ස්වාට් කික් බොක්සිං අපේ රට ලෝකයට ගෙන යන ක්‍රීඩාවක් වෙයි | සිළුමිණ

ස්වාට් කික් බොක්සිං අපේ රට ලෝකයට ගෙන යන ක්‍රීඩාවක් වෙයි

1973 අංක 25 දරන ක්‍රීඩා පනතට යටත්ව ශ්‍රී ලංකා ක්‍රීඩා ගොන්න පෝෂණය කිරීමට ඇතුලත් වු නවතම ක්‍රීඩාව ස්වාට් කික් බොක්සිං ක්‍රීඩාවයි. යුරෝපයේ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක් වන ස්වාට් කික් බොක්සිං ක්‍රීඩාව අද වන විට ශ්‍රී ලංකාව තුළද ඉතාමත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. පසුගිය දිනකදී පාකිස්තානය සමඟ ඉසව් 12කින් සමන්විත තරගාවලියක් පැවැති අතර එම තරගාවලියෙන් රන්පදක්කම් 7ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පාකිස්තාන් තරගාවලිය පිලිබඳ මෙන්ම මෙරටට අලුත් ක්‍රීඩාවක් ලෙස එක් වු කික් බොක්සිං ක්‍රීඩාවේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳ විමසිමට ස්වාට් කික් බොක්සිං සම්මේලනයේ වත්මන් සභාපති ප්‍රසාද් වික්‍රමසිංහට මෙකී ඉඩකඩ වෙන් කළෙමු.

මොකක්ද මේ කික් බොක්සිං කියන ක්‍රීඩාව ?

ස්වාට් කියන්නේ ලොව පැරැණිතම කික් බොක්සිං ශෛලියයි. මේ ශෛලය මුලින්ම ආරම්භ වන්නේ 1700 ගණන් වල ප්‍රංශය කේන්ද්‍රකොට ගෙනයි. ප්‍රංශයේ ජාතික ක්‍රීඩාව වන ෆෙන්සිං කියන ප්‍රංශ ක්‍රිඩාව පාදක කරගෙන වේගවත් පය පහරදීම හේතු කරගෙන තමයි ස්වාට් කික් බොක්සිං ක්‍රීඩාව ගොඩ නැඟෙන්නේ.

මෙය විදී සටන් ක්‍රමයක් විදියට ප්‍රචලිත වෙලා පසුව ක්‍රීඩාවක් බවට නීති රීති ගොඩනැගිමෙන් පසු ප්‍රංශය තුළින් යුරෝපය පුරා මෙම ක්‍රීඩාව ව්‍යාප්තිය පටන් ගන්නවා ප්‍රංශ ක්‍රීඩාවක් විදියට. 2019 වසරේ ජූලි 31 වැනි දා තමයි මුලින්ම ස්වාට් කික් බොක්සිං ක්‍රීඩාව ක්‍රීඩාවක් ලෙස මෙරට ලියාපදිංචිය ලබාගෙන ක්‍රීයාකාරීත්වය පටන් ගන්නේ.

ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රීඩාව ව්‍යාප්තිය ආරම්භ වන්නේ කොහොම ද?

ක්‍රීඩාවක් ලෙස කික් බොක්සිං ක්‍රීඩාව මෙරට කිහිපදෙනෙකු අතර ජනප්‍රියව තිබුණා. සංගම් ලෙසත් ක්‍රියාකාරිව තිබීලා තියෙනවා. ක්‍රීඩාවක් ලෙස මෙම ක්‍රීඩාව අමාත්‍යාංශ තුළවත් ජාත්‍යන්තරය තුළවත් ලියාපදිංචි කර තිබුණේ නෑ. ඒ වගේම මෙම ක්‍රීඩාව පුහුණු කළ පුහුණුකරුවන් සිටියත් ඔවුන් පුර්ණ කාලීනව අත්දැකීම්ලත් පුහුණු කරුවන් ලෙස ක්‍රියා කර නෑ. අපි මෙම ක්‍රීඩාව ලියාපදිංචි කිරීමේන් පසුව නියම ක්‍රමවේදයට මෙම ක්‍රිඩාව පුහුණු කිරිමේ ක්‍රම වේදයක් සැකසුවා. ඒ වගේම ප්‍රංශයේ මව් සංගමය සමග ක්‍රියාකාරීව ක්‍රීයාත්මක විම ආරම්භ කළා. පුහුණු වැඩ කටයුතු ක්‍රියාවට නැංවුවා.

