කැප්පෙටිපොළ සනුහරේ නෑසියන් වෙසෙන නුවර කලාවියේ පරවහගම | Page 2 | සිළුමිණ

කැප්පෙටිපොළ සනුහරේ නෑසියන් වෙසෙන නුවර කලාවියේ පරවහගම

ගමේ වැව  සහ ගමට ඔබ්බෙන් ඇති කලාවැව
ගමේ වැව සහ ගමට ඔබ්බෙන් ඇති කලාවැව

මාර්තු මස 02 වැනිදා මෙරට නිදහස් අරගල ඉතිහාසයේ සුවිශේෂි දිනයකි. මෙරට ප්‍රභුන් සහ බ්‍රිතාන්‍ය පාලකයින් උඩරට ගිවිසුම අත්සන් තබා මේ ගතව යනුයේ 206 වැනි වසරය. 1818 කැරැල්ල හෙවත් “වෙල්ලස්සේ කැරැල්ල” මෙරට ජාතික නිදහස් අරගලයේ කඩඉම් මතකයකි.

 

කැරැල්ලට නායකත්වය දුන් මොනරවිල කැප්පෙටිපොල දිසාවේ ඇතුළු පිරිවර ඉංග්‍රීසීන් විසින් රාජ්‍යද්‍රෝහින් සේ සලකා යුද්ධාධිකරණයේ වරදකරුවන් කොට හිස ගසා ඝාතනය කොට ඉකුත් වසරේ නොවැම්බර් 26 වැනි දින වන විට වසර 203 ක් පිරිණි. කැරැල්ල අසාර්ථක වීමෙන් අනතුරුව අනුරාධපුර, නුවර කලාවියට රැකවරණය පතා පැමිණ ඇති කැප්පෙටිපොල දිසාවේ, මඩුගල්ලේ දිසාවේ ප්‍රධාන පිරිවර බ්‍රිතාන්‍යය හමුදාවේ අත්අඩංගුවට පත්වීමේ අවස්ථාවට ද ඉකුත් වසරේ ඔක්තෝම්බර් 28 වැනිදා වන විට වසර 203 ක් පිරිණි.

මෙසේ සටන අසාර්ථක වී රැකවරණය පතා කැප්පෙටිපොල ඇතුළු පිරිස පැමිණ ඇත්තේ අනුරාධපුරය දකුණු මායිමේ පිහිටි “පරවහගම” නම් ගම් පියස වෙතය. මුල්කාලීනව “වඩිගමංගාව” ලෙස නම් වී පසුව “පාරවැසුගම” වී අද “පරවහගම” වී ඇති ගම්මානයේ ලේ, කඳුළු සමඟ මුහුවී අළු, දුලි මත සැඟව ගිය අතීත ඇති තතු විමසනු සඳහා අප ඉකුත් දිනක එහි ගියෙමු. ගම පිවිසුමේ දී මුණගැසුණු 82 දෙහැවිරිදි ඩී. එම්. පියදාස මෙසේ පැවසුවේය.

දිය පිහිල්ල

“ඉස්සෙල්ලා මේ ගමට හඳුන්වා තියෙන්නේ වඩිගමංගාව කියලා. ඒ කියන්නේ වඩිග අංගනාවක් මේ ගමේ හිටියා නිසා ඒ නම වැටුණා කියලා තමයි කටින් කට කියැවෙන්නේ. පස්සේ මේක පාර වහපු ගම වෙලා තියෙනවා. ඒ නම තමයි අද වෙනකොට පරවහගම විදිහට වෙනස් වෙලා තියෙන්නේ.

කැරැල්ල පැරදුණාට පස්සේ කැප්පෙටිපොල අධිකාරම් තවත් කට්ටියක් එක්ක මේ ගමට ආරක්ෂාව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. එයාගේ ඥාති සහෝදරියක් මේ ගමේ ජීවත් වෙලා ඉඳලා තියෙනවා. ඉතිං අධිකාරම්තුමා කට්ටියත් එක්ක මේ ගමට ආවට පස්සේ ගම්මු එකතු වෙලා ගමට එන පාරට ගස් එහෙම කපලා දාලා වහලා අවහිර කරලා තියෙනවා. පිටස්තරයෝ ඇතුළුවෙන එක නවත්තන්ඩ. ඒ විදිහට පාර වහපු නිසා ගමේ නම පාර වහපු ගම විදිහට වෙනස් වෙලා. කටවහරේ ලේසියට පරවහගම විදිහට පාවිච්චි කරන්ඩ පටන් අරන් තියෙන්නේ.”

