කොවිඩ් වෙනු­වෙන්ම පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ පද්ධ­ති­යක් | සිළුමිණ

කොවිඩ් වෙනු­වෙන්ම පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ පද්ධ­ති­යක්

 

ටක් ලෙස මුහුණ දෙමින් තිබූ ප්‍රශ්න වලට අමතරව කොවිඩ් අප හමුවට අලුතින් ප්‍රශ්න රැසක් කැන්දා ගෙන විත් තිබේ. එක් පැත්තකින් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කළ යුතුය. අනෙක් පසින් වයිරසයට ගොදුරුව මරණයට පත්වන පිරිස අවම කර ගත යුතුය. සෞඛ්‍ය අංශ ඒ සඳහා එන්නත්කරණය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි. වයිරසයේ ක්‍රියාකාරීත්වය උපරිම වෙත්දී සංචරණ සීමා පැනවීම, ලොක් ඩවුන් කිරීම, පොදු ප්‍රවාහනය අත් හිටුවීම, පාසල් වසා දැමීම ඇතුළු සමාජයට බලපෑම් කරන්නාවූ තීරණ ගැනීමටද සිදුවන අතර ඒ හා සම්බන්ධ අත්දැකීම් පසුගිය වසර දෙකක කාලය තුළ අපට ඕනෑවටත් වඩා විඳ තිබේ. රට වසා දමන ලෙස සෞඛ්‍ය අංශයට සම්බන්ධ විශේෂඥයන් ප්‍රකාශ කරත්දී එසේ කිරීමෙන් ආර්ථික කඩා වැටීමක් සිදුවන බව ආර්ථික විශේෂඥයෝ කියති.

පොදු ප්‍රවාහනය නතර කරන විට බස් හිමියෝ ඇතුළු රියදුරු කොන්දොස්තරවරු පවසන්නේ එසේ කිරීමෙන් ආදායම් අහිමිව තමන් අසරණ වන බවයි. දෛනික රැකියාවල නිරත පිරිසද පවසන්නේ මේ හා සමාන කතාවකි. මෙය එක්තරා අන්දමකින් පැටලී ගැට ගැසුණු නූල් බෝලයක් හා සමාන ප්‍රශ්නයකි. එක් කොනකින් පොටක් පාදා ගැටයක් ලිහන්නට ගිය විට සිදු වන්නේ තවත් අලුතින් ගැටයක් වැටීමය. මෙය අප පමණක් නොව ලොවම මුහුණ දෙන තත්ත්වයකි. ඊට විසඳුම් සොයන්නට ලෝකයේ පර්යේෂකයෝ මෙන්ම එක් එක් ක්ෂේත්‍ර වල විශේෂඥයෝ මේ මොහොතේදී කටයුතු කරමින් සිටිති.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය, ඉංජිනේරු හා කලා පීඨයන්හි ආචාර්යවරු පිරිසක් ශිෂ්‍ය ප්‍රජාව ද සම්බන්ධ කර ගනිමින් අප රට කොවිඩ් හේතුවෙන් අද මුහුණ දෙමින් සිටින අභියෝග ජය ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග හා සම්බන්ධ පුළුල් පර්යේෂණයක නිරතව සිටින අතර මේ වන විට එහි සාර්ථක ප්‍රතිඵල සමාජගත වෙමින් තිබේ.

කොවිඩ් මරණ සහ රෝගීන් වාර්තා වීමට අදාළ දත්ත විශ්ලේෂණය මගින් ඉදිරි දින 10 ක කාලයේදී වාර්තා විය හැකි රෝගීන් සහ මරණ සම්බන්ධව සංඛ්‍යා ලේඛන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (Artificial Intelligence Technology) උපයෝගි කර ගනිමින් නිවැරදිව දැක්විය හැකි වෙබ් අඩවියක් මේවන විටත් නිර්මාණය කරන්නට එම පිරිස සමත්ව සිටිති.