2024 දී ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කොට ගෙන පැවැත්වෙන ඔලිම්පික් උළෙලට ස්වාට් කික් බොක්සිං ක්‍රීඩාව ඇතුළත් වෙනවා. එම තරගාවලියේදී පදක්කම් දිනිය හැකි ක්‍රීඩාවක් ලෙස අපි සැලැසුම් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ සදහා අපිට ප්‍රංස ස්වාට් කික් බොක්සිං මව් සංගමයේ සහයෝගය ලැබෙනවා.

කරාතේ, වූෂූ හා බොක්සිං වලින් මෙම ක්‍රීඩාව වෙනස් වන්නේ කොහොම ද?

කරාතේ ජපානය කේන්ද්‍ර කොටගෙන ආරම්භ වු ආත්ම ආරක්ෂක සටන් ක්‍රමවේදයක්. වූෂු චිනය කේන්ද්‍ර කොට ගෙන ආරම්භ වු සටන් කලාවක්, බොක්සිං එංගලන්තය කේන්ද්‍ර කොටගෙන ආරම්භ වු සටන් ක්‍රීඩාවක්, වූෂූ දොං සටන් ක්‍රමවේදයත් හා ක්‍රීඩාවක් වගේම සංදර්ශනාත්මක පැත්තකුත් එම වූෂූ සටන් කලාව තුල තියෙනවා.

බොක්සිං තනිකරම මුෂ්ටි ප්‍රහාරත්මක අතින් පහර දෙන සටන් ක්‍රීඩාවක්. ඒ වගේම කරතේ තනිකරම ආත්මාරක්ෂක සටන් ක්‍රමවේදයක්. ස්වාට් කික් බොක්සිං මෙම ක්‍රීඩා ත්‍රිත්වයේම යම් යම් කොටස් ඒකරාශී වී අඩු වැඩි වශයෙන් සම්පින්ඩනය වී ගොඩනැගී ඇති ක්‍රීඩාවක් විශේෂයෙන්ම ප්‍රංශ ජාතික ක්‍රීඩාවේ අංග ලක්ෂණ වලින් සමන්විත වේගවත් පය පහරදිම් වලින් අතින් පයින් පහරදෙමින් දියුණු පහ පහර දිම් වලින් සමන්විත ක්‍රීඩාවක්.

පාකිස්තානයත් සමඟ පැවැති තරගාවලිය ?

අපි පසුගිය ජනවාරි මාසයේදී දෙවන අන්තර්ජාතික ස්වාට් කික් බොක්සිං තරගාවලියට පාකිස්තානය සමඟ එක් වුණා. පසුගිය වසංගත තත්ත්වයන් හමුවේ අපිට එක්විමට ලැබුණු අන්තර් ජාතික එකම තරගාවලිය තමයි ඒ. ඒ තරගාවලියේදී පදක්කම් රන් 7ක් හා රීදී පදක්කම් 5ක් සමඟ සමස්ත තරගාවලියේ ජය හිමිකර ගැනිම අපට හැකි වුණා. ඒ වගේම 2019 වසරේදී පාකිස්තානයේ පැවැති පළමු අන්තර්ජාතික ස්වාට් කික් බොක්සිං තරගාවලියේදී අපට රන් පදක්කම් 19ක් එක රීදී පදක්කමක් සමඟින් සමස්ත තරගාවලියේ ජය හිමිකර ගැනීමටත් හැකි වුණා. පසුගිය කොවිඩ් වසංගතය නිසා සමස්ත ක්‍රීඩාව ම පසුබැස්ස නිසා අපටත් මදකට මන්දගාමී වෙන්න සිදුවුණා ඒ නිසා තමයි රන් පදක්ක්ම් 19 රන් පදක්කම් 7ක් දක්වා පහතට වැටුණේ. නමුත් අපි පුහුණු වැඩසටහන් නවතා දැමුවේ නෑ.

