ගම්පහ හැම තැනම ගිනි | සිළුමිණ

ගම්පහ හැම තැනම ගිනි

පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා හර්ෂණී ගුණවර්ධනට අයත් මීරිගම නිවස ගිනිතබා ඇති අයුරු.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා හර්ෂණී ගුණවර්ධනට අයත් මීරිගම නිවස ගිනිතබා ඇති අයුරු.

 

පොලු මුගුරු අතින් ගත් ජනතාව දිවයින පුරා මහ මඟ නීතිය අතට ගෙන කටයුතු කරන අන්දම වසර තිස් පහකට පසු ඉකුත් 09 වැනිදා දහවලේ දැක ගන්නට ලැබිණි. පොලිස් නිලධාරීන්ට බලා සිටින්නට හෝ සැඟවී සිටින්නට සිදුවෙද්දී රාත්‍රිය බලය හෙඹවූ ගම්පහ දිසාවේ පොදු ජන පෙරමුණේ දේශපාලකයන් දහයකට වැඩි පිරිසගේ නිවහන්වලට මහත් අපල කාලයක් උදා විය.

 

කොළඹ සිට ගම් දනව් කරා යන රථ වාහන පිරික්සීම සිදු වුණේ මේ අතරය. මේ ජනයා එන්නේ ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝගම හා අරලියගහ මන්දිරය අසල පිහිටි මයිනාගෝගම නිරායුද අරගලකරුවන්ට පහරදීමෙන් පසුවදැයි දැන ගන්නට නීතිය අතට ගත් ජනතාව විවිධ ප්‍රශ්න ඇසූහ. ලැබෙන පිළිතුර අනුව පිරිස් ජනතා අත්අඩංගුවට පත්වූයේ හොද හැටි අතින් පයින් මෙන්ම පොලු මුගුරුවලින් සැලකීමෙනි.

ඔවුන් ගමන් ගත් වාහන පොඩි පට්ටම් කෙරිණි. පෙරළා දැමිණි. කොළඹ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට සහභාගී වී ආපසු යමින් සිටි දඹුල්ල නගරාධිපතිවරයාගේ නිල රිය බව කියන රථයක් මීරිගම අධිවේගී පිවිසුම අසල දී නවතා ගැනීමට පිරිසක් කටයුතු කළහ. මෙම රියෙහි ආහාර වර්ග, කටගැස්ම, මත්පැන් බෝතල් 17 ක් සමග අඩි හයක් පමන දිගැති මන්නා පිහියක්ද තිබීම සැලකිල්ලට ගත් පිරිස නගරාධිපතිවරයා ඇතලු පිරිසට ප්‍රහාරයක් එල්ල කරනු ලැබ තිබිණි.

ප්‍රහාරයට ලක් වූ රිය ජනතාව විසින් වරින් වර ඒ මේ අත පෙරළමින් පොඩි පට්ටම් කරනු ලැබ පැය දෙක තුනකට පසු ගිනි දෙවියාට බිලි කරනු ලැබීය. පිරිසක් පළා යද්දී තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගතකර තිබිණි.

බස් රථ ඇතුළු වාහන කිහිපයක් මිනුවන්ගොඩ නිට්ටඹුව කඩවත නාල්ල, ජා ඇල, ඇතුළු පෙදෙස් කිහිපයකදී මේ ආකාරයෙන් ජනතා ප්‍රහාරයට ලක්වී තිබිණි.

නිට්ටඹුවේදී මෙසේ ජනතාවට කොටුවී සිටි පොදු ජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ගේ රියෙන් එල්ල වූ බව කියන වෙඩි ප්‍රහාරයකින් කිහිප දෙනෙක් තුවාල ලැබූ අතර මීරිගම හාපිටිගම විසූ හිරූෂ ජයවීර 28 තරුණයා මරණයට පත්විය.

අනතුරුව ජනතා විරෝධය මැද පලා ගිය මන්ත්‍රීවරයා හා ආරක්ෂකයාගේ වෙඩි වැදුණු සිරුරු නගරයේ ගොඩනැගිල්ලක තිබී හමුවිය. නිට්ටඹුව පොලිස් බිමේ ආරක්ෂාව පැතූ ජීප් රථයක් මෙන්ම නාල්ල පොලිසියේ ආරක්ෂාව පතා ආ බස් රථයකටද මෙසේ ගිනි දෙවියාට බිලිවන්නට සිදුවූයේය.

මේ අතර මීගමුව මහහුනුපිටිය ප්‍රදේශයේ මහා පරිමාණ හෝටලයකට පසුගිය 9 වැනිදා පහරදී ගිනි තැබීමේ සිද්ධිය අවස්ථාවේ වෙඩි වැදී තුවාල ලත් පුද්ගලයන් පස් දෙනෙක් අතරින් එක් අයකු මරණයට පත්ව ඇතැයි කටාන පොලිසිය පැවසීය.

