කොවි­ඩ්ව­ලට එරෙ­හිව නැඟී සිටි මාතර ජන­තාව | සිළුමිණ

කොවි­ඩ්ව­ලට එරෙ­හිව නැඟී සිටි මාතර ජන­තාව

 

 

මුළු ලෝකයම කොරෝනා මර්දන සටහන එක්ව ඇත්තේ ඉන් ජන ජීවිතයට මෙන්ම ආර්ථිකයට ද ඇතිකර ඇති ප්‍රබල බලපෑම හමුවේය. දහස් ගණනින් මිනිස් ජීවිත කොරෝනා මාරයා බිල්ලට ගනිද්දී පවුල් පිටින් අන්න අසරණ තත්වයට පත්ව ඇත්තේ කොවිඩ් මාරයාගේ අති ප්‍රබලත්වයේ තරම මනාව පොන්වා දෙමිනි.

කොවිඩ් වලින් බේරීමේ හොඳම මඟ එන්නත්කරණය යන්න අද මුළු ලෝකයම පිළිගෙන ඇත. ඒ නිසාම එන්නත්කරණය ආරම්භ කළ අප රට ද අද වන විට එහි ශීඝ්‍ර ප්‍රගතියක් පෙන්නුම් කර ඇත්තේ එකාවන්ව සිදුකළ කැපකිරීම් හමුවේය.

කොවිඩ් මර්ධන එන්නත්කරණයේ ඉහළම ප්‍රගතියක් පෙන්වාදී ඇති දිස්ත්‍රික්කයක් වන්නේ මාතර දිස්ත්‍රික්කයයි. සංඛාලේඛන තොරතුරු අනුව මේ වන විට දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනය අට ලක්ෂ හැටනවදහස් හත්සිය පනස් තුනකි. ඉන් වයස අවුරුදු පහළොවට අඩු වයස් කාණ්ඩයේ ප්‍රමාණය දෙලක්ෂ දහසයදහස් හත්සිය හැට හයක් වන අතර අවුරුදු පහළොවත් දහනවයත් අතර වයස් කාණ්ඩය හැට නවදහස් හත්සිය අනූවකි. අවුරුදු විස්සත් විසි නවයත් අතර වයස් කාණ්ඩයේ එක්ලක්ෂ විසිපන්දහස් පනස් එකක් හා අවුරුදු තිහත් හැටත් අතර වයස් කාණ්ඩයේ තුන්ලක්ෂ විසිනවදහස් හත්සිය තිස් පහක් පමණ සිටිති. අවුරුදු හැට ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව එක්ලක්ෂ විසි අටදහස් තුන්සිය දහයකි.

දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුවේ තොරතුරු අනුව ඉකුත් 22 දින වන විට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු තිහ ඉක්මවූ වයස් කාණ්ඩයේ පිරිස අතරින් සියයට අනූ අටකට (98%) එන්නතේ පළමු මාත්‍රාව හා සියයට අසූහතරකට (84%) දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදී ඇත්තේ අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවෙමිනි. මේ වන විට කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ ක්‍රමික පහළයාමක් සිදුවෙමින් ඇත.

“අපි මාතර නීරෝගී බව සූරකිමූ” යන්න අරමුණු කරගෙනයි. මේ සත් කාර්යය සිදුකරමින් සිටින්නේ. එන්නත්කරණයේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් අද දින වන විට මාතර දිස්ත්‍රික් ජනතාවගෙන් වැඩිම පිරිසකට එන්නත්කරණය සිදුකර තිබෙනවා. එලෙස වැඩි පිරිසකට එන්නතේ මාත්‍රා දෙකම ලබාදෙන්නට හැකිවීම දිස්ත්‍රික්කයක් ලෙස අපි ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ගේ මඟ පෙන්වීම මෙහිදී අපි කෘතවේදීව සිහිපත් කරනවා. නාමල් රාජපක්ෂ හා කංචන විජේසේකර ඇමතිතුමන්ලා දෙපොළ හා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය මේ වෙනුවෙන් ඉහළ කැපවීමක් සිදු කළා. තවත් එන්නත් මාත්‍රා පනස්දහසක් පසුගිය 12 දින අපට ලැබුණා. එය මෙතෙක් එන්නත් ලබාදීම පමාවී ඇති කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් වල ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. රෝගයේ ක්‍රමික පාලනයත් සමඟ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට වෙන්කළ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් ප්‍රමාණය ද හිස් වෙමින් තිබෙනවා. එය සෞඛ්‍ය අංශ, යුද හමුදාව ඇතුළු සියලු අංශවල කැපවීම මත ලබාගත් ජයග්‍රහණයක්. දැන් අපි වයස අවුරුදු විස්සත් තිහත් අතර වයස් කාණ්ඩයේ පිරිස සඳහාත් එන්නත ලබාදීමේ ඉහළ ප්‍රගතියක් ලබා තිබෙනවා. අපගේ අභියෝගයය වනූයේ එන්නත ලබාදීමට විශේෂඥ නිර්දේශ ලැබෙන සියලු පූරවැසියන් එන්නත් කොට අවසන් කළ ප්‍රථම දිස්ත්‍රික්කය ලෙස නිරෝගීභාවයේ මූද්‍රාව ඓතිහාසික මාතොට මත තැබීමයි” දිස්ත්‍රික්කයේ කොරෝනා පාලන වැඩසටහන පිළිබඳ මාතර දිස්ත්‍රික් කොවිඩ් පාලන කමිටුවේ සභාපති ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේය.

කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ දිස්ත්‍රික්කයේ ජනතාවට මුහුණදීමට ඇති ආපදා තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීම සඳහාත් ජනතාවට සහන සැලසීම සඳහාත් දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක දක්වන්නේ ඉහළ කැපකිරීමකි. ඇතැම් අවස්ථාවන්වලදී නීති රාමුවට එහා ගිය ප්‍රායෝගිකත්වය තුළින් ඔහු දේශපාලන අධිකාරිය සමඟ එක්වී තම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සෘජු තීරණ ගත්තේය. ඉන් ලද ප්‍රතිඵල ඉතා වැදගත්විය.

“ආසාදිතයන් සඳහා සහන සැලැසීම, රෝග පාලනයට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සේම එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්කය තුළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. නිරෝධායනය වන පවුල් සඳහා අවශ්‍ය රජයේ සහන ලබාදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය පරිදි ලබාදී තිබෙනවා. ඒ වගේම එම වැඩසටහන්වල පසුවිපරම් ක්‍රියාවලියත් සාර්ථකව ක්‍රියත්මකයි. මුදල් ප්‍රතිපාදනවල කිසිදු අඩුවක් නෑ. ඒ නිසා කොවිඩ් පාලන වැඩසටහනේදී දිස්ත්‍රික්කයක් ලෙස අපට අවශ්‍ය ඉලක්ක කරා යාමට හැකිව තිබෙනවා” මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක පැවසීය.

මාතර දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලන කටයුතු වලදී සෞඛ්‍ය අංශයේ ප්‍රධානම කාර්යභාරය ඉටුකරනු ලබන්නේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයයි. ඒ සඳහා නායකත්වය ලබාදෙන්නේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්නය. ප්‍රාදේශී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දාහතක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් තිස් එක්දෙනෙකු කොවිඩ් පාලන කටයුතු සඳහා එක්ව සිටිති.

කොවිඩ් පාලන කටයුතුවලදී ජනතාව අතරටම ගොස් සේවා සපයන ප්‍රමුඛතම කණ්ඩායම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ය. රෝගීන් හඳුනාගැනීම, ඔවුන් ප්‍රතිකාර කටයුතු සඳහා යොමුකිරීම, ආශ්‍රතයින්සොයා යාම, ඔවුන් නිරෝධායනයට ලක්කිරීම, අවශ්‍ය උපදෙස් ලබාදීම, සහන සැලසීම් සඳහා නිර්දේශ ලබාදීම, එන්නත්කරණය සංවිධානය හා සිදුකිරීම, පසුවිපරම් සිදුකිරීම ඇතුළු වැඩිම කාර්යයන් ප්‍රමාණයක් සිදුකරනු ලබන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසිනි. ඒ සඳහා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දාහතරදෙනකුගේ නායකත්වය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හැත්තෑ අටදෙනෙකු දිස්ත්‍රික්කය පුරා සේවයේ යෙදී ඇත. මෙම කටයුතු වලදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ද ඉහළ දායකත්වයක් ලබාදෙනු ලබයි.

මෙයට අමතරව කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු සිදුකිරීම, සැකසහිත පිරිස් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මකවීමට මෙන්ම විශේෂිත එන්නත්කරණ කටයතු සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ පාලනය යටතේ ඇති කඹුරුපිටිය මූලික රෝහල, දෙනියාය මූලික රෝහල, වැලිගම, දික්වැල්ල, ගංගොඩගම, මොරවක, ඌරුබොක්ක, අකුරැස්ස, පල්ලේගම හා මාවරල රොහල් ද එක්කර තිබේ.

