රට බබ­ළ­ව­න්න ඔලි­ම්පික් ගිය අපේ වීරයෝ | සිළුමිණ

රට බබ­ළ­ව­න්න ඔලි­ම්පික් ගිය අපේ වීරයෝ

 

මිලියන 22ක ශ්‍රී ලාංකිකයන්ගේ නොමඳ සුබපැතුම් හා ආශිර්වාදය මැද ටෝකියෝ ඔලිම්පික් උලෙළට සහභාගි වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කමක් කරා යෑමේ අවස්ථාවක් නොලැබුවද ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමේ දුර්ලභ භාග්‍යයක් ලද ශ්‍රී ලාංකික දූ පුතුන් 9 දෙනාම ජාතියේ ගෞරවයට පාත්‍ර වූයේ ඔවුන්ගේ ඉදිරි ගමනට හැම අතින්ම ශක්තියක් වෙමිනි. ටෝකියෝ නුවර ඔලිම්පික් ගම්මානයේ ශ්‍රී ලංකා ධජය ඉහළට ඔසවා තැබූ මේ අභිමානවත් දූ පුතුන් සිය තරග ඉසව්වට සහභාගි වූයේ ඔවුනොවුන් අතර විශේෂ වාර්තා රැසක් බෙදා හදා ගනිමිනි. මේ අතරින් ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග ඉසව් සඳහා ශ්‍රී ලංකාවේ නියෝජනයක් අවසන් වරට ලැබී තිබුණේ දශක කිහිපයකට පසුවය. තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකුගේ තරග ඉසව් සඳහා මීට පෙර ශ්‍රී ලාංකික ඔලිම්පික් නියෝජනයක් තිබුණේම නැත. එය ශ්‍රී ලංකාව ලැබූ තවත් ජයග්‍රහණයකි.

ටෙහානි එගොඩවෙල (වෙඩි තැබීම්)
 

ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කරමින් ජාතියේ ගෞරවයට පාත්‍ර වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් යුපුන් අබේකෝන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පසුගිය වසරේ අග භාගයේ ජර්මනියේ ඩෙසොව් නුවර පැවැති මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 තරග ඉසව්ව තත්පර 10.16කින් නිමාකොට දකුණු ආසියාවේ වේගවත්ම ධාවන ශූරයා බවට පත්වූ මේ අප්‍රතිහත ධෛර්යකින් යුතු ක්‍රීඩකයා ටෝකියෝ ඔලිම්පික් උලෙළට එක්වූයේ වසර 25කට පසු ශ්‍රී ලංකාවෙන් මීටර් 100 ඉසව්වෙන් ඔලිම්පික් වරම් ලැබූ පළමු ක්‍රීඩකයා වීමේ අභිමානයත් තුරුලු කරගෙනය. යුපුන්ට මූලික වටයෙන් ඔබ්බට යෑමට අවස්ථාවක් හිමි නොවූව ද ලොව පුරා දහස් ගණනක කෙටි දුර ධාවකයන් අතරින් ඔලිම්පික් තරග වරම් දිනා ගත් ක්‍රීඩකයන් 62 දෙනා අතරට ඇතුළත් විමේ භාග්‍යය උදාකර ගැනීමත් විශාල ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෝකියෝ ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර වැඩි කතාබහට ලක්වූ ක්‍රීඩිකාව වන්නේ තුරඟ තරග ඉසව්වට සහභාගි වූ මැටිල්ඩා තනූජා කාසන්ය. රුපියල් කෝටි 142ක් වටිනා ජවසම්පන්න අශ්වයකු රැගෙන ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීමට මැටිල්ඩා ටෝකියෝ නුවරට සේන්දු වූයේ ජර්මනියේ සිටය. ශ්‍රී ලංකාවේ සහ ස්විඩනයේ පුරවැසිභාවය හිමි මේ හැඩකාර යුවතියගේ භාරකාරීත්වය ස්වීඩන් ජාතික පවුලකට හිමිවූයේ ඇය තුන්මස් බිලිඳියකව සිටියදීය. ස්වීඩනයේ ජීවත්වූව ද වරින් වර ශ්‍රී ලංකාවට පැමිණෙන ඇයට තිබූ එකම බලාපොරොත්තුව වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උලෙළට සහභාගිවීමටය. සිය මාතෘභූමියට දැඩි සේ ආදරය කරන මැටිල්ඩාට අවශ්‍ය වූයේ ශ්‍රී ලාංකේය නාමය අන්තර්ජාතික අසුන් පැදවීමේ ක්‍රීඩාවෙන් ඉහළට ඔසවා තැබීමටය. මෙවර ටෝකියෝ නුවරදී ඔලිම්පික් ඉතිහාසයේ පළමුවරට තුරඟ තරග බිමේ ශ්‍රී ලාංකේය නාමය සටහන් කිරීමට සමත්වූ මැටිල්ඩාගේ එකම බලාපොරොත්තුව තුරඟ තරග බිමේ ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමය.

බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මට්ටමට ඔසවා තබමින් ටෝකියෝ ඔලිම්පික් උලෙළ නියෝජනය කළ නිලූක කරුණාරත්න මෙරට සුවහසක් ක්‍රීඩාලෝලීන්ගේ ආදරය දිනා ගත් ක්‍රීඩා තරුවකි. හෙතෙම ඔලිම්පික් වරම් දිනා ගනු ලැබුවේ පිට පිට තුන්වැනි වරටය. මීට පෙර 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උලෙළත්, 2016 වසරේ රියෝ ඔලිම්පික් උලෙළත් නියෝජනය කළ නිලූක එවැනි කඩඉමක් පසුකළ සිවුවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වේ.

නිමාලි ලියනාරච්චි (මලල ක්‍රීඩා)

වසර 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළට පළමුවරට සහභාගි වෙද්දී ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 48 වැනි තැන සිටි නිලූක එහිදී ලොව අටවැනි ස්ථානයේ පසුවූ ජපාන ක්‍රීඩකයා පරාජය කරමින් ලොවම මවිතයට පත් කිරීමට සමත්වූ අතර, වසර 17ක්ම මෙරට ජාතික බැඩ්මින්ටන් ශූරයා වේ.

ඔහු බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ජයග්‍රහණ රැසක් අත්කරදීමට සමත්වූ අතර, තම ඉසව්වෙන් මහාද්වීප 5දිම රන් පදක්කම් දිනූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස අද්විතීය වාර්තාවට ද හිමිකම් කීවේය. වසර 4ක් පුරා ලොව හොඳම බැඩ්මින්ටන් ක්‍රීඩකයන් අතර පළමු සිය දෙනා අතර සිටි එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වන නිලූක මෙරට ක්‍රීඩා ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක් ලියා තැබූවේය.

මීටර් 800 තරග ඉසව්වේ වත්මන් ජාතික ශූරිය නිමාලි ලියනාරච්චි ශ්‍රී ලාංකික අභිමානය ටෝකියෝ නුවරට රැගෙන ගිය තවත් විශිෂ්ට ක්‍රීඩිකාවකි. මිටර් 800 තරග ඉසව්වෙන් මෙවර ඔලිම්පික් වරම් දිනූ අන්තර්ජාතික ක්‍රීඩිකාවන් 62 දෙනා අතරට එක්වීමට සමත්වූ මේ දිරිය දියණිය ඔලිම්පික් උලෙළ නියෝජනය කළේ පළමුවතාවටය. වසර 2016දී එම තරග ඉසව්වෙන් දකුණු ආසියා රන් පදක්කම් දිනූ ඇය මූලික වටයෙන් ඔබ්බට යෑමට අසමත් වූවත් ටෝකියෝ ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීමේ ගෞරවයත් සමඟ වෙනම වාර්තාවකට හිමිකම් කීමට සමත් වූයේ වසර 29කට පසු මීටර් 800 තරග ඉසව්වට ඔලිම්පික් ගිය පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසිනි. ඊට පෙර අවසන් වතාවට එම තරග ඉසව්වෙන් ඔලිම්පික් උලෙළ නියෝජනය කරනු ලැබුවේ 1992 බාසිලෝනා ඔලිම්පික් උලෙළට එක්වූ ශ්‍රියානි ධම්මිකා මැණිකේ විසිනි.

චාමර නුවන් ධර්මවර්ධන (ජූඩෝ)

මෙරට වෙඩි පිටියේ ජාතික ශූරියගේ කිරුළට හිමිකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ ටෙහානි එගොඩවෙල ඔලිම්පික් උලෙළ නියෝජනය කළේ වසර 16කට පසු එම ඉසව්වෙන් ඔලිම්පික් තරග බිමට පිවිසි පළමු ක්‍රීඩිකාවගේ වාර්තාවත් කරපින්නාගෙනය. කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉසව්වට ඇය එක්වූ අතර, අවසන් වරට 2004 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උලෙළට එක්වූ ක්‍රීඩිකාව පුෂ්පමාලි රාමනායකය. සිය තරග ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියන ටෙහානි ඔලිම්පික් උලෙළට එක්වූයේ ආසියාවේ වෙඩි තැබීමේ හොඳම ක්‍රීඩිකාවන් සියදෙනා අතරට සහ අන්තර්ජාතික කාන්තා වෙඩි තැබීමේ ශ්‍රේණිගත කිරීම්වල හොඳම ක්‍රීඩිකාවන් අතර 223 වැනි ස්ථානයට අයිතිවාසිකම් කියමිනි.

ටෝකියෝ ඔලිම්පික් උලෙළේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමේ වාසනාව අත්කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චාමර නුවන් ධර්මවර්ධන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළේ අඛණ්ඩව දෙවැනි වරටය. මීට පෙර 2016 වසරේ රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ දෙවැනි වටය දක්වා තරග කරමින් අන්තර්ජාතික අවධානයට පාත්‍ර වූ චාමර ජූඩෝ ක්‍රීඩාවෙන් ඔලිම්පික් වරම් දිනූ පළමු හා එකම ක්‍රීඩකයා ලෙස ඔහුගේ නාමය මෙරට ක්‍රීඩා ඉතිහාසයට එක්වී හමාරය.

