දේශපාලනයෙන් උපන් රන් පියුම | සිළුමිණ

දේශපාලනයෙන් උපන් රන් පියුම

 

දිවි සැරිය

උපන්දිනය - 1913 පෙබරවාරි 27

ගම - මහනුවර හතරලියද්දේ, වැලිගොඩපොල

සම්පූර්ණ නම - ටිකිරි බණ්ඩාර ඉලංගරත්න

භාවිත නාමය - ටී. බී. ඉලංගරත්න

පියාගේ නම - නවරත්න රාජකරුණා වාසළ ටිකිරි මුදියන්සේ රාලහාමිලාගේ අප්පුහාමි නිලමේ

මවගේ නම - ඉලංගන්දාවුන්ඩ මුදියන්සෙලාගේ ලොකු මැණිකේ

මූලික අධ්‍යාපනය - හතරලියද්දේ පිරිමි පාසල, ගලගෙදර ද්වි භාෂා පාසැල, කෑගල්ල ශාන්ත මේරි පාසල හා ශාන්ත අන්තෝනි විද්‍යාලය

සහෝදරියන් - 6කි. සහෝදරයන් තිදෙනෙක් හා සහෝදරියන් තිදෙනෙකි.

විවාහය - 1944 සැප්තැම්බර් 04

බිරිය - තමරා කුමාරී අළුදෙනිය

දරුවන් - 4කි.

සන්ධ්‍යා, රෝහණ, උපේක්ෂා සහ උදය

මුනුපුරු මිනිබිරියන් - 8කි.

සංජානා, කළන, සන්තුෂී, නොමානි, උදාරා, දිනිති, විදර්ශී හා ගනුෂ්ක

පළමු සාහිත්‍ය නිර්මාණය - මුද්‍රණයෙන් නිකුත්කර ඇත්තේ ‘හැරමිටිය’ නම් නාට්‍ය කෘතියයි

දේශපාලනයට පිවිසීම - 1948 වසරේ මැයි 18 වැනිදා පැවති අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම

සාහිත්‍ය නිර්මාණ කෘති- පනහකට අධිකය

පළමු රැකියාව - රජයේ ලිපිකරු සේවාව

සම්මාන - සිංහල ලේඛක සංවිධානය විසින් පිරිනැමූ සම්මානය

අභාවය - 1992 මැයි 21

හර්මන් හෙස කියන්නේ නිරායාසයෙන් ජන නායකත්වයට පත්වන්නන් ඇත්තේ ස්වල්පයක් බවත් ඔවුහු වාසනාවන්තව හා නිරෝගීව වසන බවත් ය. උපක්‍රමයෙන් නායකත්වයට පත් වන්නෝ අවසන් වන්නේ හිස් බවෙන් සහ මානසික ගිලන් බවෙන් බව ය. ඒ ප්‍රකාශය සාකල්‍යයෙන්ම ගැළපෙන දේශපාලඥයෙක් වෙයි. ඔහු දේශපාලඥයෙක් පමණක් කියා ලඝු කළ හැක්කෙක් නොවේ. ඔහු ජනමන සැමදා ජීවත් වෙන කලාකරුවකු හා ලේඛකයකු වෙයි. ළමා ලෝකයේ අඹ යාළුවෙක් නැති කිසිවෙක් නැති සේම අඹ යාළුවෝ නොකියැවූ පොත්වලට ලොබ බැන්දකු ද නොවනු ඇත. ටී. බී. ඉලංගරත්න අපේ ළමා ලෝකයේ වීරයකු වූයේ පොත් අතරෙනි. එහෙත් ඔහු ස්පර්ශිත වපසරිය ගැන දන්නා වකවානුව වෙන විට ඔහු කලා ලොව පමණක් නොව දේශපාලන ලොව ද දැවැන්තයෙකි.

