නොරො­ච්චෝ­ලෙදී කළු­ කොඩි කැපූ හැටි | සිළුමිණ

නොරො­ච්චෝ­ලෙදී කළු­ කොඩි කැපූ හැටි

දේශපාලනයේ ඇතැම් රහස් කාලයකට පසු හෙළිවීම ද රසවත් මෙන් ම අපූරු සිදුවීමකි. මීට වසර 15 කට පමණ පෙර එසේ සිදු වූ සිද්ධියක් පසුගිය දා එළියට පැමිණියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අතිනි. ඒ පසුගිය (26) වැනිදා පාර්ලිමේන්තු අය - වැය කාරක සභා අස්ථාවේ විවාදය පැවැත්වෙන අතරතුරයි. පාර්ලිමේන්තුව තුළ පසුගිය (29) දින කතාකළේ ඉතා ඉක්මණින් ගිනි ඇවිළෙන සුළු ද්‍රව්‍ය පිළිබඳවයි. ඊට හේතුව 2022 අය - වැය විවාදය යටතේ විවාදයට ගනු ලැබුවේ විදුලිබල අමාත්‍යාංශය, සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂවල කාරක සභා අවස්ථාවේ විවාදයයි.

 

විදුලිය හා ගෑස්වලින් මැතිසභය උණුසුම් වෙයි

විදුලිය, විදුලි ජනනය, තෙල් පමණක් නොව ගෑස් සිලින්ඩර ගැන ද යම් යම් කාරණා කතා කිරීම හේතු කොටගෙන මැතිසබය තුළ උණුසුම් අවස්ථා කිහිපයක්ම ඇතිවිය.

කාලීන මාතෘකාවක් බවට පත්වී තිබෙන "යුගදනවි" බලාගාරය ගැනත් ඇතැම් ගිවිසුම් ගැනත් කතාබහ කිරීම හේතුවෙන් ද මැතිසබය උණුසුම්කාරී විය.

 

ගෑස් චෝදනා

අය - වැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කිරීමට පෙර ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් පැතිර යන කතාවලට බියක් ඇතිකරගත යුතු නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ යනවා. අපිට හංගන්න දෙයක් නැහැ පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී ගෑස් සිලින්ඩර 233 ක් පිපිරිලා ගිය බවට තොරතුරු වාර්තා වෙනවා.

ලෝකයේ අනෙකුත් රටවලත් මෙවැනි අනතුර සිදුවී තිබෙනවා. නමුත් කෙටි කාලයක් තුළ අපේ රටේ සිදු වූ මෙම සිද්ධි ගැන අපි අවධානය යොමු කරලා තියෙනවා." යනුවෙන් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අවස්ථාවේදී නැගී සිටි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් කියා සිටියේ ගෑස්වල සංයුතිය වෙනස් කර ඇති නිසා ගෑස් සිලින්ඩර පුපුරා යන බවයි.

"මෙම ගෑස් සිලින්ඩරවල සංයුතිය වෙනස් කරපු නිලධාරීන් CID ය මඟින් අත්අඩංගුවට ගන්න ඕන." යනුවෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

"අධ්‍යයනයක් නැතුව කතා කරන්න එපා." යනුවෙන් ලසන්ත අලගියවන්න රාජ අමාත්‍යවරයා පිළිතුරු දීමත් සමඟම උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

ගෑස් සිලින්ඩර කතාවෙන් මැතිසබය උණුසුම් වූ අතර පසුගිය දා පැවති අය - වැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි.

සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විරුද්ධ පක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරමින් කියා සිටියේ එදා සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩර පිපිරීමේ අනතුර 2.5% ක් වුවත් වර්තමානයේ දී එය 7%, 8% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වාදයට එක්වෙමින් පෙන්වා දුන්නේ වසරකට බලශක්තිය වෙනුවෙන් ඇ‍මෙරිකානු ඩොලර් බිලියන 05 ක් වැයකරන බවයි.

"අපේ රටේ අමුද්‍රව්‍ය යොදාගෙන බලශක්තිය නිපදවන්න පුළුවන්. මුදල්, අඟුරුවලින් ගෑස් නිපදවන්න පුළුවන්. කොළඹ ආනන්ද විදුහලේ දරුවන් එම විද්‍යාලයට අවශ්‍ය බල ශක්තියේ කොටසක් උත්පාදනය කරගන්නවා.

