ඩොලර් වෙනුවට වාහනද? වාහන වෙනුවට ඩොලර්ද? | Page 2 | සිළුමිණ

ඩොලර් වෙනුවට වාහනද? වාහන වෙනුවට ඩොලර්ද?

 

පානයේ පදිංචිව සිටිමින් වාහන අලෙවි කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අදහස් දක්වන වීඩියෝ පට කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

 

රටේ පවතින තත්ත්වය සමග දැඩි දුෂ්කරතාවකට පත්ව තිබෙන සිය ව්‍යාපාර පිළිබඳව සහ මේ වසරට අදාළ ජාතික අයවැය මෝටර් රථ ආනයනයට කර ඇති බලපෑම පිළිබඳ, එම වීඩියෝ පටවලට අදාළ එක් පාර්ශ්වයක් වන ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන් ගේ සංගමය (VIASL) අප සම්බන්ධ කර ගත්තෙමු.

" අපි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) ලෙස 1980 දශකයේ මුල් භාගයේදී ආරම්භ කළ සංගමයක්. අපගේ සාමාජිකයන් වන්නේ මේ රටේ මෝටර් රථ වෙළෙඳාමේ පුරෝගාමීන්.

මෙවර අයවැය මෝටර් වාහන ආනයනයට බලපෑම පිළිබඳ කතා කිරීමේදී ආනයන තහනම දිගටම පැවතීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්. විදේශ මුදල් පිටතට ගලා යෑම ප්‍රධාන හේතුව ලෙස දැකීමෙන්, රජය 2020 මාර්තු මාසයේ සිට මෝටර් රථ සඳහා සම්පූර්ණ තහනමක් පනවා තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම, වාහන ආනයනකරුවන්ට සහ ඒ ආශ්‍රිත සියලු කර්මාන්තවලට ද අහිතකර ලෙස බලපාන කාරණයක්. 2022 ජාතික අයවැයට අනුව තහනම ඉදිරි කාලය තුළ තවදුරටත් ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් කළ විමසීමකදී අපට දන්වා තිබෙන්නේ පවතින විදේශ මුදල් ප්‍රශ්නය හේතුවෙන් වාහන ගෙන්වීම ඔවුන් නොසලකා හැර ඇති ක්ෂේත්‍රයක් බවයි.

ශ්‍රී ලංකා වාහන ආන­ය­න­ක­රු­වන් ගේ සංග­මයේ (VIASL) විධායක කමිටු සාමාජිකයන්.

ඒ වගේම මෝටර් රථ වෙළඳාම සඳහා පනවා තිබෙන විශේෂ භාණ්ඩ සහ සේවා බද්ද (SGST)පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්.

අපගේ කර්මාන්තයේ පැවැත්ම සඳහා අරගල කරන අසීරු අවස්ථාවක, මෙවැනි බද්දක් පැනවීම අතිශය අසාධාරණ බවයි අපේ හැඟීම. වාහනවල ඉහළ වටිනාකම නිසා මෝටර් රථ සඳහා අමතර SGST ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් එය විකුණුම් මිලට සැලකිය යුතු ලෙස බලපාන බව කිව යුතුයි.

ඊට අමතරව නීති විරෝධී ලෙස ආනයනය කරන මෝටර් රථ නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීම සඳහා පොදු සමා කාලයක් යෝජනා කරනවා. මෙම යෝජනාවට අනුව කැබලි කිහිපයකට පැමිණි වාහන සහ නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සඳහා නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමට අවස්ථාව හිමි වේ. මේ සමහර වාහන මාර්ගයට සුදුසු නොවන (මගී ආරක්ෂාව සහ පදික ආරක්ෂාව) බැවින් මෙය අතිශය භයානක භාවිතයක් බව කිව යුතුයි. ඒ වගේම මේවාට ඉඩ දීම ආනයන බදු පැහැර හරිමින් කරන වාහන ජාවාරම් දිරිමත් කරයි. එපමණක් නෙවෙයි, එය නීත්‍යානුකූල බදු ගෙවා වාහන ආනයනය කළ පුද්ගලයන්ට කරන අතිශය අසාධාරණයක්.