ශ්‍රී ලාංකේය වෘත්තීය සමිති ව්‍යාපාරයේ අමතක නොවන සිදුවීමක් 1947 දී සිදු විය. ඒ මහා වැඩ වර්ජනයයි. එකී අවස්ථාවේ ප්‍රබල වෘත්තීය සමිතියක් වූ රජයේ ලිපිකරු සේවා සංගමයේ සභාපති ධුරය දරමින් සිටියේ එවකට මහනුවර කච්චේරියේ ජ්‍යෙෂ්ඨ ලිපිකාර නිලධාරියකු ලෙස සේවය කළ ටී. බී. ඉලංගරත්න ය. වැඩවර්ජනයට නායකත්වය දීම හේතුකොට ගෙන රජය ටී. බී ගේ වැඩ තහනම් කළේ ය. කන්දසාමි නම් කම්කරුවා මිය යන්නේ මේ වැඩ වර්ජනයේදී ය. මහා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ප්‍රගතිශීලි වාමාංශික කණ්ඩායම්වල ඉල්ලීම් පිට මහනුවර ආසනයට තරග කිරීමට එකඟ වූ ඔහු රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහනුවර ආණ්ඩුවේ ඒජන්තවරයාට බාර දුන්නේ ය. වැඩිදුර උපදෙස් සඳහා එය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කෙරිණි. තීරණයක් නොගෙන ආණ්ඩුව කල් මරමින් සිටි අතර තමා මේ පිළිබඳ ව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බව දන්වා යැවීමෙන් පසු ඉල්ලා අස්වීම බාර නොගෙන රාජ්‍ය සේවයෙන් පහ කළ බව දන්වා ඔහුට ලිපියක් ලැබිණි.

ඒ අනුව සියලු රාජකාරී බැඳීම්වලින් නිදහස් වූ ඉලංගරත්න මැතිවරණ සටනේ ප්‍රබල සටන්කරුවකු වූ ජෝර්ජ් ඊ. ද සිල්වා සමඟ කරටකර සටන් කළේ ය. එසේ වුව ද ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ජෝර්ජ් ඊ. ද සිල්වා වැඩි ඡන්ද 205ක් වැනි සුළු සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළේ ය. එහෙත් ඔහුගේ මන්ත්‍රීධුරය පැවතියේ කෙටි කාලයක් පමණි. ටී. බී. ඉලංගරත්න විසින් ගොනු කරන ලද ඡන්ද පෙත්සමක තීන්දුව අනුව ඔහුගේ මන්ත්‍රීධුරය අහිමි කෙරිණ. මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පළමු ඡන්ද පෙත්සම වශයෙන් සටහන්වී ඇත. සිය යෞවනය නිදහස් අරගලය පැවැති සමයෙක සමාජවාදී නැඹුරුවකින් සටහන් කරන්නට ටී. බී. ඉලංගරත්නට පාර කැපෙන්නේ එපරිද්දෙනි.

1913 පෙබරවාරි 27 දා උපන් ටිකිරි බණ්ඩාර ඉලංගරත්නගේ ගම වෙන්නේ මහනුවර හතරලියද්දේ, වැලිගොඩපොල ය. වෙද ආචාර්යවරයකු වන ඔහුගේ පියා නවරත්න රාජකරුණා වාසළ ටිකිරි මුදියන්සේ රාලහාමිලාගේ අප්පුහාමි නිලමේ ය; මව ඉලංගන්දාවුන්ඩ මුදියන්සෙලාගේ ලොකු මැණිකේ ය. පියා නැති අවස්ථාවලදී සුළු සුළු වෙදකම් කරන ඇය කරුණාබරිත කාන්තාවකි. තම දරුවන්ට පෙළපත් නාමය ලෙස ඉලංගරත්න නම ලබා දෙන්නේ මවු පිය උභය පාර්ශ්වයෙන් ම ගත් නම් එකතුවක් ලෙසිනි. හත් දෙනෙකුගෙන් යුත් දරු පවුලක හතරවැන්නා වන්නේ ටිකිරි බණ්ඩා ය. හතරලියද්දේ පිරිමි පාසල, ගලගෙදර ද්වි භාෂා පාසල, කෑගල්ල ශාන්ත මේරි පාසලෙන් හා ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ටී. බී. ඉලංගරත්න ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගයෙන් පසු පාසල් අධ්‍යාපනයට සමු දෙයි. පාසල් යන කාලයේ ම අකීකරු පුතා, හෙමින් හෙමින් හා අන්ධ නැන්දා නමින් නාට්‍ය තුනක් රචනා කරන ඔහු කලාවට අවතීර්ණ වෙන්නේ නාට්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ය. මුලින් ම මුද්‍රණයෙන් නිකුත්කර ඇත්තේ ‘හැරමිටිය’ නම් නාට්‍ය කෘතියයි. ඉන්පසු ‘මන්ත්‍රී හාමුදුරුවෝ, නාටක අට, මොකද මුදලාලි, නිකං ආවා’ නාටක මුද්‍රණයෙන් නිකුත් කර ඇත. ඉන් අනතුරුව හේ රජයේ ලිපිකරු සේවාවට ඇතුළත් වෙයි. ලන්ඩන් මැට්‍රිකියුලේෂන් ඉහළින් සමත් වූ ටී.බී. මෙන්ම ඔහුගේ නෑ පරපුර බලාපොරොත්තු වූයේ විශ්වවිද්‍යාලයට ගොස් ඉහළම රැකියාවක් කරා යන්නට ය. නමුත් අන්තිමේ ලිපිකරු සේවාවේ රැකියාවකින් යැපෙන්නට ඔහුට සිදු විය. දේශපාලනය වෙත මෙන්ම සාහිත කලාව වෙතද ඔහු යොමුකළේ මේ රැකියාව සහ එයින් ලද සමාජ අත්දැකීම් ය. 1944 සැප්තැම්බර් 04 වැනිදා තමරා කුමාරී අළුදෙනිය සමඟ විවාහ දිවියට ඇතුළත් වෙන ඉලංගරත්නට දරුවෝ සිවු දෙනකි. ඒ සන්ධ්‍යා, රෝහණ, උපේක්ෂා සහ උදය ලෙසිනි. ඔහුට මුනුපුරු මිනිබිරියෝ 8කි.

