පොරොන්දමෙන් හෙළිවන යුවතිපතීන්ගේ ආයුෂ | සිළුමිණ

පොරොන්දමෙන් හෙළිවන යුවතිපතීන්ගේ ආයුෂ

 

 ඩග්ලස් ගුණවර්ධන

 

පෙරදිග ජාතීන් අතරින් අප රටේ ජනතාව ද, “විවාහය” සඳහා පොරොන්දම් බැලීම සිදුකරනුයේ ඈත අතීතයේ සිටම ය. අද වන විට එය චාරිත්‍රයක් බවට පත්ව ඇති අතර පොරොන්දම් නොබලා විවාහ වීමට සම්ප්‍රදායානුකූල වැඩිහිටියන් කෙසේවත් ඉඩ දෙන්නේ නැත.

 

පොරොන්දම් බලනුයේ විවාහයක් සඳහා පමණක් නොවේ. යහළු යෙහෙළියන්, ස්වාමි සේවකයින්, ගුරු ශිෂ්‍යයින්, දෙමාපිය දූ දරුවන්, ව්‍යාපාර කොටස්කරුවන් අතර සමගිය, විශ්වාසය හා සුහදතාවය පවතින්නේ පොරොන්ම් ගැළපීම අනුව බව පැවසීමට පුළුවන. දරුවකු අරන් හදා වැඩීමේදී (කුලවද්දා ගැනීම) පවා අෂ්ඨ කූඨය පරීක්ෂා කර බලන ලෙස “උත්තරකාලා මෘතයෙහී” පෙන්වා දී තිබේ.

‘පොරොන්දම’ යනුවෙන් අදහස් කරනුයේ විවාහ අපේක්ෂකයන් දෙදෙනෙකුගේ විවාහය සඳහා සිත් දෙකක්, චරිත දෙකක් එකට ජීවත් කරවීමට හැකි මානසික, ශාරීරික හා සමාජීය යෝග්‍යතාවය පිළිබඳ සොයා බැලීමය. දෙදෙනෙකු අතර එකිනෙකාට ගැළපෙන සමානකම් උපතින් කෙතෙක් දුරට පිහිටා ඇත්දැයි පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය ලෙස පොරොන්දම පෙන්වා දිය හැකිය.

පොරොන්දම් බැලීම වූ කලී, ජ්‍යෙතිෂය නමැති ගැඹුරු විද්‍යාවේ එක් අංගයක් වන අතර එය ශාස්ත්‍රීය කටයුත්තකි. උඩින් පල්ලෙන් එය අත ගා, ආවාට ගියාට කළ හැකි කටයුත්තක් නොවේ. පොරොන්දම් කෙරෙහි අප රටේ ජනතාව තුළ ඇත්තේ දැඩි විශ්වාසයක් බව නොකිවමනාය. තම පුතාට හෝ දුවට යහපත් සහකාරියක හෝ සහකරුවකු සොයා දීමට දෙමවුපියන් නොන්නා වෙහෙසක් නැති තරම්ය.

පොරොන්දම් බැලීම සතරවිධි ක්‍රමයකින් සිදු කෙරෙන අතර සමහරු මෙම ක්‍රම සතරෙන් එකක් පමණක් උපයෝගි කර ගන්නා බව පෙනේ. එහෙත් ක්‍රිෂ්ණමූර්ති තුමාට අනුව පොරොන්දම් බැලීමේදී පහත සඳහන් ෂඩ් (06) විධි ක්‍රමය උපයෝගි කර ගත යුතු බව සඳහන් කර ඇත. එම ෂඩ් විධි ක්‍රමය නම් මෙසේය.

1. ආයුෂ

2. සෞඛ්‍ය

3. මුදල්

4. අනාගතය

5. දරුඵල

6. ගැළපීම - ආදරය

 

මෙම ෂඩ් විධි ක්‍රමය තුළින් සාර්ථක ප්‍රතිඵල වාර්තා වේ නම් ඉන්පසුව දස පොරොන්දම් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව එතුමා වැඩිදුරටත් පෙන්වා දී ඇත. දස පොරොන්දම් විශ්ලේෂණය පිළිබඳව ද භාරතීය ජ්‍යොතිෂඥයන් අතර එතරම් පැහැදීමක් නැත. මන්ද පොරොන්දම් දසය ද දෝෂ සහිත බව ඔවුන් පිළිගෙන තිබෙන බැවිනි. එහෙත් ඔවුන්ගේ විශේෂ අවධානය යොමුවන්නේ චන්ද්‍රයාගේ පිහිටීම කෙරෙහි ය. එහෙත් ජන්මියාගේ උපන් නැකත් හා රාශි ද, ලග්නය හා අනෙකුත් ග්‍රහයින්ගේ පිහිටීම ගැන වැඩි අවධානයක් යොමු නොකිරීම තුළින් වැරදි දත්ත ප්‍රකාශ වීමට ඉඩ ඇති බව විද්වතුන් වැඩිදුරටත් පවසා ඇත.

