පාල­මක් ඉල්ලා හඬන කළු ගං ඉවුරේ මිනිස්සු | සිළුමිණ

පාල­මක් ඉල්ලා හඬන කළු ගං ඉවුරේ මිනිස්සු

කළු ගඟේ බොලො­ස්ස­ගම තොටු­පල
කළු ගඟේ බොලො­ස්ස­ගම තොටු­පල

 

ළුතර ඔරලෝසු කණුව ළඟින් ආරම්භ වී කළු ගඟේ දකුණු ඉවුරට සමාන්තරව දිවෙන මාර්ගය පොදු ප්‍රවාහන පහසුකම් එතරම් හොඳින් ක්‍රියාත්මක වන මාර්ගයක් නොවේ. පලාතොට, උක්වත්ත, කොහොලාන, පේරුපිට, බොලොස්සගම ආදි ගම්මාන රැසක් හරහා මෙම මාර්ගය වැටී ඇත.

කළුතර උතුර නාගස්හංදිය හරහා හොරණට වැටෙන මාර්ගය පිහිටා ඇත්තේ කළු ගඟේ උතුරු ඉවුරට සමාන්තරවය. මෙම ‘දෙනුවර’ කළුතර දිස්ත්‍රික්කයෙන් යා කෙරෙන ප්‍රධාන පාලම් තුනක් පිහිටා ඇත. ඉන් එකක් කළුතර නගරය අසල ඇති ප්‍රධාන පාලමයි. දෙවැන්න නාර්තුපාන පාලමයි. අනෙක දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා ඉදි කළ පාලම ඉදිකර ඇත්තේ පා ගමනින් යන අයකුට හැර යතුරු පැදියක්වත් යෑමට නොහැකි වන අයුරින්ය.

මෙම දෙනුවර හරහා එහා මෙහා යාමට ඉවුරු දෙපස ගම්වාසීන් ඈත අතීතයේ සිට ඔරු සහ අඟුල් භාවිතා කර තිබේ. ඒ සඳහා ගං ඉවුරු දෙපස තොටුපළවල් පිහිටා තිබූ අතර මේ වනවිට අඟුල් සේවා ක්‍රියාත්මක වන

අධි­වේගී මාර්ගයේ පාල­මට පයින් ගමන් කිරී­මට එක් කළ කොටස
 

තොටුපළවල් හතරක් පමණක් කළුතර දිස්ත්‍රික් මායිමේ පිහිටා තිබේ. ඒ දෙහිගහතොටුපළ, තඹුවන, බොලොස්සගම සහ මිලිටරි තොටුපළයි.

දකුණු ඉවුරේ ගම්වල ජනතාවට ගොඩබිම මාර්ගයෙන් උතුරු ඉවුරට යෑමට නම් කිලෝමීටර 40ක පමණ දුරක් ගෙවා යා යුතුය. මේ සඳහා දියුණු බස් සේවාවක් ද නොවේ. තිබුණත් වැය වන ගාස්තුව හා ගත වන කාලය ද වැඩිය. අඟුලකින් එහා ඉවුරට ගොස් මෙගොඩට ඒම සඳහා අය කරන ගාස්තුව රුපියල් විස්සයි. ගතවන කාලය විනාඩි පහකි. යතුරු පැදියක් රුපියල් විස්සකට ද ත්‍රිරෝද රථයක් රුපියල් 100කට ද එගොඩ කර ගත හැක.

ඒ අනුව බස් මාර්ගයෙන් කළුතර නගරයට පැමිණ බඩු භාණ්ඩ මිලදී ගන්නවාට වඩා දකුණු ඉවුරේ ජනතාවට පහසු උතුරු ඉවුරේ ගල්පාත ප්‍රදේශයට ගොස් බඩු භාණ්ඩ රැගෙන ඒමටය. දකුණු ඉවුරේ වෙළෙඳසැල්වලට පවා බඩු භාණ්ඩ ගෙන එන්නේ අඟුල් මඟිනි. ගල්පාත බදාදා පොළ උතුරු ඉවුරේ තිබුණේ ද දකුණු ඉවුරේ ගම්වාසීන් අතර ද ජනප්‍රිය පොළක්වී ඇත්තේ ඒ අයුරිනි.

