ඇල්ලවල ඇල්ලේදී මරුට බිලි වූ එකම පවුලේ තිදෙනා | සිළුමිණ

ඇල්ලවල ඇල්ලේදී මරුට බිලි වූ එකම පවුලේ තිදෙනා

ජීවිත චාරිකාවේ අවසානය කවදා කොතැනදී කිනම් ආකාරයෙන් අවසන් වේවි දැයි කිසිවකුට නිශ්චිතව කිව නොහැකිය. පසුගියදා කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට වැල්ලවායට චාරිකාවක් පැමිණි එකම පවුලේ තිදෙනකුගේම ජීවන චාරිකා අවාසනාවන්ත අයුරින් අවසන් වූයේ වැල්ලවාය ඇල්ලවලේ දිය නාමින් සිටියදීය. එසේ දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වූයේ කාන්තන්කුඩි හි බදුරියා පාරේ නිවෙසක පදිංචිව සිටි මොහොමඩ් කාසිම් මොහොම්මදු නියාස් නමැති 38 හැවිරිදි පියා, 15 හැවිරිදි පුතු මොහොමඩ් සමීම් සහ පාතිමා සමීම් නමැති 11 හැවිරිදි දියණියයි. මරුමුවට පත්වූ පියා මොහොමඩ් කාසිම් ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුගේ බිරිය ෆාතිමා රිස්නා ය. ඔවුන් දෙපළට පුතකු සහ දියණියන් තිදෙනකු ඇතුළු දරුවන් සිවුදෙනෙකි. ඒ අතරින් ඇල්ලවල ඇල්ලේදී මරුවාට බිලිවූ 15 හැවිරිදි පුතු මොහොමඩ් සමීම් කාත්තන්කුඩි හිලුරියා මුස්ලිම් විද්‍යාලයේ 9 වැනි වසරේත් 11 හැවිරිදි දියණිය පාතිමා සමීම් එම විද්‍යාලයේම 6 වැනි වසරේත් ඉගෙනුම ලබමින් සිටියහ.

එකම පවුලේ පියා, පුතු සහ දියණිය මරුවාට බිලි වූ ඒ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ පවුලේ ඥාතියකු වන මොහොමඩ් නසීම් (21) පැවසුවේ කම්පාවෙනි. ඔහු මිය ගිය මොහොමඩ් කාසිම්ගේ මස්සිනාය.

” මගේ අක්කා වන ෆාතිමා රිස්නාට සහ මස්සිනා මොහොමඩ් නියාස් කාසිම්ට දරුවන් හතර දෙනෙක් සිටිනවා. ඒ අතරින් අවුරුදු 6ක් වයසැති පාතිමා සීමා දුවට හදවත් රෝගයක් තිබුණා. ඇය වෛද්‍යවරයෙකුට පෙන්වීම සඳහා අපි කට්ටියම කොළඹ පෞද්ගලික රෝහලකට ගියා. දරුවාව පෙන්වලා ඒ කටයුතු කරගෙන අපි නුවරඑළියට ගිහින් කාත්තන්කුඩි ගමට යන්න පිටත් වුණා. මඟදි අක්කගේ මහත්තයා නියාස් අයියා (මියගිය මොහොමඩ්) කිව්වා අපි වැල්ලවාය ඇල්ලවල ඇල්ලට ගිහින් නාලා ගෙදර යමු කියලා. අපි ඇල්ල ළඟට ගියා. වෑන් එක රථගාලේ නතර කරලා මමයි අක්කයි මස්සිනයි දරුවො හතරදෙනයි ඇල්ල ළඟට ගියා. රියැදුරු වාහනේ හිටියා.”

මොහොමඩ් නසීම් කී ඒ ඇල්ලවල ඇල්ලට ප්‍රවේශ විය හැක්කේ වැල්ලවායේ සිට කිලෝමීටර් 3ක් පමණ ඇල්ල දෙසට වන විට රත්මල් වෙහෙර පුරාණ රජ මහා විහාරයට අනෙක් පස මාර්ගයෙන් ගමන් කර අලිකොට ආර ජලාශය අසලිනි. එය ඉතා දුෂ්කර මාර්ගයක් වන අතර වැසි දිනවලට ගමන් කිරීම තරමක් අපහසුය. කුඩා අඩි පාරක් දිගේ වනය තුළට ගමන් කළ යුතුය. මෙම ඇල්ලවල ඇල්ලට නම ඒ නම ලැබී ඇත්තේ එහි ඇති විශාල ස්වාභාවික ජල තටාකය නිසාය. අතීතයේදී මෙය ඉතා ගැඹුරු ජල තටාකයක්ව පැවති බව පැවසේ. පසුගිය මාස කිහිපයේදී පමණක් එම ස්ථානයේදී පුද්ගලයන් පස් දෙනකු පමණ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ බව ද ප්‍රදේශවාසීහු පවසති. ඒ කිසිවක් පිළිබඳ අංශු මාත්‍රයක්වත් මොහොමඩ් ඇතුළු පිරිස දැන නොසිටින්න ද ඇත. දිය ඇල්ලේ සුන්දරත්වය දැක දරුවන් සමඟ ඔහු දියට බසින්නට ඇත්තේ කොළඹ ගමනේ විඩාව නිවාගන්නටත් සිසිල් දියෙන් ස්නානය කර මඳක් විනෝද වීමේ ආශාවෙනුත් වන්නට ඇත. එහෙත් මරුවා ඒ සොඳුරු දිය තටාකය තුළ සැඟවී සිටින්න ඇත.

එතැන් සිට සිදු වූ සියල්ල මොහොමඩ් නසීම් විස්තර කළේ තවමත් පහ නොවූ වේදනාවෙනි.

“අපි කට්ටිය ඇල්ල ළඟට ගියාට පස්සේ මමයි අක්කයි පොඩි දරුවො දෙන්නයි ඇල්ල ළඟ හිටියා. මස්සිනා එක්ක සමීම් පුතයි පාතිමා දුවයි නාන්න ඇල්ලට බැස්සා. ඒ එක්කම වගේ මම දැක්කා පාතිමා දුව දියේ ගිලෙනවා. එතකොටම නංගිව බේරාගන්න සමීම් පුතා දියට පැන්නා. එතකොටම වගේ දරුවො දෙන්නම දියේ ගිලුනා. ඒ දෙන්නව බේරගන්න නියාස් අයියාත් දියට පැන්නා. අපි බලා ඉන්නකොටම ටික වෙලාවකින් තුන්දෙනාම වතුරෙ ගිලිලා නොපෙනී ගියා. අපි කෑගහද්දි අහල පහල හිටපු අය ඇවිත් වතුරට පැනලා තුන් දෙනාව ගොඩට ගත්තා.”

ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා දියෙන් ගොඩට ගත් පියාගේ සහ දරුවන් දෙදෙනාගේ සිරුරු වහාම මොනරාගල රෝහලට ගෙන ගියද ඒ වන විටත් ඔවුන් තිදෙනාම ජීවිතයෙන් සමුගෙන ගොස් සිටි බව ද ඔහු කීවේය. මියගිය තිදෙනාගේ මරණ පිළිබඳව මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් 21 වැනිදා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැති අතර වැල්ලවාය පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීය. පවුලක සතුට, සැනසීම උදුරා ගත් ඇල්ලවල ඇල්ල අදත් සුන්දරව ගලා හැලෙන්නේ සුන්දරත්වය වසාගත් ජීවිතයේ කටුක යථාර්ථය යළි යළිත් පසක් කරමිනි.

සුමනසිරි ගුණතිලක, 
ඌව වෙල්ලස්ස විශේෂ

Comments