දශක 4ක පරි­පා­ලන අත්දැකීම් සමඟ ජන­පති ලේකම් පුටු­වට ආ ගාමිණී සෙන­රත් | Page 2 | සිළුමිණ

දශක 4ක පරි­පා­ලන අත්දැකීම් සමඟ ජන­පති ලේකම් පුටු­වට ආ ගාමිණී සෙන­රත්

ජනා­ධි­ප­ති ගෝඨා­භය රාජ­පක්ෂයන් විසින් ජනා­ධි­පති ලේකම් තනතුරට අදාළ පත්වීම් ලිපිය ගාමිණී සෙන­රත් ට ජනවාරි 19 වැනිදා බාර­දුන් අව­ස්ථාව.
ජනා­ධි­ප­ති ගෝඨා­භය රාජ­පක්ෂයන් විසින් ජනා­ධි­පති ලේකම් තනතුරට අදාළ පත්වීම් ලිපිය ගාමිණී සෙන­රත් ට ජනවාරි 19 වැනිදා බාර­දුන් අව­ස්ථාව.

 

නාධිපතිවරයකුට පැවරී ඇති සංකීර්ණ වගකීම් සම්භාරයේ බර මෙතැකැයි කියා නිම කළ නොහැකිය. ඒ වගකීම් සම්භාරයේ බරපතළකම මනාව වටහාගත් ලේකම්වරයකුට ජනාධිපතිවරයා සතු වගකීම්වල බර මඳක් හෝ සැහැල්ලු කර දෙන්නට හැකිය. ජනාධිපති ලේකම් ලෙස පත්වන සුවිශේෂී පුද්ගලයා ජනපතිගේ වැඩ කටයුතුවලට පූර්ණ සහාය දෙන, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින් හා එක්ව පොදු ජනතා ගැටලු විසඳීමට කටයුතු කරන ජනතා සිත් සතන් හඳුනන පුද්ගලයකු විය යුතු බව කාගේත් අදහසයි. එමෙන්ම රාජ්‍ය නිලධාරීන් මනාව කළමනාකරණය කරමින් සුහදතාව ඇතිව කාර්යක්ෂම ලෙස කටයුතු කරමින් රටටත් ජනතාවටත් සෞභාග්‍යය උදාකරලීමට කටයුතු කිරීම ද ඔහු සතු වගකීමකි. රටේ පළමු රාජ්‍ය නිලධාරියා ඔහු ය.

 

අභිනව ජනාධිපති ලේකම් ලෙස ඉකුත් 19 වැනිදා පත්වූ ගාමිණී සේදර සෙනරත්, ඉහත කී සියලු වගකීම් දැරිය හැකි වසර 38ක පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකි. මීට පෙර අගමැති ලේකම්, ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී වැනි තනතුරුවල වසර 12ක් පමණ ක්‍රියාශීලීව සේවය කිරීමෙන් ලැබූ අත්දැකීම් හා පන්නරය නව තනතුරේ කටයුතු කිරීම සඳහා ඔහුට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

හක්මණ ඉඩම් හිමි වැවිලිකරු ලයනල් ජෝර්ජ් සේදර සෙනරත් ට සහ රත්නායක දෙපළට දාව හක්මණ දී උපත ලැබූ ගාමිණී සෙනරත්ගේ පවුල පාරම්පරිකවම තම පරම්පරාවේ දේපළවල කොටසක් ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපන, සෞඛ්‍ය හා ආගමික පහසුකම් නංවාලීම සඳහා යෙදවීමට කටයුතු කළ පරාර්ථකාමීහු වෙති. ඒ ආදර්ශය අනුව ක්‍රියා කළ ගාමිණී සෙනරත් ද තරුණ වියේ සිටම සමාජ සේවය සිය ජීවිතයට සමීප කර ගත්තේය.