මිල්කා ගෙහානි (ජිම්නාස්ටික්)

ශ්‍රී ලංකාවේ පිහිනුම් ජාතික වාර්තා 9කටම හිමිකම් කියන විශිෂ්ට පිහිනුම් ශූර මැතිව් අබේසිංහ ටෝකියෝ ඔලිම්පික් උලෙළේ මීටර් 100 නිදහස් ආර තරග ඉසව්වට එක්වූයේ පිට පිට දෙවැනි වරටය. ඊට පෙර 2016 රියෝ ඔලිම්පික් උලෙළ නියෝජනය කළ මැතිව්ට මූලික වටයෙන් ඉවත්වීමට සිදුවුවද පිහිනුම් ක්‍රීඩාවෙන් ඔහු ශ්‍රී ලංකාවට අත්කර දී ඇති අභිමානය දෙවැනි වන්නේ මෙරටින් බිහිවූ විශිෂ්ටතම පිහිනුම් ශූරයා ජුලියන් බෝලිංට පමණි. දකුණු ආසියා ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7ක් හිමිකර දෙමින් ශ්‍රී ලංකාවේ නාමය පිහිනුම් ක්‍රීඩාවෙන් අන්තර්ජාතික මට්ටමට ඔසවා තැබූ මැතිව් ලෝක පිහිනුම් ශූරතාවලියට සෘජුවම සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක්වූ අභිමානවත් ශ්‍රී ලාංකික පුත්‍රයෙකි.

මිල්කා ගිහානි ජිම්නාස්ටික් තරග ඉසව්වට සහභාගි වනතුරු ඔලිම්පික් ඉතිහාසයේ රිද්මයානුකූල ජිම්නාස්ටික් තරග ඉසව්වට ශ්‍රී ලාංකික නියෝජනයක් තිබුණේ නැත. මේ යොවුන් ක්‍රීඩිකාව රිද්මයානුකූල ජිම්නාස්ටික් තරග ඉසව්වෙන් 28 වැනි තැන අත්කර ගැනීමෙන් අවසන් තරගයට එක්වන පළමු ක්‍රීඩිකාවන් 24 දෙනා අතරට එක්වීමේ අවස්ථාව ගිලිහී ගියද ඇගේ හැකියාවේ නම්‍යශීලීත්වය හා කලාත්මකභාවය කාගෙත් අවධානය දිනාගැනීමට සමත් විය.

නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්)

ටෝකියෝ ඔලිම්පික් උලෙළට සහභාගි වූ මෙරට දූ පුතුන් අතර ළාබාලතම ක්‍රීඩිකාව වන 17 හැවිරිදි පිහිනුම් ශූරි අනිකා ගෆූර්ට අනාගත ඔලිම්පික් ක්‍රීඩාවට අවශ්‍ය කදිම පන්නරයක් ලබා ගැනීමට මෙවර ක්‍රීඩා උලෙළ කදිම අඩිතාලමක් බවට පත්විය. මීටර් 100 සමනල ආර තරග ඉසව්වට එක්වූ ඇයට ඉදිරි වට සඳහා අවස්ථාව නොලැබුණත් අන්තර්ජාතික මට්ටමෙන් ඉහළින්ම සිටින ක්‍රීඩිකාවන් සමඟ තරග වැදීමට අවස්ථාව ලැබීමෙන් අත්දැකීම් රැසක් ගොනු කර ගැනීමට හැකියාව ලැබී තිබිණි. මීට පෙර දකුණු ආසියා ලෝකඩ පදක්කමකට හිමිකම් කියන අනිකා සමනල ආර තරග ඉසව්වකට ඔලිම්පික් සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩිකාවගේ වාර්තාව අත්කර ගැනීමට සමත් වූවාය.

ලොව ධනවත් රටවල් ඇතුළු සියලු රටවල් කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි පසුබෑමකට ලක්වී ඇති අවදියක ඔලිම්පික් වැනි ඉහළම මට්ටමේ ක්‍රීඩා ඉසව්වක් නියෝජනය කිරීමේ අවස්ථාව අත්කර ගැනීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනකුම සමත්වීමත් එක්තරා ජයග්‍රහණයකි. ශ්‍රී ලංකාවටම ආවේණික සහජ හැකියාව, නොමඳ උත්සාහය, අධිෂ්ඨානශීලීත්වය සහ කැපවීමේ ප්‍රතිඵලයකි.

ලොව විශිෂ්ටතම ක්‍රීඩා උලෙළ නියෝජනය කරමින් මිලියන 22ක ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් දිනාගැනීමට ඔවුන් සමත්වූයේ එබැවිනි.

 

මැතිව් අබේසිංහ (පිහිනුම්)
අනිකා ගෆූර් (පිහිනුම්)

 

Comments