ඔහු සිය ජීවිත කාලයේ නන්විධ භූමිකා රැසක සැරුවේ වැඩ කිරීම ආහ්ලාදයක් සේ සලකා ය. බැරිකම් නොහැකිකම් ඔහුගේ ජීවිතයේ නොවී ය. පුවත්පත් කලාවේදියකු, නළුවකු, නාට්‍යකරුවකු හා නවකතාකරුවකු ලෙස හේ විවිධ භූමිකා ඔස්සේ සමාජයේ පෙනී සිටියේ ය. ඒ හැම භූමිකාවකින් ම තමාට හැකි උපරිම සේවය කරන්නට හේ සැදී පැහැදී සිටියේ ය. ඔහු කයෙන් සමුගන්නා මොහොත වන විට ලියූ කෘති සංඛ්‍යාව පනහ ඉක්ම වූයේ ය. ඒවා අතර නවකතා 28 ක් ද, ළමා කතා 6ක් ද, නාට්‍ය කෘති 9 ක් ද, කෙටිකතා සංග්‍රහ දෙකක් ද, ඉංග්‍රීසි නවකතා දෙකක් ද, නවකතා පරිවර්තනයක් හා ස්වකීය ස්වයං ලිඛිත අපදානය ද විය. විචාරකයන්ගේ විමැසුමට ඒ හැටි ලක් නොවූව ද හේ හොඳ ම විමසුමට උරුමකම් කියූයේ ය. ඒ පාඨක විමැසුම ය. ඔහුගේ කෘති කෙතරම් වාරයක් මුද්‍රණද්වාරයෙන් පිට වූවා ද යන්න ඊට නිදසුන් ය. පාඨක ආදරය නොමඳ ව ලද අඹ යාළුවෝ, විලම්බීත සහ තිලක සහ තිලකා නොකියවූ පාඨකයකු නැති තරම් ය. මේ කෘති අතර සිටින චරිත මනස් චරිත නොවේ. ඒවා ඔබ, මම ජීවත්වන සමාජයේ සැබැවින් ම ජීවත් වන චරිත ය. ඒ චරිත අද ද වීරයන් සේ අප ලෝකයේ ජීවත් වෙන්නේ ඒ නිසා ය. ඔහුගේ කෘති කිහිපයක් පුංචි තිරයට ද නැඟෙන්නේ ය. ඔහුගේ සාහිත සේවය ලඝු කළ නොහැක්කේ මෙකී පාඨක සම්මාන නිසා ය.

දශක හතරකටත් වැඩි කාලයක් විවිධ හැලහැප්පීම් මත ගෙවී ගිය ඉලංගරත්නගේ දේශපාලන දිවිය දේශපාලන විද්‍යාව හදාරන්නකුට හදාරන්නට වටින ඉතිහාසයකි; සිද්ධි මාලාවකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පළමු ඡන්ද පෙත්සම ඉදිරිපත් කරන්නේ ඉලංගරත්න ය. ඉන් අනතුරුව 1948 වසරේ මැයි 18 වැනිදා පැවති අතුරු මැතිවරණයෙන් ජෝර්ජ් ඊ ද සිල්වාගේ පුත් ෆ්රෙඩ් ඊ. ද සිල්වා සමඟ තරඟ කොට ඔහු ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 3,857ක් ලබා ගනිමිනි.

