සාන්ත ජෝශප්වරුන් දෙවැනි වරටත් ශූරතාව දිනා ගනී | සිළුමිණ

සාන්ත ජෝශප්වරුන් දෙවැනි වරටත් ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ 10, සාන්ත ජෝශප් විද්‍යාලය සමත් විය. පෙර වසරේ ද මෙම ශූරතාවට හිමිකම් කීවේ ඔවුන් ම ය.

අවසන් මහා තරගය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමග කොළඹ, තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුන අතර එහිදී සාන්ත ජෝශප් විද්‍යාලය රිච්මන්ඩ්වරුන්ට එරෙහිව ලකුණු 106කින් ජයග්‍රහණය කිරීමට සමත් වූහ.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 47කට සීමා වුන තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝශප් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 257ක් වාර්තා කළේය. එම ඉනිම නායක ෂෙවෝන් ඩැනියෙල් පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 80ක් වාර්තා කළේ තරගයේ වැඩිම ලකුණුලාභියා වෙමිනි.

ඊට අමතර ව ආරම්භක පිතිකරු සදීශ් ජයවර්ධන පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහරක් පමණක් එල්ල කරමින් ලකුණු 46ක් ලබා ගත්තේ ය.

දුනිත් වෙල්ලාලගේ ද පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 42ක් ලබා ගත්තේ නායක ෂෙවෝන් ඩැනියෙල් සමග සිවු වැනි කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් ද ගොඩ නගමිනි. කඩුලු ලබා ගැනීමේ දී මල්ෂ තරුපති පන්දුවාර 9ක් යවමින් ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලයට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 151ක් පමණි. එම ඉනිම වෙනුවෙන් පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ මල්ෂ තරුපති හුදකලා ඉනිමක නිරත වෙමින් පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 62ක් ලබා ගත්තේ ය.

කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් අසරණ කළේ ය. ඊට අමතර ව ආරම්භක වේග පන්දු යවන දේශාන් සෙනෙවිරත්න ද කඩුලු 3ක් දවා ගත්තේ ය.

සාන්ත ජෝශප් විද්‍යාලය ; කඩුලු 9ක් දැවී 257 (47) සදීශ් ජයවර්ධන 46, ෂෙවෝන් ඩැනියෙල් 80, දුනිත් වෙල්ලාලගේ 42, මුදිත ලක්ෂාන් නොදැවී 34, කල්ප නෙත්සර 2/40, හංසමාන ද සිල්වා 2/48, මල්ෂ තරුපති 4/50

රිච්මන්ඩ් විද්‍යාලය ; සියලුම දෙනා දැවී 151 (41.3) මල්ෂ තරුපති 62, දේශාන් සෙනෙවිරත්න 3/26, දුනිත් වෙල්ලාලගේ 3/18

බී කොටසේ ශූරතාව

බම්බලපිටිය සාන්ත පීතරයන්ට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier B කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය ය. තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 26කට සීමා වූවේ ය.

කාසියේ වාසිය දිනාගත් සාන්ත පීතරයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තර්ස්ටන් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 131ක් ලබා ගත් හ. එම ඉනිමේ වැඩිම ලකුණුලාභීයා වූයේ බවන්ත ජයසිංහ ය. ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 53ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී අබිලාශ් වෙල්ලාලගේ කඩුලු 3ක් ද සහ ෂෙනෝන් රොද්‍රිගෝ කඩුලු 2ක් ද දවා ගත් හ.

ලකුණු 132ක හඹා යන ඉනිමකට පිටියට පැමිණි සාන්ත පීතර විද්‍යාලයේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 10ක් වෙද්දී දවා ගැනීමට තර්ස්ටන් පන්දු යවන්නෝ සමත් වූහ. නමුත් ඔවුන්ට දිගින් දිගට ම එම දක්ෂතාව ක්‍රියාත්මක කරගෙන යෑමට හැකි වූයේ නැත.

ලහිරු දවටගේ පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43ක් ලබා ගනිමින් පෑ දක්ෂතාව හේතුවෙන් ඔවුන්ට පසු බැස යන්නට සිදු වූහ. ඊට අමතර ව දනාල් හේමානන්ද පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 36ක් ලබා ගැනීමට ඔවුන්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු සුන් කරවන්නක් විනි.

කෙසේ වෙතත් සාන්ත පීතරයන්ගේ දැවී ගිය කඩුලු 7න් කඩුලු 5ක ම හිමිකාරීත්වය දැරීමට ආරම්භක වේග පන්දු යැවූ නිපුන් ප්‍රේමරත්න සමත් වීම කැපී පෙණුනේ ය.

තර්ස්ටන් විද්‍යාලය ; සියලුම දෙනා දැවී 131 (26) තරිඳු හර්ෂණ 21, බවන්ත ජයසිංහ 53, තේනුක දේවප්‍රිය නොදැවී 20, අබිලාශ් වෙල්ලාලගේ 3/19, ෂෙනෝන් රොද්‍රිගෝ 2/16

සාන්ත පීතර විද්‍යාලය ; කඩුලු 7ක් දැවී 136 (23.4) ලහිරු දවටගේ 43, දනාල් හේමානන්ද නොදැවී 36, නිපුන් ප්‍රේමරත්න 5/34.

 ජගත් ප්‍රේමචන්ද්‍ර

Comments