ජනා­ධි­පති ලේකම් ගාමිණී සෙන­රත්  හුණු­පි­ටිය ගංගා­රාම විහා­ර­ස්ථා­න­යට පැමිණ ආග­මික වතා­වත්හි නිර­තවූ අයුරු. එහිදී  විහා­රා­ධි­කාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමි­යන් බැහැ දැක ආශි­ර්වා­දය ලබා­ගත් අතර ලේක­ම්ව­ර­යාට මහා සංඝ­ර­ත්නය සෙත් පිරිත් සජ්ඣා­යනා කර ආශි­ර්වාද කළහ.

හක්මණ මෙතෝදිස්ත, මාතර රාහුල, ගාල්ල රිච්මන්ඩ් යන විද්‍යාලවලින් මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ ගාමිණී සෙනරත් සිය පළමු උපාධිය ලබාගන්නේ කැලණිය විශ්වවිද්‍යාලයෙනි. 1984 වසරේදී පරිපාලන විභාගය සමත් වූ ඔහු පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබාගත්තේය.

පරිපාලන විභාගය සමත්වූ ගාමිණී සෙනරත් මුල්ම පත්වීම ලබන්නේ ත්‍රිකුණාමලයේ මොරවැව අතිරේක ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසටය. මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවිතැන් කරන දිළිඳු ජනතාවට සෞභාග්‍යය උදා කරදීමට ආධුනික පරිපාලන නිලධාරියකු ලෙස එදා ගාමිණී සෙනරත් කටයුතු කළේ සෙනරත් පවුලේ කාටත් හුරුපුරුදු සමාජ සේවා කටයුතුවලින් ලැබූ ආභාසය පන්නරයක් කොට ගනිමිනි. ඒ මානවහිතවාදී බව ඔහුගේ ජීවිතය පුරාම කැපී පෙනෙන සුවිශේෂී ලක්ෂණයක් විය. කැලණිය විශ්වවිද්‍යාලයේදී ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙහෙයවීමෙන් 2012 දී පැවැති ‘විදුලකර ගී මියැසිය’ සඳහා ගාමිණී සෙනරත් තම හිතමිතුරන් හා එක්ව විශාල මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කළේය. ඒ ප්‍රසංගයෙන් ලැබුණු ආදායමෙන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු කෙරුණු අතර එදා එලෙස ශිෂ්‍යත්ව ලැබූ කැලණිය විද්‍යාර්ථීන් මේ වන විට රටට ඵලදායී පුරවැසියන් ලෙස විවිධ ආයතනවල සේවය කරති. ඔවුන් ඇතුළු කැලණි විද්‍යාර්ථීන් ගාමිණී සෙනරත් විසින් එම විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ කටයුතුවලට දක්වන ලද සහයෝගය කෘතවේදීව සිහිපත් කරයි.

අභිනව ජනාධිපති ලේකම් ලෙස පත්වූ ගාමිණී සෙනරත්, කලක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස ද කටයුතු කළ අතර, 2005 වසරට පෙර සිටම එකල අගමැති ලෙස සිටි මහින්ද රාජපක්ෂයන්ගේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරමින් අගමැතිවරයාගේ සියලු සාමාජීය හා දේශපාලන කටයුතුවලට පූර්ණ සහාය දැක්වීය. විශේෂයෙන් මෙරටට බලපෑ දරුණුතම ස්වාභාවික ව්‍යවසනය වූ සුනාමිය පැමිණි 2004 දී එවකට අගමැති මහින්ද රාජපක්ෂයන් සමඟ විපතට පත්වූ ජනතාවට පූර්ණ සහන සැලසීමට ඔහු කටයුතු කළේය. ඒ දිනවල පැවැති දුෂ්කරතා නොසලකමින් දකුණේ හම්බන්තොට, ගාල්ල, මාතර ප්‍රදේශවල සංචාරය කරමින් අගමැතිවරයාගේ උපදෙස් මත විපතට පත් ජනතාවට පිසූ ආහාර, රෙදිපිළි, හා වියළි ආහාර නොඅඩුව ලබාදීමට එදා අගමැති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් කටයුතු කළ ආකාරය ප්‍රසංශනීයය.