සාමාන්‍යයෙන් වාහනයක චැසියක් ඩැමේජ් වූ විට එය හෙළා දකිනවා.නමුත් මෙම පද්ධතිය සමඟ චැසිය කැබලි කිහිපයකට කපා ඇති නීත්‍යානුකූල නොවන වාහන දහස් ගණනක් දැනට පාරේ තිබෙනවා.

මෙවැනි නීති මගින් අනාගතයේ දී පවා එවැනි ඒකක ආනයනය දිරිමත් වේවි. වගකිවයුතු සංගමයක් සහ නීතිගරුක පුරවැසියන් ලෙස අපි මෙම යෝජනාවට මුළු හදවතින්ම විරුද්ධ වන්නේ ඒ සියලුම හේතු නිසයි..."

එමෙන්ම මේ වන විට වාහන ආනයනකරුවන් සහ ඒ ආශ්‍රිත පාර්ශ්වයන් මුහුණ දෙන බරපතළ ගැටලු ලෙස තම ව්‍යාපාරික ස්ථාන නඩත්තු කිරීම, බැංකු ණය ගෙවීම, කුලී ගෙවීම සහ සේවකයන්ගේ වැටුප් ගෙවීම වැනි විශාල දුෂ්කරතාවලට මුහුණ දී තිබෙන අතර, ආනයනය විවෘත වන තෙක් වසර එකහමාරකට වැඩි කාලයක් බලා සිටි බැවින්, බොහෝ වෙළෙඳුන් තම ව්‍යාපාර වසා දැමීමේ තීරණාත්මක සන්ධිස්ථානයට තල්ලු වී තිබේ.

කෙසේ වෙතත්, සාමාන්‍ය ජනතාව සහ වාහන ආනයනය කරන්නන්ගේ කළකිරීම පාලනය කිරීම සඳහා රජය විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරමින් සිටින අතර, 2021 මාර්තු මාසයේදී වාහන ආනයනය සඳහා “කෝටා ක්‍රමයක්” සලකා බලන බව නිවේදනය කළ බවත්, 2021 ඔක්තෝම්බර් මාසයේදී දේශීය බදු ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවිය හැකි යෝජනා ක්‍රමයක් සහ ඩොලර් පිටතට ගලා යාමකින් තොරව ආනයනය කළ හැකි වාහන සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කළ බවත් ඔවුහු තවදුරටත් පෙන්වා දෙති.

" මුදල් විශුද්ධිකරණයේ පැහැදිලි අඩුපාඩුවක් හේතුවෙන් මෙම ක්‍රමය මුදල් අමාත්‍යාංශය විසින් නැවත ඉවත දැමීමට කටයුතු කළා. මේවා "මිල බුබුළ" පාලනය කිරීමට සහ අතේ ඇති ප්‍රශ්නය කල් දැමීමට නිලධාරීන්ගේ උපාය මාර්ග බව හොඳින් ම පැහැදිලියි. දේශීය බදු ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවිය හැකි ක්‍රමවේදයක් හරහා වාහන ආනයනය කළ හැකි වැඩපිළිවෙළක් පිළිබඳ විවිධ ප්‍රකාශ නිකුත් වී තිබෙනවා. නමුත් එයින් සිදු වන්නේ දැනට පවතින ඩොලර් අර්බුදය තවත් උග්‍ර වීමක්. පරම්පරා ගණනාවක් තිස්සේ මේ වෙළෙඳාම කරගෙන යන වාහන ආනයනකරුවන් ලෙස අපි එවැනි ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රේෂණ, වාහන ආකාරයෙන් එවනු ලබන බැවින් ශුද්ධ ඩොලර් ගලා ඒම අඩුවීමට මෙය හේතුවක්. තවත් විදියකට කිව්වොත් ලංකාවට මෙච්චර කල් ආපු විදේශ මුදල් වෙනුවට, වාහන එන්න ගන්නවා. රටට අවශ්‍ය ඩොලර් නම්, ඒ වෙනුවට වාහන ගෙන්වන එකේ තේරුම කුමක් ද... ඩොලර් අර්බුදය තවත් නරක අතට හැරෙමින් සැබෑ ආනයනකරුවන්ගේ අනාගතය අඳුරු කරමින් කෙටි කාලීන වාසි සඳහා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා පුද්ගලයන් කිහිප දෙනෙකුට නම් එවැනි ක්‍රමයක් හොඳයි.

