කළ කම් පල දුන් හැටි | සිළුමිණ

කළ කම් පල දුන් හැටි

වමේ සිට, ඝාතනය කළ සචින්තිකා සහ සයමස් බිලිඳා බෝවාස්

පරාධයක් කළහොත් කිසිදා වසන් විය නොහැකිය. ඒ බව පසක් වන අපරාධ සිද්ධීන් ඉතිහාසය පිරික්සීමේදී එමටය. වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග ඉඳුනිල් බණ්ඩාර ඒකනායක ප්‍රමුඛ නිලධාරි කණ්ඩායම මාස ගණනාවක් පුරා සිදු කළ සියුම් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස පසුගිය 7 වැනිදා අලුයම පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණේය. ඔහු වවුනියාවේ, කෝවිල්පුදුකුලම්හි පදිංචි 28 හැවිරිදි මනෝරාජ් නමැත්තෙකි. මනෝරාජ් පසුගිය 9 වැනිදාට හරියටම වසර 6ක් පිරුණු සචින්තිකා පරමේෂ්වරන් සහ සයමස් බිලිඳකු වූ බෝවාස් පරමේෂ්වරන් ඝාතනයට වගකිවයුත්තා බව අනාවරණය ගත්තේ එම ඝාතනයන්හි අගමුල සියල්ල සමඟිනි.

පසුගිය වසර හය පුරාවටම සචින්තිකාගේ දෙමාපියන් ඇය සහ බිලිඳා අතුරුදන්ව ඇතැයි සිතා පොලිසියට අමතරව මානව හිමිකම් කොමිෂන් ඇතුළු බොහෝ ස්ථානවලට පැමිණිලි කරමින් තම දියණිය සහ බිලිඳා සොයමින් සිටියහ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග ප්‍රමුඛ කණ්ඩායම සිදු කළ විමර්ශනයෙන් 2015 අගෝස්තු 09 වැනිදා රාත්‍රී 9ට පමණ සචින්තිකාට සහ බිලිඳාට සිදුවූ අහස - පොළොව නුහුලන අපරාධයේ සියලු තතු මේ වන විට අනාවරණය වී තිබේ.

එම ශෝචනීය කතාන්දරය දිග හැරෙන්නෙ මෙලෙසිනි.

සචින්තිකා පරමේෂ්වරන් 2015 වසරේ 20 හැවිරිදි තරුණියකි. යාපනය කොණ්ඩාවිල්හි විසූ සචින්තිකාට නැඟණියක්ද සිටියාය. ත්‍රස්තවාදයෙන් විනාශ වූ උතුරු දුම්රිය මාර්ගයේ යාපනය ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතුවලට විවිධ පෙදෙස්වලින් එසමයෙහි පිරිස ගොස් සිටියහ. එලෙස සේවයට ගිය වවුනියාවේ පිරිසක් නතර වී සිටියේ සචින්තිකාගේ නිවෙසට යාබද බෝඩිම් නිවෙසකයි. එම පිරිස සමඟ එවකට 22 හැවිරිදි වියේ පසුවූ මනෝරාජ්ද ගොස් සිටියේය. පවුලේ එකම පිරිමි දරුවා වූ මනෝරාජ්ට වැඩිමහල් සහ බාල සහෝදරියන් දෙදෙනෙක් වූහ. බෝඩිමේ සිටියදී මනෝරාජ් සහ සචින්තිකා අතර ආදර සබඳතාවකට මුල පිරිණි. එම ආදර සබඳතාව දුරදිග යාමෙන් සචින්තිකා ගැබ් ගත්තාය.

ඒ සමඟ සචින්තිකා මනෝරාජ්ට පෙරැත්තය පෑවේ ඇයව විවාහ කරගන්නා ලෙසටයි. එහෙත් මනෝරාජ් නිතරම "ඔය ළමයා මගේ නෙවෙයි..." කියමින් සචින්තිකා සමඟ අඩදබර ඇති කරගත්තේය. සචින්තිකා බිහි කළ කිරිකැටියාට මාස හයක්ද පිරිණි. දෙදෙනාට විවාහ වන ලෙස දෙමාපියෝද බල කළහ. ඒ අනුව 2015 අගෝස්තු 09 වැනිදා වවුනියාවට ගොස් විවාහ වෙනවා යැයි සචින්තිකාගේ ඥාතින්ට පවසා ඔහු සචින්තිකා සහ බිලිඳාද කැටුව වවුනියාවට ඒමට පිටත් වූහ. එදින තිදෙනා වවුනියාවට එන විටදී රෑ බෝවෙමින් තිබුණේය.