ගල් අඟුරු, තෙල් අත්හැරලා සූර්ය බලශක්තියට මුල්තැන දෙමින් බලශක්ති විප්ලවයකට යා යුතු කාලය එළඹිලා කියලා මං යෝජනා කරනවා." යනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළහ.

 

තෙල් සංස්ථාවේ 1/3 ක් විකුණුවේ කවුද?

සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ උදය ගම්මන්පිල අමාත්‍යවරයා අතර ද යම්කිසි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

"ඔබතුමා දැන් ඉන්නේ නිරුවතින්. මොකද ඔබතුමා අභියෝග කරමින් මට කිව්වා, නිරුවතින් කෑගල්ලට දුවන්න කියලා. නමුත් ඔබතුමාට තමයි දැන් නිරුවතින් ඉන්න වෙලා තියෙන්නේ.

"බදු ගිවිසුමක් ගහලා නැහැ. අත්සන් කරලා තියෙන්නේ අවබෝධතා ගිවිසුමක් පමණයි. ඒක නිසා කොත්මලේ තියෙන තෙල් ටැංකි රජයට පවරා ගත්තේ නැත්තේ ඇයි කියලා මං අහන්නේ" යනුවෙන් කබීර් හෂීම් පැවසූවේය.

ඒ අවස්ථාවේදී නැඟී සිටි විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විමසා සිටියේ ඉන්දියාවෙන් තෙල් ලබාගැනීමට කටයුතු කරනවාද කියාය.

"අපේ තෙල් ටැංකි ඉන්දියාවට දීලා, තෙල් අවශ්‍ය වුණොත් ඉන්දියාව මඟින් ලබාගන්න කටයුතු කරන්නේ." යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල විමසා සිටියේය.

ඊට වහාම පිළිතුරු ලබාදීමට නැඟී සිටියේ බලශක්ති අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිලය.

උදය ගම්මන්පිල ඊට පිළිතුරු ලබාදෙනවිට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලක්ෂ්මන් කිරිඇල්ලට කෑගසමින් ප්‍රකාශ කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය පැවැති කාලයේදී තෙල් සංස්ථාවෙන් 1/3 ක කොටසක් විකිණීමට කටයුතු කළ බවයි.

එදා යුද්ධය තියෙන කාලේදී සැමියා රැකියාවට යන විට බෝම්බවලට හසුවේ කියා බියක් තිබුණු බවත් අද නිවසේ තිබෙන ගෑස් සිලින්ඩර පිපිරේවි ද කියා බියෙන් සැමියා රැකියාව සඳහා යන බව විවාදයට එක්වෙමින් පැවසුවේ සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරයි.

විවාදයට එක් වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාතික එකඟතාවක් අවශ්‍ය වන බවයි. එය පාර්ලිමේන්තුව තුළදී ඇතිකරගත යුතු බවට ද ඔහු යෝජනා කළේය.

සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ එම යෝජනාව තමා අගය කරන බවයි. ඒ අනුව කටයුතු කිරීම වඩාත් යහපත් බවද හර්ෂ ද සිල්වා පැවසීය.

නමුත් එය ප්‍රායෝගිකව සිදු නොවන බව සමගි ජනබලවේගයේ නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විවාදයට එක්වෙමින් කියා සිටියේය.

බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඊට අදාළ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුවකට පැවරිය යුතු බවට අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

 

එදා නොරොච්චෝලේ හැදුවේ නැත්නම් අද බඩුම තමයි

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විවාදයට එක් වූයේ ඔහු හිටපු බලශක්ති අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කළ නිසා එම අත්දැකීම් ගැන ද සඳහන් කිරීමටය.

තම කතාවේ දී එදා සිට තිබුණු බලශක්ති මාෆියාව ගැන කතා කිරීමට ද අමතක නොකළේය.

"එදා බලශක්ති මාෆියාවට අපි මුහුණ දුන්නා. 2006 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොරොච්චෝලේ තාප විදුලිබලාගාරය හදන්න යනකොට ඔය දැන් කෑගහන සමහරුන් එදත් කෑගැහුවා.

එදත් පල්ලිවල කළු කොඩි දාලා තිබුණා. හැමතැනම කළු කොඩි දාලා විරෝධය පළකරපු නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට මුල්ගල තැබීම සඳහා ගෙන්වූයේ චොපර් එකේ."

නොරොච්චෝලේ අපට කළු කොඩි දාලා තිබුණු නිසා මායි අපේ හිටපු ද.මු. දසනායකයි කට්ටිය එකතුවෙලා මහ රෑ කළු කොඩි කැපුවා. කළු කොඩි කපලා ඉවර වෙනකොට පාන්දර 2.30 ට විතර ඇති.

