පොලි­සි­යට ගල් වෙනු­වට මල් වැස්සක් | සිළුමිණ

පොලි­සි­යට ගල් වෙනු­වට මල් වැස්සක්

 

මාජ මාධ්‍ය මඟින් නරක දේට මෙන්ම හොඳ දේට ද ලැබෙන ප්‍රතිචාරය ඉහළය. ඉකුත් ජනවාරි 5 වැනිදා සවස් යාමයේ සමාජ මාධ්‍ය කලඹවමින් මිනිත්තුවක පමණ කාල පරාසයක දිවෙන වීඩියෝවක් සැරිසරන්නට විය. එම වීඩියෝවෙන් දක්නට ලැබුණේ පොලිස් යතුරුපැදියක නැඟි නිලධාරින් දෙදෙනෙකු විසින් ද්විත්ව සංඥා සහිතව ගමන් කළ ත්‍රිරෝද රථයකට මාර්ගයේ ඉඩ විවර කර දෙමින් වේගයෙන් ඉදිරියට ගමන් කිරීමට සලස්වන ආකාරයයි.

 

එකී වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණේ මහේෂ් උඩගෙදර නමැත්තකුගේ ෆේස්බුක් ගිණුමකිනි. ජනවාරි 05 වැනිදා සවස 6.13ට ෆේස්බුක් ගිණුමට වීඩියෝව ‘අප්ලෝඩ්‘ කරමින් මහේෂ් සටහනක් ද එක්කර තිබිණි. ඒ මෙලෙසිනි.

“අද දින (2022-01-05) හවස පොලොන්නරුව බැඳිවැව හංදිය ආසන්නව කුඩා දරුවෙකු 3w රථයකින් පොලොන්නරුව මහ රෝහලට රැගෙන යන අතරතුර මාර්ගයෙ ගමන් කරන පොලොන්නරුව පොලිසියේ රථවාහන අංශයේ මහතුන් දෙදෙනෙකු එය දැක ඉක්මනින්ම ක්‍රියාත්මක වී එම රථය ධාවනය සඳහා මඟ දෙපස ඉඩ සලසා දෙමින් පොලොන්නරුව රෝහලට රැගෙන යාම සඳහා ක්‍රියාත්මක විය.“

එකී වීඩියෝව කෙටි වේලාවකදී දහස් ගණනකගේ නෙත ගැටෙද්දී දහස් ගණනින් දෙනා බෙදාගෙන (share)ද තිබුණේය. කෙසේ හෝ මෙකී වීඩියෝව පොලිස් දෙපාර්තමේන්තුවට සබැඳි වීඩියෝවකි. සාමාන්‍යයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර බොහෝ විට මල් නොව ගල්ය. පසුගිය කාලයේ බොහෝ අවස්ථාවලදී පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව සමාජ මාධ්‍යයන්හි සැරිසරන්නට වූයේ පොලිස් නිලධාරින්ගෙන් ජනතාවට වන ගැහැටය. එම නිසාම මෙකී වීඩියෝව පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ දහසින් බැඳි පැසසුම් ද සමඟිනි.

ඒ අනුව අප කළ සොයා බැලීමේදී එම පොලිස් නිලධාරින් දෙදෙනා පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි කරන කොස්තාපල්වරුන් වන 72027 ඩබ්ලිව්. එච්. එම්. සී. එම්. විජේකෝන් සහ 86734 අතුල කුමාර යන දෙදෙනායි.

සිය රාජකාරිය තුළදී අත දරුවකුගේ ජීවිතයක් බේරා ගැනීමට ක්ෂණිකවම ක්‍රියාත්මක වී එම නිලධාරින් දෙදෙනා සිදු කළ සේවය පසුගියදා පොලිස් දෙපාර්තමේන්තුවේ ද ඇගැයීමට ලක්කෙරුණේය. ඊට අමතරව තවත් එක් එක් සංවිධාන විසින් පසුගිය දිනවලදී අතුල සහ විජේකෝන් අගයමින් පොලොන්නරුවේදී උත්සව සංවිධානය කෙරිණි.