මේ වෙබ් අඩවිය A 14 COVID ලෙස හඳුන්වා දී තිබෙන අතර https://covid.eng.pdn.ac.lk දිගුව ඔස්සේ එයට ප්‍රවිෂ්ට වීමට හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්යුත් ඉංජිනේරු දෙපාර්තුමේන්තුවේ පර්යේෂණ ඉංජිනේරු හර්ෂණ වැලිගම්පොළ හා උමාර් මරික්කාර් විසින් මෙය නිර්මාණය කර තිබෙන අතර ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ජනක ඒකනායකගේ උපදේශකත්වය යටතේ මහාචාර්ය විජිත හේරත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රොෂාන් ගොඩලියද්ද, ආචාර්ය පරාක්‍රම ඒකනායක යන අය විසින් මෙහි අධීක්ෂණ කටයුතු සිදු කරනු ලැබ තිබේ.

මැලේසියාවේ තනාගා විශ්වවිද්‍යාලයේ සම සහයෝගිතාව ද කැනඩාවේ අන්තර්ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ මූල්‍ය දායකත්වය ද මීට ලැබී ඇත. කොවිඩ් වයිරස් ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඒ හා සම්බන්ධ අතීත දත්ත විශ්ලේෂණය කිරීම මගින් යෝජනා කිරීමට අමතරව කොවිඩ් නිසා ඇතිවන සමාජ හා ආර්ථික ගැටලු සම්බන්ධවද මෙහිදී අවධානය යොමු කිරීම විශේෂත්වයකි. කොවිඩ් වලට අදාළව ලොක් ඩවුන් කිරීම වැනි ක්‍රියාවලීන් වෙත නැඹුරු වන්නේ රෝගීන් හා මරණ වාර්තා වීමෙන් පසු වුවත් පුහුණු කරන ලද කෘතීම බුද්ධි පද්ධතය මගින් රෝගීන් හා මරණ වාර්තා වීමට පෙර එවැනි තත්ත්වයන් සම්බන්ධ දළ අදහසක් ගැනීමට හැකිවන නිසා කල්තියා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව රජයට පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මේ සම්බන්ධව අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්යුත් ඉංජිනේරු දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රොෂාන් ගොඩලියද්ද මෙසේ පැවසුවේය. කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් රෝගීන් හා මරණ වාර්තා වීමට බලපාන හේතු කාරණා අතීත තොරතුරු ද සමඟ ගළපා ගනිමින් අනාවැකි ඉදිරිපත් කිරීම ආකාර කිහිපයකින් කරනවා. විශේෂයෙන් සෞඛ්‍ය අංශය නියෝජනය කරන විශේෂඥයන් තමන්ගේ දැනුම හා අත්දැකීම් උපයෝගී කරගෙන වර්තමාන හා අතීත දත්ත යොදා ගනිමින් යම් යම් අනාවැකි කරනවා. වාර්තා වන කොවිඩ් රෝගීන් හා මරණ සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් විග්‍රහ කරමින් ඔවුන් යම් යම් නිර්දේශ ඉදිරිපත් කරනවා. මෙහිදී රෝග ව්‍යාප්තිය හා මරණ පාලනය වුවත් අදාළ තීරණ මගින් ඇතිවන සමාජ හා ආර්ථික බලපෑම ඔවුන් ගණනය කරන්නේ නැහැ.

මීට අමතරව අතීත හා වාර්තමාන දත්ත විග්‍රහ කර ගනිමින් අනාගතයේ ඇති විය හැකි තත්ත්ව පිළිබඳ විද්‍යාත්මක පදනමක් මත කරුණු දැක්වීමේ ක්‍රමවේදයක්ද තිබෙනවා. අප කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගි කරගෙන සිදු කරන්නේ එයයි.

