නෙත් අඳ බ්‍රයන්ගේ වික්‍රමය | සිළුමිණ

නෙත් අඳ බ්‍රයන්ගේ වික්‍රමය

 

 

කොළඹ කොච්චිකඩේ පල්ලිය අසලින් වරාය අධිකාරිය පසු කළ මා මෝදර කාලි කෝවිල පසුකරමින් මෝදර වීදියෙන් මට්ටක්කුලියට පිවිසුණෙමි. එක පසෙක ළඟ ළඟ ගෙවල් පේළියකි. කුණු කාණුවක් පාර අද්දරින් ගලා යයි. පේළි ගෙවල් පහුකර කුඩා පටුමඟක යතුරු පැදිය නතරකර බ්‍රයන්ගේ නිවස කොහිදැයි විමසුවෙමි. “මේ තමයි ගෙදර“ අසල්වැසියකු මට පාර පෙන්වීය. බ්‍රයන් ජීවත් වෙන්නේ දෙවෙනි තට්ටුවේ නිවසකය. ඒ එකමුතුපුර “1/3 - A - 40" නිවසයි. කුඩා සාලයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක්, නානකාමරයක් පමණක් ඇති කුඩා නිවසේ බ්‍රයන්ගේ පවුලේ හතර දෙනාටම හිමිව ඇත්තේ එක් කාමරයකි. අනිත් කාමරයේ බ්‍රයන්ගේ මාමලාගේ පවුලේ අය ජීවත් වෙති. රෑට පවුලේ අය සාල කෑල්ලෙත් නිදාගත්තේ නිවසේ ඉඩ මදි නිසාය. ජේසු ස්වාමි දරුවන්ගේ හා මරිය මවුතුමියගේ පින්තූරය බිත්තියේ එල්ලා ඇත. ඒ පින්තූර දෙක අතර ලොකු කුරුසයකි. බිත්තියේ පැත්තක ගසා ඇති මංගල ඡායාරූප දෙකෙන් එකක් බ්‍රයන්ගේ දෙමව්පියන්ගේ ය.

පුංචි බ්‍රයන්ගේ ජීවන බර අම්මා කරට ගනිද්දී බ්‍රයන්ගේ අයියා රුම්ස්ටන්ගේ බර ඇද්දේ අම්මාගේ අම්මා ය. බ්‍රයන්ගේ ජීවිත කතාව ඇසූ මා හැඬුම් නවතා ගත්තේ ආයාසයෙනි.

බ්‍රයන් කිංග්ස්ටන් දැන් පසුවන්නේ 17 වෙනි වියේය. බ්‍රයන් උපන්නේ 2004 පෙබරවාරි 28 දින දමිළ කතෝලික මව්පියන්ට දාව පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා ලෙසය. බ්‍රයන්ගේ පියා ලියෝ බැස්ටියන් මේ වන විට රැකියාව කරන්නේ අබුඩාබියේ කැමරා ආයතනයකය. ඒ මුළු සේසතම බ්‍රයන්ව සුව කර ගන්නට වියදම් කළ නිසාය. ඔහුගේ මව අමල් ප්‍රියා යනු බ්‍රයන්ගේ ඉෂ්ට දේවතාවියයි. එකම අයියා රුම්ස්ටන් ක්ලෙමන්ට් බොරැල්ල වෙස්ලි විද්‍යාලයේ උසස් පෙළ වාණිජ විෂය ධාරාව හදාරයි. සාමාන්‍ය පෙළ විභාගය හොඳ මට්ටමකින් සමත් වීමට ඔහුටත් හැකියාව තිබිණි.

