මට ඕනෑ චමින්ද වාස්ට වැඩිය හොඳ පන්දු යවන්නෝ රටට දෙන්නයි | සිළුමිණ

මට ඕනෑ චමින්ද වාස්ට වැඩිය හොඳ පන්දු යවන්නෝ රටට දෙන්නයි

 

ලැබෙන කාලයෙන් උපරිම දේ රටට කරනවා

එකවර සියල්ල වෙනස් කරන්න මම මැජික් කාරයෙක් නොවෙයි

විවේචන දරාගන්න බැරිනම් සෝෂල් මීඩියා බබල් එකක් හදා ගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැති එක්දින හා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පසුගිය දා අවසන් වුණේ ය. එහි දී එක්දින තරගාවලිය පරාජය ලැබූවද පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. එහි දී කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ තුන් ඉරියව් දස්කම් කැපී පෙනුණු අතර, ඔවුන්ගේ පන්දු රැකීම ද විශේෂයෙන් කැපී පෙනිණි. එසේම යොවුන් කණ්ඩායමක් වශයෙන් සැලකිය හැකි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයෙන් දැක්වූ දස්කම් ද විශේෂයෙන් කැපී පෙනුණේ ය. චමින්ද වාස් යනු එලෙස කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පන්දු යවන්නන් භාරව සිටින පුහුණුකරුවා ය. සුබ නිමිති පළ වූ සතුටක සේයාවක් කැන්ද වූ ජයග්‍රහණයක් අභිමුව පන්දු යැවීමේ බලඇණියේ මෙහෙයුම්කරුවා වන ජාතික පුහුණුකරුවා හා 'ක්‍රීඩා' ප්‍රතිමුඛ වූයේ අනාගත ක්‍රිකට් සම්බන්ධයෙන් සුදහ සංවාදයක නියැළීම අරබයා ය.

 කොහොම ද වැඩ කටයුතු? ජයග්‍රාහී තරගාවලි අත්දැකීමක් ලබාගත්තා නේ ද ?

සතුටුයි. අපි ඉන්දියාවට එරෙහිව පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ජය ලබා ගත්තා. ඒ ගැන ප්‍රසාද ජනක හැඟීමක තමයි ඉන්නේ.

මේ අනපේක්ෂිත ජයග්‍රහණය එක්ක ක්‍රීඩකයන්ට ලබා දෙන ජයග්‍රාහී මුදල රුපියල් කෝටි දෙකක් දක්වා ඉහළ දැම්මා. ඔබ හිටපු ක්‍රීඩකයෙක් වගේම වර්තමානයේ ක්‍රීඩකයෝ සමඟ ගනුදෙනු කරන පුහුණුකරුවෙක් ලෙස එය දකින්නේ කොහොම ද?

ඒක ඉතා හොඳ දෙයක්. එවැනි දේවල්වලින් ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය තවත් ශක්තිමත් වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ කළ දේ ඉතා හොඳ වැඩක්.

ශ්‍රී ලංකාවේ සංචාරය කරපු ඉන්දියානු කණ්ඩායම දෙවැනි පෙළ කණ්ඩායමක් කියන තර්කයක් මතු වෙනවා නේ ද?

ඒක මම විශ්වාස කරන්නේ නෑ. මේ ඉන්දීය කණ්ඩායමේ නොසිටියේ එංගලන්තයේ සංචාරය කරන කණ්ඩායමේ ක්‍රීඩකයන් කීපදෙනෙක් විතරයි. ඉන්දීය එක්දින හා විස්සයි විස්ස ජාතික කණ්ඩායම් හි ඉන්න අනෙක් සියලු දෙනාම මේ කණ්ඩායමේ හිටියා. ඒ නිසා ඔවුන්ව දෙවැනි පෙළ කණ්ඩායමක් කියලා අවතක්සේරු කරන්න හැකියාවක් නෑ.

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත් චමීර ගැන මේ වන විට දැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. ඔහුගේ දක්ෂතාවය වැඩිදියුණු වීම පුහුණුකරුවෙක් වශයෙන් ඔබේ දක්ෂතාවය විදිහටයි ඇතැමුන් කතා කරන්නේ. මොකද ඒ ගැන හිතෙන්නේ?

සතුටුයි. නමුත් දුෂ්මන්ත් හැදුණේ සම්පූර්ණයෙන්ම තනි පුද්ගලයකුගේ වෑයමක් නිසා නොවෙයි. ඔහු කාලයක් තිස්සේ මේ තැනට ගොඩනැඟෙන්න මහන්සි වුණා. ඒ වගේම ඔහු උසස් පුහුණු මධ්‍යස්ථානයේ හොඳින් පුහුණු වුණා. එහි පුහුණුකරුවෝ ඔහු ගැන ඉතා හොඳ අවධානයක් යොමු කළ බව කිව යුතුයි. දර්ශන ගමගේ එහි දී ඔහුව බලා ගත්තා. ඒ වගේම තමයි ඔහුගේ යෝග්‍යතාව ගොඩනඟාගත්තා. ඒකට ගොඩාක් මහන්සි වුණා. ඒ සඳහා සහය වුණේ අපේ අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකා යි. ඒවා හදාගත්තාම ක්‍රීඩකයෙක් ඉදිරියට අරගෙන යන්න හරි ලේසියි. ඒ වගේමයි චමීර තමන්ට පුහුණුවීම් හි දී ලබා දෙන උපදෙස් මනාව පිළිපදින ක්‍රීඩකයෙක්.