වවුනියාව නගර මධ්‍යයේ වෙළෙඳසලකින් ප්‍රයිඩ් රයිස් කෑම පැකට් එකක්ද ගත් මනෝරාජ් බීර කැන් දෙකක්, දුම්වැටි සහ ඉටිපන්දම් තුනක්ද ගත්තේය. අනතුරුව යන්නට වූයේ මනෝරාජ්ලාට අයත් වවුනියාවේ මුරුගන් ඌර්හි පිහිටි පාළු නිවෙසකටයි. එම නිවෙසේ ඒ වන විට කුඩා දරුවකු සමඟ පවුලකට විසීමට අවැසි කිසිදු ගෘහ උපකරණයක් නොවීය. බිලිඳාද තැබුවේ බිම එළුෑ රෙදිකඩක් මතයි. මත්පැන් පානය කළ මනෝරාජ් රැගෙන ආ බත් පැකට් එකද සචින්තිකා සමඟ බෙදාගෙන කෑමට සැරසෙද්දීම දෙදෙනා අතර බහින්බස් වීමක් හට ගැනිණි. ඊට ක්ෂණිකව ක්‍රියාත්මක වූ මනෝරාජ්, සචින්තිකාගේ ගෙළ සිඳ දැමීය. ඉන් ඇයව එම ස්ථානයේදීම මෙලොව හැර ගියාය. දෙදෙනා අතර රණ්ඩුවට මැදි වූ බිම සිටි බිලිඳාද මනෝරාජ්ගේ පයට පෑගුණේය. බිලිඳාට වූයේ කුමක්ද යන්න ඔහු සොයා බැලුවේ නැත.

සචින්තිකා ඝාතනයෙන් පසු මනෝරාජ් ඇයගේ සිරුර නිවෙසේ සිට මීටර් 20ක් පමණ එපිටින් වූ කුණු වළට ගෙන ගොස් දැමීය. ඊට තවත් කුණුරොඩු සහ භූමිතෙල් වක්කොට ඉක්මනින් ගිනි ගැනිමට සීනිද එක්කොට ගිනි තැබීමට තරම් මනෝරාජ් සාහසික වූයේය. ඇයගේ සිරුරට ගිනි තැබූ මනෝරාජ් නිවෙසට පැමිණ බිලිඳා රැගෙන යාමට සැරසුණේ ඊට මඳ දුරකින් වූ සිවන් කෝවිලටයි. ඒ, බිලිඳා එම කෝවිලේ තබා පලා යාමේ අටියෙනි. මනෝරාජ් කෝවිලට ගමන් කළේ මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයකිනි. එම ත්‍රිරෝද රථ රියැදුරා විමසූයේ,

"අයියා කොහේද මේ රෑ පොඩි එකාව අරන් යන්නෙ..." ලෙසිනි.

"මෙයාගේ අම්මා මගෙත් එක්ක රණ්ඩු වෙලා ගියානේ... එයාව බලන්න යන්නෙ..." කියා මනෝරාජ් පිළිතුරු දුන්නේය.

ඔහු කෝවිලට ගොස් බිලිඳා තබා පැන යාමට තැත් කළත් කිරිකැටියාගෙන් කිසිදු හාහූවක් දිස් නොවීය.

මනෝරාජ් බිලිඳා ගැන සෝදිසි කර බැලීය. ඒ වන විටත් බිලිඳා මියගොසිනි. ඒ, සචින්තිකාගේ ගෙල මිරිකන අවස්ථාවේ ඔහුගේ පයට පෑගීම නිසාවෙන් බව මනෝරාජ්ට සිහිපත් වූයේය. එහෙත් ඒ් වනතුරු බිලිඳා මියගොස් සිටි බවක් ඔහු දැන නොසිටියේය.