ඔය කෑගහන සමහර මහත්තුරුන්ට මං කියන්න කැමතියි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොරොච්චෝලේ තාප බලාගාරය හැදුවේ නැත්නම් ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව අද රුපියල් බිලියන 137 නෙමේ, එහෙනම් රුපියල් බිලියන 500 කටත් වැඩියි.

ඒ එහෙම එදා ඉහළ කොත්මලේ ජල විදුලිබලාගාරය හදන්න සමහරුන් අදිමදි කරපු වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැඩි වුවමනාවට අනුවයි ඉහළ කොත්මලේ ජල විදුලිබලාගාරය හදන්න කටයුතු කළේ.

LGN සැපයුම සම්බන්ධයෙනුත් කතිකාවකුත් දැනට සිදුවෙනවා. ඩීසල්වලින් විදුලි ඒකකයක් නිෂ්පාදනය වන්නේ රුපියල් 25.60 ටයි.

නමුත් වසර 2 කට ආසන්න කාලයක් තිස්සේ මේක කරන්න දෙන්නේ නැත්තේ විදුලි මාෆියාව ද?

තෙල් කැණීම් පටන් අරගෙන තව වසර 2, 3 කින් තෙල් එන්න පටන්ගන්නකොට මේ රටේ වීරයා වෙන්නේ උදය ගම්මන්පිල අමාත්‍යවරයායි" යනුවෙන් ප්‍රකාශ කරමින් මහින්දානන්ද අලුත්ගමගේ උදය ගම්මන්පිල අමාත්‍යවරයා දෙස බලන විට ඊට සිනහමුසු මුහුණින් උදය ගම්මන්පිල ප්‍රතිචාර දැක්වීය.

"එදා සෝලා ටෙන්ඩර් රූෆ් ටොප් එකට දෙන්නයි, රුපියල් 22 ක් අරන් තියෙන්නේ." යනුවෙන් නලින් බණ්ඩාර පැවසුවේය.

"ඔව්. ඔව්. රූෆ් ටොප් එකට තමයි අරගෙන තියෙන්නේ. යහපාලන කාලේදී රුපියල් 12 යි. කොහොමද වෙනස. අන්න ඒ වෙනස තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතිකළේ.

රවී කරුණානායක, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක අමාත්‍යවරුන් තමයි එක එක ගණන්වලට මේ ප්‍රොජෙක්ට් එක කරල තියෙන්නේ.

දැන් කැලිකසලවලට පාඨලී ඇමතිතුමා ප්‍රොජෙක්ට් එකක් කළා. රුපියල් 37 ට. ඒක සාධාරණයි ද?" යනුවෙන් මහින්දානන්දඅලුත්ගමගේ විමසීය.

"ඒ වෙලාවේ ලොකු කැළි කසළ ප්‍රශ්නයක් තිබුණා. කුණු කන්ද කඩාගෙන වැටුණා. එතකොට වෙස්ට් එකක් දාන්න වුණාම අර වගේ කොස්ට් එකක් යනවා." නලින් බණ්ඩාර විසින් පෙන්වා දෙන ලදී.

රුපියල් 37 ක් වියදම් කරලා එහෙම කරන එක හරිද? ඒකකයක් රුපියල් 37 ක් තියාගන්නේ විශාල මුදලක් බවට එය පත්වෙනවා. කුණු අස්සේ බිස්නස් කරපු එක වැරදියි." යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

මාධ්‍යවේදීන්ට නොතේරෙන විදියට මේ රට හසුරුවන්නේ කවුද?

මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන "ඇසිදිසි රක්ෂණාවරණය" ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් පසුගිය (02) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මේ බව ප්‍රකාශ කළේය.

අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න උත්සාහ කරනවා යැයි ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී පෙන්වා දුන්නේය.

"මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි" යැයි කී අග්‍රාමාත්‍යතුමා, "ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා" යැයි ද පැවසීය.

රක්ෂණලාභී මාධ්‍යවේදීන් පස් දෙනකු සඳහා අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණු අතර ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ඇමතිවරු ද රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානයට එක්වූහ.

 

ඩලස් ගැන අගමැති කීව්වේ මොනවාද?

"ඇසිදිසි රක්ෂණාවරණය" ඔස්සේ ජනමාධ්‍යවේදීන් 3000 කට ආසන්න සංඛ්‍යාවකට රක්ෂණාවරණය ලබාදීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇති අතර රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය ඒ සඳහා ඉදිරිපත්ව සිටියි.