දිස්ත්‍රික්කයේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු වලදී ඉහළම දායකත්වයක් ලබාදෙන තවත් ස්ථානය වන්නේ මාතර දිස්ත්‍රික මහ රෝලය. රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මල්කාන්ති මැදිවක මඟපෙන්වීම මත එහි සේවා සිදුකරනු ලබයි. මාතර මහ රෝහලේ කොවිඩ් ආසාදිත වන පුද්ගලයින් සඳහා වාට්ටු දෙකක් ද ගර්භණී මාතාවන් සඳහා වාට්ටුවක්, ආසාදිත ළමයින් සඳහා වාට්ටුවක්, සැකසහිත පුද්ගලයින් රඳවා තැබීම සඳහා වාට්ටුවක් ද ඇඳන් හතකින් යුත් දැඩිසත්කාර ඒකකයක් හා ඇඳන් අටකින් යුත් අධි සත්කාර ඒකකයක් ද ක්‍රියාත්මකව ඇත. මෙයට අමතරව මාතර මහ රෝහලට අනුයුක්ත කොටවිල නව දිස්ත්‍රික් මහ රෝහලේ කාන්තා වාට්ටු තුනක් හා ඇඳන් අටක් සහිත දැඩි සත්කාර ඒකකයක් ද ක්‍රියාත්මකය.

මේ වන විට මාතර දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ එකසිය විස්සක පමණ කොරෝනා ආසාදිතවී ඇති අතර රෝහල් කටයුතු සඳහා ප්‍රමාණවත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයක් ද නැත. තත්ත්වය එසේවුව ද රෝහලේ රෝගී සත්කාරක සේවා කිසිදු අඩුවකින් තොරව සිදුකරමින් ඇත්තේ අනෙකුත් කාර්ය මණ්ඩලවල ඉහළ කැපවීම මතය.

මේ සියලු කටයුතු අතරේ එන්නත්කරණ වැඩසටහන සඳහා ද රෝහලින් සිදුවන්නේ ඉහළ දායකත්වයකි. විවිධ අසාත්මිකතා ඇති පිරිස් සඳහා මෙන්ම කොවිඩ් පාලන කාර්ය සාධක බළකාය මගින් නම්කරණ ලද පිරිස් සඳහා ද අඛණ්ඩ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත්තේ අනෙකුත් රෝගී සත්කාරක සේවා ද සමඟිනි.

“අපේ කණ්ඩායම ඉහළ පහසුකම් ගැන හිතන්නේ නැතිව කළහැකි උපරිමයෙන් වැඩකරනවා. අපේ රෝහලේ රෝගීන් සඳහා ඇඳන් හතලිහක වාට්ටුවක් හා සැකසහිත පිරිස සඳහා ඇඳන් විස්සක වාට්ටුවක් ක්‍රියාත්මක වෙනවා. මුල් අවස්ථාවට වඩා දැන් රෝගීන්ගේ අඩුවක් තිබෙනවා. අපේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු ද කොවිඩ් 19 ආසාදිතව සිටිනවා. කාර්යමණ්ඩල අඩුපාඩු ගැන නොසිතා අපි හැකි උපරිමයෙන් රෝගී සත්කාර සේවා ක්‍රියාත්මක කරනවා. අපිට ප්‍රදේශවාසීන්ගෙන් ද උදව් ලැබෙනවා. එය අපිට ශක්තියක්” කඹුරුපිටිය මූලික රෝහලේ රෝහල් අධිකාරී වෛද්‍ය රංජිත් ධර්මකීර්ති එලෙස පැවසුවේය.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වාර්තාවන්ට අනුව මේ වන විට වයස අවුරුදු තිහට වැඩි වයස් කාණ්ඩය සඳහා කොවිඩ් පාලන සයිනොෆාම් හා ඇස්ට්‍රාසෙනිකා එන්නත්වල පළමු මාත්‍රාව හාරලක්ෂ හැත්තෑදහසක් සඳහා ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව හාරලක්ෂ පහළොස් දහසක් සඳහා ලබාදී තිබේ. මෙයට අමතරව වයස අවුරුදු විස්සත් තිහත් අතර වයස් කාණ්ඩයේ තරුණ පිරිස සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බළකාය මඟින් ක්‍රියාත්මක කළ ෆයිසර් එන්නත ලබාදීමේ වැඩසටහන ද ඉතා සාර්ථකව ක්‍රියාමක කර ඇත. මේ අතර දිස්ත්‍රික් කොවිඩ් පාලන කමිටුව සඳහන් කළේ පසුගිය 12 දින ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා පනස්දහස එන්නත්කර අවසන් කිරීමත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු තිහ ඉක්මවූ සියලු පුරවැසියන් සඳහා එන්නත ලබාදී අවසන් කළ හැකිවනු ඇති බවයි.

Comments