බන්දුල පෙති­යා යළි උපදියි | Page 2 | සිළුමිණ

බන්දුල පෙති­යා යළි උපදියි

 

රණ වරෙන්තුව ලියැවීමෙන් පසු මුළු ලෝකයෙන්ම සමුගෙන යන්නට සිටි බන්දුල පෙතියා යළි ජීවිතය ලබමින් සිටින සුබ ආරංචිය ලියා තබමු. විශිෂ්ට පර්යේෂකයන් පිරිසකගේ අසීමිත කැපකිරීම සහ දැනුම්වත් කිරීම්, ආදරණීය ගැමියන්ගේ විශ්වාස කළ යුතු පරිත්‍යාගයන් ප්‍රමාණයක ප්‍රතිඵලය ලෙස ලෝකයෙන් වඳවීමට ගිය දුර්ලභ ජීවියෙක් පරිසරය තුළ යළි සාරවත් ජීවිතයක් අරඹා තිබේ. වර්ෂ 1990ට පෙර මිරිදිය මත්ස්‍යයන් සම්බන්ධව රටේ නිශ්චිත නීතියක් තිබුණේ නැත. කැමැති කෙනකුට කැමැති ජලාශයකින් මත්ස්‍යයන් ලබා ගත හැකි විය. සුරතල් මත්ස්‍යයන් ආනයනය කරන්නන් හා වාණිජ පරමාර්ථයෙන් මින් මැදුරු නඩත්තු කරන්නේ මේ දේශීය මත්ස්‍ය විශේෂ එකතු කළහ.

 

රන්ජිත් බන්දුල නමැති මත්ස්‍ය ව්‍යාපාරයක යෙදෙන්නෙක් මේ වකවානුවේ වරකාපොළ මිණිපුර ප්‍රදේශයෙන් ලබා ගත් මත්ස්‍යයකුගේ විශේෂත්වයක් දකින්නේ මේ අතරය. මේ මත්ස්‍යයා බැලූ බැල්මට බුලත්හපයා නමැති ආවේණික මත්ස්‍යයාට සමාන වුවත් බාහිර පෙනුමේ වෙනසක් ඔහු නිරීක්ෂණය කළේය.

මේ සම්බන්ධව විමසීමට වර්ෂ 1991 දී මේ මත්ස්‍ය විශේෂය රොහාන් පෙතියාගොඩට යොමු කළේය. මේ නව මත්ස්‍ය විශේෂයක් බව මුලින්ම හඳුනා ගන්නේ ඒ ආකාරයෙනි. මේ අලුත් විශේෂය සොයා ගැනීමට දායක වූ රන්ජිත් බන්දුලගේ නමත් සමඟ Puntius bandula ලෙස ප්‍රකාශයට පත් වූයේය. අපේ ගලපිටමඩ පෙතියා බන්දුල පෙතියා ලෝකය හඳුනා ගන්නේ එසේය.

මේ මාළුවා ජීවත් වූයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ ප්‍රදේශයේ දොළකය. ගලපිටමඩ සිට හපුගොඩ දක්වා ගලා බසිනා මේ දොළ පාරේ මුළු දිග කිලෝ මීටර් තුනකට නොවැඩිය. ස්ථානීය ආවේණික මත්ස්‍යයෙක් වූ බන්දුල පෙතියා මේ දොළ පහරේ හැර ලෝකයේ වෙන කිසිම තැනකින් හමුවූයේ නැත.

වැලි, මඩ, කොළ රොඩු, ගල්, බොරලු, තිරිවාන, සහිත පතුලක් ඇති මෙම දොළ පහරෙහි කුඹුක්, කෙටල සහ අනෙකුත් ජලජ පැළෑටි අතර බන්දුල පෙතියා ජීවත් වුණේය.

මේ දුර්ලභ මත්ස්‍යයා වාසය කරන දොළ පාර තිබුණේ අනාරක්ෂිත ප්‍රදේශයකය. දොළේ පෝෂක ප්‍රදේශයත් රබ්බිඩිගල රක්ෂිතයේ කුඩා කැලෑ කට්ටියක් සහ රබර් වගාවකි. මේ රබර් වගාව සහ කැලෑ කට්ටිය මත දොළේ පැවැත්ම තීන්දු වුණේය. එමෙන්ම දොළ ගලාගෙන ගියේ නිවාස පරිශ්‍ර රබර් වගා සහ රසායනික පොහොර භාවිත කරන කෙත් වතු මැදිනි.