2019දී ස්වාට් කික් බොක්සිං සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියා පදිංචියත් සමගම ජාත්‍යන්තර පුහුණුකරුවෙකු මෙරටට ගෙන්වා මෙරට පුහුණුකරුවන්ට පුහුණුවිම් සම්මන්ත්‍රණ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ අනුව පළාත් මට්ටමින් හා දිස්ත්‍රික්ක මට්ටමින් එම වැඩසටහන ක්‍රියාත්මක කරමින් මෙම ක්‍රිඩාවේ දීප ව්‍යාප්ත වැඩ සටහනක් ක්‍රියාවට නැංවුවා. ඒ වගේම සමස්ත ලංකා මට්ටමින් තරග සංවිධානය කරමින් තරග පැවැත් වුවා. අපි මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරය ඇතිව දැනට පාසල් 50ක පමණ ස්වාට් කික් බොක්සිං ක්‍රිඩාව නගා සිටුවන්න කටයුතු ක්‍රියාවට නංවා තිබෙනවා. දැනට පාසල් ස්වාට් කික් බොක්සිං සංගමයක් පිහිටුවා නෑ. නමුත් දිප ව්‍යාප්තව පාසල් මට්ටමින් ස්වාට් කික් බොක්සිං ක්‍රිඩාව නගා සිටුවන්න ක්‍රියා කරමින් සිටිනවා. ඇත්තෙන්ම මෙම ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස ඇතුළත් විමට නියමිත නිසා මේ පිළිබඳ ආකර්ෂණය වන පිරිස වැඩියි. ඒ වගේම අපිට ඔලිම්පික් පදක්කම් දිනිය හැකි ක්‍රීඩාවක් විදියටත් මෙම ක්‍රීඩාව ඉතාමත් ඉක්මනින් ප්‍රගුණ කරගන්න පුළුවන්.

පාසල් මට්ටමින් ව්‍යාප්ත කරන්න මොන වගේ සැලසුමක්ද තියෙන්නේ ?

අපි සෑම මාස 5කට සැරයක් අන්තර්ජාතික පුහුණු කරුවන්ගේ සහාය ඇති ව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට පුහුණුවීම් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපිට ප්‍රංශයේ මව් සම්මේලනය ඒ සඳහා අනුග්‍රහය ලබා දෙනවා. එමෙන්ම ජාත්‍යන්තර පුහුණුකරුවන් තුන්දෙනෙකු වාර්ෂිකව මව් සංගමයේ අනුග්‍රහය අපට ලබා දෙනවා.

කාන්තා පිරිමි වශයෙන් වයස් කාණ්ඩ ගණනාවක් යටතේ වගේ ම බර පන්ති 12ක් යටතේ තරග පැවැත්වෙනවා. ඒ වගේම දෙපාර්ශවයටම එකට තරග කළ හැකි ක්‍රීඩාවක් ස්වාට් කික් බොක්සිං කියන්නේ. අවම වශයෙන් ආරම්භ වන්නේ වයස අවුරුදු 8න් පහළ වයස් කාණ්ඩයෙන්. අවසන් වශයෙන් වයස් කාණ්ඩය ලෙස සම්මත වි ඇත්තේ වයස අවුරුදු 55 යන වයස් කාණ්ඩයයි.

2024 ඔලිම්පික් යන ගමනේ ඉදිරි වැඩ කටයුතු කොහොමද?