පොලිස් නිල ඇඳුමට වූ ආසාව නිසාම ලංකාපුර මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරීමෙන් පසු 2009 ජූලි 01 වැනිදා පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූ අතුල කුමාර පොලොන්නරුව, ලංකාපුර පදිංචිකරුවෙකි. මරදාන, හිඟුරක්ගොඩ, මුලතිව් සහ 2019 වසරේ සිට පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කරන පවුලේ එකම දරුවා වන 30 හැවිරිදි අතුල කුමාර විවාහ වී සිටින්නේ මෙත්මි නිලක්ෂණී සමඟය. කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියකු වන අතුල, කොස්තාපල් විජේකෝන් එක්ව සිදුකළ සද්ක්‍රියාව පිළිබඳව අපට කීවේ මෙලෙසිනි.

“පසුගියදා පොලොන්නරුව පොලිසියට ලැබුණු BJB 6916 දරන යතුරුපැදිය අපරාධ නිවාරණය හා රිය අනතුරු වැළැක්වීම සඳහා අපට ලබා දුන්නා. 5 වැනිදා එම යතුරුපැදියේ රාජකාරි කළේ මමයි විජේකෝන් රාලහාමියි. එදා හවස 3ට විජේකෝන් රාලහාමි පැදවූ යතුරුපැදියේ රාජකාරියට මාත් ගියා. අපි දෙන්නට හවස 3ට බැඳිවැව විහාරස්ථානය අසල තිබෙන ඉන්ධන හලේ පොත අස්සන් කරන්න තිබුණා.“

ත්‍රිරෝද රථයේ ගිය දරුවා, මව, පියා සහ වැඩිමහල් දරුවා සමඟින්

මඩකළපුව - කොළඹ මාර්ගයේ පොලොන්නරුව නගරයේ සිට කොළඹ දෙසට කිලෝමීටර් 7කින් පමණ දුරකින් පිහිටි ඉන්ධන හලට ගිය දෙදෙනා පොත අස්සන් කර නැවත පොලිස් ස්ථානයට ඒමට පිටත් විය.

අතුල කීවේ, “මීටර් 100ක් පමණ එන විට පිටුපසින් ත්‍රිරෝද රථයක් ඩබල් සිග්නල් දාගෙන නොනවත්වා නළා ශබ්දය නඟමින් මාර්ගයේ ඉඩ ඉල්ලමින් වේගයෙන් එනවා දැක්කා.ඒ අවස්ථාවේ ත්‍රිරෝද රථයට මඟ හරස් කෙරුණේ කළු පැහැති කැබ් රථයකින්. එක්වරම අපි දෙන්නටම ත්‍රිරෝද රථය දිහා බැලුණා. පිටුපස අසුනේ කුඩා දරුවකු වඩාගෙන කාන්තාවක කෑගසමින් යනවා දැක්කා. අපි තිගැස්සිලා ගියා. පොඩි දරුවගේ අතපය කඩාවැටිලා... ඒ අම්මා විලාප දෙනවා...“

එසැණින් පොලිස් නිලධාරින් දෙදෙනාට ඒත්තු ගියේ ත්‍රිරෝද රථයේ සිටින්නේ හදිසි රෝගී තත්ත්වයකින් පෙළෙන අතදරුවකු බවයි. පොලිස් යතුරු පැදිය මාර්ගයේ මධ්‍යයට ගත් කොස්තාපල් විජේකෝන් ත්‍රිරෝද රථයට ඉදිරිපසින් සෙසු රථවාහනවල මාර්ග අවහිරතා පරයමින් ත්‍රිරෝද රථයට ගමන් කිරීමට මඟ සලසා දුන්නේය. විනාඩි පහක් වැනි කෙටි කාලයකදී කිලෝමීටර් පහක පමණ දුර ගෙවා අතදරුවා රැගත් ත්‍රිරෝද රථය පොලොන්නරුව මහ රෝහල දක්වාම රැගෙන යාමට පොලිස් නිලධාරින් දෙදෙනා කාරුණික වූහ.

