කනිෂ්ඨ බාලක බාලිකාවන්ගේ ඔද තෙද වරුණෙන් නව වාර්තා 15ක් | සිළුමිණ

කනිෂ්ඨ බාලක බාලිකාවන්ගේ ඔද තෙද වරුණෙන් නව වාර්තා 15ක්

 

ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ නව තරග වාර්තා 15ක් සමඟින් තරගාවලිය නිමා වුයේ මීටර 400 ජාතික ශූරියක වන වලල ඒ රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර 400 ඉසව්ව පහසුවෙන් තත්පර 54.34කින් ඉසව්ව නිමා කරමින්ය. මෙකී දක්ෂතාව නව තරගාවලි වාර්තාවක් ලෙස ද සටහන් වු අතර ඊට පෙර ඩිල්ෂි කුමාරසිංහ 2018 වසරේ දී තත්පර 54.36කින් ඉසව්ව නිමා කරමින් වාර්තාවක් තබා තිබුණි. සාන්ත පීතර විද්‍යාලයේ හිරුෂ හෂේන් තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස ද සම්මානය හිමිකර ගත්තේය.ඒ වයස අවුරුදු 20න් පහළ දුර පැනීමේ ඉසව්ව සඳහා මීටර 7.78ක දුරක් වාර්තා කරමින්ය.තරුෂි සහ හිරුෂ දෙදෙනාම ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ද මේ වන විටත් සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.

 

කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියේ වේගවත් ම ක්‍රීඩකයා ලෙස මීටර 100 බාලක ඉසව්වෙන් ජාතික ශූර චමෝද් යෝදසිංහ ජය හිමි කර ගත්තේ තත්පර 11.02 කින් ජය හිමිකර ගනිද්දී, මීටර 100 බාලිකා ඉසව්වේ වේගවත් ම ක්‍රීඩිකාව ලෙස ජය හිමි කරගත්තේ තත්පර 12.27 කින් තරගය නිමා කළ දුල්යනා සුලුදාගොඩ යි.

පසුගිය මැයි මස 09 දින රට තුළ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමන්නට යෙදුණු ජාතික ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ජුනි 07, 08, 09 සහ 10 යන දිනයන්හි කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදහසකට අධික ප්‍රමාණයක් සහභාගි වු බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කළේය. ඉකුත් මැයි මස 09 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණු මෙවර තරගාවලියේ මුල් දිනට නියමිත තරග ඉසව් අතරින් තරග ඉසව් කිහිපයක් අවසන් කර ගැනීමට හැකි වුවද, පළමු දිනයේ ඉතිරී වූ සහ ඉදිරි සියලුම තරග ඉසව් උද්ගත වූ හදිසි තත්ත්වය හේතුවෙන් මෙසේ කල් දමන්නට සිදු විය.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය යටතේ අවුරුදු 16 න් පහළ, අවුරුදු 18 න් පහළ ,අවුරුදු 20 න් පහළ මෙන්ම අවුරුදු 23 න් පහළ බාලක සහ බාලිකා යන වයස් සීමාවන් යටතේ තරග පැවැත්විණි.

විශේෂයෙන් මෙකී තරගාවලියේ බාලක බාලිකා රිටි පැනීමේ ඉසව්වලදී උතුරු නැගෙනහිර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් කැපී පෙනෙන මට්ටමක පැවැතුණි. වයස අවුරුදු 23න් පහළ පිරිමි රිටි පැනීමේ නව තරග වාර්තාව වසර 7කට පසු ඇරන්තුවරාසා පුවිතරන් අත්පත් කර ගැනීමට සමත්විය. පුවිතරන් චාවකච්චේරියේ හින්දු මහා විදුහලෙන් ක්‍රීඩාවට පිවිස, දැනට ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායට එක්ව සිටියි.ඔහු විසින් බිඳ හෙළුවේ වසර 2015දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්. එච්. අයි. සඳරුවන් විසින් පිහිටුවා තිබූ වාර්තාවයි. වයස අවුරුදු 18න් පහළ බාලිකා රිටි පැනීමේ අවසන් තරග ඉසව්වේදී මීටර් 3.15ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් නව තරග වාර්තාවක් බිහි කිරීමට චාවාකච්චේරි හින්දු විද්‍යාලයේ පරනත්තමන් අභිෂලිනි සමත් වූ අතර එහි දෙවැනි ස්ථානය ද චාවාකච්චේරි හින්දු විද්‍යාලය සතු වූ අතර මීටර් 2.8ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ඊට හිමිකම් කීමට මතියන්නන් ෂලිනි ක්‍රීඩිකාව සමත් වූවාය. අභිෂලිනි මීටර් 3. 15කින් බිඳ හෙළනු ලැබුවේ 2018දී එකී විදුහලේම එන්. දක්ෂිතා මීටර් 3. 02කින් පිහිටුවා තිබූ වාර්තාවයි.

