විවාහයට වියදම රුපියල් දෙකයි සත පනහයි | සිළුමිණ

විවාහයට වියදම රුපියල් දෙකයි සත පනහයි

ඔහුට විනෝදාංශ දෙකක් තිබිණ. එකක් පොතපත කියවීම ය. අනෙක දුක් විඳින ජනතාව එම දුකෙන් මුදා ගැනීමට දිවි හිමියෙන් ඇප කැපවීම ය.

මේ අතර ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් 1922 ඔක්තෝබර් 10 වැනිදා ඇරඹූ ශ්‍රී ලංකා කම්කරු සංගමය වැඩවර්ජන කිහිපයක්ම මෙහෙය වීය. 1923දී දුම්රිය සේවක වර්ජනය, 1926දී වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජනය, 1928දී කොළඹ වරාය සේවක වර්ජනය, 1929දී ට්‍රෑම් රථ වර්ජනය ජයග්‍රාහක වෘත්තීය සටන් විය. මෙහි වූ සුවිශේෂ ලක්ෂණයක් වූයේ මෙම සටන් ව්‍යාපාරයේ නායකත්වය ගත් සියලු දෙනාම කම්කරුවන් වීමය.

එච්.ඩබ්.කේව් සමාගමේ විළියම් හර්මානිස්, මාර්ෂල් අප්පුහාමි, ජේ. සොලමන් පෙරේරා, ජෝර්ජ් සිල්වා, යකා ජෝන්, හම්බන් විළියම්, මර්තේලිස් පෙරේරා, පේදුරු අප්පු එදා වෘත්තීය අරගලවල නායකයෝ වූහ.

වෘත්තීය පනත නීතිගත වුවද මේ වන විට කම්කරු පන්තිය ජයග්‍රහණ අත්පත් කරගත්ත ද, දේශපාලන වශයෙන් ඔවුන් පසුවූයේ ඉතාම පහළ තැනකය.

කම්කරු නායකයකු ලෙසින් සිටියත්, ගුණසිංහගේ කම්කරු සටන් ව්‍යාපාරය ඉන්දියානු විරෝධී ජාතිවාදය කරපින්නාගෙන තිබුණි.

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ 1931දී පැවති මහා මැතිවරණය පැවැත්වූයේ මෙබඳු පසුබිමක ය.

“සූරියමල” පිපුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ “පොපිමල්” ව්‍යාපාරයට එරෙහිව මෙම කාල වකවානුවේය.

එවකට තරුණ සංගම් නායකයෝ කම්කරු ජනතාවට දේශපාලන නායකත්වයක් දුනහොත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මේ දෙරණේ නිදහසේ අරුණැල්ල කරා යොමුකර ගත යුතුය යන දැඩි විශ්වාසයක පිහිටියෙන් නිතර ම මේ පිළිබඳව කරුණු කථා බස් කළහ. මේ වන විට තරුණ සංගම් ව්‍යාපාර නායකයන් වූයේ ටෙරන්ස් එම්. ද සිල්වා, ඩී.ඩී. සභාරත්නම්, රොබින් රත්නම්, ඒලියන් පෙරේරා, ජෝර්ජ් කල්දේරා යන අයවලුන්ය. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, වර්ණන් ගුණසේකර ආදීහු මේ වන විටත් තරුණ සංගම් ව්‍යාපෘතියේ ප්‍රබලයෝ වූ හ.

‘තරුණ ලංකා’ නමැති මාසික සඟරාව එළිදැක්විණ. මෙහි උධෘතයන් වූයේ ආර්ථික විමුක්තිය ජාතික ස්වාධීනත්වය මෙන්ම, ජාතික සමෘද්ධිය උදාකරගන්නා අයුරුය. ඒ සියලුම ලිපි සකස් කරනු ලැබුවේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසිනි. “සූරිය මල” විකසිත වන්නට විය. මෙම සූරිය මල් ව්‍යාපාරය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහි වූ පළමු සමස්ත මහජන විරෝධයේ දෝංකාරයයි.