හොරණ නගරයේ පාසල්වලට යන දකුණු ඉවුරේ ගම්මානවල දරුවන් ද, සේරුපිට සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ නිලධාරින් හා නිලධාරිනියන් ද, රාජ්‍ය ආයතන රැසක සේවක සේවිකාවන් ද හුවමාරු වන්නේ මෙම අඟුල් මඟිනි. ඒ බොහෝ අය යතුරු පැදියෙන් විත් අඟුලට යතුරු පැදිය පටවාගෙන මෙහා ඉවුරට විත් නැවත පැදගෙන යයි.

මෙම ඉවුරු දෙක හරහා සැහැල්ලු වාහනයක්වත් ගමන් කළ හැකි ආකාරයට පාලමක් ඉදිකළ යුතුය යන යෝජනාව වරින් වර මතු වෙමින් යට යමින් ඇත. එහෙත් එම අවශ්‍යතාව නැවත ඉස්මතු වූයේ ඉකුත් දෙසැම්ර් 03 වැනි දින සිදුවූ ඛේදවාචකයත් සමඟය.

එදින රාත්‍රි 7.30ට පමණ ගල්පාත සිට බොලොස්සගම තොටුපළට ගමන් කරමින් තිබූ යතුරු පැදි තුනක්, පාපැදියක් සමඟ පුද්ගලයන් පස් දෙනකු රැගත් අඟුලක් කළු ගඟ මැදදී පෙරළී යෑමෙන් එහි ගමන් ගත් 29 හැවිරිදි තිදරු පියෙකු මිය ගොස් තිබුණි. කළුතර කිතුලාවේ පදිංචිකරුවකු වූ ඔහු කුසල මේනක සඳරුවන් ය.

අව­සන් වරට අඟුල පෙර­ළී­මෙන් මිය ගිය කුසල චේතක සඳ­රු­වන් සහ ඔහුගේ බිරිය නිලූකා ශ්‍රිමාලි හා දරු­වන්

ඔහුගේ බිරිය වන නිලූකා ශ්‍රිමාලි (36) යන අය කියා සිටියේ කළුතර නගරයේ මත්පැන් අලෙවි හලක සේවය කළ මේනක,සවස 4.30ට පමණ වැඩ ඇරී ගෙදර පැමිණ ආයතනයට අදාළ ලිපි ලේඛන කීපයක් ගෙන ඒම සඳහා එහා ඉවුරේ යාලගල පිහිටි ආයතනයේ ශාඛාවකට යෑමට යතුරු පැදියෙන් පිටත්ව ගිය බවයි. “අපට පුතාලම තුන් දෙනෙක් සිටිනවා. අපි ඉන්නෙ ලෑලිවලින් හදපු පුංචි ගෙයක. අපට ඉන්න ගෙයක් හදා ගන්න ඕන කියන හැඟීමෙන් සැමියා නිතරම කටයුතු කළා”යැයි ද ඇය කීවාය.

මෙම අඟුල පැදවූ තොටියා, බොලොස්සගම පදිංචි 56 හැවිරිදි ඉඹුලාගොඩගේ සුනිල්චන්ද්‍ර ය. තොටුපළ ‘බොලොස්සගම’ වූවන් කවුරුත් එය හැඳින්වූයේ ‘සුනිල්ගේ තොටුපළ’ යනුවෙනි. එදා සිදුවූ සිද්ධිය ඔහු විස්තර කළේ මෙසේය.

“අවුරුදු ගාණක් තිස්සේ මේ තොටුපළේ අඟුල පැද්දේ අපේ පරම්පරාවෙ අයයි. කවුරුත් නැති වෙලාවට අපේ ආච්චිත් අඟුල පැදලා තියෙනවා. මම 1988 වසරේ ඉඳලා මෙම අඟුල පදිනවා. මේ අඟුලෙන් බයිසිකල්, මෝටර් සයිකල් වගේම ත්‍රීවීලුත් එගොඩ කරනවා. මේ අඟුලට දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවෙන් අවසර පත්‍රයක් ද ලබාදී තිබෙනවා. සිද්ධිය වූ දවසේ රාත්‍රි 7ට විතර මම ගල්පාත පැත්තේ සිට බොලොස්සගම පැත්තට අඟුල පැදගෙන ආවා. දෙපැත්තෙ තොටුපළවල් දෙකේ ලයිට් දාලා තිබුණත් එදා ලයිට් කපල තිබුණු දවසක්. අඟුලේ මෝටර් සයිකල් තුනක් හා බයිසිකලයක් සමඟ තව හතර දෙනෙක් හිටියා. එක පාරටම ගඟේ පාවෙලා ආපු අත්තක් අඟුල අස්සට ගියා. එවිට අඟුල පැත්තකට බර වෙලා පෙරළුණා. ඊට පස්සෙ වතුරට වැටුණු අය අඟුලේ එල්ලුණා. එක්කෙනෙක් පේන්න හිටියේ නැහැ. මගේ අයියා අනෙක් අඟුලෙන් ඇවිත් අඟුලේ එල්ලී හිටි අයව බේරා ගත්තා. මට හුස්ම ගන්න අපහසු නිසා නාගොඩ රෝහලට ඇතුළු කළා.”