වර්ෂ 1991 දී හඳුනා ගන්නා මෙම ස්ථානීය ආවේණික මත්ස්‍යයා මේ සියලු තත්ත්ව හමුවේ වර්ෂ 2001 වනවිට දැඩි ලෙස තර්ජනයට ලක්වී සිටි බව පර්යේක්ෂකයෝ සොයා ගත්හ. අනතුරුව මහාචාර්ය දේවක වීරකොන් සහ හසුලා වික්‍රමරත්න වර්ෂ 2003 දී බන්දුල පෙතියාගේ පරිසර විද්‍යාත්මක තොරතුරු රැස් කිරීම; සංරක්‍ෂණ කටයුතුවලට ප්‍රජාව සම්බන්ධ කර ගැනීම; එම ප්‍රදේශයේ සහ හඳුන්වා දුන් ස්ථානයේ සිටි ගහනයේ වත්මන් තත්ත්වය තක්සේරු කිරීම සහ බන්දුල පෙතියාගේ නව ගහනයක් ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිසාධන සැලැස්මක් සකස් කිරීම අරමුණු කරගනිමින් විශේෂ ව්‍යාපෘතියක් දියත් කළේය.

ඒ ව්‍යාපෘතිය උසස් ඵල දරමින් නිරීක්ෂණය වෙමින් ඇත. තර්ජිතව සිටි බන්දුල පෙතියාගේ දෙවැනි ගහන මේ වනවිට ස්වභාවික පරිසර පද්ධතිය තුළම තිරසාරව වර්ධනය වෙමිනි. ඒ ගැන කතා කරන්නට අප සමඟ මුලින්ම සංවාදයට එක් වූයේ මෙම පර්යේෂණය සිය පශ්චාත් උපාධිය සඳහා තෝරාගත් පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ වැඩසටහන් සහකාරිනි හසුලා වික්‍රමරත්නය.

“ මගේ පශ්චාත් උපාධිය සඳහායි මේ පර්යේෂණය කරන්නෙ. මහාචාර්ය දේවක වීරකෝන්ගේ අදියුරුව යටතෙයි ඒ පර්යේෂණය දියත් වුණේ.

මට අවශ්‍ය වුණේ මේ මත්ස්‍යයා සංරක්ෂණයට අවශ්‍ය දත්ත ගොනුවක් ලබා ගන්න. ක්ෂේත්‍රයේ පරිසර විද්‍යාත්මක තත්ත්ව ගැන බලන්න. ඒ සමඟම මේ මත්ස්‍ය විශේෂය වඳ වීමේ තර්ජනයට ලක්වන බව තේරී 1993 වනසත්ව හා ශාක සරංක්ෂණ පනත යටතේ ආරක්ෂිත සත්ත්වයෙක් යැයි නම් කළ පසු දෙවැනි ගහනයක් සල්ගලට මුදා හැර තිබුණා. ඒ ගහනය හිටියෙ තවත් මත්ස්‍ය අපනයනකරුවෙක් වූ ආනන්ද පතිරණ ළඟ. ඔහුගෙන් ලබා ගත් ගහනයේ ජෝඩු 250ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ තරුණ සත්වවේදීන්ගේ සංගමය විසින් සල්ගල දොළ පහරකට මුදා හැරියා. ඔවුන්ගේ තත්ත්වය සොයන්න සැලසුම් කළා.

ඒ හරහා බන්දුල පෙතියා ජීවත්වන දොළ පහර ගැන තොරතුරු හොයාගෙන ගියා. මේ දිය පහරෙ මිණිපුර කියන ගමේ මීටර 500ක් පමණ ප්‍රදේශයක පමණක් බන්දුල පෙතියා හමුවන බවයි මුලින්ම වාර්තා වුණේ. නමුත් මට නිරීක්ෂණය වුණා. මෙයා මිණිපුර විතරක් නෙමෙයි, රබ්බිඩිගල, හපුගොඩ ගම් තුන හරහා යන දොළ පාරෙ කිලෝ මීටර 2.5ක දුරක ඉන්නවා කියලා. හසුලා කතාවට ප්‍රවේශ වන්නේ එසේය.

ලංකාවට ආවේණික වූ මේ මත්ස්‍යයා ගලපිටමඩ දොළ පාරෙන් පිට ලංකාවේ වෙන කිසිම තැනකත් නැත. වසර 10කට පසු විද්‍යාඥයන් කළ පරීක්ෂණවලදී හෙළි වූයේ මෙම මත්ස්‍ය ගහණයෙන් සියයට 80 -90 දක්වා වඳ වී ඇති බවය.

