මීග­මුව ඇවෙන්ඩ්‍රා හෝටල් කොල්ලයේ සුල­මුල හෙළි වුණු හැටි | සිළුමිණ

මීග­මුව ඇවෙන්ඩ්‍රා හෝටල් කොල්ලයේ සුල­මුල හෙළි වුණු හැටි

මැයි මාසයේ නව වැනිදා සමස්තයක් ලෙස රට පුරා පැවැති ප්‍රචණ්ඩකාරි ක්‍රියා නිසා සංචාරක හෝටල් කීපයකට ද බරපතළ අලාභ හානි සිදුවිය.

 

මේ අතරින් මීගමුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටල් සමූහයට සිදුවූ අලාභ හානිය මෙතෙක් නියමාකාරයෙන් මිල කර නැත. රුපියල් කෝටි ගණනාවක අලාභයක් ඊට සිදුවී ඇති බවට සැක කැරේ.

මැයි නව වැනිදා සවස මීගමුව මහහුණුපිටිය ප්‍රදේශයේ පිහිටි ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටලයට කඩාවැදුණු පන්සියයකට ආසන්න ප්‍රචණ්ඩකාරින් පිරිසක් එම හෝටල් සමූහය ගිනිබත් කරන්නේ පැය කීපයක් ඇතුළතදීය. ඉන් නොනවතින මේ ප්‍රචණ්ඩකාරීන් හෝටලයේ තිබූ මිල මුදල්, රන් අබරණ, සේප්පු පිටින් කොල්ලකා පලා යන්නේ නිරුපදිතවය. මීගමුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටල් සමූහය සහ එහි අයිතිකරු වන කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවෙස ද ගිනිබත් වෙද්දි තවත් සංවිධානාත්මක කණ්ඩායමක් ඇවෙන්ඩ්‍රා හෝටලය අයිතිකරු වන ව්‍යාපාරිකයාටම අයත් මීගමුවේම පිහිටි 'බේෆ්‍රන්ට්' සංචාරක හෝටලයට සහ ඔහුට අයත් තවත් නිවෙසකට පහරදී ගිනි තබා අලාභ හානි සිදුකර පලා ගොස් තිබිණි.

මීට අමතරව මීගමුවේදී තවත් ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් ද මැයි මාසයේ නව වැනිදා රාත්‍රිය වන විට සිදුවී තිබිණි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන නිමල් ලාන්සා, ඔහුගේ සොයුරා වන මීගමුව නගරාධිපති දයාන් ලාන්සා සහ මේ දෙපළගේ පියාගේ නිවෙස කලහකාරින් විසින් ගිනිබත් කර තිබුණු අතර ඔවුනට අයත් තවත් සංචාරක හෝටලයක් ද කලහකාරින් විසින් විනාශ කර තිබිණි.

මේ අතර සංවිධානාත්මක කණ්ඩායමක් මීගමුව කුරණ පිහිටි ග්‍රෑන්ඩ් ඊෂා සුඛෝපභෝගී සංචාරක හෝටලය ද ගිනි තබා විනාශ කරද්දි තවත් කණ්ඩායමක් එහි තිබුණු රුපියල් කෝටි ගණනක භාණ්ඩ කොල්ලකෑවේ විශාල පිරිසක් බලා සිටියදීය.

මීගමුව මහහුණුපිටිියේ ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටල් සමූහය, එය අයත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවෙස සහ ඔහුටම අයත් 'බේ ෆ්‍රන්ට්' හෝටලය සහ තවත් නිවෙසක් ගිනි තබා විනාශ කර මිල මුදල් දේපළ කොල්ලකෑමේ සිද්ධිය ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ වන්නේ මේ සිද්ධියට පසුදිනය.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂඛ රෝහණ මුණසිංහ කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර යන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් මේ කණ්ඩායම් හතර විමර්ශන ආරම්භ කරන්නේ මේ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාය.

මේ විමර්ශන කණ්ඩායම් හතර මාස එකහමාරකට ආසන්න කාලයක් ඇතුළත සිදුකළ විමර්ශන වලදී අනාවරණය කර ගත් තොරතුරුවලට අනුව හෝටල් සමූහයට පහරදී ගිනි තබා විනාශ කර මිල මුදල්, දේපළ කොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයන් 113 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අදාළ හෝටලයෙන් කොල්ලකෑ මිල මුදල්, රන් අබරණ, භාණ්ඩ ඇතුළු දේපළ රැසක් සොයාගෙන තිබිණි. මේ අතර සුවිශේෂී වූයේ මේ හෝටලයෙන් කොල්ලකන ලද භාණ්ඩ අඩංගු විශාල ට්‍රක් රථයක් ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරින්ට හැකිවීමයි.

