ඩොලර් හිඟය හා ක්‍රීඩාව | සිළුමිණ

ඩොලර් හිඟය හා ක්‍රීඩාව

 

ලෝකයම අඩ වශයෙන් නිරුද්ධව ඇත. එසේ නැතැයි කියන්නට මෙන් ඔලිම්පික්, ලාලිගා, ප්‍රිමියර් ලීග් පාපන්දු, අයි.පී.එල්. වැනි ක්‍රිකට් තරග වැනි සුප්‍රකට තරගාවලි තවමත් සංවිධානය වෙයි. එහෙත් යතාර්ථය සමස්ත ලෝකයම වෙනදා තරම් නිරෝගීව අනවරත ධාවනයක නියැලෙන්නේ නැති බව පමණ ය.

ඒ අන්කිසිවක් නිසා නොව සමස්ත ලෝකයටම බලපා ඇති කොවිඩ් ව්‍යසනය හේතුවෙනි. මේ හේතුවෙන් වර්තමානයේ ක්‍රීඩා තරගාවලියකට සහභාගිවීමේ දී මෙන්ම සංවිධානය කිරීමේ දී ද විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇත. ඉන් පළමුවැන්න ජීව බුබුළක ක්‍රීඩක සංචිතයක් පවත්වාගෙන යාම ය. එම ජීව බුබුළ නොබිඳී ආරක්ෂා කිරීම ද මිල අධික ය. ජීව බුබුළට අයත් ක්‍රීඩකයන් වරින් වර පී.සී.ආර්. පරීක්ෂණයන්ට යොමුකරමින් ජීව බුබුළේ සුවතාව තහවුරු කරගැනීම තවත් ඉහළ මිලක් ගෙවිය යුතු ය.

එසේ පවත්වාගෙන යන ජීව බුබුළේ ක්‍රීඩකයන් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි කරවන්නේනම් ගුවන් ප්‍රවේශ පත්‍ර අරභයා දැරිය යුතු පිරිවැය අධික ය. ඒ කොවිඩ් වසංගතය අභිමුව ලෝකය පුරා ගුවන් ගමන් සිදුකිරීමේ සීමාවන් පවතින හෙයිනි. කෙසේ හෝ එකී වැයබරද දරාගනිමින් සංචාරයට සහභාගි වද් දී ඇතැම්විට රට තුළට ඇතුළුවීමට පෙර යම් නිරෝධායන කාලසීමාවකට යටත්වීමට ද සිදුවිය හැකි ය. ඊට වැයවන මූල්‍ය බර උසුලා ගැනීම තවත් අර්බුදයක් නිර්මාණය කරන්නේ ය. එසේ නොමැතිව ජීව බුබුළේ පී.සී.ආර්. පරීක්ෂණ හා අදාළ රටේ සෞඛ්‍ය බලධාරීන් ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණයක් මගින් තහවුරු කරගනිමින් තරගාවලියට සෘජුව එක්වීමේ පහසුකම් ද ඇතැම්විට ලැබෙන්නට පිළිවන.

එහෙත් සංචාරයක් වෙනුවෙන් අතිරේක ක්‍රීඩකයන් කීපදෙනෙක් රැගෙන යාමේ දුෂ්කරතා රාශියක් අත්විඳීමට සිදුවීම එක්තරා ආකාරයකට තවත් ගැටලුවකි. කොවිඩ් වසංගතයේ අවිනිශ්චිත බලපෑම් ක්‍රීඩාවට බලපා ඇති එක් ආකාරයක් එසේ ය.

තවත් අතකින් බලන විට තුන්වැනි ලෝකයේ බොහෝ රටවල් සිටිනුයේ උග්‍ර ඩොලර් හිඟයක ය. ඒ තමන්ගේ නිෂ්පාදන නිසි පරිදි ලෝකයට යවාගැනීමට නොහැකිවීම, කොවිඩ් බලපෑමට ලක්වුණු ගෝලිය ආර්ථිකය තවමත් යථාතත්ත්වයට පත්ව නොතිබීම මෙන්ම විවිධ රටවල මිලදී ගැනීමේ ශක්තිය සීමාවීම වැනි කරුණු ඉවහල් කරගනිමිනි. අප වැනි රාජ්‍යයකට විදේශිකයන් ගේ පැමිණීම හිඟවීමෙන් ඇතිවන ඩොලර් හිඟය, විදේශ ශ්‍රමිකයන්ගේ රැකියා සම්බන්ධයෙන් හා ගෙවිම් සම්බන්දව පවතින අර්බූද රට තුළ විනිමයේ හිඟයක් නිර්මාණය කරවා ඇත. නිර්යාත කරනු ලබන භාණ්ඩ සඳහා සීමාසහිත ඉල්ලුමක් තිබීම ඩොලර් එන තවත් ක්‍රමයක් වසා දමා ඇත.

