ආර්ථිකය නංවන්න ව්‍යාපාරික ප්‍රජාවගෙන් යෝජනා රැසක් | Page 2 | සිළුමිණ

ආර්ථිකය නංවන්න ව්‍යාපාරික ප්‍රජාවගෙන් යෝජනා රැසක්

- ක්‍රමානුකූල සැලැස්මක් හා වැඩපිළිවෙළක් අනුව දේශීය දෑ පරිභෝජනයට ජනතාව හුරු කළ යුතුයි
- ඉදිකිරීම් කර්මාන්තය යළි ප්‍රකෘතිමත් කිරීමට ගොඩනැඟිලි සහ ඉදිකිරීම් කර්මාන්ත ආරක්ෂණ පනතක්
- තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ ව්‍යාපාර සංසදයෙන් දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක්
- අවශ්‍ය ද්‍රව්‍ය අවහිරයකින් තොරව ලබා ගත හැකි ක්‍රමානුකූල වැඩපිළිවෙළක්

ර්ථික අර්බුදයත් සමඟ තීව්‍ර වූ දේශපාලන අර්බුදය මැද මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගත්තේය. දිනෙන් දින මෝරා වැඩෙමින් ජනතාව පීඩනයට හා අසහනයට පත් කරන දේශපාලන, ආර්ථික හා සාමාජයීය ගැටලු සඳහා විසඳුම් ලබා දීමට නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ජාත්‍යන්තර ප්‍රජාවගේ ද ආධාර, උපකාර අපේක්ෂාවෙන් කටයුතු ආරම්භ කළද අර්බුදවලට විසඳුම් ඉල්ලා මහ පාරට ආ ජනතාව තවමත් සිය අරගලයට නැවතීමේ තිත තබා නැත.

උග්‍ර වී ඇති ආර්ථික අර්බුදයේ අවසානය ගැන ඉමක්,කොණක් ගැන සිතා ගැනීමටවත් නොහැකි වී තිබියදී වර්තමාන ආර්ථික ගැටලු හා එම ගැටලු විසඳීමට තමා ඇතුළු රජය ප්‍රවේශ වන ආකාරය පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක්ද සිදු කළේය.

මෙම වාතාවරණය තුළ අප රටේ ආර්ථිකයේ හෙට දවස පිළිබඳ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස හැඳින්විය හැකි මෙරට ප්‍රජාව දරනු ලබන අදහස් මොනවාද? මේ පිළිබඳ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනකු දැක්වූ අදහස් මෙසේය.

ආර්ථික අර්බුදය ප්‍රසාරණය වූ වටාපිටාවක වුවත් මෙරටට වැඩිම විදේශ විනිමය ගෙන ආ ක්ෂේත්‍රය වන්නේ ඇඟලුම් කර්මාන්තයයි. එම ඇඟලුම් කර්මාන්තය තුළ දැවැන්ත සන්නාමයක් ලෙස හැදින්විය හැකි මාස් හෝල්ඩින්ග්ස් හි සම නිර්මාතෘ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මෙන්ම ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) සභාපති ශෙරාඩ් අමලියන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව, නිර්මාණශීලිත්වය සහ දක්ෂතාව ශ්‍රී ලාංකීය ඇඟලුම් කර්මාන්තය ගෝලීය වශයෙන් ඉදිරියට ගෙන යෑමේ මාර්ගය වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශය රටේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 6ක දායකත්වයක් සපයන අතර සියලුම වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට දායක වේ. මෙම ක්ෂේත්‍රය 350,000 කට වැඩි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට සෘජු රැකියා අවස්ථා සපයා ඇති අතර, ප්‍රධාන සැපයුම් දාමයේ කොටසක් ලෙස ශ්‍රී ලාංකිකයන් 700,000 කට වැඩි පිරිසකට ජීවනෝපාය මාර්ග උදා කර දීමටද ඇඟලුම් ක්ෂේත්‍රයට හැකියාව ලැබී තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවකි.