අද මේ රටේ මාධ්‍යවේදීන්ට ඇසිදිසි රක්ෂණ ආවරණය ලබා දෙන දවස. ඇසිදිසි රක්ෂණ ආවරණය වාගේ දෙයක් දෙන්න මේ තරම් ප්‍රමාද වුණේ ඇයි කියන්න මම දන්නේ නෑ. මම හිතනවා අපි සුදුස්සාට සුදුසු දේ දීලා තියෙන නිසයි අද මාධ්‍ය ඇසිදිසි රක්ෂණය ඔබට ලැබුණේ කියලා. ඩලස්ට මාධ්‍ය බාර ගන්න කියලා මීට කාලෙකට කලින් අපි ඉල්ලා සිටියා. මාධ්‍යවේදිනුත්, රටත් ඉල්ලා සිටියා. අපි දෙන්න හදපු කාලේ භාර ගත්තා නම් මේ රක්ෂණය මීට කලින් ලැබෙන්න තිබුණා කියලා මම කියන්න ඕනෑ. මේ අපි සුදුස්සාට සුදුසු දේ දීලා තියෙන බව දැන් ඔබට තේරෙනවා ඇති.

වෘත්තීය වශයෙන් නීතිඥවරු ඇරුණාම මම වැඩිපුරම සමීප වුණේ මාධ්‍යවේදීන්ට.

මට මතකයි එදා, මම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට එනකොට එදා ජනාධිපතිතුමිය කිව්වා ඔන්න රිපෝටර් එනවා කියලා. මම කිව්වා මම රිපෝටර් නෙවෙයි, එඩිටර් කියලා. මම පත්තරවලට තොරතුරු දුන්නේ සංස්කරණය කරලා. පක්ෂයටවත්, මටවත් හානි නොවන විදියට. ඒ නිසායි මම කිව්වේ මම එඩිටර් කියලා.

 

රිචඩ් ද සොයිසාගේ මතකය

මාධ්‍යයට භීෂණය එල්ල වුණ හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා. සමහර කාලවල මාධ්‍යවේදීන්ගෙ අතේ කහ නූල් බැඳලා අපි ඔවුන් එක්ක ඉන්න බව කිව්වා. දේශපාලන මැරයෝ ගහලා, මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ කඩා දැම්මාම, අපි මාධ්‍යවේදීන්ට ඒවා අරන් දුන්නා. 88/89 භීෂණ යුගයේ රිචඩ් ද සොයිසා දකුණට ඇවිත් දකුණේ අපිත් එක්ක වැඩ කළා.

මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්. අපි මාධ්‍යයට ශක්තියක් වුණොත් මාධ්‍යය අපිව ශක්තිමත් කරනවා. අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ.

හැමදාම ආණ්ඩු මාධ්‍යයට කළ චෝදනාවක් තමයි ආණ්ඩුවේ සංවර්ධන කටයුතු මාධ්‍යයේ දාන්නේ නෑ කියලා. රටේ වෙන හොඳ දේවල් පත්තරවල දාන්නේ නෑ කියන චෝදනාව හැමදාම තිබුණා. අපිට නෙවෙයි අනගාරික ධර්මපාලතුමාටත් ඒ ප්‍රශ්නෙ තිබුණා. එතුමා වතාවක් කිව්වා "රටේ කොපමණ හොඳ දේ වුණත් ඒවා පත්තරවල පළ වෙන්නේ නෑ. කරොංචි හාමි නෝනා හාමිට පිහියෙන් ඇන්නොත් මේකා ඒක පත්තරේ මුල් පිටුවේම දමාපි" කියලා. ධර්මපාලතුමා එහෙම චෝදනා කළා. ඒ නිසා මාධ්‍යවේදීන්ට දොස් කියලා වැඩක් නෑ. ඒ කාලෙ ඉඳලාම මාධ්‍යවල හැටි තමයි ඒ.

ජනතාවත් එහෙමයි. රූපවාහිනි ප්‍රවෘත්තිවල සංවර්ධන පුවත් කියලා හෙඩිම කියපු ගමන් ප්‍රේක්ෂකයො නාට්‍යයක් බලන්න වෙන චැනල් එකකට මාරු වෙනවා. මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට, මේක තේරෙනවා. අපිට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.