පළමුවැනි ලෝක මහා සංග්‍රාමයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සඳහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ‘පොපිමල්’ ව්‍යාපාරය ආරම්භ කළේ එක් අතකින් අධිරාජ්‍ය විරෝධී හැඟීම් මතු වෙමින් තිබෙද්දී එය වළකනු සඳහා මෙරට ජනතා සහයෝගය ලබාගන්නා අටියෙනි. අනෙක් අතින් එමඟින් අධිරාජ්‍ය ගැති මෙරට ජනතාවගේ මුදල් සූරාකෑමටය.

සූරියමල් ව්‍යාපාරය තුළින් මෙතෙක් කලක් නොතිබූ අන්දමේ පොදුජන එකමුතුවක් ඇතිවන අයුරු දුටු අධිරාජ්‍යවාදී පාලකයෝ නිසැකවම ඉදිරි අනාගතයේදී තමන්ට එරෙහිව එන පුළුල් බලවේගයක් වනු ඇතැයි අවබෝධ කර ගත්හ. කිසිදු ක්‍රිස්තියානි පාසලකට සූරිය මල් විකිණීමට එන පිරිසට ඉඩ නොදුනි. සූරිය මල් පැලඳ ගෙන බ්‍රිතාන්‍ය වෙළෙඳ සමාගම්වලට ඇතුළුවීම තහනම් විය. ඉහළ පැලැන්තිවල සේවකයෝ පොපි මල් පැලඳ උජාරුවෙන් ගමන් ගත්හ. මෙය අලුත් දේශපාලන ගමන්මඟක ආරම්භයක් විය.

පළමුවරට ඇන්.ඇම්. මැතිවරණ සටනට එක්වූ අවස්ථාවේදී නාම යෝජනා පත්‍රය අත්සන් කළ අතුරලියේ සුවඳා ඇන්.ඇම්. ගැන මෙසේ ප්‍රකාශ කරයි.

‘ඒ මැලේරියා වසංගතය තුන්කෝරලයේම පැතිරුණා. දුප්පත් මිනිස්සු මැලේරියා වසංගතයෙන් දුක්වින්ඳා. කැඳ ටිකක්වත් උයා දෙන්න කෙනෙක් නැතිව බේතක් හේතක් නැතිව ඒ වසංගතයෙන් මැරුණ අය එමට හිටිය. කිසිවෙක් ඒ කාලයේ අපේ දුප්පත් මිනිස්සු මැලේරියාවලින් විඳි දුක් ගැන සෙව්වෙ නෑ. අපිව හූරා කාපු රදලයනුත් වතු අයිතිකරුවෝත් අපේ දුක ගැන බැලුවේ නෑ.

මට ඇන්. ඇම්. සහෝදරයා හමුවුණේ ඔන්න ඔය කාලයේදී. මම ඒ කාලෙ අපේ ගමේ ගම්සභා නියෝජිතයා. පහත්යයි සම්මත කුලයකය කියල රදළයින් අපව හොඳටම කොන් කරල තිබුණෙ. මුළු ගමටම ඒ කාලෙ උළු හෙවිලි කළ ගේකට තිබුණෙ අපේ ගෙදර විතරයි. දවසක් දා අපේ ගේ ගාවට කණ්ඩායමක් ඇවිත් අපිත් එක්ක කතා කළා. ඒ කණ්ඩායමේ රළු පෙනුමක් තිබුණු තේජවන්ත කෙනෙකුත් අපේ ඉතිහාස පොත්වල තියෙන ග්‍රීක් පිළිමයක් වගේ එවැනිම ලස්සන කරුණාවන්ත කෙනකුත් හිටියා. රළු පෙනුම තිබූ පුද්ගලයා තමයි බොරලුගොඩ පිලිප් ගුණවර්ධන සහෝදරයා. අර ග්‍රීක් පිළිමය වගේ හිටියා කිව්වෙ ඇන්.ඇම්. සහෝදරයා. තවත් ඒ කණ්ඩායමේ හිටිය කෙනෙක් තමයි කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර වික්‍රමසිංහ සහෝදරයා.

