රාගල හඬවමින් පිලිස්සී මිය ගිය පවුලේ ඛේදවාචකය | සිළුමිණ

රාගල හඬවමින් පිලිස්සී මිය ගිය පවුලේ ඛේදවාචකය

රාගල ජීවිත 5ක් බිලිගත් නිවෙස මුළුමනින් විනාශයට පත්ව තිබූ අයුරු.

 

 

ලෝක ළමා දිනයත්, ලෝක වැඩිහිටි දිනයත් ගෙවී දින කිහිපයකි. මුළු කඳුකරයම කම්පා කරමින් ඉකුත් ඔක්තෝබර් 7 වැනි දින රාත්‍රී 10.30 ට පමණ රාගල පොලිස් වසමේ රාගල වතුයායේ උඩ කොටසේ තාවකාලිකව ඉදිකරගත් නිවසක පදිංචි වී සිටි එකම පවුලේ වැඩිහිටියන් තිදෙනෙක් හා කුඩා දරුවන් දෙදෙනෙකු එකම ගිනි මැලයකට හසු වී මියයෑමේ ශෝකාන්තායක් සිද්ධිය සම්බන්ධයෙන් අද ද රාගල ප්‍රදේශය කම්පා කරවන සිද්ධියක් බවට පත්ව ඇත. මේ ඝාතනයන් සම්බන්ධව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබු 25 වියැති සැකකරු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 12 වැනිදා ඉදිරිපත් කරන ලදි. ඒ අනුව සැකකරු මෙම මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

වැඩිහිටියන් තිදෙනෙක් හා කුඩා දරුවන් දෙදෙනෙකුත් එකම මොහොතක එකම ගිනිමැලයකට හසු වී අළු වී ගියේ සිදු වුයේ කුමක්දැයි කිසිවෙකුටවත් සිතා ගත නොහැකි පරිද්දෙනි. මෙය සිදූ වුයේ මෙම සිද්ධියෙන් මිය ගිය කුඩාම දරුවාගේ පළමු උපන්දිනය දාය.

ඉකුත් හත්වන දා රාත්‍රි 10.30 ට පමණ ගින්නට හසුව මිය ගියේ 55 හැවිරිදි රාමයියා තංගයියා, 44 වියැති සිවනුමුත්තු චෙල්ලමි, 35 වියැති ජෙයකුමාර් නදියා යන අයත්, නදියාගේ දරුවන් වූ අවුරුදු 11 වයසැති පිරිමි දරුවා හා අවුරුද්දක් වයසැති පිරිමි දරුවාය.

එකම පවුලේ පස්දෙනා මෝඩගඩොලෙන් සෑදූ තාවකාලික නිවසක පදිංචිව සිටි අතර, මෙම වැඩිහිටියන් දෙදෙනා වතුයායේ සේවය කොට දැනට විශ්‍රාම ගොස් ප්‍රදේශයේ කාගේත් ආදරය දිනා ගත් දෙදෙනෙකි. ජෙයකුමාර් නදියා නැමැති 35 හැවිරිදි අය මීට වසර 12 කට පෙර ප්‍රදේශයේ අයෙකු සමඟ විවාහ වී සිටි අතර, එම තැනැත්තා හදිසියේ මියගොස් ඇත. ඉන්පසු වසර දෙකකට පමණ පෙර මෙම 35 හැවිරිදි කාන්තාව රාගල සූරියකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ ඇති කර ගත් ප්‍රේම සම්බන්ධයකින් පසුව ඔවුන් නීත්‍යානුකූලව විවාහ වූ බවට කරුණු අනාවරණය වේ. ඔවුන් විවාහ වූවත් ජෙයකුමාර් නදියා යන අය දරුවන් දෙදෙනා සමඟ රාගල උඩ කොටස වත්තේ තම දෙමාපියන් සතු තාවකාලික නිවසේම ඔවුන්ගේ රැකවරණය යටතේම ජීවිකාව ගෙන ගොස් තිබුණු බව දැනගන්නට ඇත. මෙම නිවසේම ජෙයකුමාර් නදියාගේ අවිවාහක සහෝදරයෙක් ද සිට ඇත.

මොහන්දාස් එරෝෂන් නැමැති අවුරුද්දක් වයසැති බිලිඳාගේ පළමු උපන් දිනය යෙදී තිබුණ ඉකුත් 7වැනිදා දරුවාගේ පියා සූරියකන්දේ සිට මෙම නිවසට පැමිණ උපන්දිනය සඳහා කේක් ගෙඩියක් ද ගෙනැවිත් කුඩා සාදයක් ද පැවැත්වූ බවට කරුණු අනාවරණය වේ. සාදයෙන් පසු ඔහු පිට වී ගොස් ඇති අතර, එදින රාත්‍රී 10.00 ට පමණ එකම පවුලේ 6 දෙනා පදිංචි වී සිටි නිවස හදිසි ගිනිගැනීමට ලක් වී තිබූ අතර, එය නිවා දැමීමට අසල්වාසීන් උත්සාහයක් ගත්ත ද එය පාලනය කර ගැනීමට නොහැකි විය.