පොරොන්දම් විනිශ්චයේ දී විවාහයට වැදගත් ම දෙය වන ආයුෂ පිළිබඳව සොයා බැලීම ඉතාම වැදගත් වේ. අල්පායුෂ ඇති අයෙකු විවාහය සඳහා තෝරා ගැනීමෙන් අඩු වයසෙන් මරණය සිද්ධ වීමට ඇති ඉඩකඩ වැඩි ය. අල්පා යුෂ ඇත්තෙකුට ජීවත් වීමට හැකි වන්නේ වසර 32ක පමණ කාලයකි. එහිදී ඔහු හෝ ඇය මිය යෑමට ඇති සම්භාවිතාව වැඩි බව කියැවේ.

මධ්‍යමායුෂ ඇති අයෙකුට වසර 64ක පමණ කාලයක් ආයුෂ භුක්ති විඳීමේ හැකියාවක් පවතින අතර දීර්ඝායුෂ ඇත්තෙකුට වසර 64 සිට අවුරුදු 120 ක් හෝ ඊට ආසන්න කාලයක් ජීවත්වීමේ වාසනාව ඇති බව මහා ඍෂීන් පෙන්වා දී තිබේ.

එම නිසා පොරොන්දම් සියල්ලම ගැළපුන ද, අල්පායුෂ දෙදෙනකුගේ විවාහයක් සිදුකිරීම යහපත් වන්නේ නැත. එම නිසා පොරොන්දම් ගැළපීමේදී වැදගත් ම සාධකය වනුයේ “ආයුෂ පොරොන්දම” ය.

 

ආයුෂ පිළිබඳව කථා කෙරෙන පොරොන්දම් 04ක් ඍෂිවරු විසින් දක්වා ඇත. ඒවා නම් -

1. දින පොරොන්දම

2. රජ්ජු පොරොන්දම

3. ආයු පොරොන්දම

4. ග්‍රහ පොරොන්දම

 

යන පොරොන්දම් හතර වේ. දින පොරොන්දම ගැළපේ නම් ඔවුන්ට ආයුෂ හි නීරෝගි සුවය හිමිවන බව කියැවේ. ආයුෂ සම්බන්ධයෙන් දින පොරොන්දම වැදගත් බවක් උසුලයි.

රජ්ජු පොරොන්දමට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. මෙම පොරොන්දම නොගැළපුනහොත් ජීවිත හානි සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති විය හැකි යැයි ඍෂීන් පෙන්වා දී ඇත. රජ්ජු පොරොන්දම නොගැළපුනහොත් දෙදෙනාගෙන් එක් අයෙකුගේ ජීවිතයට හානි සිදුවිය හැකි බව පිළිගෙන තිබේ.

පොරොන්දම් පරීක්ෂණයේදී අඟහරු හෙවත් කුජට හිමි වන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි. ඒ බව තහවුරු කරමින්, ‘රජ්ජු’ පොරොන්දමේ ‘ශීරෝ’ රජ්ජුවට වෙන්කර ඇති මුවසිරස, සිත හා දෙනට යන නැකත් තුනම අයත් වන්නේ කුජ ග්‍රහයාට ය. එයින් ම, විවාහයකදී කුජගේ බලය කෙතරම් දැයි සිතා ගැන්මට අපහසු නැත. එසේම දරුඵල සඳහා ද කුජගේ බලපෑමක් ඇති බව ජ්‍යොතිෂයේදී තහවුරු වී තිබේ.

ආයු පොරොන්දම යනුවෙන් හැඳින්වීමෙන් ම ගම්‍ය වන්නේ, දෙදෙනාගේ ආයුෂ පිළිබඳව නිර්නායකයක් බවය. එහෙත් ඇත්ත වශයෙන්ම ආයු පොරොන්දමෙන් එවැන්නක් නොකරන අතර එයින් විමසනුයේ දෙදෙනාගේ ආයු බලය නොවේ. දෙදෙනා අතරින් කලින් මිය යන්නේ ස්ත්‍රිය ද, පුරුෂයා ද යන්න ය. එම නිසා එය වරදවා තේරුම් නොගත යුතු පොරොන්දමකි.

ආයු පොරොන්දම විසි පොරොන්දමට අයත් වුවත්, දස පොරොන්දමට හෝ අෂ්ට කූඨයට එය අයත් නොවේ. එම නිසා ආයු පොරොන්දම අශුභ වුවත්, දෙදෙනාගේ ජන්ම පත්‍රවල ආයු බලය ශුභ ලෙස පිහිටා ඇත්නම් විවාහයට අනුමැතිය දිය හැකිවේයැයි මහා ඍෂීන් පවසා තිබේ.

ග්‍රහ පොරොන්දම - මෙය විසි පොරොන්දමේ වැදගත් පොරොන්දමකි. එහෙත් දස පොරොන්දමට හෝ අෂ්ඨ කූඨයට ග්‍රහ පොරොන්දම ඇතුළත් කොට නැත. එසේ වුවත් ග්‍රහ පොරොන්දමෙන් ආයුෂ පිළිබඳව ද අවධානයක් යොමු කොට ඇති නිසා මෙහිලා අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.