ක්ෂණයෙන් මියගිය බිලිඳාද රැගෙන එම ස්ථානයෙන් පිටත්වූ මනෝරාජ් වෙනත් ත්‍රිවිලරයක නැඟී පැමිණියේ සචින්තිකාගේ සිරුර පිලිස්සෙන ස්ථානයටයි. ඒ වන විටත් එම ස්ථානය ගිනි ජාලාවක් වී තිබුණේය. හිත්පිත් නැති මනෝරාජ් තම ලෙයින් උපන් බිලිඳාගේ සිරුරත් එම ගිනි ජාලාවටම විසි කළේය.

සිරුරු දෙකම පිලිස්සෙද්දි එම ස්ථානයෙන් පිටමංවූ මනෝරාජ් පා ගමනින්ම ගියේ වවුනියාව නගරයටයි. ඒ වන විට මධ්‍යම රාත්‍රියටද ආසන්න වෙමින් තිබුණේය. වවුනියාව නගරයෙන් කොළඹ බලා පිටත්වූ බසයකට නැඟුණු ඔහු නතර වූයේ කොළඹට පැමිණයි. දින කිහිපයකින් නැවතත් මවගේ නිවෙසට යන ඔහු බස් කොන්දොස්තර රැකියාවක නිරත වෙමින් සිටියේය. එහෙත් ඔහු වවුනියාවේ එතරම් ගැවසුණේ නැත.

ඒ අතර සචින්තිකාගේ දෙමාපියෝ ඇය සහ බිලිඳාගේ අතුරුදන් වීම පිළිබඳව වවුනියාව පොලිසියට පැමිණිලි කළහ. දෙමාපියෝ, දියණියගේ සියලු තතු පවසමින් මනෝරාජ් සමඟ වූ සබඳතාවත් ඇයව කසාඳ බඳින බව පවසා අසවල් දින පැමිණි බවත් පොලිසියට සැල කර සිටියේය. ඒ අනුව සිදුවීම වූ දිනවලම අදාළ පැමිණිල්ල මත වවුනියාව පොලිස් නිලධාරින් විසින් මනෝරාජ්ගෙන් කිහිප වරක්ම ප්‍රශ්න කෙරිණි. ඒ සෑම විටෙකදීම ඔහු පොලිසියට කිවේ,

"සර්... එයා එදා දරුවත් සමඟ මාත් එක්ක ආවා තමයි... ඒත් එනකොට අපි දෙන්නා රණ්ඩු වුණා... පස්සෙ සචින්තිකා දරුවත් සමඟ කිලිනොච්චියේදී බස් එකෙන් බැහැලා ගියා... ඒ ගියා ගියාමයි... එච්චරමයි මම දන්නෙ..."

කෙසේ හෝ වවුනියාව පොලිසිය සිදුකළ විමර්ශනවල එතරම් ප්‍රගතියක් නොවීය. සැවොම සිතුවේ සචින්තිකා සහ බිලිඳා අතුරුදන්ව කොහේ හෝ ප්‍රදේශයක ජීවත් වෙනවා යන්නයි.

කාලය කෙමෙන් ගෙවී ගියේය.

මනෝරාජ් ඒ අතර කාලයේදී බස් කොන්දොස්තර රැකියාවේද නිරත වන අතරේ දෙවරක්ම ඩුබායි රටට ගොස් රැකියාවල ද නිරතව සිටියේය. මේ අතර මෙකී විමර්ශන වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයටද බාර කෙරිණි. ගිය වසරේ වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නව ස්ථානාධිපතිවරයා ලෙස පත්වීම් ලැබ පැමිණියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග ඉඳුනිල්ය. වවුනියාව කොට්ඨාස බාර ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස ලාල් උපදෙස් දුන්නෙ සචින්තිකාගේ අතුරුදන්වීම පිළිබඳ විමර්ශනය නැවතත් මුල සිටම පුළුල් විමර්ශනයක් ලෙස සිදුකරන ලෙසටයි. ඒ අනුව උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාරගේ අධීක්ෂණයෙන් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න සහ වවුනියාව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස ලාල්ගේ උපදෙස් මත වවුනියාව අංක 1 සහකාර පොලිස් අධිකාරි මල්වලගේගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග ප්‍රමුඛ උපපොලිස් පරීක්ෂක වන්නිනායක, පොලිස් සැරයන්වරුන් වන 28049 බාලසූරිය, 45401 ජීවානන්ද, 61518 රන්වල, කොස්තාපල්වරුන් වන 68955 නන්දන, 76321 නලින්, 78448 වීරසේන සහ 2588 වසන්ත යන නිලධාරිහු සචින්තිකාට වූයේ කුමක්ද යන්න සොයා බැලීමට සියුම් විමර්ශනයක් ආරම්භ කළහ. 