ගාමිණී සෙන­රත් ජනා­ධි­පති ලේක­ම්ව­රයා ලෙස සිය ධූර­යෙහි රාජ­කාරි ආරම්භ කළ අව­ස්ථාව.
එම අව­ස්ථා­වට හිටපු ජනා­ධි­පති ලේක­ම්ව­රුන් වන ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ලලිත් වීර­තුංග හා ආචාර්ය පී.බී. ජය­සු­න්දර යන අය ද එක්වූහ.

2004 - 2014 වකවානුවේදී එවකට පස් වැනි විධායක ජනාධිපති ධූරය හෙබවූ මහින්ද රාජපක්ෂයන්ගේ අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ගාමිණී සෙනරත් කටයුතු කළ අතර, ඒ දස වසර තුළ රාජ්‍ය නිලධාරින් සහ දේශපාලනඥයන් එකට එකතු කරගෙන ඔවුන් අතර මනා සාමුහික සහයෝගීතාවක් ඇතිකරමින් රටට ඵලදායී සහ කාර්යක්ෂම සේවයක් ලබාගැනීමට කටයුතු කළේ දක්ෂ පරිපාලකයකු සතු ලක්ෂණ විදහා පාමිනි. 2020 දී යළි වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ ලේකම් ලෙස කටයුතු ආරම්භ කළ ගාමිණී සෙනරත්, රාජ්‍ය ආයතන ගණනාවක ඉහළ තනතුරු රැසක් හොබවා ඇති වසර 38ක් මුළුල්ලේ රාජ්‍ය සේවය තුළ විවිධ ප්‍රදේශවල විවිධ අත්දැකීම් ලත් ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ පරිපාලන නිලධාරියෙකි. ඒ බව සනාථ කරන අවස්ථා කිහිපයක් මෙහිලා සඳහන් කිරීම වටී.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ප්‍රකට ව්‍යාපාරිකයකුට පවරා දී තිබියදී රුපියල් බිලියන 6.7 ක් ගෙවා එය රජයට පවරා ගැනීමෙන් පසු එය ලාබ ලබන තත්ත්වයට මෙහෙය වූයේ ගාමිණී සෙනරත් විසිනි. ෂෙල් ගෑස් සමාගම පිහිටුවා මාස තුනක් ඇතුළත එය ලාභදායි ව්‍යාපාරයක් ලෙස ඉහළ නැංවීමට හැකියාව ලැබුණේ ද ඔහුගේ කාර්යක්ෂම පරිපාලනය නිසාය. ඊට අමතරව තවත් රාජ්‍ය ව්‍යවසාය ගණනාවකම සභාපතිත්වය දරමින් එම ආයතනවල පාඩුව අවම කර ලාබදායි ලෙස පවත්වාගෙන යෑමට ගාමිණී සෙනරත් විසින් ගත් උත්සාහයන් පිළිබඳ එම ආයතනවල සේවකයෝ තවමත් කෘතගුණ දක්වමින් සිහි කරති. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා මධ්‍යස්ථානය රථ වාහන 500 - 600 ගාල් කිරීමට හැකි අයුරින් හා පොදු පහසුකම් ලබාදෙන අයුරින් සකස් කිරීම ද ඔහුගේ උත්සාහයක ප්‍රතිඵලයකි.