ඒ කණ්ඩායම මට කතාකරල කිව්ව “අපි ආවෙ මැලේරියාවෙන් දුක් විඳින අයට සාත්තු කරන්න බෙහෙත් දෙන්න කියල. ඒ අයගෙ පිටි පස්සෙන් ගෝනි කර ගහගත්ත අයත් හිටිය. ඒ ගොල්ලො මගෙන් ඉල්ලා හිටිය ඒ අයට පාර පෙන්වන්න කියල. ඒ කාලෙ මේ මහත්තුරු නොසෑහෙන්න දුක් වින්දා. ගෙයක් ගෙයක් ගානෙ කූඩැල්ලන් කඩ කඩ ගොස් හාල්, පරිප්පු, මාමයිට්, සීනි, තේ කොළ බෙදල දුන්නා. සාත්තුවට කෙනෙක් නැතිව ගෙවල්වල හිටි ලෙඩුන්ට කැඳ උයල පෙවූ හැටි අද වගේ මට මතකයි. ඇන්.ඇම්. සහෝදරයාට පරිප්පු මහත්තයා කියල නමක් වැටුණෙත් ඔය පරිප්පු බෙදූ හින්දයි. ඒ දවස්වල කණ්ඩායමට නතර වෙන්න තැනක් තිබුණෙ නෑ. හැමදාම උදේට ගම්වල ඇවිදල ලෙඩ්ඩුන්ට සාත්තු කරලා හැන්දෑවට ගිහින් හැමදාම උදේට එනවා.”

සූරිය මලෙන් පිබිදුණු ජාතිය නව යුගයකට ප්‍රවිෂ්ට විය. ඒ අධිරාජ්‍ය වාදය තුරන්කරන දැවැන්ත සටනයි.

ජීවිත කාලයක් මුළුල්ලේ මෙරට පොදුජන සුබසිද්ධිය උදෙසා කැපවූ ඇන්.ඇම්. ට පෞද්ගලික ජීවිතයක් නොවූ තරම් ය. ඔහුට විනෝදාංශ දෙකක් තිබිණ. එකක් පොතපත කියවීම ය. අනෙක දුක් විඳින ජනතාව එම දුකෙන් මුදා ගැනීමට දිවි හිමියෙන් ඇප කැපවීම ය.

බොහෝ දෙනෙක් ඇන්.ඇම්. ගැන දන්නේ මෙරට සමාජවාදී දේශයක් උදෙසා ඇප කැපවූ පුද්ගලයකු වශයෙනි. එහෙත් මේ අපූරු මිනිසාගේ බහුශ්‍රැත භාවය ගැන හෝ ඔහු ලද අධ්‍යාපන ජයග්‍රහණයන් පිළිබඳව දන්නේ අල්ප වූ ජන ප්‍රජාවකි. ඉගෙන ගැනුමට අතිදක්ෂයකු වූ ඇන්.ඇම්. ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ 19 වැනි වියේදීය. මුලින් ම කලා විෂයන් හැදෑරූ ඇන්.ඇම්. මධ්‍ය පරීක්ෂණය ද සමත්ව එය අතහැර දමා විද්‍යා විෂයයන් හදාරමින් එහි මධ්‍ය පරීක්ෂණයෙන් ද සමත් විය. වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගොස් ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන හැරල්ඩ් ලැස්කිගේ හිතාදර ශිෂ්‍යයකු වශයෙන් 1929 වසරේදී අර්ථ ශාස්ත්‍රය පිළිබඳව ඩී.එස්.සී. ගෞරව උපාධිය හිමිකර ගත්තේ ය. ඉන් අනතුරුව අර්ථ ශාස්ත්‍රය හා දේශපාලන විද්‍යාව ගැන 1931 දී පී.එච්.ඩී. (දර්ශන විශාරද) උපාධිය හිමි කරගත්තේ ය. ඉන් නොනැවතී මේ පිළිබඳව ලැබිය හැකි උසස්ම උපාධිය වන ඩී.එස්.සී. උපාධිය හිමි කරගත්තේ පාර්ලිමේන්තු පිළිබඳ තුළනාත්මක අධ්‍යයනය නම් පර්යේෂණ නිබන්ධය ඉදිරිපත් කරමිනි.

