දියණියන් දෙදෙනා මරා ගඟට පැන දිවි තොර කරගත් සචිත්‍රා | සිළුමිණ

දියණියන් දෙදෙනා මරා ගඟට පැන දිවි තොර කරගත් සචිත්‍රා

සැකකාර මව සචිත්‍රා නිසංසලා
සැකකාර මව සචිත්‍රා නිසංසලා

 

තාලියේ වෙසෙන ශ්‍රී ලාංකික මවක් සිය දියණියන් දෙදෙනාව මරා දැමීමේ අනුවේදනීය පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කාගේත් හදවත් කම්පා කරමිනි. ඇය 33 හැවිරිදි සචිත්‍රා නිසංසලා ප්‍රනාන්දු දේවේන්ද්‍ර මහවඩුගේ ය. ඝාතනයට ලක්වූයේ තුන් හැවිරිදි වියේ සහ එකොළොස් හැවිරිදි වියේ පසුවූ සබඳි හා සඳනි යන දියණියන් දෙදෙනා ය.

 

නාත්තන්ඩිය මැතිවරණ කොට්ඨාසයට අයත් මාරවිල ප්‍රදේශයේ පදිංචිකාරියක වන සචිත්‍රා නිසංසලා ඉතාලියේ සිය සැමියා සමඟ ජීවත් වී තිබේ. දියණියන් දෙදෙනාම උපත ලබා තිබෙන්නේ ද ඉතාලියේ වෙරෝනා ප්‍රාන්තයේදීය. එහෙත් පසුකලක සැමියා සමඟ ඇති වූ ආරවුල් හේතුවෙන් දියණියන් දෙදෙනාව පියාගෙන් ඉවත් කළ යුතු බවට වැනීසියේ ළමාරක්ෂක උසාවියෙන් නියෝග කර ඇත. ඉතාලියේ වෙරෝනා ප්‍රාන්තයේ පෝර්ටෝන් සැන් ෆ්‍රැන්ක්‍රාසියෙන් දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාලි රජයෙන් පාලනය වන තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක (ඉතාලි බසින් හැඳින්වෙන්නේ casa famiglia යනුවෙනි.) නැවතීමට ජනවාරි මාසයේ සිට ඔවුන් පැමිණියේ ඉන් අනතුරුවය. මෙම ස්ථානයේ රැඳී සිටින්නේ උසාවි නියෝග අනුව පැමිණෙන අය පමණි. තුන් හැවිරිදි සබඳි ළදරු පාසලෙත් එකොළොස් හැවිරිදි සඳනි ප්‍රාථමික පාසලෙත් අධ්‍යාපනය ලැබූ අතර මව වන සචිත්‍රා නිසංසලා ද දියණියන් සමඟ මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ කල් ගෙවුවාය. මෙම ස්ථානයට පැමිණෙන්නට පෙර ඔවුන් පදිංචිවී සිටියේ කුමන ප්‍රදේශයේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

ඔක්තෝබර් 26 වැනි දින උදෑසන නගරසභාවේ නිවාස බාර සමූපකාර සමිතියේ නිවාස භාර පාලිකාව මෙම රැඳවුම් මධ්‍යස්ථානයට පැමිණෙන විට සචිත්‍රා සහ දියණියන් සිටින නිවහනේ දොර වසා තිබෙන අයුරු දුටුවාය. දරුවන් පාසල් ගිය බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඒ පිළිබඳව පාලිකාව විසින් සචිත්‍රාගෙන් විමසූ විට ඈ පවසා ඇත්තේ දියණියන් දෙදෙනා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් පාසල් නොයවන බවයි. ඉන්පසුව සචිත්‍රා පෙනෙන්නට නොසිටි බැවින් නිවාස පාලිකාව නැවතත් පැමිණ විමසා බැලීමේදී නාන කාමරයේ දොර වසා තිබෙන අයුරු දැක තිබේ. නාන කාමරයේ විදුලි බල්බයක් දැල්වෙමින් තිබූ බැවින් සචිත්‍රා එහි ඇතැයි සිතා ඈ පිටවී ගොස් තිබේ. එහෙත් නිවස තුළින් කිසිදු හැලහොල්මනක් තිබුණේ නැත. නැවතත් එම ස්ථානයට පැමිණි පාලිකාව සචිත්‍රා පෙනෙන්නට නොසිටීමත් නානකාමරයෙන් ප්‍රතිචාර නොලැබීමත් නිසා ඇය නානකාමරයේ දොර විවෘත කර බැලුවාය. නමුදු සචිත්‍රා එහි සිටියේ නැත. දියණියන් දෙදෙනා ඇඳ මත නිදා සිටින අයුරු දැකගත හැකිවිය. පිජාමා ඇඳුමෙන් සැරසී සිටි දරුවන් ඇඳ ඇතිරිලිවලින් ආවරණය කර තිබුණි. එහෙත් දරුවන් හුස්ම ගන්නා බවක් පෙනෙන්නට තිබුණේ නැත. දරුවන්ගේ සිරුරු අප්‍රාණික වී තිබුණි. නිවාස බාර පාලිකාව උදව් ඉල්ලා කෑගැසුවේ ඉන් අනතුරුවය. එම ස්ථානය බාර වෛද්‍යවරුන් සහ හදිසි සේවකයින් පැමිණියද ඔවුන්ට කරන්නට දෙයක් ඉතිරි වී තිබුණේ නැත. එම ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයෙන් පසුව දැරියන් දෙදෙනා මිය ගොස් ඇති බවට තීරණය කෙරිණි. ඔවුන්ගේ හුස්ම හිර කර මරා දමා ඇති බවට සැක කරන අතර දැරියන් දෙදෙනා මිය ගිය ආකාරය සොයා ගැනීමට මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කෙරිණි. දැරියන් දෙදෙනාගේ මළ සිරුරු පරීක්ෂා කිරීමේදී සීරීම්, තැළීම් හෝ තුවාල කිසිවක් සලකුණු ලෙස දක්නට නොලැබුණි.

