ජාතික කබඩි කිරුළු උතුරු නැඟෙනහිරට | සිළුමිණ

ජාතික කබඩි කිරුළු උතුරු නැඟෙනහිරට

ජාතික කබඩි කාන්තා ශූරතාව කිලිනොච්චි දිස්ත්‍රික්කය නියෝජනය කළ කණ්ඩායමට හිමි වූ අතර, පිරිමි ශූරතාව දිනාගත්තේ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කළ කණ්ඩායමයි. ටොරින්ටන් හි ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති මේ තරගාවලියේ පිරිමි අවසන් තරගයේ දී අම්පාර දිස්ත්‍රික් කණ්ඩායම ලකුණු 56 ක් රැස්කරමින් ශූරතාව තහවුරු කරගත්තේ ය.

මඩකලපුව දිස්ත්‍රික්කය ලකුණු 20 ක් හිමි කර ගනු ලැබුවේ අවසන් මහා තරගය නැඟෙනහිර පළාත් තරගයක් බවට පත්කරමිනි. කාන්තා අවසන් තරගයේ දී කිලිනොච්චි ක්‍රීඩිකාවෝ තරග වැදුණේ යාපනය දිස්ත්‍රික් කණ්ඩායම සමඟ ය. එහිදී ලකුණු 49- 39 ක් ලෙස කිලිනොච්චි දිස්ත්‍රික්කය විසින් ශූරතාව දිනාගනු ලැබීය.

පිරිමි තරගාවලියේ තෙවැනි ස්ථානය ජය ගත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කය යි. ඔවුන් අතින් 31-30 ක් ලෙස කිලිනොච්චි දිස්ත්‍රික්කය සියුම් පරාජයක් අත්කරගත්තේ ය. කාන්තා අංශයේ තෙවැනි ස්ථානය 33-29 ක් ලෙස මඩකලපුව දිසාවට හිමි වූයේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්ක කණ්ඩායම පරාජයට පත්කරමිනි.

තෙදිනක් පුරා සංවිධානය කර තිබූ මෙම තරගාවලියේ දක්ෂත ම කබඩි ක්‍රීඩකයා ලෙස සම්මානිත වූයේ අම්පාර දිස්ත්‍රික්කයේ එම්.ටී. අස්ලාම් සාජා ය. දක්ෂත ම ක්‍රීඩිකාව ලෙසින් කිලිනොච්චි දිස්ත්‍රික් කණ්ඩායමේ පී. දනූශා ගෞවරයට පාත්‍ර විණි.

මෙවර තරගාවලිය මඟින් දක්ෂ කබඩි ක්‍රීඩක, ක්‍රීඩිකාවන් කීපදෙනකු හඳුනා ගැනීමට අවස්ථාව උදාවූ බව කබඩි සම්මේලනය 'ක්‍රීඩා' වෙත පැවසීය.


කසුන්

Comments