හවඩියක කතාවක්! | සිළුමිණ

හවඩියක කතාවක්!

තු ආතා නොහොත් රතු උන්දෑ වයස අවුරුදු අනූහතේ දී ලෙඩ ඇඳට වැටුණේ ය. මේ වන විට උන්දෑ මරණාසන්න ව සයනය මත වැතිර උන්හ. ගමේ කොයි - කවුරුත් ලෙඩා බලන්නට ගියහ. දෙළුම් - දොඩම් වැනි පලතුරු විශේෂයක් ද රැගෙන මරණාසන්න ලෙඩුන්ගේ නිවසට යෑම ගම්මුන්ගේ චාරිත්‍රයකි. එවැනි ගම ගෙදරකට නින්දක් නැත. උදේ - දවල් - රාත්‍රී - පාන්දර කියා වෙනසක් ද නැත. දවසේ ඕනෑම වේලාවක ලෙඩා බලන්නට සෙනඟ එති. තව පිරිසක් නිදි වරාගෙන ලෙඩාට සාත්තු කරති.

රත්තා උන්දෑ තණ්හාකාරයකු ලෙස ද ඊර්ෂ්‍යාකාරයකු ලෙස ද ගැමියන් අතර ප්‍රකට ව සිටියේ ය. ඒ පමණක් නො ව; රත්තා යනු මිනීමරුවකු ලෙස ද හංවඩුවක් තිබිණි. ඔහු සිය බිරියට පහර දී මරා දැමූ බවට කටකතාවක් පවතී. එහෙත් රත්තා උන්දෑ කියා සිටියේ තමන්ගේ බිරිය ගොම්මන් වෙලාවේ හොල්මන් බෝක්කුව ළඟ තනි ව හැසිරී එහිදී යකා පහර දී මිය - පරලොව ගිය බව ය. මළ සිරුරේ තැන - තැන නිල්පැහැති තැළුම් තුවාල තිබූ බව ද කියති.

ඔහු මරණාසන්න ව සයනය මත ඒ - පැත්තට, මේ - පැත්තට දඟලන අතර පිස්සුවෙන් මෙන් දෙඩෙව්වේ ය. දිගට ම දෙඩෙව්වේ ය. දින ගණනාවක් තිස්සේ ම රත්නා උන්දෑගේ කාරිය වූයේ පිස්සුවෙන් දෙඩවීම ය. ඒ අතර හවඩියක් ගැන ද, මුදලාලියකු ගැන ද, මිනිරන් පතලක් ගැන ද සඳහන් වී තිබේ. ඇතමකුට එය උභතෝකෝටික ප්‍රශ්නයකි. තව කෙනකුට එය විකාරයකි. තවත් කෙනකුට අනුව එහි කුමක් හෝ අපරාධ කතාවක් තිබෙන්නට පුළුවන. කුමක් වුව කිසිවකු ඇත්ත දැන සිටියේ නැත.

සතියක් පමණ පණ අදිමින් සිටි රතු ආතා පරලොව ගියේ දෙඩවීම නවතා බියෙන් තැතිගෙන දෑසින් කඳුළු වගුරවමින් ය. කළ පව් අන්තිමට පලදෙනවා නෙවැ කෙනෙක් කීහ. රත්නා උන්දෑ අපායගාමී චරිතයක්. මැරෙන්ඩ කලින් මිනිහට අපාය පෙනෙන්ඩ ඇති! ඒකනෙ විකාර දොඩවන්නෙ තව කෙනෙක් කීහ. උන්දෑ ඔය කියන තරම් පව්කාරයෙක් නෙමෙයි. එහෙනං අවුරුදු අනූපහක් ජීවත් වුණේ යැයි තවත් කෙනෙක් තර්ක කළහ.

චරිතය හොඳ - නරක කුමක් වුව අවුරුදු අනූහතක් වැනි දීර්ඝ ආයුෂයක් වලඳා - ගමට - රටට - පවුලට අර්ථයක් සිද්ධ කළ වැදගත් උපාසක මහතකු පරලෝප්‍රාප්ත වූ බව ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ බණට කීහ. උන්වහන්සේ ට අනුව රතු උන්දෑ උපාසක මහතාට අජරාමර නිවන් සුවය ලැබිය යුතුය.

බණ දේශනා නිමාවූ පසු අවමංගල සභාව වෙත අමුත්තෙක් පැමිණියේ ය. ඔහු මාතර පදිංචි රත්නා උන්දෑගේ ඥාති සහෝදරයෙකි. එම ඥාති සහෝදරයා රත්නා උන්දෑ පිළිබඳ හරි ඇත්ත කතාවක් දිග හැරියේ ය. උන්දෑ මරණාසන්න මොහොතේ සඳහන් කළ හවඩිය, මුදලාලි හා මිනිරන් පතල පිළිබඳ කතාන්දරය ඒ ඔස්සේ ගොඩනඟා ගත හැකි ය. රතු උන්දෑගේ ඥාති සහෝදරයා කියන ලෙස එම කතාව මෙසේ ය.

මීට වසර පනහකට පමණ පෙර එම ගම් තුළානේ සිටි එක ම පොහොසතා ගිරිගෝරිස් මුදලාලි ය. ඔහුට යහමින් ඉඩකඩම් තිබූ අතර පොල් හා රබර් වෙළෙඳාමක ද නිරත විය. ඊට අමතරව පොලියට ණයට ලබාදීමත් සිදු කළේ ය. උගස් බඩුත් ගත්තේ ය. මුදලාලි හම්බ කිරීමට කෙතරම් ශූර ද යත්; තමාගේ හවඩිය, කෝට් එක, ටුවිඩ් රෙද්ද පවා කුලියට දුන්නේ ය. මෝඩයන්ගෙන් වැඩි කුලියක් ද අය කර ගත්තේ ය. රතු ආතා ඉළන්දාරී කාලයේ දී ඔහුට ද හවඩියක් අවශ්‍ය විය.

