කොවිඩ් නිසා වැසුණු පාසල් ඇරඹීමට සියල්ල සූදානම් | සිළුමිණ

කොවිඩ් නිසා වැසුණු පාසල් ඇරඹීමට සියල්ල සූදානම්

 

සර එකහාමාරක් නැවතුණු පාසල් ගමන යළිත් ආරම්භ කිරීමේ සුබ ලකුණු පහළ වෙමින් පවතියි. අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිසුන් 200 ට අඩු පාසල්හි ප්‍රාථමික අංශ නැවත විවෘත කිරීමට පළාත් ආණ්ඩුකාරවරු සූදානම් බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද කොවිඩ් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව මෙවර පාසල් යළි ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ අදියර 4 ක් වශයෙනි. එහි පළමු අදියර එනම් සිසුන් 200 ට අඩු පාසල්හි 1-5 ශ්‍රේණි ලබන 21 වැනිදා ආරම්භ කිරීමට මේ වන විට අධ්‍යාපන අමාත්‍යාශය කටයුතු යොදා ඇත. ඒ අනුව කොවිඩ් අභියෝග මධ්‍යයේ අධ්‍යාපනයට නව කඩඉමක් එක් කරමින් මේ මස 21 වැනිදා පාසල් 3000 ක් ආරම්භ කරන්නේ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් කොවිඩ් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුවය.

 

“අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන , අධ්‍යාපන අමාත්‍යාංශය ,පළාත් ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් කමිටු, පළාත් සංවර්ධන කමිටු, ළමා රෝග විශේෂඥවරු, සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සමඟ දිගින් දිගටම මේ සම්බන්ධයේ සාකච්ඡා පැවැත්වූවා. එහිදි අවසන් නිගමනයකට පැමිණියේ සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 වැනිදා විවෘත කිරීමට. ඒ අනුව මුල් අදියරේදි පාසල් 3000 ක් විවෘත කළ හැකි බව පළාත් අාණ්ඩුකාරවරුන් අපිට දැනුම් දුන්නා. මේ අතරම ජනාධිපතිවරයා විසින් එන්නත්කරණය සිසුන් සඳහා ආරම්භ කරන්නට උපදෙස් ලබා දී තිබුණා. වයස අවුරුදු 12 න් පහළ එන්නත්කරණය අත්‍යාවශ්‍ය නැති බව වෛද්‍යවරු පවසා තියෙනවා. ඒ නිසා ප්‍රාථමික අංශ මුලින් ආරම්භ කළ හැකියි. ඒ වගේම වයස අවුරුදු 15-19 සිසුන් සඳහා එන්නත්කරණය දැන් ආරම්භ කර තිබෙනවා. පාසල් ආරම්භ කිරීම අදියර 4ක් යටතේ සිදු කෙරෙනවා. මුල් අදියරේදි සිසුන් 200 ට අඩු පාසල්වල 1-5 ශ්‍රේණි, දෙවැනි අදියරේදී 1-5 ශ්‍රේණි ඇතුළත් සිසුන් 200 ට වැඩි ප්‍රාථමික හා සිසුන් 100 ට අඩු පාසල්හි සියලු ශ්‍රේණි, 3 වැනි අදියරේදි සියලුම පාසල්වල 10 - 13 දක්වා ශ්‍රේණි හා සිසුන් 200 ට අඩු පාසල්වල සියලු ශ්‍රේණිද 4 වැනි අදියරේදී සියලුම ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීම සිදු කරනවා. සමස්ත පාසල් සංඛ්‍යාවෙන් 10% ක් සිසුන් 1000 ට වැඩියි. ඉදිරියේදි මේ පාසල්වලට සිසුන් ගෙන්වීමේදි එක් පන්තියකට සිසුන් 20 ක් සිටින පරිදි කොටස් කර ගෙන්වා ගැනීමටද උපදෙස් ලබා දෙනවා“ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල සී. පෙරේරා එසේ පවසා සිටියේ ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන පරිදි මේ අදියර අතර කාල සීමාව දිග් නොගැස්සෙන අතර අවම වශයෙන් කාල පරතරය සති දෙකක් පමණ වේ. ඒ අනුව අදියර එකින් එක ආරම්භ වීම ඉක්මනින්ම සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම අදියරකින් තවත් අදියරකට යාමේදී රෝග ව්‍යාප්තිය සලකා බැලිය යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