කි. ව. 1815 මාර්තු 02 වැනි දින මහනුවර, මඟුල් මඩුවේ දී උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමඟම සිංහල රජ පරපුරේ අවසානය සිදුවීමට අමතරව ශ්‍රී ලාංකිකයෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ගැති පරාධීන ජාතියක් බවට ද පත්විය. ඉංග්‍රීසි පාලනය යටතේ ශ්‍රී ලංකාවේ සකලවිධ සම්පත් සුරාකෑමට ලක්විය. දේශිය නිවහල් ආර්ථික සම්පත්තිය ද මෙරටට අහිමි වී ගියේය. ආහාර බෝග වගාව සඳහා උනන්දුවක් නොදැක්වීම හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ එතෙක් පැවැති ස්වයංපෝෂිත ආර්ථික සුරක්ෂිතතාව පරිහානියට පත්වීම හේතුකොට ගෙන මෙරට ආර්ථික නිදහසට ද

මඟ ඇහිරිණි. ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදුන් වැව්, අමුණු හා වාරිමාර්ග පද්ධති සිතා මතා විනාශ කිරීම නිසා ශ්‍රී ලාංකේයෝ අසරණ වුහ.

පරවහගම වීර මොනරවිල කැප්පෙටිපොල ස්මාකරය

ඉංග්‍රිසීන් බුදු දහමට නිසි තැන දීම පසෙකලු හෙයින් ලාංකේක ජනතාවගේ ආගමික නිදහස ද නැති විය. සිංහල සංස්කෘතිය එහෙම පිටින්ම වල් වැදීගියේය. බටහිර සංස්කෘතික අරුමෝසම් හමුවේ සිංහල ආර්ය කුල චාරිත්‍ර අභාවයට ගියේය. එකගතා 12 කින් සමන්විතව අත්සන් කළ උඩරට ගිවිසුම ප්‍රකාරව පොරොන්දු ඉටු නොකිරීම නිසාත්, අසාධාරණ බදු පැනවීමත් එකල්හි මෙරට ජනයාට ඉවසුම් නොදෙන්නක් වී ඇත.

මෙම අකටයුතුකම් හේතුවෙන් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අරගල කිරීමට මග පෑදිණි. 1818 කැරැල්ල ලෙස ජනගත වුයේ මේ සුප්‍රකට නිදහස් අරගලයයි. මෙම නිදහස් අරගලය පාලනය කිරීම සඳහා සරුසාර ගම්බිම් වනසමින්, කුඩා සහ තරුණ පිරිස් මරා දමමින් බ්‍රිතාන්‍යයන් අනුගමනය කළ අති අමානුෂික ක්‍රියා පිළිවෙත හේතුවෙන් ස්වදේශික සටන්කාමීන් පසුබසින්ට විය. අවසන වෙල්ලස්සේ නායකයින් රැසක් බ්‍රිතාන්‍ය පාලකයින් විසින් ඝාතනය කිරීම දක්වා පාලනය දරදඩු වී ඇත. මෙසේ පසුබැස පලා ආ කැප්පෙටිපොල දිසාව පරවහගම දී සුදු හමුදාවට කොටුවීමේ පුවත අදත් ගම්මුන්ගේ මතකයේ ශේෂව ඇත. පරවහගම ගමේ ඩී. එම්. විමලසේන ඒ ජනප්‍රවාදගත කතාව සිහිපත් කළේ මෙපරිද්දෙනි.

