සෙව­ණ­ගල වර්ජ­නය තාව­කා­ලි­කව නතර වේ | සිළුමිණ

සෙව­ණ­ගල වර්ජ­නය තාව­කා­ලි­කව නතර වේ

සෙව­ණ­ගල සීනි ආය­ත­නයේ වත්මන් සභා­ප­ති­ව­රයා ඇතුළු ඉහළ නිල­ධා­රීන් සිවු දෙනෙකු විසින් මහා පරි­මා­ණයේ වංචා දූෂණ රැසක් සිදු කර­මින් සිටින බව චෝදනා කර­මින් සෙව­ණ­ගල සීනි ආය­ත­නයේ සේව­ක­යන් පිරි­සක් ඉකුත් 25 වැනි දින වැඩ වර්ජ­න­යක යෙදී සිටින අයුරු.
සෙව­ණ­ගල සීනි ආය­ත­නයේ වත්මන් සභා­ප­ති­ව­රයා ඇතුළු ඉහළ නිල­ධා­රීන් සිවු දෙනෙකු විසින් මහා පරි­මා­ණයේ වංචා දූෂණ රැසක් සිදු කර­මින් සිටින බව චෝදනා කර­මින් සෙව­ණ­ගල සීනි ආය­ත­නයේ සේව­ක­යන් පිරි­සක් ඉකුත් 25 වැනි දින වැඩ වර්ජ­න­යක යෙදී සිටින අයුරු.

සෙවණගල සීනි සමාගමේ සභාපතිතුමා ඇතුළු පිරිසක් දූෂණ වංචා රැසක් සිදු කරමින් සිටින බව නිදහස් සේවක සංගමය කියයි

හොරු අල්ලන්න හැදුවම  අපිට හොරු කියන බව සභාපති කියයි

 

 

සෙවණගල සීනි කර්මාන්තායතනය ද කලින් කලට මෙරට පුවත් මැවූ විශේෂ ස්ථානයකි. ඇතැම් රජයන් යටතේ මෙය රජයේ ආයතනයක් බවට පත් වෙන විට ඇතැම් රජයන් යටතේ එය පුද්ගලික අංශයට විකුණා දැමූ ආයතනයක් බවට පත් වීය. මෙලෙස හුස්ම අදිමින් යන සෙවණගල සීනි ආයතනයේ සේවකයන් පිරිසක් ඉකුත් 25 වැනි දිනද යළි වැඩ වර්ජනයක් ආරම්භ කළේය. ඒ එහි වත්මන් සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් සිවු දෙනෙකු විසින් මහා පරිමාණයේ වංචා දූෂණ රැසක් සිදු කරමින් සිටින බවට චෝදනා කරමිනි.

 

සෙවණගල සීනි සමාගමේ පවතින ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය ජානක වක්කුඹුර සමඟ පැවැති සාකච්ඡාවකට අනුව පසුගිය සිකුරාදා 29 සිට වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව නිදහස් සේවක සංගමයේ සභාපති වික්ටර් සිළුමිණට පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර දින දා හතරක් තුළ වාර්තාවක් ලබා දීමට කටයුතු කරන බවයි. අමාත්‍යවරයා දුන් පොරොන්දුව අනුව තාවකාලිකව වැඩ වර්ජනය වැඩවර්ජනය නවතා දැමීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය. කෙසේ වෙතත් අමාත්‍යවරයා දුන් පොරොන්දුව දින දාහතරක් තුළ ඉටු නොවුණහොත් නැවතත් සිය සමාගමේ සේවකයන් පිරිස එක්ව වැඩ වර්ජනයක් දියත් කරන බව වැඩිදුරටත් ඔහු පැවසීය. මෙරට සිටි සමාගමේ එක් 1200 ක පමණ සේවකයන් පිරිසක් සිටී.

සෙවණගල සිනි ආයතනයට සම්බන්ධ වෘත්තීය සමිති දෙකක සේවකයන් පිරිසක් ඉකුත් දා ඇරඹි වැඩ වර්ජනය සඳහා එක්ව සිටි අතර මේ හේතුවෙන් සීනි සමාගමේ උක් ඇඹරීමේ කටයුතුද සම්පූර්ණයෙන්ම නතර වී තිබිණි. වැඩ වර්ජනයට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ඩී.එල්.වික්ටර් මෙලෙස පැවසීය.

