වියරුවී නැඟෙන කාන්තා හඬ තලිබාන්වරුන්ගේ බිඳීවිද තෙද? | සිළුමිණ

වියරුවී නැඟෙන කාන්තා හඬ තලිබාන්වරුන්ගේ බිඳීවිද තෙද?

 

'දැන් ඇෆ්ගනිස්ථානයේ මං මාවත්වල විරෝධතා දක්වමින් පහර කමින්, තලිබාන් පාලනයට එරෙහිව හඬ නඟන්නේ එරට ළන්දු ය. සොඳුරු, සුකුමාල ඇෆ්ගන් ළඳුන් නිදහස අහිමි වීමේ වේදනාවෙන් එකිනෙකා කැටිවෙමින්, උද්ඝෝෂණ සංවිධානය කරද්දී තලිබාන් පාලකයෝ සිටින්නේ ඉස්ලාම් සංස්කෘතියට අනුව කාන්තාවන් ක්‍රීඩාවේ නියැළිය යුතු නැතැයි යන මතයේ ය. මේ ඒ සම්බන්ධයෙන් පළවන දහසක් මතවාද අතර තවත් එක් සංවේදී කතාවකි.'

'මම තවම ජාත්‍යන්තර ක්‍රීඩිකාවක් වෙන්න සිහින දකිනවා.' යැයි කියන්නේ ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩිකාවක වන ඇසෙල් ය. ඇසෙල් යනු අන්වර්ථ නාමයකි. ඒ දැන් ඈ සිටින්නේ සැඟව නිසා සැබෑ නම හෙළි කරන්නට නොහැකි හෙයිනි. එහෙත් ඉඳහිට හෝ ඈ කාබුල් නුවරට නොයන්නේ නොවේ. එහෙත් දැන් ඈ එසේ යන්නේ ඉතා කලාතුරකිනි.

මේ ආකාරයෙන් තලිබාන්වරුන්ගෙන් සැඟවී සිටින්නේ ඇසෙල් පමණක් නොවේ. ඈ හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළ ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකාවන් සිටින්නේ සැඟවී ගෙන ය. එසේ සැඟවී ඉන්නට ඔවුනට සිදුව ඇත්තේ මේ වන විට කාබුල් නුවර තලිබාන් සොල්දාදුවන් උමතුවෙන් මෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් සොයමින් සිටින නිසා ය.

'දැන් ක්‍රිකට් විතරක් නෙවෙයි සෙසු ක්‍රීඩාවන් හි නියැළිලා සිටි කාන්තාවන්ටත් කිසිම ආරක්ෂාවක් නෑ. කාබුල් නුවර තත්ත්වය ඒතරමට නරකයි.' ඈ පවසයි.

'හැබැයි අපි වට්ස්ඇප්වලින් ගොනුවක් හදාගෙන ඉන්නවා. එකිනෙකා හැමදාම කතා කරනවා. අපිට තියෙන ප්‍රශ්න වගේම ඒවායින් නිදහස් වෙන ආකාරය ගැන තමයි එතැන සංවාදයට ලක්කරන්නේ. ඒ වගේම ඉදිරියේ දී කළ යුතු සැලසුම් එකිනෙකා අතර බෙදා ගන්නවා. ඒත් ඇත්තම කියනවා නම් අපි ඔක්කෝම ඉන්නේ බලාපොරොත්තු සුන් වෙලා.' ඇසෙල් කියනවා.

තලිබාන් පාලනයට කාබුල් නුවර යටත් වුණු දවසේ සිට ඒ කියන්නේ අගෝස්තුවේ මැද කාලයේ සිට ඈ මේ විදිහට ජීවත් වන්නේ සැඟවී ගෙනයි. ඇගේ ක්‍රිකට් ඇඳුම්, පැලඳුම්, ඇඟලුම් ටික ලොක් කරලා හංගලා දාලා. එහෙම කරන්නේ තමන් සමඟ ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක් තලිබාන් සොල්දාදුවන්ගේ ඉලක්කයක් බවට පත්වුණු දා ඉඳනුයි.