මේවා ඉතාම සාමාන්‍ය දේවල් හැටියට අපි බාර ගන්න ඕනෑ. අපිට විතරක් නොවෙයි, ලෝකයත් අද මාධ්‍ය නිසා කැලඹිලා.

මට මතකයි කොරෝනා වසංගතය ආව දවස්වල සමාජ මාධ්‍යවල ගිය දේවල්. මේක රටක ලැබ් එකක හදාපු වයිරසයක් කිව්වා. බලවත්ම රටවල් ඒ ඒ රටවලට චෝදනා කර ගන්න තරමට සමාජ මාධ්‍යවල මේ ප්‍රචාර බලවත් වුණා. ඊට පස්සේ කොරෝනාවලට අලුතින් සොයා ගත්ත එන්නත ගැන නොයෙක් ප්‍රචාර ගෙනිච්චා.

අපේ රටේ විතරක් නෙවෙයි දියුණු රටවලත් තරුණයෝ ඉන්ජෙක්ෂන් ගහගන්න ආවේ නෑ. ඒවා සමාජ මාධ්‍යවලින් යවාපු ප්‍රචාර නිසා ලෝකෙ මුහුණ දීපු දේවල්. අන්තිමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විශේෂඥයෝ කිව්වා වසංගතයට වඩා දරුණුයි කියලා තොරතුරු වසංගතය.

ඒගොල්ලො මේකට කිව්වා Intro Dermic (ඉන්ට්‍රො ඩෙමික්) කියලා. මේ තොරතුරු වසංගතේ ලෝකෙ යටවෙලා කියලා ඒගොල්ලන්ටත් පිළිගන්න වුණා.

යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 

ගමින් ගම දොරෙන් දොර සමඟ සජිත්

ලැබෙන සුළු ඉඩකඩ තුළ විපක්ෂ නායක සජිත් "ගමින් ගම දොරින් දොර" සංකල්පය හරහා ජනතාව අතරට යාම ද සිදු කළේය. ඔහු පිළියන්දල ගියේ ඒ අනුවය.

"අද කාන්තාව හිංසනයට ලක්වීම බැරෑරුම් ජාතික ගැටලුවක්. පාර්ලිමේන්තුවේ දී ද එය සිදුවීමෙන් ම බැරෑරුම්කම පේනවා. 52% ක් වන කාන්තාවන් ඒ ගැන දැඩි අවධානයෙන් ක්‍රියා කළ යුතුයි" සජිත් කීය.

"ක්ෂුද්‍ර මූල ණය කපලා කාන්තාව බේරගන්නා බව සෞභාග්‍යයේ දැක්මේ ලියලා තිබුණත් පාලකයන්ට දැන් ඒවා මතක නෑ. අපේ පාලනයක් තුළ කාන්තාව හිංසනයෙන් හා ක්ෂුද්‍ර මූල ණය පීඩනයෙන් ගලවා ගන්නවා" සජිත් වැඩිදුරටත් කීවේය.

"ගෑස්වල සංයුතිය වෙනස් කළ බව ගෑස් එකේ හිටපු සභාපති ලිඛිතව ලියපු වාර්තා තියෙනවා. විවිධ උෂ්ණත්ව යටතේ ගෑස් සමාගමට ඕන විදියට ඒවා වෙනස් කරලා අධික ලාබ ලබන්න ගිහිනුයි මේ විනාශය කළේ. ඉවත් කරල තිබුණු ටැංකි ලක්ෂ 03 ක යළි ගෑස් පුරවල ජනතාවට දීපු නිසා ඒ ගැනත් දැඩි අවධානය දක්වන්න ඕනෑ" අජිත් පී. කීවේ එවැන්නකි.

"රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආපු අයට කුස්සියේ ආරක්ෂාවවත් තහවුරු කරන්න බැරිවීම පුදුමයි" සජබ මහලේකම් රංජිත් කීවේ විපක්ෂ නායකයාටය.

"සති කීපයක් ජීවත් වෙන්නයි රටේ සංචිත තියෙන්නේ. ඩොලර් බිලියන 07 කට වඩා ලබන වසරේ ණය ගෙවන්නත් තියෙනවා. ආණ්ඩුව මොනව කරන්න ඉන්නවද කියල දෙයියො දන්නෙ නෑ" ආචාර්ය හර්ෂ කීවේ සිනා මැදය.

"ආණ්ඩුව වැඩේ අතහැරල වගෙයි පේන්නේ. රට ගොඩ ගන්න වුවමනාව තියෙනව නම් IMF යන්නවත් තීන්දු කරල තියෙන්න ඕනනේ. ආණ්ඩුව ඔහේ ඉන්නවා" ඉරාන් කීය.