මෙරට දේශපාලනයේ නියුක්ත පිරිස අතර ඇන්.ඇම්. තරම් බුද්ධිමතකු මෙතෙක් පහළ වී නැත. එතෙක් ඔහු සිය බුද්ධිය මෙහෙය වූයේ යළි පණ උපදවා ගත යුතු නව පරපුරක් බිහිකිරීම සඳහා ජන ජීවිතය මුළුමනින්ම වෙනස් කළ යුතුය යන අභියෝගය පිහිටුවමින් ය. පී.එච්.ඩී. උපාධියේ කබායක් බී.එස්.සී. උපාධියේ ලෝගුවත් පසෙකට විසිකොට, කොට කලිසම ඇඳ ඔහු මහ මඟට පිළිපන්නේ ය. දැනුම උපාධිය හා සමාජ තත්ත්වය වැනි ඇගැයුම් හදවතින් ඉවත් කොට මැලේරියා වසංගතයෙන් හා දුප්පත්කමින් හෙම්බත්වූ තුන් කෝරල වැනි දුක් විඳින ජනතාවට සහනයක් සැලසීමට පාරක් පාරක් ගානේ, නියරක්, කුඹුරක්, ගමක් නියං ගමක් ඔස්සේ සැරි සැරූ ඇන්.ඇම්. තරුණයා මැලේරියා වසංගතයට ගොදුරුවූ ගම් වැසියන්ට බෙහෙත් බෙදුවේ කාරුණික වෛද්‍යවරයකු ලෙසිනි. අඟහිඟකමින් පෙළුණු දරිද්‍රතාවයේ මඩ වගුරේ ගිලුණු අසරණයන්ට කරේ එල්ලාගත් මලුවලින් පරිප්පු සහ සීනි වැනි ආහාර ද්‍රව්‍ය පමණක් නොව ඒ අතරතුර මේ සමාජ රටාව වෙනස් කරන බුද්ධිය ද බෙදා දුනි. පෞද්ගලිකත්වය, සමාජ තත්ත්වය හා මමංකාරය ද ඉවත හෙලූ ඔහු දුක් විඳින ජනයා සමඟ සටන් මඟට පිළිපන්නේ ය.

දේශපාලනිකව හෝ පෞද්ගලිකව ඔහු තුළ සුවිශේෂී ගති ලක්ෂණ රැසක් පිහිටා තිබිණි. ඔහු බුද්ධි මානයෙන් තොර නිහතමානී පුද්ගලයෙකි.

මිතුරන්ගේ හා විචාරකයන්ගේ ද, සතුරන්ගේ ද මත විවේචන අසා සිටීමටත් පිළිගත හැකි නම් ඒවා පිළිගැනීමටත් අවශ්‍ය සහනශීලී චාම් බවත් ඔහු තුළ පිහිටා තිබිණි.

නිශ්චල පුද්ගලයකු වූ ඔහු ගාම්භීර මිනිසෙකි. කවරාකාර උග්‍ර ගැටලුවක් වුව ද සිනා මුහුණින් විඳ දරා ගත්තේ ය. කිසිවිටක කලබලයට පත් නොවී ය. ඔහුගේ ජීවිතය මුළුමනින් ම කැපවූයේ පොදු ජනතා අයිතිය වෙනුවෙනි. දූ දරුවන් සමඟ සැනසිල්ලේ ඉන්නට ඔහුට අවස්ථාවක් නොවූව ද ඔහු දයාබර බිරිඳකුගේ ස්වාමි පුරුෂයකු විය.