“බ්‍රයන් කාසල් එකේ ඉපදුණේ මාස 7න්. උපන් බර 950g යි. හුඟාක් අඩුයි. මට එච්චර අමාරු වුණේ නෑ. මගේ පුතා උපන් හැටියේ ඇස් ඇරලා මම දිහා බැලුවා දෙයියනේ. බර අඩු නිසා අයි.සී.යූ. දැම්මා. මම කිරි දොවලා පෙව්වා. දරුවගේ ඇස් හොඳට තිබුණා. උපත් සටහනේ සඳහන් වුණේ death of birth කියලා. I.C.U. එකේදි පුතාව 6 පාරක් ලේසර් කළා. ලේසර් කිරණවලට හත්වෙනි මාසෙන් පසු දරුවකුගේ ස්නායු විශාල වෙනවා කියලා මම දැනගත්තේ පසු කාලෙක. ඊට පස්සේ දරුවා ඇස් ඇරලා බැලුවේ නෑ. මාස 2න් දරුවා අරන් ඉන්දියාවට ගියා ඇහැ සනීප කරගන්න. ඇස්වල අවුලක් තිබුණේ නෑ. මොළයේ සිට ඇස්වලට සම්බන්ධ වන රෙඩිනා ඇස්වල දෘෂ්ටික ස්නායු සම්බන්ධ ගැටලුවක් තිබුණේ. ඒක දැනගත්තේ පසුව ජර්මන් සරසවියකින්. එතකොට දරුවට අවුරුදු 3යි. අපිට සල්ලි තිබුණේ නෑ ජර්මන් යන්න. මියගිය ඥාති කෙනෙකුගේ ඇස්දෙක පුතාට දුන්නා. ඒත් ඇස් දෙකේ නෙමෙයි ප්‍රශ්නේ. ස්නායුවලයි. මම හිතින් ඇඬූ වාර අනන්තයි. ලොකු පුතාගේ කටයුතු මගේ අම්මට බාර දුන්නා. මම බ්‍රයන්ගේ ජීවිතේ මගේ කරට ගත්තා.“ ඒ දිරිය අම්මා අමල් ප්‍රියා සුසුමක් පිටකරමින් මොහොතක් නිහඬ වූවාය.

“ඊට පස්සෙ මම හිතුවා දරුවට හොඳට උගන්නන්න ඕනෙ කියලා. මට්ටක්කුලිය ශාන්ත මේරි පල්ලියට මාස 2ක් ගියා. රත්මලාන අන්ධ විද්‍යාලයට දැම්මේ අවුරුදු 6දි පළමු වසරට. මට්ටක්කුලියේ ඉඳලා පාන්දර 3ට නැගිටලා පුතත් එක්ක බස් දෙකක ගියා. ඉස්කෝලේ ඇතුළේ දෙමව්පියන්ගේ කාමරේ ඉඳලා හවසට පුතා එක්ක ආවා. මට්ටක්කුලිය ඩිපෝවෙ ඉඳලා මොරටුවට පාන්දර 4 1/2 බස් එකක් තියනවා. ඒක ලේසියි. පුතා ගෙදර ආපු හැටියේ ටිකක් නිදාගන්නවා මහන්සියට. ඊට පස්සේ තමයි පාඩම් කරන්නේ.

බිසෝ ටීචර් යටතේ පුතා අන්ධ ජන සේවා මණ්ඩලෙන් බ්‍රේල් ක්‍රමය ඉගන ගත්තා; රත්මලානෙදි පුතාට ඩබල් ප්‍රමෝෂන් ලැබුණා 1 වසරින් 3 වසරට හොඳ ලකුණු තිබුණු නිසා. මම හැම තිස්සේම පුතා එක්ක හිටියා. හැම දෙයක්ම තනියම කරගන්න හුරු කළා. මගේ ලෝකය වුණේ බ්‍රයන්. මට ලොකු සතුටක් තියනවා. එයා හොඳට විභාගෙ පාස්. එයාගේ තාත්තා රට ගියේ අපිව ජීවත් කරවන්නයි. අපිට සේරම දේපළ අහිමි වුණා. ඉන්න ගෙය පවා නැතිවුණා.“

රත්මලාන අන්ධ විද්‍යාලයට යන විට බ්‍රයන්ට සිංහලෙන් කීමට හැකියාව තිබුණේ “වතුර තිබහයි“ කියා පමණි. 5 වසර දක්වා සිංහල මාධ්‍යයෙන් ඉගනගත් බ්‍රයන් ශිෂ්‍යත්වය දෙමළ මාධ්‍යයෙන් ලියා ලකුණු 164 ක් ලැබීය.