ඇඟලුම් ක්ෂේත්‍රය තුළ අපගේ ඉලක්කය වූයේ 2025 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 8 ක මට්ටමට ළඟා වීමයි. චීනය සහ ඉන්දියාව වැනි තරගකාරී රටවල් සමඟ එකී තරගයට මුහුණ දෙමින් එම ඉලක්කය සපුරා ගැනීමට හැකි වේය යන්න අපගේ පුරෝකථනය විය. කෙසේ වුවත් කොවිඩ් ව්‍යාප්තිය ඉතා ශීඝ්‍රයෙන් සිදු වූ කාලවකවානුව තුළ මෙන්ම වර්තමාන ආර්ථික අර්බුදය තුළ ද අපගේ මෙම ඇඟලුම් කර්මාන්තයට විශාල පසුබෑමක් සිදු වී ඇති බව අප කවුරුත් පිළිගත යුතුය.

මේ අදහස් දැක්වීමට එක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් සඳහන් කර සිටියේ රට තුළ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය ඉතාම ඉක්මනින් විසඳා ගත යුතු බවයි.

අර්බුදය පුපුරා යෑමේ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී ක්‍රියා රැසක් සිදු වූ අතර එම අවාසනාවන්ත සිදු වීම් හා ජීවිත හානි පිළිබඳ අතිශය කනගාටුවට පත් වන බවත් ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම ජනතාවගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට සෘජුව හා වක්‍රව බලපාන ආකාරය සහ එමඟන් සමස්ත ජනතාවම පත්ව ඇති අසරණ භාවය පිළිබඳව අවධානය යොමු කර හැකි ඉක්මනින්ම රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට සියලුම පාර්ශ්ව අත්වැල් බැඳගත යුතු බවත් කී ඔහු මෙම ඉතා අසීරු අර්බුදය හමුවේ සාමූහිකව කටයුතු කරමින් සාර්ථකව ඉදිරියට යෑම සඳහා සියලු පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත සේවා පරිසරයක් සහතික කළ යුතුව ඇති බවද පෙන්වා දුන්නේය.

පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක ද මෙම අදහස් දැක්වීම සමඟ එක් වූ අතර, එහිදී ඔහු ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ දැනට රට තුළ පවතින මෙම ආර්ථික අර්බුදයට රට පාලනය කළ සියලුම පාලකයන් වගකිවයුතු බවයි. තමන් ඉතා සාර්ථක ලෙස පවත්වා ගෙන ගිය සීනි කම්හල ද අදූරදර්ශී පාලකයන් තමාගෙන් උදුරා ගත් බව කී ඔහු මේ වන විට ජනතාවගේ පරිභෝජනය සඳහා අත්‍යවශ්‍ය සීනි පවා හිඟ වී ඇති බව පෙන්වා දුන්නේය. එම සීනි කම්හල යළිත් තමා වෙත ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බවද කී හෙතෙම තමන්ට අයත් පැල්වත්ත කිරි සමාගමෙන් මේ වන තුරුම ජනතාවට ඉතා සාධාරණ මිලට කිරිපිටි හා එම කිරි නිෂ්පාදන ලබා දෙන බවද ප්‍රකාශ කළේය.

රටේ වත්මන් ආර්ථික අර්බුදයට බලපා ඇති ප්‍රධාන හේතුව ණය පිට ණය ලබා ගනිමින් හා එලෙස ලබා ගන්නා ණය ඇමරිකන් ඩොලර් බිලියන ගණන් වියදම් කරමින් රටට අවශ්‍ය ආහාර විදේශ රටවලින් ආනයනය කිරීම බව ආරියශීල වික්‍රමනායකගේ අදහසයි. උදාහරණයක් ලෙස වැව් මාළු තිබියදී පිටරට ටින් මාළු කෑමට ජනතාව පුරුදු කරවා ඇත. මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා දේශීය දෑ පරිභෝජනයට ජනතාව හුරු කළ යුතුව ඇති අතර ක්‍රමානුකූල සැලැස්මකට හා වැඩපිළිවෙළකට අනුව දැන් සිටම ජනතාව දේශීය දෑ පරිභෝජනය සඳහා පෙළ ගස්වන්නේ නම් ඉතා ඉක්මනින් මෙන්ම පහසුවෙන් අප රටට මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා හැකියාව ලැබෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ මහලේකම් හා ප්‍රධාන විධායක නිලධාරී නිශ්ශංක එන් විජේරත්න අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ආර්ථික අර්බුදය විසදීම සඳහා වූ හොඳම මාර්ගය ලෙස යෝජනා කෙරුණු සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමේ පරමාර්ථයෙන් ඈත්ව නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංග පත් කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳෙනු ඇතැයි තමා නොසිතන බවයි.