මේ දිනවල ප්‍රංසයේ පැරීස් නුවර ස්වාට් කික් බොක්සිං ඇකඩමියේ පුහුණුකරු ලෝක ශූර රොබින් විකොම්ට් මගේ ඉල්ලිමට හා ආරාධනාවට පැමිණීමට නියමිතව තියෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරය කරන රොබින් විකොම්ට්ගේ දායකත්වය ඇතිව මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දැනුම , හැකියාවන් වර්ධනය කිරිමේ පුහුණු වැඩසටහන් ගණනාවක් මෙරටදි සංවිධානය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කික් බොක්සිං පුහුණුකරුවන් සදහා විශේෂ පුහුණු වැඩමුළුවක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා පුහුණු විද්‍යායතනයේදී පැවැත්විමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම රොබින් විකොම්ට් මැයි 9 වැනි දා හම්බන්තොට, 10 වැනි දා රත්නපුර, 11 වැනි දා මහනුවර දී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණු කරුවන් උදෙසා වැඩ සටහන් ගණනාවක් සංවිධානය කරලා තියෙනවා.

කික් බොක්සිං මෙරට පටන් ගන්න ව්‍යාප්ත කරන්න ඔබට ඇති සුදුසුකම් ?

මගේ ක්‍රීඩා දිවිය ආරම්භ වන්නේ 2004 වසරේදී විංචිං කුංෆූ ආරක්ෂක සටන් ක්‍රමවේදය හදාරන්නයි. එම සටන් ක්‍රමවේදය හදාරන්න හොංකොංවල වසර 5ක් පමණ මම ගත කළා. ඒ ග්‍රැන්මාස්ට් ඉග්මාන් පුහුණු පාසලේ ඒ පුහුණු පාසල තමයි බෘස් ලී ගේ ගුරුතුමාගේ පාසල ඒ අවුරුදු පහ ඉවරවෙලා 2009 දී මම බෘස් ලීගේ සටන් ක්‍රමවේදය ජිං කුන්ඩෝ හදාරන්න යොමු වුණා. එහිදි මට ඇසුරු කරන්න ලැබුණු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන්ගේ මාර්ගයෙන් බෘස් ලීගේ ගෝලයන් දැන් ගුරුවරු විදියට වැඩ කරන පිරිස ඇසුරු කරන්න මට අවස්ථාව හිමි වුණා. මම ලංකාවේ පළමු වන පුද්ගලයා තමයි බෘස් ලී සටන් කළාව හදාරපු. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර වාසය කරන බෘස් ලීගේ ගෝලයෙක් වු සීෆූ රිචඩි බස්ටිලෝ සීෆූ ඩැනියලෝ ශාන්තෝ වැනි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන් ඇසුරු කරන්න මට හැකියාව ලැබුණා. 2012 දී සීෆූ ඩැනියලෝ ශාන්තේ යටතේ ජිං කුන්ඩෝ සටන් කළාව හැදැරුවා. ඩැනියලෝ ගුරුතුමා එතකොටත් කික් බොක්සිං සටන් කලාව විවිධ සටන් කලාවන්ගේ එකතුවක් ලෙස නිර්මාණය කරලයි තිබුණේ. මම එතුමා යටතේ මෙම සටන් කලාවත් ප්‍රගුණ කළා. ක්‍රීඩකයෙකු ලෙස පසුව මම ශ්‍රී ලංකාව තුළ මෙම සටන් කලාව ප්‍රගුණ කිරිමේ අරමුණ පෙරදැරව ලංකාවට පැමිණ මෙම සටන් කලාව ආරම්භ කළා. පසුව ප්‍රංසය මෙම සටන් කලාව ආරම්භ කිරීම නිසා මම ඔවුන් සමඟ එක්ව මෙම ක්‍රීඩාව ලංකාව ඇතුළේ ව්‍යාප්ත කරන්න වැඩ කටයුතු ආරම්භ කළා.

ඡායාරූප - සමන්ත වීරසිරි

Comments