එසේම කඩිනමින් රටම එන්නත්කරණය වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීමට රජයට සිදුව තිබේ. ඊට අමතරව ඖෂධ ආනයනයේ දී යෙදවිය යුතු මිල, ඉන්ධන මෙන්ම රට තුළ නොනිපදවෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙරටට ගෙන්වීමට වැයවන මුදල් ආදිය සලකා බලන කල ඩොලර් හිඟයක් නිර්මාණය වීම සාධාරණය. එවැනි තත්ත්වයක් උඩ රුපියල් සොයාගත්ත ද ඒවා ඩොලර් බවට පෙරැළා ගැනීම වඩා අසීරුය.

මේ වනවිට මල්ලවපොර සංගමයේ ක්‍රීඩකයන් කීපදෙනෙකුට විදේශ සංචාරයකට පිටත්ව යාමට ඩොලර් ගෙවීමට නොහැකිවී ඇත්තේ ද මෙවැනි තත්ත්වයක් තුළය. එය සමස්තයක් වශයෙන් කොවිඩ් ව්‍යසනයෙන් ලෝකයට සිදුවූ ආර්ථික බලපෑමේ අතුරු ප්‍රතිඵලයකි. මේ බව පළමුව අප තේරුම්ගත යුතු ය.

දෙවනුව මේ සඳහා අනුගමනය කළයුතු වැඩපිළිවෙලක් ඇත. ඒ හැකියාවක් පවතීනම් විදේශීයව ගිනුම් පවත්වාගෙන යන ඇතැම් ක්‍රීඩා සංගම් මගින් ඊට අවශ්‍ය ඩොලර් සපයා ගන්නට හැකිද යන්න විමසා බැලීමය. උදාහරණයකට ශ්‍රී ලංකා ක්‍රිකට්, පාපන්දු සම්මේලන මගින් ඒ සම්බන්දයෙන් විමසිය හැක. එසේ නොහැකිනම් අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් උපකාර ලබාගැනීමට හැකියාවක් පවතින්නේ ද යන්න ගැන සොයා බැලිය හැකිය.

එසේත් නැතහොත් ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සාකච්ඡා කර අදාළ රටේ ඔලිම්පික් කමිටුවෙන් හෝ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් උපකාරයක් ලබාගැනීම කෙරේ ද උත්සුක වීමට පිළිවන. ඒ සඳහා විවෘත ඇසකින් බැලීමත්, අදාළ බලධාරීන් හා සාකච්ඡා කිරීමත් පළමුකොටම සිදුකළ යුතුව ඇත.

මේ සියලු දේවල් අතරේ රටක් වශයෙන් කල්පනා කර කටයුතු කිරීම ද වැදගත් ය. ඒ අප පෙර කීවාක් මෙන් තුන්වැනි ලෝකයේ බොහෝ රටවල් විදේශ විනිමය හිඟයකට මුහුණපාමින් ඇති බව ය.

 

-------------------------

අගමැති අභියෝග කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය නොවැම්බරයේ දී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා කුසලාන ප්‍රදානය කරනු වස් සිව් කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් ශ්‍රී ලංකාවේ දී පැවැත් වීමට ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ඒ එළඹෙන නොවැම්බර් මාසයේ දී ය.

ශ්‍රී ලාංකේය පාපන්දු ඉතිහාසයේ පළමු වරට සංවිධානය කර ඇති සිව්කොන් පාපන්දු තරගාවලිය ඒ අනුව නොවැම්බර් මස 08 දින සිට 17 දින දක්වා කොළඹ පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාංගණය හෙවත් පැරණි තුරඟ තරග පිටියේදී පැවැත් වීමට කටයුතු යොදා ඇතැයි පාපන්දු සම්මේලනය පැවසී ය .

1990 දශකය තුළ පවත්වන ලද තුන්කොන් පාපන්දු තරග මාලාවෙන් ඉනික්බිතිව මෙරට දී ක්‍රියාත්මක කෙරෙන ප්‍රධානතම ආරාධිත ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය මෙය ය. ඒ සඳහා සහභාගී වීමට බංග්ලාදේශය, මාලදිවයින සහ සීෂෙල්ස් දූපත් මේ වනවිට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළුව ක්‍රියාත්මක කෙරෙන මෙම සිව්කොන් තරග මාලාවේ ශූරයින් හට "අග්‍රාමාත්‍ය කුසලාන" මහින්ද රාජපක්ෂ මහතා අතින් පිරිනැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

ඉකුත් සිකුරාදා (01) දින සිට ලබන 16 දින දක්වා මාලදිවයිනේ මාලේ අගනුවර දී ක්‍රියාත්මක කෙරෙණ දකුණු ආසියාතික පාපන්දු ශූරතාව හෙවත් සාෆ් තරගාවලියෙන් අනතුරුව ඒ සදහා සහභාගී වී සිටින සියලුම ක්‍රීඩකයින් නිරෝධායනය කර ජාතික සංචිතයේ පුහුණු ක්‍රියාවලිය මෙරට දී ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.