'අපි ක්‍රිකට් ගහනකොට අපිව දැකපු සමහර මිනිස්සු දැන් තලිබාන් පාලනය එක්ක වැඩ කරනවා. ඒ නිසා තලිබාන් සොල්දාදුවෝ ඇවිත් ආයෙ ක්‍රිකට් ක්‍රීඩා කළොත් මරනවා කියලා අපේ යහළු ක්‍රීඩිකාවකට තර්ජනය කරලා තියෙනවා.' ඇසෙල් කියනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා හිටපු 'ටැඛ්වා' කියන ආරූඪ නමින් හඳුන්වන හිටපු එක ක්‍රීඩිකාවක් මේ වද්දී එරටින් පිටව ගොස් ඇත. ඈ ඉතා අසීරුවෙන් ගෙදරින් පැන ගොස් ඇෆ්ගනිස්ථානයෙන් පලාගොස් තිබුණා. ඒ ඈ හිතමිතුරන්ගේ ගෙයින් ගෙයට යමින් ඔවුන්ගේ නිවාසවල සැඟවිලා ඉඳලා.

'ඇත්තටම අපිට මොනවා වුණාද කියලා හිතන්නවත් මම දැන් කැමති නෑ. තලිබාන්ලා කාබුල් නුවර බලය අත්පත් කර ගත්තා. පස්සේ සතියක් පුරා මට කන්න, බොන්න බැරිව ගියා. වෙනකක් තියා මට නින්දක්වත් ආවේ නෑ.' ඈ පවසනවා.

'මම මෙහෙම හිතන්නේ මං ගැන විතරක් නෙවෙයි. මට මගේ කෙල්ලෝ ටික ගැන ඇත්තටම ගොඩාක් කනගාටුයි. ඔවුන් තමන්ගේ ජීවිතවල බොහෝ දේ කැප කළා. අධ්‍යාපනය වගේම තවත් සමහරු තමන්ගේ විවාහය පවා ක්‍රීඩාව නිසා කල් දැම්මා. ඒ ඇෆ්ගනිස්ථානයට ක්‍රීඩා කරන්න ඕනෑ නිසා. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ මොකක් ද? මට තියෙන්නේ ඔවුන්ගේ ජීවිත ගැන පුදුම කනගාටුවක්.' ඈ පවසනවා.

එහෙත් දැන් එරට කාන්තා ක්‍රීඩාවට බොහෝ දුරට තහංචි වැටිලා අවසන්. මේ බව ඔවුන්ගේ සංස්කෘති සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානියා ඉඟි පළ කර තිබුණා.

කෙසේ නමුත් ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් විසිපස් දෙනෙකුට කොන්ත්‍රාත් ගිවිසුම් ලබා දුන්නේ පසුගිය වසරේදී යි. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙමින් දක්වන දක්ෂතාවලට යම් වෘත්තීමය භාවයක් ලබා දීම වශයෙන්. එමඟින් ඔවුන් ජාතික කාන්තා කණ්ඩායමක් නිර්මාණය කරන්නට අපේක්ෂා කළා. එසේම එවැනි කාන්තා කණ්ඩායමක් ඇති කිරීම මඟින් තමන්ට අයි.සී.සී. යේ පූර්ණ සාමාජිකත්වය දිනා ගැනීමට හැකියාව උදාවන බවත් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය දැන සිටියා.

එය වැදගත් වන්නේ ටෙස්ට් තරග ක්‍රීඩා කිරිමේ අවස්ථාව හිමි වන්නේ අයි.සී.සී. යේ පූර්ණ සාමාජිකයන් වූ රටවල්වලට පමණක් නිසා. ඒ අනුව ඔවුන් මේ වසරේ නොවැම්බරයේ ඔස්ට්‍රේලියාව සමඟ හෝබාර්ට් හි දී තරග වැදීමට නියමතවයි සිටියේ. ඒත් දැන් තියෙන තත්ත්වය අනුව ඔවුන්ට ඒ අවස්ථාව ඇහිරී යනු ඇතැයි විශ්වාස කළ හැකියි.