“පුතා හොස්ටල් නවතින්න කැමති වුණේ නෑ. පුතා මට පොරොන්දු වුණා අම්මේ මම ලකුණු අරන් දෙනවා හොස්ටල් දාන්න එපා කියා. පුතා මගේ ළඟ නිදා ගත්තේ. මම රෑට කතන්දර කියලා දුන්නා. පුතාව දිරිමත් කළා. අන්තිමට මගේ බ්‍රයන් දිනුවා.“

බ්‍රයන් කිංග්ස්ටන්ට සිළුමිණට කියන්නට බොහෝ දේ තිබුණි.“මම මේ ලෝකේ කළුද සුදුද කියලවත් දන්නේ නෑ. කළු සුදු මොන වගේද කියලවත් මම දන්නෙ නෑ. මම අම්මව දැක්කේ කටහඬින්. මට ආදරය කරපු සලකපු විදිහෙන්. මම නිසා අම්මා විඳින දුක් කන්දරාව මට උහුලන් ඉන්න බැරි වුණා. මම හොඳට ඉගෙන ගෙන අම්මගේ හිත සනසනවා කියා හිතුවා. තුන වසරේ සිට ඕ ලෙවෙල් දක්වාම මම පන්තියේ පළවෙනියා. 2, 3 වසරේදී ඇබකස් තරගයෙන් ලංකාවෙන්ම 3 වෙනියා වුණා. සාමාන්‍ය ළමයි සමඟ ලීවේ. විනාඩි 5ට ගණන් 33ක් හැදුවා. ක්‍රීඩා තරග රාශියක් දිනුවා. මුල් කාලේ චකිතයක් තිබුණා ග්‍රවුන්ඩ් එක හුරු නැති නිසා. අම්මා ග්‍රවුන්ඩ් එක හුරු කළා. 2019 ජ්‍යෙෂ්ඨ ශූරතා පාසල් යගුලිය දැමීම පැරා ඔලිම්පික් 3 තැන ගත්තා ලංකාවෙන්. මීටර් 75, තුම් පිම්ම, උස පැනීම පාසල් ක්‍රීඩා උලෙළවලදි හැම වසරකම සහතික පදක්කම් කුසලාන දිනුවා. මේ කුසලාන මොන වගේද කියලවත් මම දැකලා නෑ. ඒත් මගේ අම්මා දකිනවා. දෙහිවල ගල්කිස්ස අන්තර් පාසල් තරගාවලියෙන් පාසල් 64 කෙටිකතා, රචනා තරග ජය ලැබුවා ඇබකස් තරගාවලියෙන්.

ගෙදරදි රෙකෝඩරයෙන් පාසලේ වැඩ කරනවා. ක්‍රිකට් මැච් අහනවා. රාවතාවත්ත දෘෂ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ පොත් රෙකෝඩ් කර ගත්තා. පොත් 6,000 විතර තියනවා. පොතක් රු. 80යි. Audio book එකක් විදිහට තියෙන්නේ. රෑට පැය 3ක් නිදාගන්න පෙර අම්මා එක්ක කතා කරනවා. අපි හැම දෙයක්ම කලින් සැලසුම් කරනවා. O/L වලදි ඒ නවයක් ගන්න ඉලක්කයක් අපිට තිබුණා. අයියත් එක්ක සෙල්ලම් කරනවා. ක්‍රිකට් ගහනවා.“