මහනුවර අසුන ජයගෙන පාර්ලිමේන්තුව සඳහා පිවිසුණු ඉලංගරත්නට එහි කටයුතු සිදු කිරීමට ලැබුණේ වසරකට වඩා අඩු කාලයක් පමණකි. ඒ ඔහුට විරුද්ධ ව ද ඡන්ද පෙත්සමක ඉදිරිපත් වීම නිසා ය. එදා ඉලංගරත්නට එරෙහි ව ඉදිරිපත් වුණු ඡන්ද පෙත්සමෙන් ඔහු පරාජය වීම නිසා ඔහුගේ ප්‍රජා අයිතිය වසර 7කට අහිමි විණි. ඉන් අනතුරුව 1949 වසරේ ජූනි 18 වැනිදා මහනුවර අසුන සඳහා යළි අතුරු මැතිවරණයක් පැවැත්විණි. ඒ අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත් වුණු ටි. බී. ඉලංගරත්නගේ බිරිය තමරා ඉලංගරත්න වැඩි ඡන්ද 2050කින් මහනුවර අසුන ජයග්‍රහණය කළේ ය. 1956 වන විට ප්‍රජා අයිතිය හිමි වුණු ඉලංගරත්න ඒ මැතිවරණයේදී ගලහ අසුන ජය ගත් අතර ඒ අනුව කම්කරු, නිවාස සහ සමාජ සේවා ඇමතිධූරය ඔහුට හිමි වෙයි. හේවාහැට අසුන දෙවරක් පිට පිට ම ජය ගන්නා හේ 1960 වසරේ ජූලි මාසයේ දී බලයට පත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාණිජ, ආහාර සහ නාවික ඇමති තනතුරට හිමිකම් කියයි. ඒ තනතුරේ වැඩ කරමින් සිටියදී 1962 වසරේ මුදල් අමාත්‍ය ධූරය හිමි වෙන ඔහු අතින් සුවිශේෂිී කාර්යය කිහිපයක් ම සිදු වෙයි. ඒ අතරෙන් තෙල් ජනසතු කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිහි කිරීම, රක්ෂණ ජනසතු කිරීම සඳහා රක්ෂණ සංස්ථාව ආරම්භ කිරීම, ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කිරීම හා මහජන බැංකුව බිහි කිරීම ප්‍රධාන වෙයි.

1970 මහා මැතිවරණයෙන් කොළොන්නාව අසුන ජයග්‍රහණය කරන ඉලංගරත්න සමගි පෙරමුණු රජයේ දේශීය සහ විදේශීය වෙ‍ෙළඳ අමාත්‍යවරයා ලෙස වැඩ බාර ගනියි. බොහෝ අවස්ථාවල දේශපාලනයේ වමත් මැදත් එකතු කිරීමේ කපුකම කළේ ඔහු ය. එබැවින් මෙරට තීරණාත්මක කාලපරිච්ඡේදයක තීරණාත්මක ලකුණක් ලෙස ඉලංගරත්න නාමය සටහන් වීම කිසිවකුටත් වැළැක්විය හැකි නොවේ. කිසිවිටෙකත් ලකුණු දමා ගැනීමට වැඩ නොකළ හේ කළ වැඩ නිසා ම ඉතිහාසයට එක් විය. අන් අයගේ විශ්වාසයත් ගෞරවයත් දිනාගැනීමේ හැකියාව නිසාම ටී.බී. ඉලංගරත්න හට බොහෝ අවස්ථාවල සාමදාන සාකච්ඡා සඳහා ඉදිරිපත් වන්නට සිදු විය. කුඩා කල සිට විවිධ අදහස් ඇති විවිධ ජාතික ආගමික කණ්ඩායම් සමඟ එක්ව සුහදව කටයුතු කිරීමෙන් ලත් පුරුද්ද මේ සඳහා ඔහුට පන්නරයක් වූයේය. බණ්ඩාරනායක මැතිනිය හා චෙල්වනායගම් අතර ජාතික සංහිඳියාවක් සඳහා වූ මූලික අඩිතාලම දැමීමට අවශ්‍ය සාකච්ඡාවට ටී.බී. යොදාගන්නේද එහෙයිනි. ටි.බී. ට මේ නිසා කපුවා යන නමද පටබැඳී තිබුණි.