අනතුරුව නිලධාරින් දෙදෙනා ත්‍රිරෝද රථයේ රෝගීව අසාධ්‍යව අතදරුවකු සිටින බවත් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කරවන ලෙසටත් රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කළහ. එසැණින් රෝහල් කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේ අවධානය එකී කුඩා දරුවා වෙත යොමු වූ අතර, ක්ෂණිකවම හදිසි ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි.

එසේ එම දරුවා සහ මව රෝහල්ගත කළ කාරුණික පොලිස් නිලධාරින් දෙදෙනා අනතුරුව තම සුපුරුදු රාජකාරියට නික්ම ගියේය. පසුව දෙදෙනා එදින රාජකාරිය අවසන් කර තිබුණේ සවස 6ටයි.

අතුල කුමාර සමඟ එම සද්කාර්යයට දායක වූ සෙසු නිලධාරියා වන 34 හැවිරිදි කොස්තාපල් විජේකෝන් මින්නේරිය, රත්මලේ පදිංචිකරුවෙකි. පොලොන්නරුව, නාගලකන්ද මහා විද්‍යාලයෙන් උගත් විජේකෝන් 2007 සැප්තැම්බර් 02 වැනිදා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පුහුණුව හදාරා පොලිසියට එක්විය. පොලිසියට එක්වූ දා සිට වසර 13ක පමණ කලක් වැල්ලවත්ත පොලිසියේ සේවය කළ විජේකෝන් ඉකුත් මාර්තු මාසයේ පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයට එක්විණි. ඔහුගේ එකම සහෝදරයා ද පොලිස් නිලධාරියෙකි. ගුරුවරියක වන චමිද්‍රි සඳුනිකා හා මෑතකදී විවාහ වූ විජේකෝන් නුදුරේදීම දරු සුරතල් බැලීමට පෙරමඟ බලා සිටී. අතදරුවා රෝහල්ගත කිරීමට දායක වීමෙන් සිදුකරගත් සද්ක්‍රියාවේ වීඩියෝ දසුනක් සමාජ මාධ්‍යයේ සැරිසැරීමත් සමඟ ලැබුණු ප්‍රතිචාර පිළිබඳව විජේකෝන් අපට කීවේ,

“6 වැනිදා උදේ 9 වෙද්දී අපි දෙන්නගේ දුරකථනවලට කෝල් එන්න ගත්තා... ඒත් අපි දෙන්නට ඒක එච්චරම ගාණක් වුණේ නෑ. දවල් වෙනකොට වැල නොකැඩී කෝල් එන්න ගත්තා...“

එම දුරකථන ඇමතුම් සියල්ලගෙන්ම කියැවී තිබුණේ දෙදෙනා සිදුකළ සද්ක්‍රියාව පිළිබඳව වීඩියෝ දසුන් පෙළක් සමාජ මාධ්‍යයන්හි සැරිසරන බවටයි. ඒ සමඟින් දෙදෙනා දැනගත්තේ එම සිදුවීම කිසියම් කෙනෙකු විසින් පසුපසින් පැමිණ වීඩියෝ ගතකොට සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවයි.

නොසිතූ දෙයක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවෙමින් තිබියදී පොලිස් නිලධාරින් දෙදෙනා ඔවුහු රෝහල්ගත කළ කුඩා දරුවාගේ සුවදුක් විමසීමට පොලොන්නරුව රෝහලට ද ගියහ. ඒ වන විට කුඩා දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් මව සමඟ 18 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියේය. එහෙත් ඔවුන් දෙදෙනා ක්ෂණිකවම ක්‍රියාත්මක නොවුණානම් දරුවාගේ ජීවිතය ද අවදානමකට ලක්වන්නට තිබූ බව වෛද්‍ය මතයයි.

