අව­සා­නයේ මෙසේ සිදු­විය! | සිළුමිණ

අව­සා­නයේ මෙසේ සිදු­විය!

මිය­ගිය නාලක ලසන්ත
මිය­ගිය නාලක ලසන්ත

 

ගෙවී ගිය සතිය සිත් සසල කළ පුවතක් රත්නපුර කුරුවිට පොලිස් බල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. ඒ තම බෑනාට ඇසිඩ් ගසා බිම වැටුණු පසු බිරිය විසින් හිසට පොරවෙන් ගසා සිදු කළ මරණය පිළිබඳවයි. මෙසේ මියගොස් ඇත්තේ කාලංචියලාගේ නාලක ලසන්ත කුමාර (36) නැමති දෙදරු පියෙකි. රාමායනලාගේ නිරාශි ෂර්මිලා (31) සමඟ ලසන්ත විවාහ වී වසර දහතුනකි. වයස අවුරුදු දොළහක් සහ හතක් වන දියණියන් දෙදෙනෙකු සිටී. සිය බිරිය සමඟ නිතරම අඬදබර සිදු වී ඇති බවට කුරුවිට පොලිසියේ පැමිණිලි කිහිපයක් ම සටහන් ව ඇති අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙස මෙම ශෝකජනක සිදුවීමට නාලක ලසන්ත මුහුණ පා ඇති බව දැනගන්න ට ලැබුණි.

 

ප්‍රදේශයම කැලඹූ මෙම මරණයේ සුලමුල සොයා අප මුලින්ම ගියේ කුරුවිට පොලිසියටයි. කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් අබේවික්‍රම මෙසේ පැවසීය.

‘පසුගිය 08 දා රාත්‍රී 9.30 ට පමණ මරණකරුගේ බිරිය ක්‍රිෂ්ණ රාමායනලාගේ නිරාශි ෂර්මිලා සහ බිරිය ගේ මව වන පල්ලෙයාගේ ස්වර්ණශීලි සමඟ පොලිසිය ට පැමිණියා. මරණකරුගේ බිරිය සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසුවා." මම මියගොස් ඇති මගේ සැමියා සමඟ යාළුවෙලා 2008.08.16 දින විවාහ වුණා. අපි පදිංචි වී සිටියේ සැමියාගේ මහ ගෙදර. බැඳලා මාස හතක් යද්දි මට දරුවෙක් හැඳුනා. එදා ඉඳලා මාත් එක්ක සැමියා රණ්ඩු කරන්න සැක කරන්න පටන් ගත්තා. ගමේ පිරිමි කෙනෙක් එක්ක කතා කළත් රණ්ඩු වෙනවා. මාව මරන්න හදනවා. මම පුදුම වදයක් වින්දේ. පිහිටක් පතාගෙන පොලීසියට ආපු වාර අනන්තයි. රණ්ඩු කළ ළඟම දවස 2022.01.06 දා. එදා මාත් එක්ක රණ්ඩු කරල ගහපු නිසා පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. එදා ඉදලා මම ගෙදර ගියෙ නෑ. මාව මරන්න ඉන්නවා කියලා ආරංචි වුණා. එයා නිතරම ගංජා, අයිස් සහ වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සිද්ධිය වුණ දවසෙ හවස මගේ සැමියා බීමතින් මගේ මල්ලිගෙ ගෙදර වැලි ගොඩ ළඟ වාඩිවෙලා කුණුහරුප කිය කියා මට බැන්නා. කුස්සියේ මුල්ලෙ තිබුණු පොරව අරන් අද නම් තෝ මරණවමයි කිව්වා. මම අවුරුදු දහතුනක් තිස්සේ නොමැරී මැරුණා. මම තීරණය කළා මේ හැමදේම අදින් ඉවර කරනවා කියලා. ‍ෙවරිමතේ වැලිගොඩ ගාව වැටිලා හිටපු නාලකට දෑත බදලා මම පොරවෙන් ගැහුවා. අවුරුදු දහතුනක් හිතේ දරාගෙන හිටපු වේදනාව නැති වෙනකම්ම මම නාලකට ගැහුවා. මම එහෙම කළේ මගේ දරුවන්ගෙ, සහෝදරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්." යනුවෙන් කට උත්තරයක් ලබා දුන්නා.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී මරණකරු මත්ද්‍රව්‍ය දෙවර්ගයක් පාවිච්චි කළ බවට අනාවරණය වී තිබේ.