ඉලංගරත්න නම් කලාකරුවා, නිර්මාණවේදියා දේශපාලනය නිසා යටපත් වූයේ ද යන්න බොහෝ විචාරකයන්ගේ අවධානය දිනා ගත් මාතෘකාවකි. එනයින් බලන කල ඉලංගරත්න ගැන මාර්ටින් වික්‍රමසිංහයන් පැවසූ වදනක් මා කියැවූ බව මතකයක තිබේ. වික්‍රමසිංහයන්ට අනුව ඉලංගරත්නගේ දේශපාලන ජීවිතය උසස් නිර්මාණ කරන්නට ඔහුට බාධාවක් විය. එහෙත් වරක් ඉලංගරත්න පුවත්පතක් හා කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ ඒ අදහසට තමාට එකඟ විය නොහැකි බවයි. තමාගේ සාහිත්‍යකරණයට මහත් අනුබලයක් ලැබුණේ දේශපාලන ජීවිතයෙන් තමා ලද අනේකවිධ අත්දැකීම් බව ඔහු එහිදී පවසා තිබිණි.

මා පෙරටුව යන්න එපා

බැරිවෙයි ඔබ අනුව එන්න

මා පසුපස එන්න එපා

බැරිවෙයි මට වග කියන්න

මා යන වේගය හරිනම්

ඔබෙයි මගෙයි ගමන යන්න

මා මිතුරෙකු ලෙස සලකා

එන්න එකට මඟ ගෙවන්න..

ඔහු ම එසේ කියන්නට ඇත්තේ එබැවිණි. ටී.බී. ඉලංගරත්න ට අවසානයේ දී දේශපාලනයෙන් විප්‍රවාස වූ ඉඩෝර සමයේ දී පිහිටට ආවේ කුඩා කල සිට ඇතිකරගත් ලිවීමේ පුරුද්ද ය. සාහිත්‍යකරණය සහ නාට්‍යකරණය ඔහුගේ සිත් වේදනා නසා ජීවිතයට ප්‍රබෝධය ගෙන දුන්නේය.

ජීවන පන්නරය හා ගලා යෑම් ගැන අපට කලින් කිව නොහැකි ය. ඒවා සමහරක් ජීවිතයට එකතු වෙන්නේ කිසිවකුටත් නොදැනෙන සේ ඉසියුම් ව ය. ජීවන යාත්‍රාව පැද යා යුත්තේ මෙකී සියල්ලට අනුගත ව ය. තමන්ගෙන් රටට විය යුතු යුතුකම ගැන බෙහෙවින් සවිඥානික නිර්මාණකරුවකු ඊට තමාට පහසු ම මාර්ගය තෝරා ගැනීම පුදුමයක් නැත. කවුරුන් කෙසේ කීවත් හේ නිස්සරණාද්ධ්‍යාශයෙන් ජනතාව වෙනුවෙන් කැප වූවකු බව මේ වන විට ඉතිහාසයේ ලියැවී තිිබේ. ඉතිහාසය විසින් කරන විනිශ්චය කිරීම් තරම් සත්‍යයක් මේ ලොව නැත. බල්ලෝ හඳට බුරන බවත් හඳ ඒ කිසිවක් නොදැන සොමි ගුණය ම පානා බවත් ඔබ දනී. බොහෝ දේ හි විනිශ්චය ගැන කියන්නට ඇත්තේ ද මෙය ම ය. ඉලංගරත්න මේ කිසිවක් නොසිතා ම ස්වකීය ජන්මය නිසා රටට යමක් කළ යුතු වේ ද එය නිහඬ ව ම ඉටු කෙරූවෙකි.

ජීවත් වීමේ පරමාර්ථය කුමක්දැයි යන්නට ක්‍රිෂ්ණමූර්තිතුමන් දුන් පිළිතුරක් මා මතකයට එයි. එතුමන් කියන්නේ ජීවත් වීමේ අරමුණ මරණින් මතු ද ජීවත් වීම කියා ය. එනයින් බලන කල ටී. බී. ඉලංගරත්න ජීවත් වී ඇත්තේ එකී අරමුණ ගැන මනා සේ දැන බව සටහන් කරමි.

Comments