වයස අවුරුදු 18න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහිකරමින් රන් පදක්කමක් දිනා ගැනීමට බිබිල නන්නපුරාව මහා විදුහලේ මදුෂානි හේරත් සමත් වුවාය. එහිදී ඇය වාර්තා කළ දුර මීටර් 5.98කි.

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ කේෂාවි උදේෂානි වයස අවුරුදු 16න් පහළ හෙල්ල විසි කිරීමේ බාලිකා ඉසව්වෙන් නව තරග වාර්තාවකට හිමිකම් කීමට සමත් වූවාය. එහිදී මීටර් 37.42ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට ඇය සමත් වූවාය.

වයස අවුරදු 18න් පහළ බාලක යගුලිය දැමීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කිරීමට පානදුර රාජකීය විද්‍යාලයේ ජයවී රන්හිඳු සමත් වුයේ මීටර් 16.98ක දක්ෂතාවක් සටහන් කරමින්ය. කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ඉවෝන් වයිට් මීටර් 13.31ක දක්ෂතාවයක් සහ සාන්ත බෙනඩික් විද්‍යාලයේ ස්ටීව් සෙබස්තියන් මීටර් 12.44ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට සමත් වුහ.

මීටර් 400 කඩුලු පැන දිවීමේ බාලක සහ බාලිකා ඉසව් දෙකෙන්ම නව තරග වාර්තා දෙකක් බිහි විය. එහිදී වයස අවුරුදු 18න් පහළ බාලක ඉසව්ව තත්පර 52.11කින් නිමා කරමින් නව තරග වාර්තාවක් බිහි කිරීමට අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ කේ.එම්.ඩී. දර්ශන සමත් වනවිට වයස අවුරුදු 20න් පහළ බාලිකා ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කිරීමට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ අමේෂා හෙට්ටිආරච්චි සමත් වූවාය. ඒ විනාඩි 1.01.40ක් සටහන් කරමින්ය.

මාතර යටියන මධ්‍ය මහා විද්‍යාලයේ නිහින්සා මන්දිනී මීටර් 37.47ක දක්ෂතාවයක් ප්‍රදර්ශන කරමින් 20න් පහළ බාලිකා මිටිය විසි කිරීමේ ඉසව්ව ජය ගත් අතර මහාමායා බාලිකා විද්‍යාලයේ ශානිකා සඳමාලි මීටර් 31.44ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් වූයේ මීට පෙර මෙම ඉසව්වේ පැවැති පැරණි වාර්තාව පසුපසට ඇඳ දමමින්ය.

වයස අවුරුදු 20න් පහළ බාලක හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කිරීමට කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ රුමේෂ් තරංග සමත්වුයේ මීටර් 69.30ක ක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්ය. හලාවත සාන්ත මරියා විද්‍යාලයේ දිනේෂ් දිල්ශාන් එම ඉසව්වේ දෙවැනි ස්ථානයට පත්වූයේ මීටර් 64.95ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින්ය. එම දක්ෂතාවයද එම ඉසව්වේ පැරණි වාර්තාව බිඳ වැටීමක් ලෙසින් සටහන් විය.

 

නව තරග වාර්තා

 

1) ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ශානිකා ලක්ෂාණි කාන්තා 23න් පහළ මීටර් 800 ඉසව්වේ නව වාර්තාවක් බිහි කළේ විනාඩි 2: 08. 44ක කාලයක් වාර්තා කරමින්ය.

 

2) බිබිල නන්නපුරාව මහා විදුහලේ මදුෂානි හේරත් වයස අවුරුදු 18න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කරමින් රන් පදක්කමක් දිනා ගත්තේ මීටර් 5. 98ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්ය.

 

3) චාවාකච්චේරි හින්දු විද්‍යාලයේ පරනත්තමන් අභිෂලිනි වයස අවුරුදු 18න් පහළ බාලිකා රිටි පැනීමේ ඉසව්වේදී මීටර් 3.15ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වුවාය.