ඇන්.ඇම්. ගැන කතා කිරීමේදී ඔහුගේ විවාහ ජීවිතය ගැන ද යමක් කිව යුතුව ඇත. පොදුජනයා සමඟ එක්ව සූරියමල් ව්‍යාපාරය ගෙන යද්දී ඇන්.ඇම්. ට සහාය දැක්වූවන් අතර සෙලීනා මාග්‍රට් පීරිස් මෙනවිය ද එක්ව සිටියාය. උපාධිධාරිනියක වන සෙලීනා රුවන්වැල්ල ආසනයට ඇන්.ඇම්. තරග කරද්දී උද්යෝගිමත් ආධාර කාරියක වූවා ය. ඇන්.ඇම්. මැතිවරණ කටයුතු කරද්දීම සෙලීනා සමඟ විවාහ වීමට නම් දී තිබිණ. දෙදෙනාටම විවාහ දිනය අමතකව ගොස් තිබිණ. නම් දුන්න ද විවාහ විය යුතු කාල සීමාව ඉක්මවා ගොස් ඇතැයි රෙජිස්ටාර් ජනරාල්ගෙන් ඇන්.ඇම්.ට ලිපියක් ලැබිණ.

කාල සීමාව දිගු කර ගැනීමට ඇන්.ඇම්. රුපියල් දෙකයි සත පණහක මුද්දර ගාස්තු ගෙවීය. විවාහය සඳහා ඇන්.ඇම්. ට වියදම් වූයේ එපමණකි. උත්සවයක් සම්භාෂණයක් නොවීය.

විවාහයෙන් පසුව ද ඇන්.ඇම්. ගේත් සෙලීනාගේත් කාලය යෙදවූයේ දේශපාලනය සඳහා ය. බ්‍රෙස්ගර්ඩ්ල් පොලිස් අත්අඩංගුවට හසු නොවී තම හමුවට එන තුරු සැඟවී සිටියේ සෙලීනා විසින් බදුල්ලේ පිළියෙල කළ නවාතැනක ය. බෝගම්බර සිරගෙදරින් ඇන්.ඇම්. පැන ගොස් ඉන්දියාවේ ජාතික සටනට රහසිගතව සම්බන්ධව සිටියදී ඔහුට උරදෙමින් සෙවණැල්ලක් මෙන් සෙලීනා සිටියා ය. 1947 ජූලි මස 26 වැනි දින කෑගල්ල දිසාපති කාර්යාලයේදී රුවන්වැල්ල ආසනයේ සම සමාජ මන්ත්‍රී ධූර අපේක්ෂකයා ලෙස ඇන්.ඇම්. නාම යෝජනා ඉදිරිපත් කළේ ය. ඇන්.ඇම්.ගේ ප්‍රතිවාදී තරගකරුවන් වූයේ එක්සත් ජාතික පක්ෂයේ පී.සී. ඉඹුලාන හා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඩබ්.ආර්. ධර්මසේන ය. ඡන්ද ලකුණු ක්‍රමය මුලින් ම ක්‍රියාත්මක වූ මේ මැතිවරණයේදී ඇන්.ඇම්. ට හිමි වූයේ ‘ගෙය‘ සලකුණ ය. ලංකා සම සමාජ පක්ෂයත් බොල්හේවික් ලෙනිනිස්ට් යන පක්ෂ දෙක අතර මතභේද තිබුණත් මැතිවරණයේදී කුළල් කා ගැනීම තරමට අපේක්ෂකයන් ඉදිරිපත් නොකළ නමුත් කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂකයන් සමඟ තරග කරන්නට මේ පක්ෂ දෙකටම සිදු විය.

නාම යෝජනා පත්‍ර භාර දී දින දහයකට පසු ලංකා කොමියුනිස්ට් පක්ෂ සභාපති දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ ඇන්.ඇම්. ට ආධාර පිණිස කොමියුනිස්ට් පක්ෂය මඟින් ඉදිරිපත් කළ අපේක්ෂකයා අස්කර ගත්තේ ය.

මැතිවරණයේ පළමු දිනය වූ අගෝස්තු විසිතුන් වැනිදා ආසන දහයක් සඳහා වූ තරග ප්‍රතිඵල ප්‍රකාශයට පත් විය. එක්සත් ජාතික පක්ෂයට ආසන හතළිස් දෙකක් ද ලංකා සම සමාජ පක්ෂයට දහයක් ද, ද්‍රවිඩ සංගමයට හතක් ද, බෝල්ෂේවික් පක්ෂයට පහක් ද, කොමියුනිස්ට් පක්ෂයට තුනක් ද, කම්කරු පක්ෂයට එකක් ද, ස්වාධීන මන්ත්‍රීවරුන්ට ආසන විසි එකක් ද ලැබීමෙන් මැතිවරණ පොරය අවසන් විය. ලංකා සම සමාජය නීති විරෝධී කර තිබූ සමයේ උදාර සේවයක් කළ රෙජී සේනානායකගේ බිරිඳ ප්ලෝරන්ස් සේනානායක මහත්මිය මේ මැතිවරණයෙන් ජයගත් එකම කාන්තාව වූවා ය.