මෙම අවස්ථාවේ දී රාගල පොලිස් ස්ථානාධිපති ජයන්ත සමරකෝන් සහ ප්‍රධාන පොලිස් කණ්ඩායම සිද්ධිය වූ ස්ථානය ආරක්‍ෂා කර ගෙන ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධ සාක්‍ෂිවලට හානියක් නොවන ආකාරයෙන්ය. මෙම නිවසේ මුළුතැන්ගෙයි තිබූ ගෑස් සිලින්ඩරය ද පුපුරා නොගොස් තිබූණු අතර, ගෑස් නළ සියල්ල පිලිස්සී තිබුණු බවට පොලිස් පරීක්‍ෂණ වල දී හෙළි වී ඇත. නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි යු. උඩුගම ද සිද්ධිය වූ ස්ථානයට ගොස් එම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අදාළ පොලිස් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත. ඒ යටතේ රස පරීක්‍ෂක වාර්තාවක් ලබාගැනීමට අදාළ නිලධාරින් නුවරඑළියට කැඳවා ගැනීමට යුහුසුලුව කටයුතු කළ බව කරුණු අනාවරණය වේ.

එදින පස්වරුවේ දී වලපනේ මහේස්ත්‍රාත් පි. ආර්. එස්. ජිනදාස විසින් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කළ අතර, නුවරඑළිය මහරෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සි.කේ.රාජගුරු මහතා වෙත මෘත ශරීර යොමු කර පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව කැඳවන ලෙස පොලිසියට නියෝග කර ඇත.

ඒ අනුව එදින පස්වරුවේ දැඩි පිලිස්සීමට ලක්ව මිය ගිය පස්දෙනාගේ සිරුරු නුවරඑළිය මහ රෝහලට රැගෙන යන ලදී. එදිනම පස්වරු 5.00 ට පමණ කොළඹ සිට පැමිණි රස පරීක්‍ෂක නිලධාරින් කණ්ඩායම විසින් සිද්ධිය වූ ස්ථානය පරීක්‍ෂණයට ලක් කරන ලදී.

08 වැනි දින මෙම හදිසි මරණ සම්බන්ධව නුවරඑළිය මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සි. කේ. රාජගුරු විසින් විවෘත තීන්දුවක් ලබා දෙන ලදී.

අඳෝනා හඬ මැදින් ගම්මුන් මෘතදේහ පහ ආදාහනය සඳහා ගෙනගිය අයුරු

 

වතු ජනතාව එක්ව වී හදිසියේ මියගිය පස්දෙනාගේ අවසන් කටයුතු කතෝලික ආගමානුකූලව ඉටු කිරීමට එක්ව කටයුතු කරමින් වතුයායේ ස්ථානයක රාත්‍රී 8.30 ට පමණ මෙම වැඩිහිටියන් දෙදෙනාගෙත්, තරුණ කාන්තාවගේත්, දරුවන් දෙදෙනාගෙත් මෘත දේහයන් එකම වළක තැන්පත් කරන්නට වූයේ මෙවන් වූ ඛේදවාචකයන් යළි සිදු නොවීමට දෙවියන් වහන්සේට ආයාචනා කරමින්ය.

කෙසේ වෙතත් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදු කරන අතර තුර හදිසි ගින්න ගිනි තැබීමක් ද ගිනි ගැනීමක් ද යන්න විවිධ කටකතා ඔස්සේ පැතිර යන්නට වූ අතර, මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය වැඩිහිටියන්ගේ දරුවෙක් වන රාමයියා තංගවේල් රවි නැමැති 25 හැවිරිදි පුද්ගලයා සම්බන්ධව විවිධ කතා පැතිර යාමත් සමඟ රාගල පොලිසි ඒ පිළිබඳ විමර්ශන කරන්නට විය. මෙම හදිසි ගින්න ඇති වූ අවස්ථාවේ දී ඔහු අධික ලෙස බීමත්ව සිටි බව ද ඔහු නිවසින් පිට තැනක නිදා සිටි බව ද විටින් විට ඔහු විවිධ ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් රාගල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පසුගිය දොළොස් ව­ැනිදා වලපනේ මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු පිළියෙල කර තිබූ බවට මෙම ලිපිය සටහන් කරන මොහොතේ දී වාර්තා විය.

ඉතා අවාසනාවන්තව මියගිය එකම පවුලේ පස්දෙනෙකුගේ ශෝකාන්තය නිසා කම්පනයට පත් නිවසේ ඇති දැඩි කළ සුනඛයෙකු නිරතුරුවම ගිනිගත් නිවසේ සුන්බුන් ඉව කරමින් තමා ඇති දැඩි කළ හිතවතුන් ගැන විමසීමක් කරන බව ප්‍රදේශවාසීන් සඳහන් කරති. ඉතා සැර පරුෂ වූ මෙම සුනඛයා තම නිවසේ අය මිය යෑමෙන් පසු දැඩි කම්පනයට ලක්ව එම ගිනිගත් ස්ථානයේ රැඳී සිටින බවත්, එම සුනඛයා ආහාර ගැනීමෙන් පවා වැළකී සිටින්නේ තමාට නිවසේ අය දැක්වූ ආදරය හා සෙනෙහස නිසා බව පැවසේ.

ලෝක වැඩිහිටි දිනයත්, ලෝක ළමා දිනයත් සමරා දින කිහිපයක් ගත වන අවස්ථාවේ දීම වැඩිහිටි තිදෙනෙකු හා ළමුන් දෙදෙනෙක් ඉතාම අවාසනාවන්ත ලෙස මියයෑම තුළ ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය නිදන්ගත වූ මිනිසුන්ගේ හිදැසක් සමාජය තුළ ඇති බව පසක් කරන්නකි.

Comments