"වතු කම්කරු ජනතාව කන්නේ පාන්පිටි ආහාරයි. ඉතිහාසයේ වැඩිම මිලක් රු 18 කින් පිටි වැඩි කරලා ඒ මිනිස්සු මරන්න ආණ්ඩුව හදන්නේ" හරීන් සජිත්ට කීවේ ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙස ද ඉල්ලමිනි.

පසුගියදා කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී කළ කතා කිහිපයක් ගැන සජිත් ඇතුළු සජබ සියලු දෙනා ඔහුට සුබ පැතුවේය.

 

රනිල් පක්ෂ යාන්ත්‍රණය අලුත් කරයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ගත කරමින් 2021 වසරේ පක්ෂ යාන්ත්‍රණය අලුත් කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා රැසකට එක්විය. තරුණ පරපුරට පක්ෂයේ ඉදිරි වැඩකටයුතු භාරදීම මෙම සාකච්ඡාවල අරමුණ විය. ඒ අනුව පක්ෂයට එක්වූ අලුත් තරුණ මුහුණු රටට හඳුන්වා දෙමින්, අලුත් වැඩපිළිවෙළ සමාජගත කිරීම ජනවාරියේදී ආරම්භ කෙරෙනු ඇත.

"අලුත් තරුණ මුහුණු එක්ක පක්ෂය ඉදිරියට ගෙනයාමේ වගකීම නියෝජ්‍ය නායකතුමා බාර ගන්න ඕනේ." නායකයා කීවේ රුවන් දෙස බලමිනි.

"මොනරාගල, අම්පාර ගමනත් ඉතාම සාර්ථකයි. තරුණයෝ තමයි ගොඩක් අපිත් එක්ක එකතු වෙන්නේ." නියෝජ්‍ය නායකයාද ඇසිල්ලෙන් සිය ගමනේ විස්තරය හෙළි කළේය.

සභාපති වජිර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු හෙළි කළ අතර උප සභාපති සාගල රත්නායක නුවර හා මාතලේ ප්‍රතිසංවිධාන කටයුතු ගැන තොරතුරු හෙළිදරව් කළේය.

"පක්ෂයක් හැටියට අපි රට පුරා කරපු උද්ඝෝෂණවලට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. තව තව උද්ඝෝෂණ කරන්න කියලා ආරාධනා ලැබෙනවා." මහලේකම් රංගේ කතා කළේය.

"කොවිඩ් තවම අවසන් නෑ. දැන් ඔමික්‍රෝන් කියන අලුත් ප්‍රභේදය පැතිර යනවා. ඒ නිසා මේවා කරද්දී අපි පරිස්සම් වෙන්න ඕනේ. ජනතා ඒකරාශී කිරීම් අවම වෙන විදියට වැඩ කරන්න." නායකයා පිරිසට උපදෙස් දුන්නේය.

 

හිනිදුම දී වජිර ගොවි මහතුන් පිරිසක් හමුවෙයි

එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සහ කෘෂි හා වැවිලි ක්ෂේත්‍රය නියෝජනය කරන පිරිසක් අතර විශේෂ හමුවක් පසුගිය සඳුදා ගාල්ල, හිනිදුම දී පැවැත්විණි.

"ඇමතිතුමනි, රසායනික පොහොර නතර කළ ආණ්ඩුව දැන් යළිත් ගෙන්වන්න අවසර දී තිබෙනවා. නමුත් පොහොර නැති නිසා අපේ වගාවන්ට සිදු වූ හානියට වන්දි ගෙවන බවට පොරොන්දු වුණත් ඒ ගැන දැන් කතාවක් නැහැ. මේ ආණ්ඩුව බලයට ගේන්න අපි කැප වී වැඩ කළා. නමුත් අද අපි මුහුණ පා සිටින මේ දුක කියන්න කවුරුවත් නැහැ. මේ සම්බන්ධව මැදිහත් වී අපට වන්දියක් ලබාගන්න උදව් කරන්න." යැයි ගොවීන් කිහිපදෙනෙක් වජිරගෙන් ඉල්ලා සිටියේ ඉතා බැගැපත්වය.

ගොවි ජනතාව සමඟ දිගු වේලාවක් කතාබහ කරමින් සිටි වජිර ඔවුන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිරතුරුවම මැදිහත් වෙන බව ප්‍රකාශ කරමින් එම ස්ථානයෙන් පිටව ගියේය.

Comments