වර්ෂ 2003 දී හසුලා වික්‍රමසිංහ, මහාචාර්ය දේවක වීරකෝන්ගේ අධීක්ෂණයෙන් බන්දුල පෙතියා සම්බන්ධව පර්යේෂණ ආරම්භ කරන්නේ මෙවන් වටපිටාවකය. කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන් ලොව පිළිගත් සංරක්ෂණ ජෛව විද්‍යාඥ‍ෙයකි. ඔහු හසුලාගේ පර්යේෂණයේ නියමුවරයා ය. ඔහු ඒ අත්දැකීම අප හා බෙදා ගන්නට එක් වුණේය.

“වර්ෂ 2003දි හසුලා ගිහින් අධ්‍යයනය කරද්දි මාළු 100ක් වගේ කුඩා ගහනයක් තමයි ඉතිරිවෙලා හිටියෙ.

“මෙයා ඉන්නෙ ගලපිටමඩ ප්‍රදේශයේ කිලෝ මීටර තුනක් පමණ පොඩි දොළ පාරක. ඉතාම සීමිත ව්‍යාප්තියක් තියෙන්නෙ. ආරක්ෂිත ප්‍රදේශයක නොවෙයි දිය පහර ගලාගෙන යන්නෙ. ගහණයේ ශීඝ්‍ර පහත වැටීමක් සිදුවෙලා තියනවා. බන්දුල පෙතියා දැඩි ලෙස තර්ජනයට ලක්වුණු මත්ස්‍යයෙක් බව ප්‍රකාශ වුණේ මේ දත්ත මතයි.“

මිනිස්සුන්ගෙ ජනාවාස මැදින් මේ දොළ ගලා ගෙන යද්දි මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ව්‍යසනය විශාලයි. පෝෂක ප්‍රදේශය රබර් වත්තක් සහ කුඩා කැලෑ කුට්ටියක්. වන ගහණය අඩු වෙන්න වෙන්න මේ දොළ හිඳෙන්න තියන සම්භාවිතාව වැඩියි. හදිස්සියෙම හරි දොළ හිඳුණොත් මේ මාළු සියල්ල මැරෙනවා. ලෝකයෙන්ම නැති වී යනවා. පරිසරයෙන් එකතුවන රසායනික ද්‍රව්‍ය අපද්‍රව්‍ය නිසා ජලයේ රසායනික සංයුතිය වෙනස් වුණත් සිද්ධ වෙන්නෙ ඒකයි.

අප උත්සාහ කළේ කාරණා දෙකක් ඔස්සේ අපේ සැලසුම දියත් කරන්න. එකක් මේ මත්ස්‍යයා දැනට ජීවත්වන දොළේ යහපත දීර්ඝකාලීනව පවත්වාගෙන යෑමේ වැඩ පිළිවෙළක් හදන්න. අනෙක සමාන ස්වභාවික පරිසර පද්ධතියක තවත් ගහනයක් ස්ථාපිත කරන්න.

දොළ පාරේ පැවැත්ම ස්ථාපිත කරන්න අපි මුලින්ම ප්‍රජාව දැනුම්වත් කළා. අපේ රටේ ඉන්නේ යමක් තේරුම් කරලා දුන්නම දිවි හිමියෙන් කැප වෙන මිනිස්සු පිරිසක්. සමහරු මේ දොළ පාරට මායිම් වෙච්චි තමන්ගෙ ඉඩම් කොටස් මත්ස්‍යයාගෙ අභිජනන කටයුතු පුළුල් කිරීම සඳහා දොළපාර තහවුරු කරන්න පරිත්‍යාග කළා. දෙපැත්තේ කුඹුරු ගොවීන් කෘෂි රසායන භාවිතය අවම කරලා කාබනික ගොවිතැනට පරිවර්තනය වෙන්න ගත්තා. ලෝකයේ කොතැනකවත් නැති මත්ස්‍ය විශේෂයක් තමන්ගෙ ගමේ දොළ පාරෙ ඉන්නවා කිව්වම මිනිස්සු මහා වැදගත්කමක් දීලා මේ දොළ පාර ආරක්ෂා කරන්න ස්වෙච්ඡාවෙන්ම පෙලඹෙන අයුරු අපි දුටුවා. ඒ එක්කම දොළේ පෝෂක ප්‍රදේශයේ වන වැස්ම වැඩි කරන්න අපි සැලසුමක් හැදුවා.“

වෙනත් ගහනයක් වෙනත් දොළ පහරක ස්ථාපිත කරන්න අප සැලසුම් කළේ මේ මත්ස්‍යයාට තිබෙන අවදානම අවම කරන්න.

