යම් යම් උපදෙස් දුන්න ද ඔහු ඒ කිසිවක් සතේකට මායිම් කළේ නැත.

කාලය වසර 4ක් පමණ ගෙවී ගියේය. කුමාර සතු ධනය ඉක්මනින් සිඳී යන්නට විය. ධන උල්පත් මතු කර නොගෙන තිබීම නිසා ධනය සිඳී යන විට නැවත ධනය ගලා ආවේ නැත. කුමාරට ණයකාරයකු වීමට සිදු වූයේ ඒ නිසාය. අවසානයේදී ඔහුට නව නිවෙස ද විකුණා දැමීමට සිදු විය.

"කෝටි තුන හමාරක් වියදම් කරලා හදපු ගෙදර කෝටි 1යි විස්සකට විකුණුවේ. අපේ ගේ හදන වැඩේ බාර දුන්නේ ගමේම අපි දන්න බාස්ලා කට්ටියකට. අපෙන් කෝටි තුන හමාරක් විතර ගත්තාට පස්සෙ තමයි දැනගත්තේ ගේ හදන්න එක්කෝටි 60 ලක්ෂයක්, 70 ලක්ෂයක් අතර මුදලක් වියදම් වුණේ කියලා. ගමේ අය වුණත් ඒ අය අපිව රැවැට්ටුවා. මට මුලින්ම හිටිය යාළුවෝ තුන් හතර දෙනෙක් විතරයි. ඒත් පස්සේ යාළුවෝ 20ක් 30ක් විතර මගේ වටේම හිටියා. මගේ බිරිය, ගෙදර අය මට ඒ කාලේ උපදෙස් දුන්නා. නමුත් මම ඒ කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. මට ඕන දේ තමයි කළේ. අන්තිමට මම රටට ණයකාරයෙක් වුණා." යනුවෙන් කුමාර සඳහන් කළේ බිඳුණු හඬිනි.

මේ අවස්ථාවේදී කුමාරගේ ජයග්‍රාහි මුදල් ප්‍රදානය කළ මොහොතේදී එවකට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා පෙරේරා දුන් අවවාද සිහිපත් කිරීම වටී.

"මේ උදාවුණු වාසනාව ජීවියේ සාර්ථකත්වයට යොදා ගන්න. මුදල් ගනුදෙනුවලට සම්බන්ධ ස්ථානයක සේවය කරන නිසා අපි අත්දැකීමෙන් දන්නවා ලැබෙන මුදල් නිසි ලෙස කළමනාකරණය නොකර සාර්ථක ප්‍රතිඵල ලැබීම අපහසු බව. ඒනිසා මේ ලැබුණු මුදල් නිවැරදි උපදෙස් මත නිසි ආකාරයට කළමනාකරණය කරන්න." යනුවෙන් එදා ඈ දුන් ඔවදන් කුමාර පිළිගත්තේ නම් ඔහුට අද මෙවන් ඉරණමකට මුහුණදීමට සිදු වන්නේ නැත. කුමාර මුදල් ආයෝජනය කළේ මිතුරන්ගේ උපදෙස් අනුව වැරදි ව්‍යාපෘතිවලටය. ඔහු අත ගැසුවේ ගොඩ එන්නට බැරි ව්‍යාපාරවලටය. ලොතරැයි ජයග්‍රහණයෙන් ලැබුණු මුදල් පමණක් නොව උපන් දා සිට වාසය කළ ගේදොර ගම්පියස පවා අත්හැර දමා කාත් කවුරුත් නැති ඉසව්වකට ඔවුන්ට සේන්දු වීමට සිදු වූයේ තිබූ ණය ගෙවා දැමූ නිසාය. කුමාර රජයේ රැකියාවේ නිරත වී සිටින බැවින් ඔහුට මාසික වැටුපක් හිමිවේ. එය එක්තරා අතකින් ඔහු ලැබූ එක්තරා භාග්‍යයක් බව සඳහන් කළ හැකිය. කුමාරගේ පියා සුපුරුදු ලෙස ගොවිතැන් කටයුතුවල නිරත වී සිටියි. කුමාර ද ලැබෙන විවේකය ගොවිතැනට යොදවන්නේ ඔහුට එය හුරුපුරුදු කටයුත්තක් වන නිසාය. ඔහුගේ ආබාධිත සොයුරියන් දෙදෙනා තවමත් පූර්ණ සුවය ලබා නැත.