නිදහස් ලංකාවේ දහඅට වැනි අය වැය ලේඛනය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණේ මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසින් 1964 ජූලි 30 වැනිදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළේ ය. එහිදී ඔහු කළ ප්‍රකාශය මෙසේ සඳහන් විය.

“අවුරුදු විසි අටක් පුද්ගලයකුගේ ජීවිතයේ දීර්ඝ කාලයක්. මා සිරගෙයි ගත කළ කාලය හැරෙන්නට 1936 සිට 1964 දක්වා වූ අවුරුදු 28 ක් ඇතුළත මේ ගරු සභාවේදී ඉදිරිපත් කළ අයවැය කථාවලට විරුද්ධ පක්ෂ ආසනයක සිට සවන්දීමේත්, ඒ අයවැය කථා තදින් හා නොපැකිළව විවේචන කිරීමේ භාග්‍යය මට ලැබුණා. අද මා සිටින්නේ ද එවැනි විවේචනවලට භාජනය වන තැනක ය. එය කිසිවෙකුට ඊර්ෂ්‍යා කළ නොහැකි තැනකි. මා අතීතයේදී කළ කථාවලින් කොටසක් විශාල ලෙස උපුටා දක්වා අද මට සමහරු සරදම් කරනවාට කිසිදු සැකයක් නෑ. එය බලාපොරොත්තු විය යුතු දෙයකි. එසේ ම අතීතයේ තර්කම යළි මා වෙත එල්ල කරමින් අද මා ඉදිරිපත් කරන කරුණු බිඳ හෙළීමට සමහරු උත්සාහ කරන බව මා දන්නවා. මේවා දේශපාලන පොරපිටියේදී බලාපොරොත්තු විය යුතු වේ.

මෙය මේ පාර්ලිමේන්තු වාරයේ අවසන් අවුරුද්ද නොවී මුල් අවුරුද්ද වූයේ නම් මා කරන්නේ දිගුකාලීන දර්ශනයක් ඇති පස් අවුරුදු අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමයි. එහි මුදල් වෙන් කිරීම අවුරුද්දෙන් අවුරුද්දට කරන අතර එය කරනු ලබන්නේ අවුරුදු පතා අප කරන්නට බලාපොරොත්තු වන දේ හා අප කරනු ලැබූ වැඩ සම්බන්ධයෙන් ලබන අවබෝධය අනුව ය.

මගේ අනාගතය කුමක් දැයි මට කියන්න බැහැ. ලබන අවුරුද්දේ මා මෙහි නොසිටියහොත් මගේ තැන ගන්නා අයගෙන් එසේ කරන ලෙස ඉල්ලා සිටිනවා.සෞභාග්‍යය කරා යාමට කෙටි පාරවල් නැහැ. යම් යම් මුදල් ඇමැතිවරු හාස්කම් කරනු ඇතැයි සමහරු බලාපොරොත්තුවනවා. හාස්කම් යුගය දැන් අවසන් වී ඇති බව කවුරුත් දන්නා දෙයකි.

ඇත්ත වශයෙන් දේශපාලන හා ආර්ථික කටයුතුවලදී කළ හැකි හාස්කමක් නැහැ. මා දන්නා එකම හාස්කම නිති පතා වෙහෙසී වැඩ කිරීමයි. කොටින් ම කියතොත් සමාජවාදී හාස්කමත් එයයි.

නැවතත් මේ රට ශක්තිමත් බලවත් රටක් ලෙසට පත් කිරීමට ජීවිතයේ නොයෙක් අවස්ථාවල ආර්ථික ක්‍රමයේ නා නා අංශවල සිටින අප සියලු දෙනාම වෙහෙස මහන්සිව වැඩ කළයුතුයි. වර්තමාන පරම්පරාවේ හා අනාගත පරම්පරාවේ යහපත උදෙසා නිතරම ඇප කැපවී සේවය කළ යුතුයි.