‘සෙවණගල සිනි ආයතනය කියන්නේ මේකට පත් වෙලා එන ලොක්කන්ගේ බූදලයක් නෙමෙයි. මේක ජනතාවගේ ආයතනයක්. මේ ආයතනයේ දියුණුව නිසා යම් සහනයක් ලැබෙනවා නම් ලැබිය යුත්තේ මේ ඉන්න ලොක්කන්ගේ සාක්කුවලට නෙමේ. මේ වැඩකරන සේවකයන්ටයි එහි ලාභය යා යුත්තේ. නමුත් එය එසේ වෙන්නේ නෑ. එහෙම තත්ත්වයක් තමයි සෙවණගල සීනි ආයතනයේ අද තියෙන්නේ.අද වන විට සෙවණගල සීනි ආයතනයේ සභාපතිතුමා ඇතුළු ඉහළ නිලධාරීන් සිවු දෙනෙකු විසින් කෝටි හතරකට ආසන්න මුදල් වංචාවක් මේ වන විට සිදු කර තිබෙනවා. සීනි සමාගමට නොයෙකුත් විවිධ භාණ්ඩ මිලදී ගැනීමේදී ක්‍රියාත්මක විය යුතු ටෙන්ඩර් පටිපාටියක් තිබුණත් වත්මන් සභාපතිවරයා හා එහි ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු එකතු වෙලා එවැනි කිසිදු ටෙන්ඩර් පටි පාටියක් අනුගමනය නොකරමින් විවිධ භාණ්ඩ මිලදී ගෙන මෙම වංචා සිදු කර තිබෙනවා.

මෙම සමාගමට මිලදි ගත යුතු සියලු භාණ්ඩ මිලදී ගෙන තියෙන්නේ කොළඹ 14 ප්‍රදේශයේ පවත්වාගෙන යන ආයතනයක ලිපිනයකට. අපි එම ලිපිනයට අදාළව ඒ ගැන සොයා බැලුවා. නමුත් එහෙම ආයතනයක් එම ස්ථානයේ නැහැ. එහි සඳහන් දුරකථන අංක වැඩ කරන්නේ නැහැ. අප කළ සොයා බැලීමකදී අපට දැනැගන්න ලැබුණේ ව්‍යාජ ලිපින හා දුරකතන අංක යොදා ගනිමින් සභාපතිවරයා ඇතුළු ලොක්කන් සිවුදෙනෙකු එකතු වී මෙම වංචාව සිදුකර ඇති බවයි. හරියට නමක් ගමක් නැති මේ කොළඹ 14 පවතින් බව කියන මෙම ආයතනය සභාපතිතුමාගේ වෙන්න ඕනි. සීනි සමාගමට අවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමේදී වගේම දැවි තෙල් මිලදී ගැනීමේදීත් හා රීප්ප මිලදී ගැනීමේදීත් මහා පරිමාණ වංචා රැසක් සිදුවෙලා තියෙනවා. සිනි සමාගමේ සිදුවෙන මෙම වංචා සම්බන්ධයෙන් අප හෙළිදරව් කරනකොට ආයතනයේ ලොක්කන් අපිට විවිධ බොරු චෝදනා නඟමින් සිටිනවා. මම වංචාවක් කළා කියලා සභාපතිතුමා මටත් බොරු චෝදනාවක් කරනවා. මම එහෙම කිසිදු වංචාවක් සිදු කරලා නැහැ. ඒ පිළිබඳව පරීක්ෂණයකුත් කරලා තියෙනවා. මේ ආයතනය ගොඩනඟන්න කැපවුණු සේවකයන් විදියට අපි රජයේ වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ මෙම වංචා දූෂණ සිදු කරන හොරු ටික ඉවත් කරන්න කියලා යැයි ඔහු පැවසීය.

වෘත්තීය සමිති මගින් දිගින් දිගටම එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් අප සෙවණගල සීනි සමාගමේ සභාපති ජානක විමලචන්ද්‍රගෙන්ද විමසීමක් කළ අතර එහිදි ඔහු මෙලෙස පැවසීය.

පසු ගිය යහපාලන කාලය තුළදී මෙම සෙවණගල සීනි සමාගම පාඩු ලබමින් තිබුණේ. වත්මන් රජය යටතේ අපි තමයි යළි මෙය ලාභ ලබන ආයතනයක් බවට පත්කළේ. හැමදාම පාඩු ලබනවා පාඩු ලබනවා කියා කෑ ගහපු ආයතනය අපි ලාභ ලබන තැනක් බවට පත් කරලා පෙන්නුවාම මේක බලාගෙන ඉන්න බැරි පිරිසක් අපිට බොරුවට චෝදනා කරනවා මේකේ වංචා දූෂණ සිදුවෙනවා කියලා. වත්මන් රජය යටතේ මෙහි කිසිදු වංචා දුෂණයක් සිදුවි නැහැ. දැවිතෙල් සම්බන්ධයෙන් වංචාවක් පසුගිය කාලයේ සිදුවෙලා තියෙනවා.

දිගින් දිගටම සිදුවෙලා තිබුණු එම දැවි තෙල් වංචාව නවත්වන්න වැඩ කළේ මමයි. මේ අය මට චෝදනා කරනවා මට වෙනත් ආයතනයක් කොළඹ තියෙනවා කියලා. මා සතුව එවැනි කිසිදු ආයතනයක් නැහැ. ඔය මට බොරු චෝදනා කරන නිදහස් සේවක සංගමය හා ජාතික සේවක සංගමය පසුගිය යහපාලන කාලේ එකට වැඩ කළේ.