ඔවුනට මෙවැනි අභාග්‍යයකට මුහුණදීමට සිදුව ඇත්තේ කාන්තාවන් ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවශ්‍ය නැතැයි තලිබාන් සංස්කෘතික කොමිසම ප්‍රකාශ කර තිබීම. ඒ මතය ප්‍රකාශ කර ඇත්තේ එහි නියෝජ්‍ය ප්‍රධානියා වන අහමදුල්ලා වසීඛ්. ඔහු ඒ ගැන දරන්නේ මෙවැනි මතයක්.

'මම හිතන්නේ නෑ කාන්තාවන්ට ක්‍රිකට් ගහන්න ඉඩ දෙන්න උවමනායි කියලා. මොකද ඔවුන් අනිවාර්යයෙන්ම ක්‍රිකට් ගැසිය යුතු නැති නිසා.' වසීඛ් පවසනවා.

එවැනි තීරණයකට එළඹෙන්න හේතු වන්නේ ඇයි දැයි යන්න ගැනත් ඔහු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

' ක්‍රිකට් ක්‍රීඩාවෙදි යම් යම් අවස්ථානුකූල ව ක්‍රීඩාවේ නියැළෙන්නන්ට තමන්ගේ මුහුණ සහ සිරුර නිරාවරණය කරන්න සිද්ධ වෙනවා. මුළුමනින්ම සිරුර ආවරණය වෙන්නේ නෑ. ඒක ඉස්ලාම් ආගමට අනුව නොගැළපෙන දෙයක්.'

'ඒක මාධ්‍ය විසින් පාලනය කරන තැනක්. එතැන දී පින්තූර ගන්නවා, වීඩියෝ කරනවා. ඊට පස්සේ ඒවා මිනිස්සු අතරට යැවෙනවා. ඉස්ලාම් ආගම, ඉස්ලාම් රාජ්‍යයක් කාන්තාවන් ක්‍රිකට් ගහන්න ඉඩ දෙන්න කැමති වෙන්නේ නෑ. ක්‍රිකට් විතරක් නෙවෙයි ඒ වගේ කාන්තාවන් සමාජයට නිරාවරණය වන ක්‍රීඩාවන් කිසිවකට ඉඩක් දෙන්නේ නෑ.' ඔහු පවසනවා.

එම තත්ත්වය පිරිමින් සහභාගි වන ක්‍රීඩාවන්ට බලපාන ආකාරය සම්බන්ධයෙන් කර ඇති විමසීමකට පිළිතුරු දෙමින් වසීඛ් පවසන්නේ, ඉස්ලාම් දහමට හානිකර කිසිවක් සිදු කිරීමට ඉඩක් නොමැති බවයි. ' බොහෝ අභියෝග හා ප්‍රශ්න නිර්මාණය වෙයි. එතැනදි අපිට අපේ ආගම වෙනුවෙන් සටන් වදින්නත් වේවි. නමුත් ඉස්ලාමයේ වටිනාකම්වලට හරස්ව ගිහිල්ලා වෙනත් ක්‍රියාමාර්ග ගන්න අපි අපේක්ෂා කරන්නේ නෑ.' ඔහු පවසනවා.

කෙසේ නමුත් මේ වන විට ඇෆ්ගන් කතුන් තලිබාන් පාලනයට එරෙහිව වියරු වැටී සිටින්නේ. ඔවුන් පෙළපාළි සංවිධානය කරනවා. තමන්ගේ අයිතිවාසකම් ඉල්ලා ඉන්නවා. එහෙත් පසුගිය දවසක තලිබාන් පාලකයෝ උද්ඝෝෂණ පවත්වන්නේ නම් පූර්ව අවසර ලබා ගත යුතු බවට නීතියක් සම්පාදනය කරගෙන තිබුණා. එසේම කිසිදු උද්ඝෝෂණයක් ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව නැති බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

Comments