අය වැය ලේඛනය සකස් කිරීමට ඇන්.ඇම්. ට ලැබුණේ මාස එක හමාරකට අඩු කාලයකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් ඔහු පැය හතර හමාරක් කථා කළේ ය.

රුපියල් දස ලක්ෂ පන්සියයක් වූ අය වැය හිඟය ජනතාව පිට බර නොදමා පියවන හැටි පෙන්වා දුන්නේ ය.

ධනපති පන්තියට බදු බර වැඩි කළ ඇන්.ඇම්. සුළු ආදායම් ලබන අයට බදු සහන ද දුන්නේ ය. රුපියල් දොළහේ වාර්ෂික වැටුප් වැඩිවීම් ලැබූ පහළ පන්තියේ රජයේ සේවකයන් අනූ දහසකට රුපියල් තිහක වැටුප් වැඩිවීමක් ලබාදුන්නේ ය. විශ්‍රාම වැටුප් සඳහා ගුරුවරුන් විසින් වැටුපෙන් ගෙවිය යුතු 6% ප්‍රමාණය 4% දක්වා අඩු කළේ ය.

එතෙක් පොත් මුදලාලිගේ අභිමතය අනුව සකස් කළ පාසල් පොත් වෙනුවට රජයෙන් පාසල් පොත් සකස් කොට මුද්‍රණය කිරීමේ වැඩපිළිවෙළ ද ඇන්.ඇම්. ගේ අය - වැය යෝජනාවකි. 1965 වර්ෂය සඳහා බාලාංශ සිසුන්ට අතක් බර පොතක් සත 25 ට දීමට ඇන්.ඇම්. ට හැකි විය.

අවුරුදු 6 ත් 12 අතර පාසල් සිසුන්ට නිකුත් කරන බස් වාර ප්‍රවේශ පත්‍රවල මිල ඇන්.ඇම්. අඩකින් අඩු කළේ ය. දින පහේ සතියක් ඇති කිරීම, පසළොස්වක පෝය දින ලංකා ඉතිහාසයේ මුල් වරට රජයේ නිවාඩු දින බවට පත් කිරීම 1964 දී ඇන්.ඇම්. සිය කුලුඳුල් අය වැය ලේඛනයෙන් ප්‍රකාශයට පත් කළ තවත් වැදගත් යෝජනා දෙකකි. මේ වනවිට ප්‍රතිගාමී බලවේග රජය පරාජයට පත් කිරීමේ දැඩි වෙහෙසක නිරතවී සිටියේ ය. මුදල් ඇමැති ඇන්.ඇම්. මුදල් ඇමැතිවරුන්ගේ සම්මේලනයකට එංගලන්තය බලා ගොස් සිටියේ ය. සමුළුව අවසන් වෙත් ම හදිසියේ අසනීපවීමෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ‘යුනිවර්සිටි කොලෙජ්‘ රෝහලට ඇතුළු විය. හදිසියේ සිදු කළ සැත්කමට පැය හයක් ගත විය. 1979 ජූනි මස වනවිට ඇන්.ඇම්. ගේ සෞඛ්‍යය තත්ත්වය දරුණු සේ දුර්වල විය. විශේෂඥ වෛද්‍යවරු වන පී. නාගරත්න, කාලෝ ෆොන්සේකා, ජේ. ශිව ප්‍රකාශම්, නාරද වර්ණසූරිය, තිස්ස විතාරණ, ආර්.සී. ජයවර්ධන, වසන්ත කුමාර, රංග වික්‍රමසිංහ, ප්‍රමිලා ගුණවර්ධන යන වෛද්‍යවරු ඔහු අසලම යෙදෙමින් ප්‍රතිකාර කළ ද පලක් නොවූයෙන් අගෝස්තු දහ හතර වැනිදා සදහටම දැයෙන් සමුගත්තේ ය.

නිමි

 

Comments