මෙය ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික අපනයනකරුවන් විසින් යෝජනා කරන ලද ක්‍රමයක්. තමන් මිලදී ගත් සහ ශ්‍රී ලංකා වෙළෙඳපොළ ඉලක්ක කර පෙර ඇණවුම් කළ වාහන අපනයනය කිරීමට අවසර දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලීම් කිහිපයක්ම කර තිබෙනවා. එබැවින් ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ, මේ වෙලාවේ හැකි ඕනෑම ක්‍රමයක් භාවිත කරමින් තම වාහන තොගය පිටරටවලට යැවීම පමණයි.

රට ස්ථාවර තත්ත්වයකට පත් වූ පසු එම වාහන ඒකක අපනයනය කිරීමට ඔවුන්ට මුලින්ම අවස්ථාව ලබා දිය යුතු බවට VIASL එකඟ වනවා. මොකද, මෙම වාහන කොවිඩ් වසංගතයට පෙර ලංකාව වෙනුවෙන් මිලදී ගත් වාහන නිසා. නමුත් මෙම ක්‍රමය නිවැරැදි බවට අපි එකඟ වන්නේ නැහැ. එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කළහොත් එයින් සිදු වන්නේ මෙම වාහන මිලදී ගැනීමට සහ ඩොලර්වලින් ගෙවිය යුතු ආනයන බද්ද නිල නොවන මාර්ග හරහා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා රුපියල් යවන ක්‍රමයක් දිරිමත් කිරීම පමණයි.

එක්සත් ජනපද ඩොලරයේ නිල නොවන අනුපාතිකය මහ බැංකුව විසින් පනවා ඇති රුපියල් 200 නිල ඩොලරය ඉක්මවා ගොස් ඇති බව ද සත්‍යයක්. නිල හා නිල නොවන ඩොලර් අනුපාතිකයේ මෙම වෙනස නිසා රජයට නීත්‍යානුකූල ප්‍රේෂණ අහිමි වෙමින් පවතින අතර මෙම ඩොලර් නිල නොවන මාර්ග හරහා ප්‍රේෂණය කිරීම වඩාත් ලාබදායී වී තිබේ.

එහෙයින් ඩොලර්වලින් බදු ගෙවා වාහන ආනයනය කළ හැකි ක්‍රමවේදයක් තුළ සිදුවන්නේ නිල නොවන ඇමෙරිකානු ඩොලර් සඳහා ඇති ඉල්ලුම වැඩි වීම පමණයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එය නිල ඩොලර් ප්‍රේෂණ තවදුරටත් දුර්වල කරන අතර ආර්ථිකයේ අසමතුලිතතාවක් ඇති කරයි. මෙමඟින් උද්ධමනය තවදුරටත් ඉහළ යන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ හා භාණ්ඩවල මිල වාර්තාගත ලෙස ඉහළ යෑමට ඉඩ තිබෙනවා.

මෙම ජපන් අපනයනකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ කර ඇත්තේ ඩොලර්වලින් බදු ගෙවා වාහන ආනයනය කිරීම, අතේ ඇති ඩොලර් අර්බුදයෙන් අප රට බේරා ගැනීමේ ක්‍රමයක් බවයි. වගකිවයුතු සංගමයක් ලෙස අපි නීති විරෝධී මුදල් ප්‍රේෂණ දිරිමත් කරන ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ.

කෙසේ වෙතත්, ආර්ථිකමය වශයෙන් රට මුහුණ පා සිටින මෙවැනි තීරණාත්මක මොහොතක රජය නොමඟ යැවීමට කටයුතු නොකර, අපගේ ඩොලර් සංචිතය ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ විදේශ ඉපැයීම් ශ්‍රී ලංකා කාලීන තැන්පතුවල ආයෝජනය කරන ලෙස අපි, ජපානයේ සිටින ඒ ලාංකීය අපනයනකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා..."

Comments