ලග්නයෙන්, චන්ද්‍රයාගෙන් හා සිකුරුගෙන් යන ස්ථාන තුනෙන් ම රාහු, කේතු, ශනි, රවි, කුජ යන පාප ග්‍රහයින් 1, 2, 4, 7, 8, 12 යන ස්ථානයන් හී පිහිටීම අසුබ පිහිටීමකි. මෙම පාප ග්‍රහයින් ලග්නයේ හෝ 8 වැන්නේ පතිත වුවහොත් ආයු බලය හීනවේ යැයි ඍෂීන් ප්‍රකාශ කර ඇත. එමෙන්ම එම ස්ථානවල බාධක ග්‍රහයා හෝ 22 වැනි දෙර්කාණාධිපතියා තැන්පත්ව ඇත්නම් එය ජන්මියාගේ ආයු බලයට බලපාන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

1. පොරොන්දම් පරීක්ෂණයේදී මධ්‍යම ආයුයෝග පිළිබඳව හා එම යෝග සෑදෙන ආකාරය පිළිබඳව ජ්‍යොතිෂයේ පෙන්වා දී ඇත. සියලු පාප ග්‍රහයින් 01, 04, 07 සහ 10 යන කේන්ද්‍රස්ථානවල පතිතව, චන්ද්‍රයා ද එම පාප ග්‍රහයින් සමඟ යෝගව කේන්ද්‍රස්ථානයක සිටීම අයහපත්ය.

2. මකර ලග්න හිමියන්ගේ 05 වන රාශිය වෘෂභය වේ. එහි කුජ හෝ ශනි යෝගව, 04 වැන්නේ ගුරු පිහිටා, ශුක්‍ර හෝ චන්ද්‍රයා 10 හෝ 11 වැනි රාශියේ පතිත වීම. එමෙන්ම මීන ලග්න හිමියෙකුට වෘෂභ රාශියේ එනම් 03 වන රාශියේ කුජ හෝ ශනි පතිතව, ඉහතින් දැක්වූ පරිදි අනෙකුත් ග්‍රහයින් පිහිටීම ද ආයුෂ හීන වන්නකි.

3. රවි ග්‍රහයා 10 වැන්නේත්, චන්ද්‍රයා 11 වැන්නේත්, ගුරු 04 වැන්නේත් ශුක්‍ර 04 වැන්නේත් පිහිටීම ද මධ්‍යම ආයු බල ගෙන දෙන්නකි.

මෙවැනි යෝග රාශියක් ජ්‍යොතිෂයේ පෙන්වා දී ඇති අතර ඉදිරි ලිපිවලදී ඒ පිළිබඳ පූර්ණ විස්තරයක් ඉදිරිපත් කිරීමට බලාපොරාත්තු වෙමි. දීර්ඝායුෂ ගෙනදෙන යෝග මෙන්ම අල්පායුෂ ඇති කරවන කුජ දෝෂ (භෞම දෝෂ) මෙන්ම ස්ත්‍රී මරයෝග හා පුරුෂ මරයෝග පිහිටන ආකාරයත්, විශේෂයෙන් පොරොන්දමෙන් හෙළි කර ගත යුතු දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය මත පදනම් වන කාම බෙලහීනතාවය පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කළ යුතුමය.

මා දන්නා හඳුනන ඥාති තරුණයෙකුට සිදුවූ අනුවේදනීය කථාවකින් මෙවර ලිපිය අවසන් කරමි. ඔහුගේ මංගල රාත්‍රිය ඔහුට කල්පයක් මෙන් දැනුණ බව ඔහු පසු කලෙක මා හා පවසන ලදී. ඊට හේතුව වූයේ ඔහුගේ ලිංගික බෙලහීනතාවය වූ අතර පසුදා ඥාතීන්ට මුහුණ දී ගත නොහැකිව ඔහු අසරණ විය. එවැනි අවස්ථා අප රටේ විවාහභිමුඛව සිටි තරුණ තරුණියන්ට සිදුවූ වාර අනන්තය.

ලිංගික බෙලහීනතාවය හේතුවෙන් අකාලයේ කැඩී ගිය විවාහයන් පිළිබඳව කරන ලද පරීක්ෂණයන් හී දී ඊට දායක වූ ග්‍රහ පිහිටීම් ප්‍රමාණය ඉතා මහත් ය. රාහුගෙන් ශනි දෙවැන්නේ සිටීම, රාහුගෙන් බුධ අටේ සිටීම, රාහුගෙන් චන්ද්‍රයා දොළහේ සිටීම, රාහුට චන්ද්‍රයා පෙනී, ශනි හා බුධ අටවැන්නේ සිටීම ඉන් කිහිපයකි.

කෙසේ වෙතත් රාහු සම්බන්ධ නොවී, විවාහයක් කැඩී නොයන බවත්, කාම බෙලහීන භාවයක් ඇති නොවන බවත් පර්යේෂණයන්ගෙන් හෙළිවී ඇත.

Comments