ඒ කාලේ නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා සිදු කරන ලද වංචාවක් පිළිබඳව පරීක්ෂණයක් සිදු වෙනවා.

එහි වාර්තාව එන සතියේ ලැබෙනවා. එම පරීක්ෂණ වාර්තාවට බයේ එය යට ගැසීමේ අරමුණ ඇතිව තමා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා අනෙකුත් සේවකයන් එකතු කරගෙන මේ විදියට කටයුතු කරමින් සිටින්නේ. නිදහස් සේවක සංගමයේ සභාපතිවරයාගේ මෙම වංචාව හෙළි වෙන්න කලින් තමයි මේ සියලු චෝදනා අපිට කරමින් සිටින්නේ. මන් දැක්කා පසුගිය දවස්වල සමාජ මාධ්‍ය හරහා මා පිළිබඳව වැරදි මත පළ කරලා තිබුණා. මම ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා පොලීසියේ අදාළ අංශ වෙත පිටු 04කින් යුක්තව පැමිණිල්ලක් සිදු කරලා තිබෙනවා.

මට වෙලා තියෙන්නේ හොරු අල්ලන්න පරීක්ෂණ කළාම ඒ හොරු ටිකම එකතු වෙලා මට හොරා කියලා බොරු චෝදනාවකට ලක් වෙන්න වීමයි. අද මේ වෘත්තීය සමිති නායකයා සිය වැරදි වහගන්න ක්‍රමයක් නැති නිසා මෙහි සේවකයන් වැඩ වර්ජනයකට පොලඹවපු එකයි. දැන් බලාගෙන ගියාම හොරු ඇල්ලුවත් වැරදියි. නොඇල්ලුවත් වැරදියි.සෙවණගල සීනි ආයතනයේ සභාපතිවරයා විදියට මට කියන්න තියෙන්නේ කවුරුන් කුමන චෝදනා නැඟුවත් මම සභාපතිවරයා ලෙස මේ ආයතනයේ සිටිනතාක් කිසිදු වංචාවකට මන් ඉඩ තියන්නේ නෑ කියන එක යැයි පැවසීය.

මෙම වැඩ වර්ජනය සඳහා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ජාතික සේවක සංගමය එක්ව සිටීම හේතුවෙන් 25 වැනි දින උක් ඇඹරීමේ කටයුතු පමණක් සම්පූර්ණයෙන්ම නතර වී තිබිණි. එහෙත් සීනි ලබාදීම හා ගොවීන්ගෙන් උක් ලබා ගැනීම ආදිය සාමාන්‍ය පරිදි සිදුකිරීමට ද වැඩ වර්ජනයේ නිරත සේවක පිරිස කටයුතු කර තිබූණි.

අපි වැඩ වර්ජනයේ නිරත වුණත් අද දවසේදිත් අපි සීනි මිලදී ගැනීමට පැමිණි පිරිස හා උක් රැගෙන ආ ගොවීන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා ඒ කටයුතු සිදු කළ නමුත් මේ සඳහා වගකිවයුතු පාර්ශ්ව මේ සඳහා නිසි විසඳුමක් කඩිනමින් ලබා නොදුන්ණොත් එම කටයුතු ද නවතා වෘත්තීය ක්‍රියා මාර්ග දැඩි කරන බවත් වැඩවර්ජනයේ නිරත පිරිස් අවධාරණය කළේය.

සෙවණගල සීනි සමාගමේ පැවති මෙම වැඩවර්ජනය නවතා දමන ලෙස ඉල්ලීම සඳහා තණමල්විල ප්‍රාදේශීය සභාවේ සභාපති වසන්ත ලියනගමගේ උපසභාපති දිනුක ක්‍රිෂාන්ත හා මන්ත්‍රී ලලිත් රාජපක්ෂ ඇතුළු පිරිසක්ද එම ස්ථානයට ගිය අතර එහිදී වැඩවර්ජනයේ නිරත පිරිස හා මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය. වැඩවර්ජනයේ නිරත පිරිසගේ දැඩි හූ හඬ මධ්‍යයේ එම ස්ථානයෙන් පිටව යෑමට ද සිදු විය.

සෙවණගල සිනි ආයතනය සම්බන්ධයෙන් ගැටුම් පවතින්නේ දැන් බොහෝ කාලයක සිට බව නම් ඉතා පැහැදිලිය.

හොරා කන්නේ කවුරුන් දැන් හරියටම දන්නේ හොරුන්මය. කිනම් පාර්ශ්වයක් හෝ මුදලට ඇති ගිජුකම නිසා මෙම ආයතනය වළපල්ලට යෑමට ඉඩ හරින්නේ නම් එය මහා අපරාධයකි. මෙය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරිම ආයතනික බලධාරීන්ගේ මෙන්ම සේවකයන්ගේද දැඩි වගකීමක් බව ද සිහිපත් කළ යුතුය.

Comments