මිය ගිය තැනැත්තාගේ නැන්දම්මා විසින් කාලෙ කුප්පියක තිබූ ඇසිඩ් කෝප්පයකට දමා ගැසූ බව පිළිගෙන තිබෙනවා. ඒ අනුව මරණකරුගේ බිරිය වන ක්‍රිෂ්ණ රාමායනලාගේ නිරාශි ෂර්මිලා සහ බිරිය ගේ මව වන පල්ලෙයාගේ ස්වර්ණශීලි යන අය අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඉදිරි පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අනාවරණය වූ කරුණු අනුව මේ පිළිබඳව තව දුරටත් තොරතුරු සොයා නාලක ලසන්ත ජීවත් වූ නිවස සොයා ගියෙමි.

කුරුවිට පැරඩයිස් කැන්දලන්ද පාරේ මෝලකැලේ ප්‍රදේශයේ එම නිවස පිහිටා තිබේ. රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ පැරඩයිස් හන්දියෙන් ඇතුළට විහිදුණු මාර්ගය ඔස්සේ කිලෝමීටර් දෙකකට ආසන්න දුරක් යද්දී මෙම නිවස හමු වෙයි. පතල් කර්මාන්තය මෙන්ම තේ, රබර් වැවීම ජීවිකාව කරගත් පිරිසක් ජීවත්වන ගම්මානයක් බව බැලූ බැල්මට ම පෙනෙයි. මිය ගිය පුද්ගලයාගේ දේහය නිවසට ගෙනැවිත් විනාඩි තිස්පහක් ගතවන අවස්ථාවේ මාහට එම නිවස ට ළඟාවිය හැකි විය. මා එහි යන විට නාලකගේ මව, වැඩිමහල් දියණිය හා සහෝදරියන් දෙදෙනා විලාප දෙමින් හඬමින් සිටින අයුරු දැක ගන්නට ලැබිණි. වයස අවුරුදු පහළොව, දහ අට මට්ටමේ තරුණයන්ගේ සිට හැටක් හැත්තෑවක් තරම් වයසේ පිරිස තිහක් තිස් පහක් පමණ තැන තැන රැඳී සිටිති.

ඒ අතර දැඩි වේදනාවෙන් සිටි මියගිය නාලකගේ මව ඉලන්දර හවඩිගේ ඥානවතී (58) අප සමඟ සිය දරුවාගේ මරණය පිළිබඳව මෙසේ පැවසීය.

මට දූලා දෙන්නයි පුතයි ඉන්නෙ. මේ මිය ගිහින් තියෙන්නෙ මට හිටිය එකම පුතා. මම හිටියෙත් පුතාගෙ ගෙදර. දෙන්නා නිතරම අරියාදු කර ගන්නවා. ඒත් ටික වෙලාවකින් හොඳ වෙනවා. දරුවන් ට හරිම ආදරෙයි. පසුගිය 04 දා ගෙදරට හාල් මිටියක් ගෙනාවා. ලේලි කිව්වා ඒවා හොඳ නෑ මාරු කරගෙන එන්න කියලා. පුතා කඩෙන් පුළුවන් කිව්වොත් මාරු කරමු කිව්වා. ඊට පස්සෙ ත්‍රී⁣රෝද රථයක් ගෙනැවිත් හාල් එක මාරු කරලා ගෙනාවා. ඒ වෙලාවෙත් දෙන්නා බහින්බස් වුණා. පුතා ලේලිට දෙක තුනක් අතින් ගැහුවා. එයාගෙ ගෙදර තියෙන්නෙ මීටර් තුන්සීයක් විතර මෙහා. ලේලි ගෙදරට දිව්වා. පුතා බිරිය ට කිසිම තැනක තනියම යන්න දෙන්නෙ නෑ. ඒකට ලේලි එච්චර කැමැත්තක් දැක්වුවෙ නැහැ. දරුවන් ට බිරිය ට ගොඩක් ආදරෙන් හිටියෙ.