මැයි 9 වැනිදා මීගමුව මහහුණුපිටියේ පිහිටි ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටල් සමූහයට පහරදී ගිනි තබා විනාශ කරද්දි එහි අයිතිකරු වූ කෝටිපති ව්‍යාපාරිකයාට අයත් නීත්‍යානුකූල බලපත්‍ර සහිත රිපිටර් තුවක්කු, ත්‍රී එයිට් වර්ගයේ පිස්තෝලයක් ද අස්ථානගත විය.

රුපියල් කෝටි සියයකට ආසන්න වටිනාකමින් යුතු 'හැමර්' වර්ගයේ සුඛෝපභෝගී වාහන 2ක්, ලැම්බෝගිනි එකක්, ලිමොසින් වාහනයක්, බෙන්ස් එකක්, කේ ඩී එච් වෑන් දෙකක්, වායු සමනයක කළ සුඛෝපභෝගී බසයක්, මැස්ඩා කැබ් එකක්, ලොරියක්, පෞරාණික වටිනාකමකින් යුත් 7 ශ්‍රි වාහනයක් මෙලෙස ගිනි තබා විනාශ කැරිණි.

ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හි තිබූ සේප්පු කීපයක් ද කොල්ලකරුවන් විසින් පැහැරගෙන යන ලදි. එක් සේප්පුවක තිබුණේ වාහනවලට අයත් පොත්පත් සහ ලිපි ලේඛන තොගයකි. දෙවැනි සේප්පුවේ රුපියල් හත් කෝටියකට ආසන්න අමෙරිකානු ඩොලර් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක්, යුරෝ මුදල් තිස්පන්දහසක්, ලංකා මුදල් වලින් රුපියල් මිලියන තිස්පහක් තිබුණු අතර තවත් රුපියල් මිලියන හතරක්, නිවෙසේ තිබුණු රුපියල් ලක්ෂ 15ක් ඊට අමතරව රුපියල් ලක්ෂ 10ක රන් අබරණ, රුපියල් කෝටි ගණනක් වටින විවිධ වර්ගවල අත්ඔරලෝසු කොල්ලකරුවන් විසින් කොල්ලකා තිබිණි.

මුදල්, දේපළ පැහැරගත් පිරිස සොයා විමර්ශන සිදුකරන පොලිස් පරීක්ෂණ ගිහාන් මනෝහර ඇතුළු කණ්ඩායමට තොරතුරක් ලැබිණි. ඒ මේ හෝටලයෙන් කොල්ලකෑ ස්වර්ණාභරණ උණුකර මීගමුවේ ස්වර්ණාභරණ අලෙවිහලකට අලෙවි කළ අයකු පිළිබඳවය. මේ ස්වර්ණාභරණ කෑලි දෙකක් ලෙස උණුකර විකුණා තිබුණේ රුපියල් එකොළොස් ලක්ෂ අනූ දහසකටය. මේවා මිලදී ගත් ස්වර්ණභාරණ අලෙවි ව්‍යාපාරිකයා තමන්ට එම ස්වර්ණාභරණ අලෙවි කළේ කුඩුකාරයකු බව දැන දැනත් එම ස්වර්ණාභරණ මිලදී ගෙන තිබිණි. ඒ එම සැකකරු ඔහුගේ ගමේම පදිංචි අයකු නිසාය. පොලිස් පරීක්ෂක මනෝහර අදාළ රන් මිලදී ගත් ව්‍යාපාරිකයා ද අත්අඩංගුවට ගන්නේ විමර්ශනවලදී ලැබුණු තොරතුරු මතය. මත් ලෝලී සැකකරු මේ වන විට පලා ගොස් සැඟවී සිටී.

පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර ඇතුළු කණ්ඩායම සිදුකරන ලද දීර්ඝ විමර්ශනයේදී අනාවරණය වන්නේ මීගමුව රබර්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ගැනය. මේ දෙදෙනා අදාළ කොල්ලයත් සමඟ ආ ගිය අතක් නැතිව සිටි අතර ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරු අනුව පොලිස් පරීක්ෂක මනෝහර ඇතුළු කණ්ඩායම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නේ කුරුණෑගල ප්‍රදේශයේදීය.

මේ දෙදෙනාගෙන් අනාවරණය වන්නේ අමුතුම කතාවකි. මැයි 9දා ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටලයට ගිනි තැබූ අවස්ථාවේ ඊට සම්බන්ධ වූ කටාන කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු එම කොල්ලයෙන් පැහැරගත් සේප්පුවක් කඩා ලබා ගත් රන් අබරණවලින් කොටසක් තමන්ට දුන් බවත් හෙළිකරන ලදි.

මේ අනුව විමර්ශනයේ නිරතවූ පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර අදාළ පුද්ගලයා කටාන කොට්ටරාමුල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගන්නා ලදි.

ඔහුගෙන් ප්‍රශ්න කරද්දි අනාවරණය වන්නේ ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටලයෙන් කොල්ලකෑ රන් අබරණවලින් කොටසක් තම මිතුරකු වන කුලියාපිටියේ රන් අබරණ ව්‍යාපාරිකයකුට ලබා දුන් බවයි. එම පුද්ගලයා සමඟ එක්වී කුරුණෑගල මිතුරන් දෙදෙනාට රුපියල් දහසය ලක්ෂයක මුදල් දී ඇත්තේ කුරුණෑගල බස් නැවතුමේ ඉහළ මාලයේ සහ මල්කඩුවාව හන්දියෙන් කොමියුනිකේෂන් දෙකක් ආරම්භ කිරීමට එම රුපියල් ලක්ෂ 16ක මුදල ලබා දුන් බවයි. එම මුදල් ලබාගත් පුද්ගලයන් දෙදෙනා ඉන් අනතුරුව නිහඬව සිට ඇත්තේ කුලියාපිටියේ රන් ව්‍යාපාරිකයාට බියෙනි.

කුලියාපිටියේ රන් අබරණ ව්‍යාපාරිකයාට තමන් රුපියල් ලක්ෂ 38ක් වටිනා අමෙරිකානු ඩොලර් දසදහසක් ලබා දුන් බවත් ව්‍යාපාරිකයා එය කොළඹ තවත් ව්‍යාපාරිකයකුට මුදල් කිරීම සඳහා ලබා දුන් බවත් කොට්ටරාමුල්ල පදිංචි සැකකරු පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහරට පවසා තිබිණි. ඒ අනුව එම රුපියල් ලක්ෂ 38ක මුදල් ද සොයා ගැනීමට ද පොලිසියට හැකි විය. කුලියාපිටියේ රන් ව්‍යාපාරිකයා ද කොට්ටරාමුල්ල පදිංචිකරුවෙකි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පස් දෙනෙකි. රුපියල් ලක්ෂ 70කට ආසන්න වටිනාකමින් යුත් රන් ග්‍රෑම් 334ක් (පවුම් 34ක්) සොයා ගැනීමට ද පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර ඇතුළු කණ්ඩායමට හැකිවිය.

පිටකොටුවේ ව්‍යාපාරිකයා මේ වන විට ආගිය අතක් නැත. රන් අබරණ සොයා ගන්නා අවස්ථාවේදී ඒවා උණුකර තිබිණි. මෙලෙස සොයා ගන්නා ලද රන් සහ මුදල්වල වටිනාකම රුපියල් කෝටියකට වැඩිය.

පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර ඇතුළු කණ්ඩායම සිදුකරන විමර්ශනවලට අදාළව කුලියාපිටියේ සහ මීගමුවේ රන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් ඇතුළු හයදෙනෙක් අත්අඩංගුවේ පසුවන අතර තිදෙනෙක්ම මත් ලෝලීහු වෙති.

මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා, පොලිස් අධිකාරි නාලක සේනානායක, සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහත්වරුන්ගේ උපදෙස් මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර, සැරයන් 49320 චින්තක, කොස්තාපල්වරුන් වන 53523 බණ්ඩාර, 67229 අමල්, 67021 දිසානායක, 82758 කුලතුංග යන නිලධාරින් වැඩිදුර විමර්ශන සිදුකරති.

 

Comments