වස විෂ නැති බොන වතුර

“ ජනප්‍රවාදයේ විදිහට ඒ කාලේ මුස්ලිම් වෙළෙන්දෙක් හැම මාසෙකම රෙදි පෙරදි එහෙම අරගෙන ගමට වෙළෙදාමේ ඇවිල්ලා තියෙනවා. ඒ එන දවසට රාත්‍රියට මේ මනුස්සය ගමේ නැවතිලා තියෙනවා. ඉතිං කැප්පෙටිපොල අධිකාරම්තුමා ගමේ හැංගිලා ඉන්න වෙලාවෙත් පුරුදු විදිහටම අර වෙළෙන්දා ගමට ඇවිල්ලා නවාතැන් ඉල්ලලා තියෙනවා. එදා ගම්මු කියලා තියෙනවා අද නවාතැන් දෙන්න විදිහක් නෑ. රෑට ගමේ තොවිලයක් නටනවා පිට අය ගමට වද්දගන්නේ නෑ කියලා. හා එහෙනම් මං යන්නම් කියලා වෙළෙන්දා පිටවෙලා ගියාට මනුස්සයට සැක හිතිලා තියෙනවා. ගමේ මිනිස්සුන්ගේ හැසිරීමත් එක්ක අමුත්තක් දැනෙන්ඩ ඇති. මිනිස්සු කෑම හදන්ඩ ඔට්ටු වෙනවා. පිටි කොටනවා. කැවුම් බදිනවා. එක එක දේවල්. ඇයි කාන්ඩෙකට කන්ඩ දෙන්ඩ ඕනනේ. කොහොම හරි මේ දේවල් එක්ක සැක හිතෙන්ඩ ඇති.”

1818 වර්ෂයේ ඔක්තෝම්බර් මස 28 වැනි දින උදෑසන කාලයේ නුවරකලාවියේ පරවහගම ගමේ දී අනුලා නම් වු සිය ඥාති සහෝදරියගේ නිවෙසේ දී “ලුතිනල් විලියම් ඕනිල්” විසින් මොනරවිල කැප්පෙටිපොල මහාධිකාරම්තුමා අත්අඩංගුවට ගැනීම ද මේ නිදහස් සටනේ ඉතා අනුවේදනීය මතකයකි. පරවහගම හැත්තෑදෙහැරිවිදි ඩී. එම්. සෝමාවතී ජනප්‍රවාදගතව ඇති ඒ මතකය අලුත් කළාය.

“කොහොම හරි මේ සැකේ හින්දම මුස්ලිම් වෙළෙන්දා ආපහු යනවා කිව්වට රෑ වෙනකන් ගමේ හැංගිලා ඉදලා හෝදිස්සි කරලා තියෙනවා. එතකොට තමයි අද ඔය ස්මාරකේ ළඟ තිබිලා තියෙන අනුලා කියන සහෝදරිගේ ගෙදර බොහෝම දේහධාරි මනුස්සයෙක් ඉන්නවා දැකලා තියෙන්නේ. මේ ඉන්නේ නම් කැප්පෙටිපොලමයි කියන සැකේ වෙළෙන්දට එන්ඩ ඇති. ඒ වෙනකොට සුද්දගේ ආණ්ඩුවෙන් කැප්පෙටිපොල

අධිකාරම්තුමා එංගලන්ත ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැහැව්වා කියලා ද්‍රේහින් විදිහට නම් කරලා අත්අඩංගුවට ගන්ඩ නියෝග කරලා තිබුණේ. ඔත්තුවක් දුන්නු කෙනෙකුට තෑගි බෝග එහෙමත් දෙනවා කියලා අඬබෙර ගහලා ප්‍රචාරය කරලා තියෙනවා.”

කහල්ල පල්ලේකැලේ වන රක්ෂිතයේ, කහලු කන්ද පිරිවරා පරවහගම ගම පිහිටා තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණු මායිමේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 669 පරගහවැව ග්‍රාම සේවා තුලානට ගම අයත් වේ. සාම්ප්‍රදායික ගැමි ජන ජීවිතයේ ඇවතුම්, පැවතුම්, ආචාර, සමාචාර තවමත් මෙහි දැකගත හැකිය.. පරවහගම ගමේ පවුල් 213 ක 1100 ක පමණ පිරිසක් අද ද හේන්, කුඹුරු ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කොටගෙන දිවි ගෙවති. සෝමාවතී අම්මා අනුවේදනීය මතකයක අවසානය සිහි කළේ මෙලෙසිනි.