වෙනස් වෙමින් ඉදිරියට යන ලෝකය සමඟ සමඟාමී වීම රටක දියුණුවට ප්‍රබල සාධකයකි. නව ජනාධිපති ලේකම් වරයා ලෙස වැඩ භාරගත් ගාමිණී සෙනරත්ට ඒ පිළිබඳ මනා දැක්මක් ඇත. විශේෂයෙන් රටේ පරිපාලනය ඩිජිටල් කිරීම වැනි කටයුතු පිළිබඳව මනා හැඟීමක් ගාමිණී සෙනරත් සතුය. එවැනි පුද්ගලයකු ජනපති ලේකම්වරයා ලෙස පත්වීම මෙරට තොරතුරු තාක්ෂණ දියුණුවට ද අත්වැලක් වනු නිසැකය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් ඩිප්ලෝමාවක් ලබා ඇති හෙතෙම, එක්සත් රාජධානියේ ජපානය, සිංගප්පූරුව, ජර්මනිය, සහ ප්‍රංශය ඇතුළු රටවල් රැසක විවිධ පුහුණු පාඨමාලා හදාරා තිබීම ඒ සඳහා මනා පිටිවහලක් වනු ඇත. කෙතරම් ඉහළ තනතුරු කරා ගියද ගාමිණී සෙනරත් කිසි දිනෙක තම උපන් බිම වූ දකුණු ලක හක්මණ අමතක කළේ නැත. හක්මණට පමණක් නොව මුළු දකුණු පළාතේම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඔහු සහාය දැක්වීය. ඒ අනුව හක්මණ ප්‍රදේශයට නව නගරයක්, නව බස් නැවතුම් පොළක්, නව සති පොළක් ඇතුළු යටිතල පහසුකම් රැසක් ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ සහාය ඇතිව ඉදිකිරීමට ඔහු ලබා දුන් දායකත්වය ප්‍රදේශවාසීහු කිසිදා අමතක නොකරති. විශේෂයෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය වැඩි කිරීම සඳහා හක්මණ නගරය පුරා වෙසක් කලාපයක් ආරම්භ කිරීමට ද කටයුතු කළ සෙනරත්, දකුණේ ජනතාව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පරපුර වෙනුවෙන් ලබා දෙන සහයෝගයට හැකි පමණින් කෘතගුණ දැක්වීමට අමතක නොකළේය.

හක්මණට පමණක් නොව දැන් මුළු රටේම ප්‍රධාන ලේකම් ලෙස වැඩ බාරගත් මේ නිලදරුවා, දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ සිදු කළ පරිපාලන සේවයෙන් ලත් පන්නරය මත නව ජනාධිපති ලේකම් තනතුරේ කටයුතු ඉතා කාර්යක්ෂම අයුරින් සිදු කරනු ඇතැයි රාජ්‍ය නිලධාරීහු හා පොදු ජනතාව අපේක්ෂා කරති.

රාජ්‍ය සේවයේ විශ්‍රාම ලත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීහු පෙන්වා දෙන්නේ ගාමිණී සෙනරත්, රටේ සුවහසක් පොදු ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීමට සුබසාධන කටයුතු හා පොදු යටිතල පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කළ හැකි කීර්තිමත් පළපුරුදු හා අත්දැකීම් බහුල රාජ්‍ය නිලධාරියකු බවයි. එවැනි කාර්යක්ෂම රජයේ නිලධාරියකු ජනාධිපති ලේකම් ධූරයට පත් කිරීම ජනපති ගෝඨාභය රාජපක්ෂයන් ගත් තීරණය ආගමික නායකයන්ගේ මෙන්ම විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ගේ ද පැසසුමට ලක්ව ඇත.

වසර 40 කට ආසන්න කාලයක් රාජ්‍ය නිලධාරියකු ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් දැන් කටයුතු කරන්නේ සමස්ත රට වෙනුවෙන්ම එක්වර වැඩ රාශියක් කළ හැකි ජනපති ලේකම් ධූරයේය.

හැකියාව, බුද්ධිය, මනුෂ්‍යත්වය හා දක්ෂ පරිපාලන ක්‍රියාදාමය තුළින් රටේ වත්මන් අභියෝග හා දුෂ්කරතා ජය ගනිමින් ජනාධිපතිවරයාට සහාය වීමට ඔබට ලැබී ඇත්තේ මහඟු අවස්ථාවකි. වර්තමානයේ මෙරට පවතින ආර්ථික සාමාජීය හා සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරීමට හා ඊට විසඳුම් දීමට සහාය ලබා දීම සඳහා දීර්ඝ කාලයක් සේවයේ යෙදීමට නව ජනපති ලේකම් ගාමිණී සෙනරත් ට ශක්තිය, ධෛර්ය, හැකියාව ඇති බව නොරහසකි.

Comments