මෙසේ මියගොස් තිබුණේ හීනටියන ප්‍රදේශයේ අයකු බවට හඳුනාගනු ලැබීය.

දහසකට ආසන්න පිරිසක් මෙම හෝටලයට කඩා වැදී ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහි නවතා තිබූ මිල අධික මෝටර් රථ ගණනාවක්ද ගිනි තබා විනාශ කර තිබිණි. ඒ අවස්ථාවේදී පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා වැටී සිට ඇති අතර ඔවුන් රෝහල්ගත කිරිමෙන් පසු හෙළිවී ඇත්තේ ඔවුනට වෙඩී වැදි ඇති බවය.

මියගිය අයගේ මරණ පරීක්ෂණයේදී ද හෙළිවී ඇත්තේ වෙඩි වැදීමෙන් මියගොස් ඇති බවයි.

මෙම පිරිසට වෙඩි තැබුවේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයිද හෝටලයට මහත් විනාශයක් සිදුව තිබුණත් ඉකුත් 11 පස්වරුව වනවිටත් සිද්ධිය පිළිබඳව පැමිණිලි ලැබී නොතිබිණි.

එසේ තිබියදී 10 දා සවස මහහුනුපිටියට කඩා වැදුණු මැර කල්ලියක් ප්‍රදේශවාසීන්ට තියුණු අවි ප්‍රහාර එල්ල කර වෑන් රථයක් ත්‍රීරෝද රථ තුනක් යතුරු පැදි අටක් හා පාපැදී පහක් ගිනි තබා විනාශ කර තිබිණි. එහිදී තුවාල ලත් පුද්ගලයන් සිවු දෙනකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.

කෙසේ වෙතත් ප්‍රදේශයේ ජාතිවාදී අරගල තත්ත්වයක් නොපැවති බවත් නාඳුනන පිරිසක් කඩා වැදී මෙම සිද්ධිය පාදක කරගෙන ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට ගත් උත්සාහයක් බවට ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනතාව මෙන්ම පොලිස් ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කළේය. මීට අමතරව මීගමුව නගරයේ ව්‍යාපාරික ස්ථාන ගණනාවකටද මෙසේ පහරදී විනාශ කළේය.

මේ ගමනට පොදු ජන පෙරමුණේ දේශපාලකයන් ඉලක්ක විය. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ හා ඔහුගේ පියාගේ නිවසද ජනතා ප්‍රහාරයට ලක්වූයේය. මළ හිරු බැස යද්දී මීරිගම ලෝලුවාගොඩ කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරියගේ නිවසට කඩා වැදුණු පිරිසක් නිවෙස හා කාර්යාලය කඩා දමා ගින්නට බිලි කරනු ලැබීය. ඒ අතර තවත් පිරිසක් ඇගේ සහෝදරයාට පහරදී ඔහුගේ නිවස මෙන්ම වාහන කිහිපයකටද හානි කරන්නට කටයුතු කර තිබිණි.

ගම්පහ උඩුගම්පල නගරයේ පිහිටි සංචාරක හා අභ්‍යන්තර ආරක්ෂක ඇමතිවරයා වූ ප්‍රසන්න රණතුංගගේ නිවසට කඩා වැදුණු පිරිසක් නිවසට හා එහි නවතා තිබූ පාක්ෂිකයන්ගේ යතුරු පැදි ඇතුළු වාහන වලටද ගිනි තබනු ලැබීය. ජනමාධ්‍ය ඇමතිවරයා වූ නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණවීර, මිලාන් ජයතිලක, සහන් ප්‍රදීප්,මිනුවන්ගොඩ නගර සභාපති නීල් ජයසේකර, අත්තනගල්ල ප්‍රාදේශීය සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, යන මන්ත්‍රීවරුන්ගේ නිවාසද මෙසේ ජනතා ප්‍රහාරයන්ට මෙන්ම ගින්නට ලක්වූ නිවාස අතර වූයේය. ජාඇල සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුමගේ නිවසටද ප්‍රහාරයක් එල්ල වූයේය.

එමෙන්ම රාජ්‍ය ඇමතිවරයකු වූ ඉන්දික අනුරුද්ධගේ මරදගහමුල පිහිටි කාර්යාලය කඩා බිඳ දමා ගිනි තබනු ලැබූ අතර එහි නවතා තිබූ යතුරු පැදි සියයකට ආසන්න ප්‍රමාණයක්ද විනාශ විණි. ඉඩමේ පොල් ගස් කපා දමා තිබෙනු ද දක්නට ලැබිණි. මේ අතර 10 වැනිදා දහවල් මල්වානේ පිහිටි, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට අයත් බව කියන නිවස ගින්නට ලක්වී තිබිණි.

 

 

Comments