එහි දී ප්‍රදර්ශනය කරන දක්ෂතා පදනම් කර ගනිමින් සිව්කොන් තරගාවලියට සහභාගි කරවන ජාතික පාපන්දු පිල නම් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් මහතා අනාවරණය කළේ ය.

----------------------

ජාතික මලල ක්‍රීඩාව ශූරතාව අනූනව වැනි වතාවටත් සුගතදාස පිටියේදී

 

අනු නව වැනි ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි අදියර මෙම මස 30 සහ 31 යන දෙ දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා එළි දැක්වීමට අවස්ථාවක් උදා කර දෙමින් තරගාවලිය පූර්ව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව පවත්වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පැවසී ය.

ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතාවයේ පළමු අදියර පසුගිය මැයි මස පැවැත්වුණේ තෝරා ගත් ඉසව් කිහිපයකට සීමා කරමිනි. ඒ 32 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීම උදෙසා ය.

මෙම තරගාවලියේ දෙවැනි අදියර පසුගිය අගෝස්තු මස 09 සහ 10 යන දෙ දින කොළඹ දී පැවැත්වීමට ගත් පළමු උත්සාහය අසාර්ථක විණි. ඒ පළාත් අතර සංචරණ සීමා දැඩි කිරීමට රජය ගත් තීරණයත් සමඟිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති "කොවීඩ් - 19" සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ වලට අනුකූලව මෙවර ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලියේ සියලුම තරග ඉසව් ඔක්තෝබර් 30 සහ 31 පැවැත් වීමට මලල ක්‍රීඩා සම්මේලනය ඒ අනුව පියවර ගෙන තිබේ.

මීටර් 200 (පිරිමි සහ කාන්තා), මීටර් 800 (පිරිමි), මීටර් 1500 (පිරිමි සහ කාන්තා), මීටර් 5000 (පිරිමි සහ කාන්තා), මීටර් 10000 ( පිරිමි සහ කාන්තා), මීටර් 100 කඩුලු ( කාන්තා), මීටර් 400 කඩුලු (කාන්තා), දුර පැනීම (කාන්තා), උස පැනීම (පිරිමි සහ කාන්තා), රිටි පැනීම (පිරිමි සහ කාන්තා), තුන්පිම්ම (පිරිමි සහ කාන්තා), යගුලිය (පිරිමි සහ කාන්තා), මිටිය විසි කිරීම (පිරිමි සහ කාන්තා), දස ප්‍රයාම (පිරිමි), කවපෙත්ත (පිරිමි සහ කාන්තා) සප්ත ප්‍රයාම (කාන්තා) ඉසව් මෙම දෙදින තුළ පැවැත්වේ.

ජාත්‍යන්තර මට්ටමේ සහ ජාතික මට්ටමේ ජයග්‍රාහි ක්‍රීඩික ක්‍රීඩිකාවන් මෙන්ම අනාගත බලාපොරොත්තු තැබිය හැකි හා පරිසාධන මට්ටම් වෙත ළඟා විය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් මේ සඳහා කැඳවුම් ලැබේ. " කොවිඩ් 19 " තත්ත්වය මුල් කර ගනිමින් අදාළ තීරණයට එළැඹ තිබේ.

පසුගිය ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කරන ලද පළමු අදියර තරග ඉසව් ද මෙම තරගාවලිය ආශ්‍රිතව පැවැත් වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය අවධානය යොමු කර කර ඇති බවද වාර්තා වේ.

මේ අතර වාරයේ ආසියානු යොවුන් ශුරතා වයස අවුරුදු 18 න් පහළ බාලක සහ බාලිකා මලල ක්‍රීඩා තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ පළමු පරීක්ෂණය පැවැත්වෙන්නේ එළඹෙන නොවැම්බර් මස මැද භාගයදී ය.

මෙවර ආසියානු ශූරතා යෞවන මලල ක්‍රීඩා තරගාවලිය මාර්තු මස 01 දින සිට 04 දින දක්වා ක්වෙට් දේශයේ දී පැවැත්වීමට නියමිතය.

එමෙන්ම, ශ්‍රී ලංකා ජාතික සුපිරි මලල ක්‍රීඩා සංචිතයේ සාමාජික සාමාජිකාවන් උදෙසා ක්‍රියාත්මක කෙරෙන දක්ෂතා ඇගයීමේ පරීක්ෂණය සංවිධානය කෙරෙන්නේ දෙසැම්බර් මස 11 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී ය.

 සපුමල් වීදියබණ්ඩාර

Comments