පුවත්පතේ වසරක වගකීම් භාරය හා අනාගතය | සිළුමිණ

පුවත්පතේ වසරක වගකීම් භාරය හා අනාගතය

 

ක්‍රීඩා පුවත්පත දෙවැනි වතාවටත් ආරම්භ කර වසරක් සම්පූර්ණ වන්නේ ය. පසුගිය වසර පුරා මෙරට ක්‍රීඩාව සම්බන්ධයෙන් වඩාත් සංවේදීව සිටීමට අපට හැකියාව උදාවීම සම්බන්ධයෙන් ඇත්තේ නිහතමානී සතුටකි.

විශේෂයෙන්ම ගෙවුණු වසර තුළ ක්‍රීඩාව අරභයාම පුවත්පතක් පවත්වාගෙන යාම වූ කලි අතිශය අභියෝගාත්මක කර්තව්‍යයක් වූ බව නොරහසකි. ඒ සමස්ත ලෝකයම වසංගත තත්ත්වයක් හේතුවෙන් භීතව හා දැඩි මානසික සංකූලතාවක ගැලී සිටි වකවානුවක් පසුකළ හෙයිනි. එය එසේ යැයි කීවාට වර්තමානයේ ද කිසිදු වෙනසක් සිදුවී නැත. එය අද වනවිට ද ලෝකය හමුවේ ඇති උග්‍ර අභියෝගයක් බවට පත්වෙමින් තවත් ඉදිරියට ගමන් ගනිමින් තිබේ.

කෙසේ නමුත් පසුගිය වසර පුරා යම් යම් සංචරණ සීමාවන් හා තරගාවලි සංවිධානය කිරීම හැකිතාක් දුරට අඩුකර තිබුණේ ය. එවැනි පසුබිමක ක්‍රීඩා පුවත්පතක් පවත්වාගෙන යාම වූ කලි අතිශය දුෂ්කර ව්‍යායාමයක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

එහෙත් විවිධ මාතෘකාවන් සම්බන්ධයෙන් අප පුරා වසරක කාලයක් ඔබ හා උණුසුම් සම්බන්ධතාවයක් ගොඩනගාගැනීමට සමත් වූ බව සිහිපත් කරන්නට කැමතිය. දෙස් හා විදෙස් ක්‍රීඩා ලෝකය තුළ රසබර තොරතුරු, කාලීන ප්‍රවෘත්ති, විවිධ අනාවරණයන්, නව ප්‍රවණතා, ක්‍රීඩා ආර්ථිකයක වර්ධනය, නව ව්‍යවසායකයන් නිර්මාණය කරලීමේ හැකියාව, ක්‍රීඩාවේ තාක්ෂණය, ක්‍රීඩාව ආශ්‍රිතව නිර්මාණය වූ සිනමා කෘති රසවින්දනය, කලාකරුවන්ගේ ක්‍රීඩා සංවේදීත්වය ආදී විවිධ පැතිකඩයන් සම්බන්ධයෙන් අපි අඛණ්ඩ සංකථනයක නිරතවීමු. එකී සංකථනයන් හා සබැඳි ක්‍රීඩා ප්‍රේමීන් රාශියක් අප හා සම්බන්ධ කරගන්නට ද පසුගිය කාලවකවානුව පුරා අපට හැකි වූයේ ය.

මෙම සංවාදය ක්‍රීඩා ප්‍රේමී ජන සමාජය සමඟ සිදුකිරීමට මූලිකවම හැකියාව උදාවුණේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රධාන ඉහළ කළමනාකාරිත්වය හේතුවෙන් බව ද මෙහිදී සිහිපත් කළ යුතුව තිබේ. ඔවුන් ක්‍රීඩාවේ වැදගත්කම සම්බන්ධයෙන් දරන්නාවූ පෘථුල හා වඩාත් ශක්තිමත් අපේක්ෂාවන් නොවන්නට කලකට පෙර නවතා දමා තිබූ ක්‍රීඩා පුවත්පත යළි පාඨක ඔබ අතට රැගෙන ඒමට අපට අවස්ථාව හිමිවන්නේ නැත. එහෙයින් අප සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමුඛ ඉහළ කළමනාකාරිත්වයට ස්තුති කිරීමට මෙය විශේෂ අවස්ථාවක් කරගන්නා බවද පැවසිය යුතු ය.

එකී සහයෝගය නොලැබෙන්නට අපට මෙලෙස ක්‍රීඩා පුවත්පත පුරා වසරක් ඔබ දෝතට රැගෙන ඒමට කිසිසේත්ම හැකියාවක් උදා වන්නේ නැත. කොවිඩ් වසංගත සමයේ මාර්ග ගත ක්‍රමය යටතේ පුවත්පත සංස්කරණය කිරීමේ දී ද අපට ආයතනික වශයෙන් ලැබුණු සහයෝගය ද මෙහි දී අමතක කළ නොහේ.

මේ අතර තවත් එක් දෙයක් සිහිපත් කළ යුතුව ඇත. ඒ මෙරට ක්‍රීඩාව සම්බන්ධයෙන් සන්නිවේදන විප්ලවයක නියැලීමට අවශ්‍ය දැක්මක් 'ක්‍රීඩා' කර්තෘ මණ්ඩලය සතු බව ය. ඒ සඳහා අප සමඟ වඩාත් ශක්තිමත්ව අත්වැල් බැඳගත යුත්තේ පාඨක ඔබය. පුරා වසරක් 'ක්‍රීඩා' හා බැඳී සිටි ඔබ ඉදිරි කාලයේදීත් පෙරටත් වඩා සවිමත්ව හා ළබැඳිව ක්‍රීඩා සමඟ එක්වනු ඇතැයි අපි විශ්වාස කරමු.

එලෙසින්ම අප කිවයුත්තේ 'ක්‍රීඩා' යනු හුදෙක් තවත් එක් පුවත්පතක් පමණක් නොවන බවය. එය මෙරට ළමා, තරුණ පරපුරට යහපත් සමාජයක් ගොඩනැගීමට මඟ කියන නිර්දේශපාලනික මං පෙතකි. මෙම ප්‍රකාශන තුළ ඇත්තේ ජවය, ජීවය, අධිෂ්ඨානය, නොපසුබට වීර්යය පමණක් නොව ආදරය හා සුහදත්වය ද වේ. එහෙයින් එකී මඟ යන්නට එහි වරුණ අත්දකින්නට ඉදිරි කාලයේදීත් අප හා අත්වැල් බැඳගන්නා ලෙස 'ක්‍රීඩා' පුවත්පත වෙනුවෙන් පාඨක ඔබට සුහද ආරාධනා එක්කරන්නෙමු.

Comments