මට ඕනෑ ආයෙත් ලෝකයේම ලොක්කි වෙන්න චමරි අතපත්තු | සිළුමිණ

මට ඕනෑ ආයෙත් ලෝකයේම ලොක්කි වෙන්න චමරි අතපත්තු

මට පාලනය කරන්න බැරි දේවල් ගැන කරන්න දෙයක් නෑ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට විසි වුණා. ඒ සිම්බාබ්වේ හි දී ශ්‍රී ලංකා කණ්ඩායමට කොවිඩ් වැළඳීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම හා එම තරගාවලිය අතහැර දැමීමට අයි.සී. සී. ය තීරණය කිරීම හේතුවෙනුයි. මේ සියලු තත්ත්වයන් සමඟ ‘ක්‍රීඩා’ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ව මුණගැසුණා. මේ ඈ සමඟ පැවැත්වූ සංවාදයක්.’ 

‘ලෝක කුසලානයට තෝරා ගැනීමේ තරගාවලියට සිම්බාබ්වේ දේශයට ගොස් සිටිය දී අප කණ්ඩායම කොවිඩ් වසංගතයට ගොදුරු වුණා. ඇත්තටම ඒ ගැන කනගාටුවක් තිබෙනවා. එය රටක් වශයෙන් අපි ලබපු දැවැන්ත පරාජයක්. නායිකාවක් වශයෙන් ඒ වගේ තත්ත්වයක් ඇති වුණාම මට පාලනය කරන්න බෑ.’ ඈ කීවාය.

ලෝක කුසලානය අහිමි වීමට ඉවහල් වූ කාරණා ගැන ඇය තවදුරටත් කරුණු පැහැදිලි කළාය. ‘තරගාවලියට සහභාගි‍

ෙවද්දී අපි ලෝක ශ්‍රේණිගත කිරීම් වල 09 වැනි ස්ථානයේ හිටියේ. ඒත් ලෝක කුසලානයට තේරුණේ කණ්ඩායම් 08 ක්. එතැනදී මැලේසියාව අපට වඩා තරගවලට සහභාගීවී තිබුණ නිසා ඔවුන්ව 08 වැනි ස්ථානයට තේරුණා. හැබැයි පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සුදුසුකම් ලබද්දී අපි මැලේසියාවට වඩා ඉදිරියෙන් සිටියා. දැන් ගිය හකුරට අඬලා වැඩක් නෑ. කොහොම හරි මගේ උපරිම ශක්තිය යොදවා අපේ කණ්ඩායම ඒ කඩඉමෙන් ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා.’ චමරි පැවසුවාය.

සැබැවින්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිම්බාබ්වේහි දී සිදු වූයේ කුමක්දැයි අපි විමසීමු.

‘සිම්බාබ්වේ දී ඇත්තටම වුණේ අපේ උප නායිකාවට කොරෝනාහි ඩෙල්ටා ප්‍රභේදය වැලඳීමයි. අන්තිමට ක්‍රීඩිකාවන් 06 දෙනෙකුට ඩෙල්ටා වැලඳී තිබුණා. එහෙ නව ප්‍රභේදයක් වන ඔමිග්‍රෝන් කියන වයිරසය පැතිරෙමින් තිබුණු නිසා අයර්ලන්තය නෙදර්ලන්තයට ඒක ප්‍රශ්නයක් වුණා. ඒ හේතුව නිසා එම වයිරසය සෙසු කණ්ඩායම්වලට ව්‍යාප්ත වෙයි කියලා ඔවුන් බිය පළ කළා. ඒ නිසා අන්තිමට අයි.සී.සී. ය තීරණය කළා. තරගාවලිය නවතා දමන්න.’ ඈ කීවාය.

‘නෙදර්ලන්තයට මමත් ක්‍රීඩා කර ලකුණු 100 ක් අරන් තිබුණා. තරගාවලිය නැවැත්තුවේ අපි හින්දා නෙමෙයි කියන කාරණය පැහැදිලිව කිව යුතුයි. අපේ ක්‍රීඩකයන්ට රෝගය වැලඳුණු බව ඇත්ත. කොහොම හරි අපේ කණ්ඩායමේ කිහිප දෙනෙක් තුළ රෝග ලක්ෂණ මතුවන විට අපි තව ක්‍රීඩිකාවන් 03 ක් ලංකාවෙන් ගෙන්වා ගත්තා. තරගාවලියට ක්‍රීඩා කරලා කොහොම හරි ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න අපි උනන්දුවෙන් සිටියේ. නමුත් එය අවසානවන්ත ලෙස අපිට ගිලිහුණා.’ ඈ කීවේ කනගාටුවෙනි.

මෙවර ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටි කණ්ඩායම් පහ

සෘජුවම ලෝක කුසලානයට සදුසුකම් ලබා ගත් බව ඈ පැවසුවාය. ‘මේ තරගාවලිය සංවිධානය කළේ සෙසු කණ්ඩායම් තුන තෝරා ගන්න. ඒ වෙද්දී අපි හිටියේ 09 වැනි ස්ථානයේයි. තරගාවලිය අතහැර දැමුවාට පස්සේ අපිට අටට එන්න හැකි වුණේ නෑ. ඒ නිසා තමයි මේ ගැටලුව මතුවුණේ.’ චමරි පැවසුවාය.