“මොනවද පුතා වැඩියෙන් කන්න කැමති?“

“කිරි තේ, රෝල්ස්, චිකන්, ෆ්‍රයිඩ් රයිස් වලට ආසයි. නැව ගිනිගත්තට පස්සේ මාළු කන්නේ නෑ.“

පියවි දෙනෙතින් නොදුටු ලෝකය බ්‍රයන් දකින්නේ කෙසේදැයි මා විමසීමි. “රූපීය වශයෙන් මට කියන්න අමාරුයි. විවිධත්වයෙන් පිරුණු පුළුල් තැනක් ලෙස දැනෙනවා. මුලින්

 බ්‍රයන් සිය මව සහ මිත්තණිය සමඟ
බ්‍රයන්ගේ නි‍ෙවසට ගිය ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම
විභාග සහතිකය බලමින් දිරිගැන්වූ අයුරු

හිතුවා මම විද්‍යාඥයෙක් වෙන්න. ඒ ලෙවෙල් විද්‍යාව කරන්න අමාරුයි ලංකාවේ. ඒ වගේම රහස් පරීක්ෂකවරයෙක් වෙන්නත් හිතුණා. මාව ආනන්ද විද්‍යාලයට තෝරා ගනීවි. මම කැමතියි උසස් පෙළට කලා කරලා නීතිඥවරයෙක් වෙන්න.

මම සාමාන්‍ය කෙනෙකුගේ රූපය මවාගන්න උත්සාහ කරන්නෙ නැහැ. කටහඬින්, ගතිගුණවලින්, ස්පර්ශයෙන්, ආදරයෙන් අම්මාව හඳුනනවා. ඇස කියන්නේ අතපය වගේ අවයවයක් පමණයි. රත්මලානේ ඉද්දි ඇහැ ටිකක් පේන යාළුවෝ හිටියා. අපි සෙල්ලම් කළා. අඹ කඩාගෙන කෑවා. මට අමාරු පාර පැනලා යන්න විතරයි. මම සාමාන්‍ය පෙළ විද්‍යාවට විතරක් හොරණ උපකාරක පන්තිවලට ගියා. විද්‍යාලේ උගන්වන ටිකට අමතරව ඔන්ලයින් ගියා. හැමතිස්සෙම මගේ අම්මා මා එක්ක ඉඳලා දිරි ගැන්නුවා.“

“මොනවද උසස් පෙළට ඉගෙනගන්න කැමති විෂයයන්?“ මම විමසීමි.

“තර්ක ශාස්ත්‍රය, යුරෝපා ඉතිහාසය, ආර්ථික විද්‍යාව“ බ්‍රයන් පැවසීය.

“අන්ධ විද්‍යාල ඉතිහාසයේ ශිෂ්‍යත්වය සමත් වුණු හා ඕ ලෙවල් A - 9 ගත් එකම හා පළමු සිසුවා මම වීම හරි සතුටුයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා හමුවීමත් මම කාලයක සිට බලාපොරොත්තු වූ දෙයක්. ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා මා හමුවන්න පැමිණීම හා දිරිමත් කිරීම විශාල සතුටක්. දෘෂ්‍යාබාධිත රෙකෝඩරයකුයි ලැප්ටොප් එකකුයි තිබුණොත් මට තවත් හුඟාක් දේවල් කරන්න පුළුවන්. මම වගේම දස්කම් දක්වන දෙව්මි වගේ දරුවන්ටත්, අපි වගේ අවම පහසුකම් තියන දරුවන්ටත් අතහිත දුන්නොත් ඒ දරුවොත් මම වගේම ජය ගනීවි. කවදහරි ලෝකය ඉදිරියේ මගේ රටට කීර්තියක් ගෙන ඒමේ අරමුණින් මම හොඳට ඉගෙන ගන්නවා.“ බ්‍රයන් පැවසුවේ හරිම විශ්වාසයකින්.

 

Comments