 

4) මොරටුව වේල්ස් කුමරි විදුහලේ කේෂාවි උදේශානි වීරසිංහ නව තරගාවලි වාර්තා පිහිටුවන්නට සමත් වුනේ 16න් පහළ හෙල්ල විසිකිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමිනුයි. ඇය විසින් වාර්තා කළ දක්ෂතාවය ලෙස සටහන් වුනේ මීටර් 37.42ක් ලෙසයි.

 

5) කාන්තා 20න් පහළ මීටර් 400 කඩුලු: අමේෂා හෙට්ටිආරච්චි - මිනිත්තු 1: 01. 04 (මහනුවර උසස් බාලිකා)

 

6) පානදුර රාජකීය විදුහලේ ජයවි රන්හිඳු අල්විස් විසින් 18න් පහළ බාලක යගුලිය දැමීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුනේ මීටර් 16.98ක දුරක් වාර්තා කරමිනුයි.

 

7) තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ බාලක මීටර් 400 කඩුලු පැනීමේ අවසන් තරගයට සහභාගී වූ එම ඉසව්වේ ජාතික ශූර (අඹගමුව මධ්‍ය මහා විදුහල) ධනුක දර්ශන තත්පර 52.11ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් නව තරග වාර්තාවක් සමඟ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

 

8) අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 14.86ක කාලයකින් අවසන් කිරීමට අමේෂා හෙට්ටිආරච්චි සමත් වුනේ එම ඉසව්වේ තරගාවලි වාර්තාව තමන් සතු කරගනිමිනුයි.

 

9) අවුරුදු 20න් පහළ බාලක මීටර් 110 කඩුලු පැනීම ඉසව්වේ පැවැති මූලික තරගය තත්පර 14.14ක කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිට වූ කොළඹ රාජකීය විද්‍යාලයේ නඳුන් බණ්ඩාර අවසන් තරගය තත්පර 14.24ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කළා.

 

10) මාතර යටියන මහා විදුහලේ නිහංසා මන්දිනී වයස අවුරුදු 20න් පහළ කාන්තා රිටි පැනීම ඉසව්වෙහි මීටර් 37.47ක දස්කමක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වුවාය.

 

11) වයස අවුරුදු 20න් පහළ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව නව තරගාවලි වාර්තාවක් සමඟින් ජයග්‍රහණය කිරීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ රුමේෂ් තරංගට (මීටර් 69.30)

 

12) වයස අවුරුදු 20න් පහළ පිරිමි කාණ්ඩයේ තවත් ඉසව්වක් වූ මිටිය විසිකිරීම ඉසව්ව සඳහා සහභාගී වූ එස්. මිතුන් රාජ් ( පේදුරුතුඩුව හාට්ලි විදුහල) මීටර් 40.45ක දස්කමක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් සමඟ ජයග්‍රහණය හිමි කරගත්තා.

 

13) ජාතික මලල ක්‍රීඩා පිටියෙහි කැපී පෙනෙන යොවුන් ක්‍රීඩකයෙක් වන ඇරන්තුවරාසා පුවිතරන් වයස අවුරුදු 23න් පහළ රිටි පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 5.00ක උසක් තරණය කරමින් එහි තරගාවලි වාර්තාව ද බිඳ හෙළමිනුයි.

 

14) මීටර 400 ජාතික ශූරියක වන වලල ඒ රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර 400 ඉසව්ව පහසුවෙන් ජයගත්තේ තත්පර 54.34කින් ඉසව්ව නිමා කරමින්. එමෙන්ම මෙය නව තරගාවලි වාර්තාවක් ද වෙනවා. ඇයට පෙර ඩිල්ෂි කුමාරසිංහ 2018 වසරේ දී තත්පර 54.36කින් ඉසව්ව නිමා කරමින් වාර්තාවක් තබා තිබුණා

 

15) වයස අවුරුදු 23න් පහළ බාලිකා මීටර 400 ඉසව්වෙන් හර්ෂනී ප්‍රනාන්දු පිහිටු වූ වාර්තාවයි. ඇය එම ඉසව්ව තත්පර 54.96කින් නිමා කළේ පී. ජී. එන්. මදුෂිකාගේ වාර්තාව බිඳ දමමින්.

ඡායාරූප - ද පපරේ

Comments