දියණියන් දෙදෙනාගේ මව වන සචිත්‍රා නිසංසලා නිවහනින් පලා යෑමත් සමඟ ඝාතන සම්බන්ධයෙන් ඉතාලි පොලිසියේ උකුසු ඇස එල්ල වූයේ ඇය වෙතටයි. ඇය සොයා මෙහෙයුම ක්‍රියාත්මක කළේ එබැවිනි. නිවසේ කවුළුවක් විවෘත වී තිබූ නිසා ඈ කවුළුවෙන් පැන ගිය බවට සැක කෙරිණි. ගිනි නිවන භටයන්, සිවිල් ආරක්ෂක සේවකයන්, පොලිස් සුනඛයන් පමණක් නොව ඩ්‍රෝණ යානා පවා යෙදවූයේ ඇය සැඟවී සිටින ස්ථානය සොයා ගැනීමටය. මේ අතර හෙලිකොප්ටර් සහ කිමිදුම්කරුවන් ද මෙම මෙහෙයුමට යොදවනු ලැබිණි. සෑම අස්සක් මුල්ලක් නෑර පීරමින් ඇයව සොයා ගැනීමේ මෙහෙයුම අඛණ්ඩවම සිදු කළේ මෙම ද්විත්ව ඝාතනය මහපොළව නුහුලන අපරාධයක් වන නිසාය.

අපරාධ විමර්ශන කණ්ඩායම් සමඟ මෙම ස්ථානයට පැමිණි වෙරෝනා නගරාධිපති ෆෙඩරිකෝ ස්බෝරිනා, මෙම ඛේදවාචකය අසා මුළු නගරයම කම්පාවට පත්වී සිටින බව පවසා තිබේ.

සිය සැමියාගෙන් වෙන්වී දියණියන් දෙදෙනා සමඟ තනිවූ සචිත්‍රා නිසංසලා ඇතැම්විට මානසික රෝගයකින් පෙළෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. නැතිනම් දසමසක් කුස දරා අනේක වද වේදනාවන් විඳ මෙලොවට ජනිත කළ, සිය ලෙයින් උපන් දරුවන් මරා දැමීමට කිසිම අම්මා කෙනෙකු සිතන්නේ නැත. ජීවිතේ කුමන හැල හැප්පීම් පැමිණියද අම්මලාට දරුවන් බරක් වන්නේ නැත. ඒ අම්මලාගේ හැටිය. ලේ කිරි කර පොවා දරුවන් ඇති දැඩි කළ මවක්, සිය දෑතින් ම දරුවන් මරා දමන්නේ නම් ඈ වියරු වැටී සිටිය යුතුය. සැබැවින්ම එය මාතෘත්වයට නිගාවකි.

සමහරවිට සචිත්‍රා නිසංසලාට ද දුක්බර කඳුළු කතාවක් තිබෙන්නට ඇත. මවුපිය නෑසිය අත් හැර දමා දුරු රටකට පැමිණි ඇයට සිටි එකම ආරක්ෂකයා ඇගේ සැමියා විය හැකිය.