පරවහගම ගමේ ප්‍රවේශය

“ ඒ කාලේ කලාවැවට ඉස්මත්තෙන් සුද්දගේ හමුදා කඳවුරක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ විජිතපුර පන්සලට කිට්ටු වෙන්ඩ. ඔන්න ඔය කඳවුරට ගිහිල්ලා අර මුස්ලිම් වෙළෙන්දා කැප්පෙටිපොලතුමා ගැන ඔත්තුව දුන්න කියලා තමයි කටින් කට එන කතාවල කියැවෙන්නේ. ඒ පාවාදීම

කරපු නිසා වෙළෙන්දට විජිතපුර පන්සල කිට්ටුවෙන් ගමක් තෑගි දුන්නා කියලා අපේ වැඩිහිටියෝ කියන්නේ. අදටත් ඔය කලාවැව, විජිතපුරට කිට්ටු වෙන්ඩ මුස්ලිම් අය ලොකු පිරිසක් පදිංචි වෙලා ඉන්නවා. ”

පරවහගම ගම්මානයට ප්‍රවේශ විය හැකි මාර්ග කිහිපයකි. තඹුත්තේගම නගරයෙන් පිවිසි ගල්නෑව තෙක් පැමිණ එහි සිට බළලුවැව හන්දිය තෙක් ගොස් එතැන් සිට දකුණත දෙසට කලාවැව් බැම්ම මතින් ඇති මාර්ගයේ ආඬියාගල හන්දිය තෙක් පැමිණිය යුතුය. එය හතරමං හන්දියකි. එහි එක් මඟකින් ගලේවෙල වෙත යා හැකිය. තවත් මඟක් වැටී ඇත්තේ ගල්කිරියාගම දෙසටය. ආ මඟ ඔස්සේම නැවත කලාවැව දෙසට

ගමන් කළ හැකිවේ. අනෙක් මාර්ගය හන්දියේ සිට දකුණත දෙසට විහිදෙන උපුල්වෙහෙර රජමහා විහාරස්ථාන මාර්ගයයි. මෙම මාර්ගයේ කිලෝ මීටර් පහක් පමණ ගිය තැන්හි වම් අත දෙසින් පරවහගම සොඳුරු ගම්මානය මුණගැසේ.

වෙල් යාය දෙසින් දිස්වන කහල්ල කඳු සිරස

ඉංග්‍රීසි පාලනයට විරුද්ධව 1817 වර්ෂයේ ඔක්තෝම්බර් මස 16 දින ආරම්භ වී ඇති ඌව වෙල්ලස්‌ස කැරැල්ල 1818 නොවැම්බර් මස 26 වැනි දින අවසන් වූ බව ඒ පිළිබඳ ලියෑවී ඇති ඓතිහාසික ලේඛන හැදැරීමේදී පැහැදිලි වේ. බ්‍රිතාන්‍ය පාලකයන් විසින් බදුල්ලේ දිසාපති ලෙස පත්කොට සිටි සිල්වෙස්‌ටර් ඩග්ලස්‌ විල්සන් නමැති නිලධාරියා 1817 ඔක්තෝම්බර් 16 වැනි දින බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ, ඊතනවත්ත

නමැති ග්‍රාමයේදී සිංහල කැරලිකරුවන් විසින් ඝාතනය කිරීමේ සිද්ධිය කැරැල්ලේ ආරම්භය සනිටුහන් කරන අවස්ථාව ලෙස දැක්විය හැකිය.

සමස්‌ත කැරැල්ලට නායකත්වය දුන් මොනරවිල කැප්පෙටිපොල දිසාව 1818 වර්ෂයේ නොවැම්බර් 26 වැනි දින මහනුවර, බෝගම්බරදී හිස ගසා දමා මරණයට පත් කිරීමේ සිද්ධිය කැරැල්ලේ අවසානය සනිටුහන් කරනු ලබයි.

පරවහගම ගම් මායිමේ කැප්පෙටිපොල දිසාව අත්අඩංගුවට පත්වු බිම් තීරය මත ඇති ස්මාරකය 2012 වර්ෂයේ දී ඉදිකරන ලද්දකි. ගම කෙළවර කහල්ල කඳු සිරසෙන් ගලාඑන ස්වාභාවික දිය පිහිල්ලකි. එය මේ ගැමියන්ගේ ස්නානය, බිමට ආදි සියලු කටයුතු සඳහා පිහිට වේ. කිසිදු වස විසක් මුහු නොවීම නිසා පිරිපහදු කිරීමකින් තොරවම මේ ජලය බීමට ගත හැකි බව ගැමියන් කීය. පුවක් අරඹකින්ද ගම සරුය. අතීතයේ සිටම

යාතුකරුම, ශාන්තිකර්ම ආදිය සඳහා පරවහගම ගමෙන් පුවක් මල් ගෙන ගොස් ඇති බැවින් “මල්වත්ත” ලෙස ද ගම හඳුන්වන බව ගැමියන් කියති.

ගමේ පුවක් අරඹ

 

Comments