අපේ රටේ හමු නොවන කොවිඩ් ප්‍රභේද වෙනත් රටවල දක්නට ලැබෙනවා. එම රටවල තත්ත්වයන්ද සැලකිල්ලට ගන්නා අතරතුර නව ප්‍රවණතා අධ්‍යයනය කරමින් මෙම කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක වන නිසා අනාගත අවධානම් සම්බන්ධයෙන්ද සැලකිය යුතු කරුණු දැක්වීමක් එයට කළ හැකියි. ඩෙල්ටා ප්‍රභේදය අපේ රටට කලින් වෙනත් රට වලින් වාර්තා වුණා.

ඒ අවස්ථාවේ එය පැතිරෙමින් තිබූ රටවල දත්ත සැලකිල්ලට ගෙන කෘත්‍රිම බුද්ධි තාක්ෂණ පද්ධතිය ගොඩනැගීම නිසා අපේ රටට ඩෙල්ටා ප්‍රභේදය පැමිණීමෙන් පසු වාර්තා වූ රෝගීන් සහ මරණ සම්බන්ධව සැබෑ අගයන්ට ඉතා ආසන්න දත්ත කල් තියා අපට ලබා දීමට පුළුවන් වුණා.

ශ්‍රී ලංකාවට අමතරව ඉතාලිය ජපානය සහ ඇමරිකාවේ ටෙක්සාස් ජනපදය සහ නයිජීරියාව වැනි රටවල අතීත කොරෝනා දත්ත මෙම වෙබ් අඩවිය පුනරාකතන ක්‍රියාවලියට යොදා ගෙන තිබේ. මෙම වෙබ් අඩවිය මගින් ලබා දෙන ඉහළ නිරවද්‍යතාවෙන් යුත් දත්ත උපයෝගි කර ගනිමින් මෙරට ඉදිරි සමාජ,ආර්ථික,අධ්‍යයන ක්‍රියාවලිය සකස් කිරීමේ හැකියාව සම්බන්ධව ගොඩලියද්ද මෙසේ පැවසුවේය.මාස දෙක තුනකින් ඔබ්බට සිදුවිය හැකි තත්ත්වයන් සම්බන්ධව පුරෝකතන ඉදිරිපත් කිරීම සාමාන්‍ය ක්‍රියාවලිය වුවත් අප නිර්මාණය කළ කෘත්‍රිම බුද්ධියට දින 10 ක් වැනි කෙටි කාල පරාසයක් සඳහා අනාවැකි ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම, මරණ සංඛ්‍යාව අඩුකර ගැනීම සඳහා අප නොයෙක් ක්‍රම අනුගමනය කරනවා.

මුහුණු ආවරණ පැලඳීම,දුරස්ත භාවය පවත්වා ගැනීම, පොදු ප්‍රවාහනය නතර කිරීම, සංචරණ සීමා පැනවීම, පාසල් වසා දැමීම ඊට උදාහරණ ලෙස පෙන්වා දිය හැකියි. අප විසින් නිර්මාණය කළ කෘත්‍රිම බුද්ධිය මගින් කොවිඩ් ව්‍යාප්ති පාලනයට මේ අවස්ථාවේ ගත හැකි හොඳම තීරණය කුමක්ද යන්න සම්බන්ධව යම් ඉඟියක් ලබා ගැනීමට පුළුවන්.

උදාහරණයක් ලෙස පොදු ප්‍රවාහනය ආරම්භ කිරීම සහ පාසල් විවෘත කිරීමෙන් කොවිඩ් ව්‍යාප්තියට වන බලපෑම ගත්තොත් මේ දෙකෙන් වැඩි බලපෑම කුමක් මගින්ද කියන කාරණය පැහැදිලිව මේ තුළින් දැන ගත හැකියි.

ඒ ආකාර බලපෑම් සියල්ල අධ්‍යයන්‍යය කරමින් පුළුල් වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාවට නංවමින් තිබෙනවා.

 

Comments