‘සිම්බාබ්වේ ඉඳලා අපි මව්බිමට ආවේ දෙසැම්බර් 10 දා. ආපු සැණින් අපිව නිරෝධායනයට ලක්කළා. ඒකට මුලින්ම කළේ හෝටලයකට ගෙනිහින් අපිව දින දහයක් නේවාසික කරපු එක. ඊට පස්සේ අපි දින හයක් නිවසේ නිරෝධායනය වුණා. දැන් අපි ජීව බුබුළකට ඇතුළත් වෙලා පුහුණුවීම් හි නිරත වෙනවා. දැන් අපිට කොවිඩ් අර්බුද නෑ.’ චමරි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළා ය.

‘ලෝක කුසලානයෙන් අපි ඉවත් වුණාට පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට ක්‍රීඩා කරන්න අවස්ථාවක් හිමිවී තිබෙනවා. එතැන දී අපි මැලේසියාවට වඩා ඉදිරියෙන්

සිටියා. ඒ නිසා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියට

අදාල ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මැලේසියාවේ දී පැවැත්වෙන කාන්තා ක්‍රිකට් තරගාවලියට අපි සුදුසුකම් ලැබුවා. ඒ නිසා අපි ජීව බුබුළක් තුළ අඛණ්ඩව පුහුණුවීම් හි නියැළෙනවා.’ චමරි අතපත්තු පැවසුවා ය.

ඒ අනුව එම තරගාවලියට කණ්ඩායම් 5 ක් තරග වැදීමට නියමිතව තිබේ. එහි දී ඉහළම දක්ෂතාව දක්වන කණ්ඩායම තරගාවලියට තෝරා ගැනීමට නියමිත ය.

‘මගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජනවරි 19 වැනිදා ස්කොට්ලන්තය සමගත් විස්සයි20 වැනි දා කෙන්යාව සමඟත් 22 වැනි දා මැලේසියාව සමඟත් තරග වදිනවා. 24 වැනි දා ක්‍රීඩා කරන්නේ බංග්ලාදේශය එක්කයි. පොදුරාජ්‍ය මණ්ඩලයීය කාන්තා ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වන විට සුදුසුකම් ලබා ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පකිස්තානය, බාබඩෝස්, නවසී-ලන්තය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් ය. ඒ තරගාවලිය පැවැත්වෙන්නේ මෙම වසරේ ජූලි මාසයේ ය. ඒ ජූලි 19 වැනි දා සිට මැලේසියාවේ දී ය.

‘අපි මේ තරගාවලියේ දී ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න බැරි වුණු වාඩුව ගන්න උත්සාහ කරනවා.’ චමරි කියන්නේ දැඩි අධිෂ්ඨානයකිනි.

‘මම කාලයක් ලෝකයේ අංක එකේ ක්‍රිකට් ක්‍රීඩිකාව වුණා. මට ආයෙත් අවශ්‍ය එතැනට පත්වෙන්න. ඒක 2022 වසරේ මගේ අපේක්ෂාවක්. ඒ හා සමගාමීව මගේ කණ්ඩායම ලෝකයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට රැගෙන යෑමත් මම දැඩිව අපේක්ෂා කරනවා.’ ඈ කීවා ය.

‘මම මේ ගමන ආවේ මගේ පුහුණුකරුවන් වගේම පාසල නිසා. මගේ පාසලේ පුහුණුකරු ජානක විජේතුංග, වසන්ත කුමාර, පෞද්ගලික පුහුණුකරු ජීවන්ත කුලතුංග, ජාතික පුහුණුකරු හෂාන් තිලකරත්න මීට අමතරව මට මට උදවු කළ මගේ දක්ෂතා වර්ධනය කර ගන්න සහය දක්වපු පුහුණුකරුවෝ ගොඩාක් ඉන්නවා. මේ අවස්ථාවේ දී කෘතවේදීව ඔවුන් සියලු දෙනාව සිහිපත් කරන්න මම කැමතියි.’ ඈ පවසන්නී ය.

සංවාදය අවසන් කිරීමට මත්තෙන් කාන්තාවක් වශයෙන් ඇයට විවාහ වීමට කල වයසත් හරි නේදැයි අපි විමසුවේ එය පෞද්ගලික ප්‍රශ්නයක් වුව ද සුවහසක් ක්‍රීඩාලෝලීන් විමසිය යුත්තකැයි සිතූ හෙයිනි.

‘ඔව්. දැන් මට අවුරුදු තිස් එකක්. තවම අවිවාහකයි තමයි.’ ඈ ඒ සම්බන්ධයෙන් එසේ පිළිතුරක් දී සිදු කළේ ආකර්ෂණීය සිනහවක් මුව පුරා ඇදී යෑමට ඉඩ පාදා දීම පමණි. එය අප දුටුවේ ඉහළට ඉපිලෙන වේග පන්දුවකින් ගැලවෙන්නට සූක්ෂ්ම පිතිකාරිනියක් නෙත ඉවතට නොගෙන පන්දුවේ ගමන් මඟින් සිරුර මෑත් කරගැනීමක් හා සමානව ය. අප ඇයට හා ඇගේ කණ්ඩායමට ඉදිරි තරගාවලියට සුබපතා සංවාදය අවසන් කළෙමු.

Comments