බිරිය තරහවෙලා ගිහින් දින හතරක් වුණා. එයා පොඩි දුව අරගෙන ගියෙ.දින දෙකක් පුතා ගෙදර හිටියෙ. දරුවා නැතුව ඉන්න බෑ කියලා ගොඩක් දුක් වුණා. මෙහෙම ඉන්න බැරිකමට එයා ව එක්ක එන්න තමයි එදා බිරිය ගෙ ගෙදරට ගියේ. යද්දි ගෙදර ඉන්න බල්ලත් අරගෙන ගියා. ලේලි ඉඳලා තිබුණෙ එයාගෙ අයියගෙ ගෙදර. ඒ වෙලාවෙ තමයි පුතාගේ නැන්දම්මා මගේ පුතාට ඇසිඩ් ගහලා තියෙන්නේ. එයා කෑ ගහගෙන ගේ ඉස්සරහ වැලි ගොඩේ වැටිල තියෙනවා. එතකොට ලේලි පොරව ගෙනැත් ඔළුවට ගහලා තමයි මරල තියෙන්නෙ. බල්ලා " ටිපී " ටත් ඇසිඩ් වැදිලා පිච්චිලා.

පුතාගෙ ලොකු දුව ලේලිට කතා කරල අහපුවම මගේ ඉස්සරහ එයා කිව්වා මම තාත්තට පොරවෙන් ගහල මැරුවා කියලා.

මෙම සිදුවීම ගැන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝසභික ශ්‍රී බෝධි විහාරයේ පැරඩයිස් ශ්‍රී විජයාරාමාධිපති විශ්‍රාමලත් පරිවේණාධිපති පණ්ඩිත දොඹවල ශ්‍රී විජයඥාන නාහිමිපාණන් වහන්සේ දැක්වූයේ මෙවන් අදහසකි.

" අපේ පවුල් සංස්ථාව බිඳ වැටීම නිසා මෙවැනි ශෝචනීය සිදුවීම් නිතර අසන්නට ලැබෙනවා. එහි එක් සිද්ධියක් හැටියටයි මේක මට පේන්නෙ. මේවට බාහිර සාධක ගොඩක් එකතු වෙලා තියෙනවා. මව පියා නිවෙසක ගත කරන්නෙ කොහොමද. යුතුකම් වගකීම් මොනවද කියල කොච්චර තේරුම් කළත් පිළිගන්න සූදානම් නෑ. මත්වතුර මේ ගොඩක් දේවල්වලට හේතුවක්. මේකට ආර්ථික දුෂ්කරතාවයත් එකතු වුණාම පවුල් බිඳී විනාශයට කරුණු යෙදෙනවා. මෙහෙම පවුලේ දෙදරා යාමකින් පස්සෙ එයින් අසරණ වෙන්නෙ අහිංසක දරුවො. මේවා දැකල හරි මිනිස්සු මනුස්සකම ගැන ධර්මානුකූලව අවබෝධ කරගත යුතුයි."

මේ සම්බන්ධයෙන් වන මූලික පරීක්ෂණ පොලිස් පරීක්ෂක උපාලි රත්නායක, අපරාධ අංශයේ ස්ථානාධිපති සිරිවර්ධන පොලිස් සැරයන් නිශ්ශංක, පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් සුරේෂ් යන නිලධාරීන් විසින් පවත්වනු ලැබීය.

 

Comments