පොලිස් නිලධාරින් දෙදෙනා ජීවිතයක් බේරා ගැනීමට කළ සද්ක්‍රියාව සමාජ මාධ්‍යයට මුදා නොහරින්නට එය තවත් එක් සද්ක්‍රියාවක් සේ වැලළී යන්නට ඉඩ තිබිණි. සිය ‘ඇලියොන්‘ වර්ගයේ මෝටර් රථයේ ‘ඩෑෂ් කැම්‘හි එදින සවස 3.43 විනාඩියට පටිගත ව තිබූ වීඩියෝ දසුන් පෙළ සමාජ මාධ්‍යයට මුදා හැරියේ 40 හැවිරිදි මහේෂ් උඩගෙදරයි. විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන මහේෂ් මින්නේරියේ පදිංචිකරුවෙකි. පොලිස් නිලධාරින් දෙදෙනාගේ සද්ක්‍රියාව ඔහුගේ නෙත ගැටුණේ එදින නිවෙසේ සිට මනම්පිටියේ පිහිටි රාජකාරි ස්ථානයට යමින් සිටියදීයි. මහේෂ් වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහළ ආකාරය කීවේ,

“මින්නේරියේ සිට මනම්පිටියට යමින් හිටියේ. බැඳිවැවට මෙහාදි ත්‍රිවිල් එකක් එක දිගට ‘හෝන්‘ කරනවා... ඩබල් සිග්නලුත් දාලා... මං ත්‍රිවිල් එකට ඉඩ දුන්නා. ත්‍රිවිල් එක පහුවෙනකොට මං දැක්කා ත්‍රිවිල් එක ඇතුළේ පොඩි දරුවෙක් ඉන්නවා. ඉස්සර වුණු ත්‍රිවිල් රථය වේගයෙන් ගියා. බැඳිවැව ඉන්ධනහල පහුවෙලා යනකොට මමත් ත්‍රිවිල් එකට කිට්ටු කළා. ඒත් එක්කම පොලිස් බයික් එකකුත් මාර්ගය අයිනෙන් හිමීට යනවා දැක්කා. ඒත් එක්කම කළු පැහැති කැබ් රථයක් සර්විස් සෙන්ටර් එකක ඉඳලා මාර්ගයට දැම්මා.

ඒ සමඟම මාර්ගයේ අවහිරයක් ඇතිවුණා. ඒ ක්ෂණයෙන් පොලිස් නිලධාරින් දෙන්නත් ත්‍රිවිල් එක දෙස බලනවා මම හොඳින්ම දැක්කා. පස්සෙ පොලිස් බයික් එක මාර්ගයට මැද්දට දැම්මා. බයික් එකේ හිටිය නිලධාරින් බයික් එක පස්සෙන් ත්‍රිවිල් එකට එන්න කියලා අතින් සංඥා කළා. යතුරුපැදිය පස්සෙන්ම ත්‍රිවිල් එක ඉදිරියටම ගියා. හැබැයි සමහර වාහන ත්‍රිවිල් එකට ඉඩ දෙන්නෙ නෑ. මොකද පොලිස් බයික් එකක් ත්‍රිවිල් රථයකට ඉඩ හදලා දෙනවා කියලා මිනිස්සු විශ්වාස කරන්නෙ නෑනේ. මමත් කාර් එකේ හෙඩ් ලයිට් දාගෙන රෝහල අසලට යනකල්ම ‘බැකප්‘ කළා. කොහොමහරි කිලෝමීටර් 5ක් විතර ගියා..“

අනතුරුව සිය කාර්යාලයට ගිය මහේෂ් මෝටර් රථයේ ඩෑෂ් කැම්හි ගබඩා වී තිබු වීඩියෝ පට නරඹන්නට විය. එම සිදුවීම මිනිත්තුවේ වීඩියෝ පට 5ක සටහන්ව තිබිණි.