ඉදිකිරීම් කර්මාන්තය තුළ කම්කරුවන් 650,000 ක් සෘජුව සහ තවත් 325,000 ක් වක්‍රව සිය ජීවනෝපාය මාර්ග පවත්වා ගෙන ගිය බවද පැවසූ ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ මහලේකම්වරයා, මේ වන විට මෙම ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන බව ද අනාවරණය කළේය. මුදල් නොමැති වීම නිසා රජයේ ඉදිකිරීම් ව්‍යාපෘති සියල්ලම නවතා දමා ඇත. පසුගිය කාලය තුළ වැඩ නිම කළ හා වැඩ කරමින් සිටි ව්‍යාපෘති රැසකට අදාළව ඉදිකිරීම් කරුවන් වෙත ගෙවීමට තිබුණු රුපියල් බිලියන 100කට වැඩි මුදලක් මෙතෙක් එම ඉදිකිරීම්කරුවන් වෙත ලැබී නොමැත. එම මුදල් ද ඉක්මනින් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර ඉදිකිරීම්කරුවන් ආරක්ෂා කර ගනිමින් තම කර්මාන්තය යළි ප්‍රකෘතිමත් තත්ත්වයට ළඟා කර ගැනීම සඳහා සිංගප්පූරුවේ මෙන් ‘ගොඩනැඟිලි සහ ඉදිකිරීම් කර්මාන්ත ආරක්ෂණ පනතක් ’හඳුන්වා දීමට පියවර ගත යුතු බවද ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ මහලේකම් හා ප්‍රධාන විධායක නිලධාරී නිශ්ශංක එන් විජේරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ සභාපති දිමුත් චන්කම සිල්වා ද මෙම අදහස් දැක්වීම හා එක් වූ අතර, නව අගමැතිවරයා ප්‍රමුඛ රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශ්වාසය තබා ගෙන සිටිය යුතු බව ඔහුගේ ස්ථාවරයයි. තමන් සභාපති ධූරය හොබවන තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලය ව්‍යාපාර සංසද හතළිහක එකමුතුවෙන් ස්ථාපිත වී ඇති සංසදයක් බවත් එහි අරමුණ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට රජයට සහාය දැක්වීම බවත් සඳහන් කර සිටි ඔහු පවතින රජය කුමක් වුවත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙන්ම දේශපාලන ස්ථාවරත්වය ද ගොඩනඟා ගැනීම සඳහා තම සංසදය ක්‍රියාකාරීව සහාය වන බවද සඳහන් කළේය.

අර්බුදය විසඳීම සඳහා ගන්නා වූ ප්‍රයත්නයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහයෝගය ලබා ගත යුතු බවද පෙන්වා දුන් තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ සභාපතිවරයා ආර්ථික අර්බුදය හඳුනා ගෙන එම අර්බුදයෙන් ගොඩ ආ හැකි දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් තම සංසදය විසින් නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට ඉදිරිපත් කළ බවද පැවසීය. තවදුරටත් ජනතාව පීඩාවට පත් වීමට ඉඩ නොහැර ගෑස්, විදුලිය, ඉන්ධන, ආහාර ද්‍රව්‍ය, ඖෂධ අවහිරයකින් තොරව ජනතාවට ලබා ගත හැකි ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ක්‍රියාවට නැඟීම තුළින් ජනතාවගේ හිස මත ඇති බර යම් ප්‍රමාණයකින් හෝ අඩු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කළේය.

Comments