විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඕමානයට | සිළුමිණ

විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඕමානයට

 

මැජික් එක පිතිකරුවෝ සාර්ථක වීමයි

- ප්‍රධාන පුහුණුකරුවා කියයි

'ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකා පිල පසුගිය දා ඕමානය බලා පිටත්ව ගියේ ය. එසේ පිටත්ව යෑමට පෙර පැවැති මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්වලින් මෙම ලිපිය සමන්විත ය.'

 

මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය තීරණය කරනු ලබන්නේ පිතිකරුවන්ගේ සාර්ථකත්වය මතින් බව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසා තිබේ. ඒ ඕමානය බලා පිටත් වීමට පෙර පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

තම කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් තිදෙනෙක් විනය කඩකිරීම් මත දඬුවම් විඳීම තත්ත්වය තවත් බැරෑරුම් කර ඇති බව ප්‍රධාන පුහුණුකරුවාගේ මතය වී ඇත.

“පුහුණුකරුවකු වශයෙන් මම හිතන්නේ අපේ පිතිකරුවන් ලකුණු අතරට එනවා නම් ජයග්‍රහණය සඳහා යෑමට හොඳ අවස්ථාවක් තිබෙනවා කියායි. පන්දුවට පහරදීම අඛණ්ඩව සිදු වුවත්, අපි කණ්ඩායමක් විදියට තවත් හොඳින් එකතු වෙන්න ඕනෑ. අපේ පන්දු යැවීමේ අංශය ඉතාමත් ප්‍රබල තත්ත්වයක තියෙනවා. පහුගිය කාලයේ අපේ පන්දු රැකීමත් හිතා ගන්න බැරි තරමට දියුණු වුණා.

මම හිතන්නේ මේ මොහොතේ අපට ලැබී ඇති හොඳ ම දේ තමයි අප අපටම නම්‍යශීලි වීම. අපේ කණ්ඩායම සකස් කර ගන්නා ආකාරය අනුව නම්‍යශීලි වීමයි.” යැයි ඔහු එහිදී ප්‍රකාශ කළේ ය.

“මම අයි.පී.එල්. තරග ඉතා උනන්දුවෙන් නැරඹුවා. අපි ලෝක කුසලාන තරගාවලියේ දී ඒ කඩුලුවලමයි ක්‍රීඩා කිරීමට යන්නේ. තරගයකට යන කොට අපි බොහෝ විට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු, දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු හා තුන් ඉරියව් ක්‍රීඩකයන් ගෙන් කණ්ඩායම හදා ගන්නවා. අපේ ඉහළ පෙළේ පිතිකරුවෙක්, තවත් අර්ධකාලීන දඟ පන්දු යවන්නෙකු විය හැකියි. ඒත් කඩුලු සැලකිය යුතු ලෙස වියළී ගියහොත්- පිට දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ යෑමට තරම් නම්‍යශීලි වෙන්න වග බලා ගන්නත් ඕනෑ.

පන්දුවට පහරදීම ගැන තමයි පහුගිය දවස් නවයේ දී අපි ලොකු ම අවධානය යොමු කළේ. පුහුණුම්වල දී අපි කරන්න ඕනෑ මොනවද කියලා පැහැදිලි විශ්වාසයක ඉන්නේ. මේ සම්බන්ධයෙන් නම් අපේ කණ්ඩායම ඉතාමත් පැහැදිලි දියුණුවක් ලබා තියෙනවා කියලා ඉතා තදින් විශ්වාස කරනවා. මොනවා වුණත් මේ හැම දෙයක් ම ක්‍රියාත්මක මට්ටමේ පවතින වැඩසටහනක්. හැබැයි මෙතැන මැජික් එකක් නම් නෑ.” ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

අපි හොඳ මානසිකත්වයක ඉන්නවා

- දසුන් ශානක

මේ අතර සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසන්නේ මහේල ජයවර්ධනගේ සේවය කණ්ඩායමට ලැබීම විශාල ශක්තියක් බව ය.

'ඔහුගේ එක්වීම කණ්ඩායමක් හැටියට අපට ලොකු වාසියක්. පිතිකරුවෙක් විදියට ගත්තත් පුහුණුකරුවෙක් විදිහට ගත්තත් ඔහුට ඇති අත්දැකීම් ලංකාවේ ඉන්න ගොඩක් අයට නැහැ. මහේල අයියාගෙන් අපේ කණ්ඩායමට ලොකු දෙයක් ගන්න පුළුවන් වේවි.” දසුන් ශානක පැවසී ය.

ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් හා යහපත් මානසික පරිසරයක සිටින බව ද ඔහු පැවසී ය.

මේ තරග දෙකේ දී පිතිකරුවන්ගෙන් උපරිමය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පැවැසූ ඔහු එය සැලසුම අනුව සිදුවුව හොත් පන්දු යවන්නන්ට විශාල වාසියක් ලබා ගත හැකි බවත් පෙන්වා දුන්නේ ය.

මේ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියට එක් වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යෑමට නියමිත ය.

බන්ධුල ජයමාන්න

Comments