“මං කළේ ඩෑෂ් කැම් එකේ ‘චිප්‘ එක ගලවලා වීඩියෝ ක්ලිප් පහම පෝන් එකට ගත්තා. ආයේ මුල ඉඳලම ඒ සිදුවීම බැලුවා. ඇත්තටම පොලිස් නිලධාරින් සිදුකළේ ‘මාරම‘ කර්තව්‍යයක්.“ මහේෂ් පවසන්නේය.

අනතුරුව මහේෂ් උඩගෙදර එදින සවස 3.43 මිනිත්තුවට සටහන්ව තිබූ එම සිදුවීමේ විනාඩියක වීඩියෝව ඔහුගේ මහේෂ් උඩගෙදර නමැති ෆේස්බුක් ගිණුමට ‘අප්ලෝඩ්‘ කර බෙදාගත්තේ එදිනම සවස 6.13ට ඊට අදාළ සටහනක් ද එක්කරමිනි.

කොස්තාපල් අතුල සහ විජේකෝන්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීමෙන් ජීවත්වීමට වාසනාව ලද්දෙ වසර එකහමාරක් වයසැති උමන්දි අරුත්මා දැරියයි. දැරියගේ මව 27 හැවිරිදි ශ්‍රියානි ධම්මිකායි. පොලොන්නරුව, ජයන්තිපුර, යාය 5 වෙසෙන ශ්‍රියානිට දරුවන් දෙදෙනෙකි. කුඩා දියණිය අසනීප වන විට ඇගේ සැමියා ද නිවෙසේ නොවූවාය. ඇයට පිහිට වූයේ චූටි මාමා හෙවත් ජයන්ත කුමාරසිංහයි. දරුවාගේ ජිවිතය බේරා ගැනීමට පොලිස් නිලධාරින් කළ අමිල කාර්යභාරය ගැන ඇය පවසන්නට වූයේ,

“ඒ මහත්තුරු දෙන්නට බුදු බව අත්වෙනවා... මගේ චූටි පැටියට හැදිලා තියෙන්නෙ ෆිට් එක... මං කවදාවත් ෆිට් එක හැදුණු දරුවෙක් දැකලා නෑ. මට දුවට වෙච්ච දේ දැක්කම උන්හිටි තැන් අමතක වුණා. ඒ වෙලාවේ මහත්තයා හිටියෙත් නෑ ගෙදර... දරුවගේ වාසනාවට මගේ මහත්තයගේ අම්මගේ මල්ලි චූටි මාමා කුඹුරට ගිහින් ආවා විතරයි. දරුවට අසනීප වුණේ... චූටි මාමාගේ ත්‍රිවිල් එකෙන් තමයි අපි දරුව අරන් ගියේ. ඒ වෙලාවේ තමයි ත්‍රිවිල් එක ට්‍රැෆික් එකට හසුවුණේ... මං විලාප තියමින් ගියේ... පොලිසියේ මහත්තුරු දෙන්නා ඒක දැක්කා... අන්තිමට ඒ මහත්තුරු දෙන්නා දුවව ඉස්පිරිතාලෙට රැගෙන යන්න දෙවි කෙනෙක් වගේ පිහිට වුණා...“

දින තුනක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් කුඩා දියණිය නිවෙසට රැගෙනවිත් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද දැරියගේ මව සිළුමිණ සමඟ පැවැසුවාය.

වත්මන් සමාජයේ බොහොමයක් දෙනා තරගයට මෙන් ජීවන අරගලයට කැපව සිටින්නේ අනෙකා ගැන හෝ නොසිතමිනි. එවන් මොහොතක මෙවැනි සද්ක්‍රියාවන් සිදු කරමින් ජීවිතයක් බේරා ගැනීමට කැපවූ පොලිස් නිලධාරින් දෙදෙනා මෙන්ම එකී වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හරිමින් සමාජයට ද පණිවිඩයක් දුන් මහේෂ් උඩගෙදර වැන්නන් ද සැමදා අගය කළ යුතුමය.

Comments