ඇගේ එකම අත්වැල සිය ස්වාමිපුරුෂයා විය හැකිය. එහෙත් සැමියාගෙන් වෙන්වීමට සිදුවීමෙන් ගිලිහී ගියේ ඇගේ ජීවන අත්වැල විය හැකිය. කිසිවකුගේ හව්හරණක් නොමැතිව දුරු රටක දියණියන් දෙදෙනකු සමඟ හුදකලා වීමෙන් ඇය දරුණු මානසික කඩා වැටීමකට ලක් වූවා විය හැකිය. ඉතාලි රජය මඟින් පාලනය වන මෙවැනි මධ්‍යස්ථානවල රැඳී සිටින බොහෝ දෙනකු මානසික ව්‍යාකූල තත්ත්වයන්ට පත්වී සිටින බව ඉතාලියෙන් අසන්නට ලැබේ. සචිත්‍රාගේ සංවේදි කතාව කොහොම ලියැවුණද දරුවන් මරා දැමීම නම් සාධාරණීකරණය කළ නොහැකිය.

ඇගේ කඳුළු කතාව කියන්නට හෝ අසන්නට කිසිවකුට ඉඩක් නොලැබුණේ වෙරෝනා ප්‍රාන්තයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය අසල ඇති කුඹුරු යායට ඔබ්බෙන් පිහිටි ගංගාවෙන් ඇගේ මළ සිරුර 28 වැනි බ්‍රහස්පතින්දා ඉතාලියේ ආරක්ෂක අංශ විසින් සොයා ගැනීමත් සමඟය. ඇගේ ජංගම දුරකථනය හා ගමන් මල්ල ද ගංඉවුරෙන් හමුවී ඇත. ඇය ගඟට පැන සියදිවි හානි කරගෙන ඇති බවට සැක පහළ කෙරේ.

ඒ පිළිබඳ 100% කින් තහවුරු වෙන්නේ ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ව ය.

සිය පවුලෙන් වෙන් වී වාසය කරන සචිත්‍රාගේ සැමියා ජානක සඳරුවන් මෙම ව්‍යසනය දැනගෙන තිබෙන්නේ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුව බව වාර්තා වී තිබේ. ඔහු වෙරෝනා පොලීසියට පැමිණ කටඋත්තරයක් ලබාදී ඔහු දියණියන් දෙදෙනා අවසන් වරට දුටුවේ මාර්තු මාසයේ බවත් මෙම සිදුවීමෙන් ඔහු දැඩි කම්පනයට පත්වී සිටින බවත් ප්‍රකාශ කර ඇත.

තවමත් දියණියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා නිකුත් වී නැති බැවින් ඔවුන්ගේ මරණ සචිත්‍රා විසින් සිදුකරන ලද්දක් ද වෙනත් අයෙකු විසින් සිදුකරන ලද්දක් ද, ගෙල මිරිකීමෙන් හෝ හුස්ම හිර කිරීමෙන් සිදුවූවක් ද කියා ඉඳුරා පැවසිය නොහැකිය.

ඉතාලියේ වෙරෝනාහි පදිංචි සුචින්ත ප්‍රනාන්දු සමාජ මාධ්‍ය ජාලයට ප්‍රකාශයක් මුදාහරිමින් කියා සිටින්නේ මෙම දියණියන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් වගකීම් විරහිත කතා පළ කිරීමෙන් වළකින ලෙසයි. ඔහු සචිත්‍රා නිසංසලා සහ ජානක සඳරුවන් හොඳින් හඳුනන හිතවතෙකි. මේ වනවිට ජානක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින අයෙකු බවත් කලහකාරී ලෙස හැසිරෙන අයෙකු බවත් සමහරුන් කර ඇති ප්‍රකාශ සුචින්ත බැහැර කරයි.

ඒ සියල්ල සාවද්‍ය ප්‍රකාශ බව ඉතා වගකීමෙන් සඳහන් කරන බව ඔහු දන්වා සිටී.

ඉතාලි රජයෙන් පාලනය වන මෙම රැඳවුම් මධ්‍යස්ථානවල ඇති ආරක්ෂාව, එම ස්ථානවල සිටින අයගේ සුබසාධනය සහ ඒවායේ ඇති අඩුපාඩු වසා ගැනීමට ඉතාලි මාධ්‍ය පතුරවා හරින ප්‍රචාරයන් ගැන දෙවරක් සිතා බලන ලෙස ඔහු කාරුණික ආයාචනයක් කර සිටී.

Comments