එම විමර්ශනයේදී ගිය වසරේදී සචින්තිකා ඝාතනය වන විටදී භාවිත කළ දුරකථනය සොයා ගැනීමට නිලධාරිහු සමත් වූහ. ඉතාම සියුම් වූත් වෙහෙසකර විමර්ශනයකින් පසු නිලධාරින් දුරකථනය සොයා ගනිද්දී එය සතු වූයේ අනුරාධපුරයේ වෙසෙන දමිළ ජාතික පෑස්සුම්කරුවෙක් සන්තකයේයි. සචින්තිකා ඝාතනයෙන් පසු මනෝරාජ් පලා ගොස් තිබුණේ ඇයගේ දුරකථනයද රැගෙනයි. දින දෙකක් එම දුරකථනය ළඟ තබාගත් ඔහු එය විකුණා දැමුණේ වවුනියාවේ අයෙකුටයි. පසුව දුරකථනය කිහිප දෙනෙකුගේම අතින් අතට ගොස් විමර්ශන නිලධාරින් සොයා ගනිද්දි වුයේ පෑස්සුම්කරුවා සතුවයි. පෑස්සුම්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී එම දුරකථනය කිහිප දෙනෙකුගේම අතින් අතට යමින් ඔහුගේ අතට පත්වූ ආකාරය හෙළි විණි. එහිදී දුරකථනය මිලදී ගත් අය එකිනෙකා සොයා යද්දී මුලින්ම එය මනෝරාජ් විසින් විකුණා තිබූ ආකාරය මනාව තහවුරු විණි. අනතුරුව මනෝරාජ්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා මෙන්ම ඔහු පිළිබඳව තොරතුරුකරුවන්ගෙන් ලද හෝඩුවාවන් ඔස්සෙ සිදුකළ විමර්ශනයෙන් පසු පසුගිය 7 වැනිදා අලුයම වවුනියාවේ ස්ථානයක මත්පැන් පානය කරමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගැනීමට නිලධාරිහු සමත් වූහ. පසුගිය කාලයේම කොළඹ ප්‍රදේශයේ විසූ මනෝරාජ් වවුනියාවට පැමිණ තිබුණේ කලාතුරකිනි. අත්අඩංගුවට පත් මනෝරාජ් වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ටද පවසන්නට වූයේ මුලින් විමර්ශන කළ නිලධාරීන්ට කී සචින්තිකා කිලිනොච්චියෙන් බැස ගිය කතාන්දරයමයි.

එහෙත් මෙවර පොලිසියෙන් ගැලවීමක් නොමැති ආකාරයට තිතටම විමර්ශන සිදුවී තිබූ හෙයින් මනෝරාජ්ට සියල්ල වමාරන්නට වූයේ මීට වසර හයකට පෙරදී සචින්තිකාට සහ බිලිඳාට තමා විසින් සිදුකළ ඛේදනීය අපරාධයේ සියලු තතු හෙළි කරමිනි.

ඒ අනුව වසර හයක් පුරා සචින්තිකාගේ දෙමාපියෝ අතුරුදන් යැයි සිතා සිටි දියණිය සචින්තිකා පරමේෂ්වරන්ට සහ සය මස් බිලිඳා බෝවස් පරමේෂ්වරන්ට වූයේ කුමක්ද යන්න මේ වන විට හෙළි වී අවසානය.

අපරාධයක් සිදු කළහොත් කිසිදා වසන් විය නොහැකි බව මින් නැවත නැවතත් පසක් වනවා සේම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අතිදක්ෂ නිලධාරින්ගේ කැපවීමද මෙවැනි විමර්ශනවල ප්‍රගතියෙන් මනාව පිළිබිඹු වේ.

Comments