"එක පැත්තකින් ලොකු කලකිරීමක් තියෙනවා. අපේ පවුලට මුළු ජීවිත කාලයම සතුටින් ඉන්න තිබුණු අවස්ථාව නැති කරගත්තා නේද කියලා හිතෙනකොට දුකයි. අම්මායි තාත්තායි අපි පුංචි කාලේ ඉඳලාම දුක් වින්දා. ජීවිතයේ අවසාන කාලයේ එයාලාට සැපවත් ජීවිතයක් දෙන්න මම බලාපොරොත්තු වුණා. ඒත් මට ඒ දේ කරන්න බැරිවුණා. ඒත් සමාජය ගැන හොඳ අවබෝධයක් ලබාගැනීමට මට මේක හොඳ අවස්ථාවක් වුණා. මිතුරු වෙසින් එන අය ගැන, පවුලට අවංකවම හිතවත් අය ගැන අපිට හරියටම දැනගන්න පුළුවන් වුණේ මේ සිද්ධියෙන්. සමාජය ගැන නියම ආකාරයට දැනගන්න හැකිවීම ගැන නම් සතුටක් තියෙනවා." යනුවෙන් කුමාර පැවසුවේ ඔහු මුහුණදුන් අත්දැකීමේ හොඳ නරක පෙන්වා දෙමිනි.

කුමාර දැන් සිය පවුල සමඟ නිදහසේ නිස්කලංක ජීවිතයක් ගත කරයි. වාසනාව තුළින් මතුවූ අවාසනාව ඔහු උපේක්ෂා සහගතව විඳ දරා ගනියි. ඔහු කළ පිංකම් ගැන සමාජ ශුභසාධනය ගැන සිතමින් ඔහු සතුටු වෙයි. ඒ අතරේදී ඔහු අවවාදයක් දීමට ද අමතක කළේ නැත.

"ලොකු දිනුමක් ඇදුණාම කලබල වෙන්න හොඳ නැහැ. තමන්ගේ අවශ්‍ය දේවල් ටික සම්පූර්ණ කරගෙන තමන්ට පුරුදු ක්ෂේත්‍රයක දන්න දෙයක් කරගෙන ඉන්න එක තමයි හොඳම දේ. හැමදේම හොඳට හොයලා බලලා කරන්න ඕනෑ. ඉක්මන් වෙන්න හොඳ නැහැ. මම දීපු දේවල් ගැන දුකක් නැහැ. අපි දුන්නොත් තමයි අපිට ලැබෙන්නේ. වැරදි කරනවා නම් ඒවත් පටිසන් දෙනවා. මට ගොඩක් අය ගොඩාක් දේවල් කිව්වා, කළා. දැන දැන වැරදි කරලා කෙනෙකුව අමාරුවේ දානවා කියන එක පාපයක්. ඒවා පටිසන් දෙනවා." යනුවෙන් කුමාර පැවසුවේය. ඔහුගේ වදන්වැල් අවසානයේ ගලා ආ හිස් සුසුම්පොද මහා කතාවක අවසානයක් වුවද එය අවසානයක් ලෙස අපට නොහැඟෙන්නේ නිසි කළමනාකරණයක් නොමැති වීම හේතුවෙන් ජීවිත වරද්දා ගන්නා මිනිසුන් සමාජයේ තවත් සිටින නිසාය. එවැනි අය ඉදිරියේදීත් බිහි විය හැකි නිසාය.

Comments