ඒ අනුව වරකාපොළ ප්‍රදේශයේ වීකුලාකන්ද රක්ෂිතයට අපි මසුන් 20ක් හඳුන්වා දුන්නා. ඒ මත්ස්‍යයන් හොඳින් අභිජනනය කර ගහනය වර්ධනය වෙනවා අපි දැක්කා. ඒ අනුව විශ්වාසයක් තිබෙනවා මේ දොළ හිඳුණත් මෙතන මත්ස්‍යයා ඉන්නවා.“

මහාචාර්ය දේවක වීරකෝන් සහ හසුලා වික්‍රමසිංහ මේ දොළපහර දෙවන ගහනයක් සඳහා තොරා ගන්නේ විශේෂ පරිසර විද්‍යාත්මක අධ්‍යයනයකින් පසුය.

2001 දී හසුලාගේ නිරීක්ෂණ ප්‍රකාරව සල්ගලට මුදාහල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය තුළ දී බුලත් හපයා නමැති මත්ස්‍ය විශේෂය සමඟ දෙමුහුම් වී තිබිණි. ශුද්ධ විශේෂයක් නොවූ බැවින් එතැන බන්දුල පෙතියාගේ සංරක්ෂණයක් සිදු වී තිබුණේ නැත. එමෙන්ම ඒ දෙමුහුම් විශේෂයත් දිය පරහර තුළ ස්ථාවර නොවී තිබීමට පරිසර සාධකත් බලපෑවේය.

මහාචාර්ය දේවක වීරකෝන් සහ හසුලා වික්‍රමසිංහ ප්‍රමඛ කණ්ඩායම දෙවනවර බන්දුල පෙතියාගේ ගහනය ස්ථාපිත කරන්නේ ගලපිටමඩ මේ මත්සයා හමුවන ස්ථානය පරිසර සාධක සහ නව ගහනය හඳුන්වා දෙන දොළ පහරේ ස්වභාවික පරිසර සාධක, පරිසරයේ රසායනික සංයුතිය, ඒ පරිසර පද්ධතියට ආගන්තුක ජීවියෙක් ලෙස ස්ථාපිත මත්ස්‍ය විශේෂයේ හැසිරීම කුමන අකාරයක් ගනු ඇති ද යන නිශ්චිත පූර්ව විමර්ශනයකින් පසුවය.

ඒ සියලුම විද්‍යාත්මක නිරීක්ෂණ සාර්ථකය. මේ වනවිට බන්දුල පෙතියා වීකුලාකන්ද රක්ෂිතයේ දොළ පහර තුළ ගහනය වැඩිකර ගනිමින් ස්ථාපිත වෙමිනි. ඒ සත්ත්වයා රැක ගැනීමට දැන් ගම් වැසියෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටිති.

මේ මත්ස්‍යයා මේ වනවි නෛතිකව ආරක්ෂා වී ඇති ආකාරය අපට කියන්නෙ පරිසර නීතිවේදී ආචාර්ය ජගත් ගුණවර්ධනය. “ 1993 වෘක්ෂලතා හා වනසත්ව ආරක්ෂණ සංශෝධන පනත යටතේ, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 31 අ වගන්තිය යටතේ ආක්ෂිත සත්වයෙක් විදිහට බන්දුල පෙතියා උපලේඛනගත කර තිබෙනවා. 2009 සංශෝධනයෙන් පස්සෙත් මේ සත්ත්වයා ආරක්ෂිත සත්වයෙක් . ඒ අනුව මේ මාළුවෙක් මරණයට පත් කිරීම, හානි කිරීම තුවාල කිරීම තහනම්. මේ මත්ස්‍යයාව සන්තකයේ තබා ගැනීම ද තහනම්. පණපිටින් හෝ කොටසක් හෝ මියගිය සතෙක් හෝ සන්තකයේ තබා ගැනීම තහනම්. වෙළෙඳාම් කරන්න, වෙළෙඳාම සඳහා ප්‍රදර්ශනය කරන්නත් තහනම්.“

“ඒ වගේම මේ පනතේ 40 වැනි වගන්තිය යටතේ මේ මත්ස්‍යයා අපනයනය කළ හැක්කේ සංරක්ෂණ කාර්යයකට හෝ සත්වෝද්‍යානයක් සමඟ කරන හුවමාරුවකට පමණයි.“

දැන් අපට සතුටු විය හැකි තත්ත්වයක් ඇත. ඒ මරණයට පත්ව ලෝකයෙන් තුරන් වීමට ගිය සතෙක් යළි ජීවිතය ලබා ඇති බව සිතීමෙනි.

Comments