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී අංක 721 බොලොස්සගම ග්‍රාම නිලධාරිනි පී.සී.එස්. නිරෝෂනී මෙසේ කීවාය.

“මේ ගම්වල අය කළුතර නගරයට ගිහින් ගල්පාතට යන්න ගියොත් කිලෝමීටර 45ක් විතර යන්න වෙනවා. ඒ නිසා හොරණ පාසල්වලට යන ළමුන් මෙන්ම බොහෝ අය එහා මෙහා යන්නේ මේ අඟුලෙන්. අඟුලෙන් එහා ඉවුරට යාමට ගත වෙන්නේ ඉතා සුළු වේලාවයි. මේ ගම්වලට පාලමක අවශ්‍යතාව තියෙනවා.”

සේරුපිට සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ නර්තන අංශයේ සේවය කරන ඒ.එල්. ලසිතා කීවේ මෙවැන්නකි.

වමේ සිට, ග්‍රාම නිල­ධා­රිනී පී.සී.එස්. නිරෝ­ෂණී, දයා­රත්න දල­වැල්ල, එල්.බී. වීර­සිංහ, බන්දු ගුණ­සේ­කර, ඒ.එල්. ලසිතා, ඉඹු­ලා­ගො­ඩගේ සුනිල් චන්ද්‍ර (තොටියා)

“මම පදිංචි ඉංගිරියෙ හඳපාන්ගොඩ. වැඩට එන්නේ මෝටර් සයිකලයෙන්. හොරණ පාරේ ගල්පාතට ඇවිත් එතැන ඉඳල අඟුලෙන් එගොඩ වෙලා සේරුපිට කඳවුරට යනවා. ප්‍රධාන මාර්ගයෙන් ගියොත් කිලෝ මීටර 45ක්. කාලය මෙන්ම වියදමත් වැඩියි. අඟුලෙන් යන්න එන්න දෙකටම වැය වන්නේ රුපියල් විස්සයි. මම වගේම අපේ කඳවුරේ හුඟක් අය වැඩට එන්නේ මේ අඟුලෙන් එගොඩවෙලයි.”

විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වූ සේරුපිට පදිංචි දයාරත්න නලවැල්ල ද අප සමඟ අදහස් දැක්වීය.

“අපේ ගම ආසන්නයේ තොටුපළවල් දෙකක් තියෙනවා. එකක් මේ තොටුපළ. අනෙක ‘මිලිටරි’ තොටුපළ. ඒ තොටුපළ හරහා ලෝක යුද සමයේ එහා ඉවුරට යාමට දැල් පාලමක් තිබිල තියෙනවා. ඒ යුද සෙබළුන්ට එහා මෙහා යාමටයි. දැන් ඉතිරිවී තිබෙන්නේ කණු කීපයක් පමණයි.”

සේරුපිට ග්‍රාම සංවර්ධන සමිතියේ නොකඩවා වසර 20ක් සභාපති ධුරය දරන බන්දු ගුණසේකර ද පාලමක අවශ්‍යතාව මතු කළේ මෙලෙසිනි.

“දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා කළු ගඟ උඩින් පාලම යන්නේ අපේ ගම් මතින්. මේ ඉදිකිරීම කරන්නට පෙර චීන කොන්ත්‍රාත් සමාගමේ නිලධාරින් මෙරට ඉංජිනේරුවන් හා ගම්වාසීන් සමඟ සාකච්ඡා වට කීපයක් උක්වත්ත පාසලේ පැවැත්වුණා. ඒ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ සෑම සාකච්ඡාවකදීම විහාරාධිපති ගෝනදූවේ ධම්මාලෝක හිමියන් ප්‍රධාන ගම්වාසීන් ඉල්ලා සිටියේ ත්‍රීවීලරයක් වැනි සැහැල්ලු වාහනයක්වත් එහා මෙහා ගෙන යා හැකි ආකාරයට පාලම් කොටසක් අධිවේගී මාර්ගයේ පාලමට එකතු කර දෙන ලෙසටයි. එහෙත් ඊට චීන සමාගමේ මෙන්ම මෙරට නිලධාරින් ද කැමැත්තක් දැක්වූයේ නැහැ. ‘එහෙම බැරි නම් මේ වැඩේ නවත්තලා දානවා’ කියලත් එදා කුමාර වෙල්ගම ඇමැතිතුමා සැරෙන් කිව්වා. අන්තිමට ජනතාවට පා ගමනින් එහා මෙහා යාහැකි වන ආකාරයට අඩි පහක පමණ පාලම් කොටසක් අධිවේගී මාර්ගයේ පාලමට එකතු කිරීමට ඒ අය කැමති වුණා. ඒත් ඒක ඉදි කළේ දෙපසින් පඩි පේළි දෙකක් සමඟයි. ඒ නිසා මෝටර් සයිකලයක්වත් ඒ කොටසට ඇතුළු කරන්න බැහැ.”

විශ්‍රාමික විදුහල්පතිවරයකු වන එල්.බී. වීරසිංහ ප්‍රදේශවාසියකු ලෙස මේ ගැටලුව පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

“අපි ප්‍රදේශයේ සංවිධාන රැසක එකමුතුවෙන් ඉල්ලීමක් සකස් කරලා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවල් මහතා මඟින් කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සැහැල්ලු වාහනයක්වත් ගමන් කළ හැකි ආකාරයට මේ තියෙන පාලම් කොටස තව ටිකක් පුළුල් කර ගැනීමටයි.”

මෙම තොටුපළවල්වල සිදුවූ අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමේදී 1984 වසරේදී සිදුවූ අනතුර කාගේත් මතකයේ ඇත. ගල්පාත පොළට ගොස් ආපසු උක්වත්ත තොටුපළට එමින් සිටි පිරිසක් රැගත් අඟුලක් පෙරළී ගිය අතර, එහිදී කළු ගඟට වැටුණු කාන්තාවන් පිරිසක් බේරා ගත් අඟුල පැදවූ ‘සෙනේරිස් මාමා’ ට අවසානයේදී සිය ජීවිතය අහිමි විය.

තම දිවි නොතකා අන් අයගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් වාර්ෂිකව ‘විරු ජන සම්මාන’ උලෙළක් මෙරට පැවැත්වේ. ඒ සම්මාන උලෙළ ආරම්භ වූයේ ‘සෙනේරිස් මාමා’ට පළමු උපහාරය දක්වමින් බව බොහෝ අය නොදන්නවා විය හැකි. එම වීරත්වය රටට හෙළි කළ මාධ්‍යවේදියා ලෙස එම අවස්ථාවේදී මෙහි ලියුම්කරු වූ මා හට ද සම්මානයක් හිමි වූ බව සිහිපත් කරනුයේ නිහතමානීවය.

කළු ගඟේ දකුණු ඉවුරේ සිට උතුරු ඉවුරට සැහැල්ලු වාහනයක් ගෙන යා හැකි ලෙස පාලමක් ඉදිකිරීමේ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමට ගිය අප නැවතත් නතර වූයේ තවමත් බොලොස්සගම තොටුපළේ අඟුල පදින ඉඹුලගොඩගේ සුනිල්චන්ද්‍ර අසලය.

“දැන් ගමේ අය කළු ගඟෙන් එගොඩ මෙගොඩ යන්න පාලමක් ඉල්ලනවා. ඔබ ඒ ගැන හිතන්නේ කුමක්ද?” යැයි අප ඇසූ ප්‍රශ්නයට සුනිල්චන්ද්‍ර පිළිතුරු දුන්නේ කළු ගඟ දෙස බලාගෙනය.

“අවුරුදු පනහකටත් වැඩි කාලයක් මේ තොටුපළේ අඟුල පදිමින් ජනතාව එගොඩ මෙගොඩ කළේ අපේ පරම්පරාවේ අය. ගඟේ වතුර අඩු කාලයටත් වැඩි කාලයටත් මගේ අත්වල සවියෙන් හබල් ගහල මම ඒ දේ කළා. පාලමක් හැදෙනවා නම් හොඳයි. මම ඒකට කැමතියි.”

Comments