වමේ සිට - අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා, සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පු ආරච්චි, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රි ලාල් නෝනිස්, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. එස්. කේ. ජයලත්, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම් රත්නායක සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් දිසානායක.

“ අපේ පළාතේ පාසල් 1107 අතරින් මුලින්ම ආරම්භ කළ හැකි සිසුන් 200 ට අඩු පාසල් 514 ක් එනම් 46% ක් තියෙනවා.‍ සමස්ත සිසුන් වන 5,13,000 ක් අතරින් මුලින්ම සිසුන් 52,000 කට පමණ මුල් අදියරේදි පාසල් ඒමට හැකි වෙනවා. මේ සිසුන් ප්‍රමාණය සමස්ත ශිෂ්‍ය ප්‍රමාණයෙන් 10% ක්. ගුරුවරු 6000 කටද මුලින්ම පාසලට පැමිණීමට සිදුවෙනවා. පාසල් විවෘත කිරීමට ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් කලාප හා කොට්ඨාස අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වයෙන් මූලික සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. පාසල් ප්‍රධානීන් දැනුම්වත් කිරීම කර තියෙනවා. 15-19 අතර එන්නත්කරණය සිදුවන නිසා මුලින්ම අපි 9 න් පහළ පන්ති ආරම්භ කිරීමට සිතා සිටියත් පසුව මුලින්ම 1-5 ආරම්භ කිරිමට අදහස් කරමින් සිටිනවා. “ යැයි දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් දිසානායක පැවසුවේ ය.

ඒ අනුව දකුණ අධ්‍යාපන කලාපයේ පාසල් 514 ක් ලබන 21 වැනිදා විවෘත වෙයි.

“ ඌව පළාතේ සමස්ත පාසල් 898 න් මුලින්ම ආරම්භ කිරීමේ සුදානමක් පවතින්නේ පාසල් 474 ක් පමණයි. ඒ සිසුන් 200 ට අඩු පාසල්. එසේම පාසල් 474 න් පාසල් 421 ක්ම තියෙන්නේ සිසුන් 100 ට අඩු පාසල් නිසා සියලු සිසුන් එකවර පාසලට ගෙන්වා ගත හැකි වෙනවා. නමුත් මුලින්ම සිසුන් ගෙන්වන්නේ 1-5 සිසුන් පමණයි. අපේ පළාතේ සමස්ත සිසු ජනගහනය 2,92, 540 ක්. මෙයින් සිසුන් 200 ට අඩු පාසල්වල සිසුන් 41,835 ක් ඉන්නවා. එයිනුත් 1-5 සිසුන් සිටින්නේ 27,500 ක් පමණයි. අධ්‍යාපන අමාත්‍යාංශය දින තීරණය කළ නිසා මුලින්ම ඒ සිසුන්ට පාසලට විවෘත වෙනවා. මේ සිසුන් පාසලට පැමිණි පසු දින තුන හතරක් අපි සිසුන් අධ්‍යාපනයට අනුගත කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. ලබන 21 වැනිදා පාසල් විවෘත කිරීමට අපි සූදානමින්...“ ඒ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම් රත්නායකයි.

ඒ අනුව ඌව පළතේ 1-5 සිසුන් සිටින්නේ 27,500 කට ලබන 21 වැනිදා පාසල් විවෘත වෙයි.

“ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දින නියම කළ පසු වයඹ පළාතේ පාසල් 1244 අතරින් පාසල් 608 ක් මුලින්ම විවෘත කිරීමට හැකිවෙනවා. අපේ පාසල්වල සමස්ත සිසුන් 5,11,189 අතරින් සිසුන් 43,726 ක් මේ පාසල් වලට අයත් වෙනවා.මුලින්ම විවෘත කරන්නේ සිසුන් 200 ට අඩු පාසල්වල 1-5 ශ්‍රේණි. ඉන් පසුව සිසුන් 200 ට වැඩි පාසල්වල 1-5 ශ්‍රේණි. මේ සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තියෙනවා. සියලු පාසල්වල අත සෝදන බේසම් ඇතුළු සනීපාරක්ෂක උපකරණ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තියෙනවා. සමහරක් පාසල් සුද්ද පවිත්‍ර කර තියෙන අතර සමහරක් පාසල්වල සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කිරීමට තියෙනවා. වර්ෂාව ඊට බාධාවක්. කෙසේ වෙතත් සියලු පිරිසිදු කිරිම් නියමිත දිනට පෙර අවසන් කිරීමට සූදානම් “ ඒ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. එස්. කේ. ජයලත් එසේ පවසා සිටියේය.

වයඹ පළාත තුළ මේ වන විට 1-5 ශ්‍රේණි සූදානම් වන්නේ එළඹෙන 21 වැනි දින විවෘත වන්නටය. එසේම බස්නාහිර පළාතේද මුලින්ම පාසල් 462 ක් විවෘත කිරීමට සූදානම්ය.

“ බස්නාහිර පළාතේ පාසල් 1364 න් මුලින්ම විවෘත කිරිමට හැකියාව ඇත්තේ පාසල් 462 ක් පමණයි. ඒ සිසුන් 200 ට අඩු පාසල්. මේ පාසල් සියල්ලේම ළමුන් එකවර පාසලට ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා. අපිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිනයක් ලබා දී තියෙනවා. පසුගිය සතියේ සඳුදා සිට මේ පාසල් පිරිසිදු කිරිම් ආරම්භ කළා. විදුහල්පතිවරු, කලාප, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ව දැනුම්වත් කළා “ ඒ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රි ලාල් නෝනිස්ය. සබරගමව අධ්‍යාපන කලාපයද මේ වන විට සුදානම් වන්නේ එළඹෙන 21 වැනි දින පාසල් විවෘත කරන්නටය. ඒ අනුව මේ අධ්‍යාපන කලාපයේ පාසල්වලින් 56%ක් විවෘත වෙයි.

“ සබරගමු අධ්‍යාපන කලාපයේ පාසල් 1120 න් මුලින්ම ආරම්භ කෙරෙන්නේ සිසුන් 200 ට අඩු පාසල් 630 ක් පමණයි. එනම් 56% ක්. සබරගමු පළාතේ පාසල් සිසුන් 3, 87,557 අතරින් සිසුන් 14% ක් එනම් සිසුන් 54,170 ක් මුලින්ම පාසලට ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම සමස්ත ගුරුවරු 26,458 අතරින් 27% ක් මුල්ම අදියරේදි පාසලට පැමිණෙනවා. දිනය ප්‍රකාශයට පත් කර ඇති නිසා පාසල් විවෘත කිරීමට සතියකට පෙර සියලු පාසල් නැවතත් පිරිසුදු කිරීම කරනවා. පාසල් ආරම්භ කිරිමට දින දෙකකට පෙර විෂබීජහරණ කටයුතු සිදු කරනවා. ඒ වගේම දිස්ත්‍රික් කමිටු හරහා සිසුන්ගේ ප්‍රවාහන කටයුතු, සෞඛ්‍ය කටයුතු ගැන සාකච්ඡා කරමින් පවතිනවා “ ඒ සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පු ආරච්චිය. නැවත පාසල් විවෘත කිරිම දැවැන්ත අභියෝගයකි. මේ වන විට සියලු දෙනාම අත්වැල් බැඳ ඇත්තේ කොවිඩ් පරදා නැණ නුවණ නැංවීමේ සමාජමය වගකීම ඉටු කරන්නටය.

 

Comments