“මුදලාලි මහත්තයා

මට දවසකට

හවඩිය වුවමනයි!”

“උඹැහැලට මොට ද බං

හවඩි!? හොඳ දිය ලණුවක්

අරන් සරමට උඩින් දාගනිං!”

“එහෙම කියන්ඩ එපා

මුදලාලි. මං මනමාලියෙක්

බලන්ඩ කියල!”

“එහෙනං සුබ කටයුත්තක් නෙවැ!

මට ටිකක් වැඩිපුර ගෙවාපං!”

“එහෙමයි, හවඩිය ආපහු

දෙන දාට සේරම ගෙවන්නම්!”

රතු උන්දෑ ඉළන්දාරි කාලයේ ඉතා තදින් සූදුවට ඇබ්බැහි වී සිටියේ ය. ඔහු සූදුවට ගියේ ම වැඩිපුර හම්බ කිරීම සඳහා ය. බොහෝ විට ඔහු සූදුවෙන් දිනුවේ ය. දිනාගත් මුදල් තැන තැන සඟවා තැබුවේ ය.

රතු උන්දෑ මනමාලිය බලන්නට ගිය අතර ඔහුගේ වංහුං සොයා බැලූ මනමාලියගේ පියා කටයුත්තට තදින් ම විරුද්ධ විය. රතු උන්දෑට මහත් ශෝකයක් දැනුණු අතර ඔහු කෙළින් ම සූදු පොළට ගියේ ය. පුදුමයෙකි! ඔහු වෙන දා මෙන් සූදුවෙන් ජය ගත්තේ නැත. දිගට ම පැරදුණේ ය. ඔහු අත මුදල් සිඳී යන තුරු ම පැරැදුණේ ය. ළිඳට වැටුණු මිනිහා ළිං කටෙන් ම ගොඩයන්න එපා යැයි සිතූ ඔහු හවඩිය උගස් කොට නැවත සූදු කෙළියේ ය. අවසනාවක මහත! ඔහු එවර ද පැරැදුණේ ය. අන්තිමේ හිස් අතින් ගෙදර ගියේ ය.

මුදලාලිගේ හවඩිය භාර දීම දිනෙන් - දින ප්‍රමාද විය. සතියක් ගිය තැන මුදලාලි ඔහු සොයා ගෙදරට පැමිණියේ ය. රතු උන්දෑ සැඟවුණේ ය. උන්දෑගේ මව කියා සිටියේ තම පුත්‍රයා හදිසි කටයුත්තක් සඳහා මාතර ගොස් ඇති බව ය. මුදලාලි තවත් සතියකින් රතු උන්දෑ සොයා ආවේ ය. එදින ද ඔහු සැඟවුණේ ය. එදින මවගේ පිළිතුර වූයේ සිය පුත්‍රයා හදිසි කටයුත්තක් සඳහා ගාල්ලට ගිය බව යි. මුදලාලි හිස් අතින් ගෙදර ගියේ ය.

මුදලාලි තෙවන වරටත් රතු උන්දෑ සොයා ආවේ . රතු උන්දෑට එදින සැඟවීමට නොහැකි විය.

“කෝ මිනිහො හවඩිය!?

ගනිං සල්ලිත් එක්ක!”

“ඒව දෙන්නම් මුදලාලි!

ඊට වඩා වාසියක් තියෙනවා!

ඒක සල්ලි උල්පතක්!”

“සල්ලි උල්පතක්

කොහෙද බං ඒක තියෙන්නෙ?”

“මිනිරන් පතලක් හම්බවුණා!

අපුච්චේ! ඒක ගොඩදාගත්තොත්

සල්ලි වැහි වහී!”

“පෙන්නපං! පෙන්නපං!

මට ඕක!”

දෙදෙනා ම මහ කැලෑව දිගේ පතල හොයන්නට ගියහ. මුදලාලි ඉස්සරහින් ය. රතු උන්දෑ පසුපසින් ය. එක්තරා ගැඹුරු ළිඳක් ඉදිරිපිට දෙදෙනා ම නැවතුණ හ. මුදලාලි මහත්තය ඕකට එබිල බලන්න යැයි රතු උන්දෑ කීවේ ය. අධික තණ්හාවෙන් පිරි මුදලාලි ළිඳට එබුණේ ය. ඒ සමඟ වහා ක්‍රියාත්මක වූ රතු උන්දෑ මුදලාලිව ළිඳට තල්ලු කළේ ය. මුදලාලි ළිං පතුලේ සිට කෑගැසුවේ ය.

“අනේ ඉලන්දාරියෝ!

මට හවඩියත් එපා!

සල්ලිත් එපා!

මං ගොඩට ගනිං!”

රතු උන්දෑ විශාල ගල් ගෙඩියක් ගෙන මුදලාලිගේ හිසට අත හැරියේ ය. මුදලාලි කෙඳිරි ගාමින් ළිං පතුලේ වැතිරුණේ ය. රතු උන්දෑ දෑත පිසදාගෙන ගෙදර ගියේ ය.

ඒ මුදලාලි ආයෙ කවදාවත් ම ගෙදර ගියේ නැතැ’යි කියමින් රතු උන්දෑගේ ඥාති සහෝදරයා කතාව හමාර කළේ ය.

Comments