වේග පන්දු පුහුණුකරුවා වශයෙන් ඔහුගේ දියුණුව වෙනුවෙන් ඔබ මොනවාද කළේ?

මම ඔහුගේ පන්දු යැවීමේ ඉලක්කය, පන්දුව පතිත කළ යුතු ස්ථානය, එක් එක් පිතිකරුවන්ගේ දුර්වලතා අනුව පන්දු යැවිය යුතු ආකාරය වගේම පන්දු යැවීමේ පුහුණුකරුවකු වශයෙන් ලබාදිය යුතු සියලු උපදෙස් ලබා දුන්නා. ඒ වගේම මම ඔහුට පන්දුව දෝලනය කරන්න හා එය සිදු කරන්නේ කෙසේද යන්න තවදුරටත් පැහැදිලි කළා. ඔහු පන්දුව දෝලනය සඳහා පන්දුව අල්ලන ආකාරය වෙනස් කරන්නත් මට සිදු වුණා. මොකද ඔහු පන්දුවේ සීමය ඇල්ලීමේ යම් අඩුපාඩුවක් දැක්ක සැණින් තමයි එය වෙනස් කළේ. දැන් ඔහු ඉතා හොඳින් පන්දුව දෝලනය කරනවා. ඔහුට තවත් හොඳ වේග පන්දු යවන්නෙක් ගේ සහය ලැබෙනවා නම් ඉතා හොඳින් ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කරන්න පිළිවන්.

ඒ කියන්නේ අපිට ප්‍රමාණවත් වේග පන්දු බලඇණියක් නැද්ද?

නෑ. මම කියන්න ගියේ එය නොවෙයි. අපිට ඉතා හොඳ වේග පන්දු බලඇණියක් ඉන්නවා. අපි ඔවුන්ව තවදුරටත් ඔප දමමිනුයි ඉන්නේ. දැන් ළහිරු කුමාර කියන්නේ හොඳ වේග පන්දු යවන්නෙක්. ලක්මාල්, අපොන්සු වගේ ඉතා හොඳ වේග පන්දු යවන කණ්ඩායමක් අපිට ඉන්නවා. තුන් ඉරියව් ක්‍රීඩකයන් වශයෙන් චාමික කරුණාරත්න, ඉෂාන් ජයරත්න, ඉසුරු උදාන, ධනංජය ලක්ෂාන්, නායක දසුන් ශානක පන්දුයවමින් දස්කම් දක්වනවා. දසුන් තවදුරටත් පන්දුවාර දහයම යවන්න පුළුවන් ක්‍රීඩකයෙක් බවට පත්කරගත යුතුයි. ඒකට ඔහු වෙහෙස වෙන්න අවශ්‍යයි. ඇත්තටම කියනවා නම් අනාගයේ දී මේ වේග පන්දුයවන්නන් නිසි කළමනාකරණයකින් යුතුව පන්දු යැවීමට යොදවා ගන්නවා නම් අපිට වඩා හොඳ සාර්ථකත්වයක් ගොඩනගා ගන්න පුළුවන්.

ශ්‍රී ලංකාව කියන්නේ ඉතිහාසයේ සිට පිතිකරුවන්ගෙන් ගහන වූ කණ්ඩායමකට. ඒත් මෑත කාලයේ දී අපි දකිනවා එතරම් ශක්තිමත් පිතිකරණ ලැයිස්තුවක් නැති බව. මෙය ඔබේ විෂයට අදාළ ප්‍රශ්නයක් නොවෙන්න පිළිවන්. නමුත් පිතිකරුවන්ගේ ශක්තිය අඩු වීම පන්දු යැවීමේ බලඇණියට අභියෝගයක්. මේ තත්ත්වය ගැන ඔබ මොකද කියන්නේ?

අපිට පිතිකරුවන්ගේ පාර්ශ්වය තවත් ශක්තිමත් කරගන්න පිළිවන් බව ඇත්ත. දැන් ආබාධයක් නිසා කණ්ඩායමේ නැති කුසල් ජනිත් පෙරේරා කියන්නේ අපිට ඉන්න දක්ෂ පිතිකරුවෙක්. ඒ වගේමයි චරිත් අසලංකත්. මේ ගෙවුණු ඉන්දීය තරගාවලියේ දී ඔහුත් ආබාධයකට නතු වුණා. නමුත් ඔහු හොඳ අනාගතයක් තිබෙන පිතිකරුවෙක්. තේරීම් කමිටුව හා ප්‍රධාන පුහුණුකරු එකට වාඩි වෙලා කතා කරලා කණ්ඩායමට හොඳ පිතිකරුවන් සොයා ගන්න ඉදිරියේ දී කටයුතු කරාවි. ඒ ඒ තරග රටාව අනුව තමයි ඒ දේ කළ යුතු ව තිබෙන්නේ.

ඔබ එයින් අදහස් කරන්නේ ටෙස්ට්, එක්දින, පන්දුවාර විස්ස කියලා කණ්ඩායම් තුනක් විශේෂණය විය යුතුයි කියන එක ද?

මම ඔබට මීට පෙර කිව්ව පරිදි නිවැරැදි සංයුතිය තමයි සාර්ථක කණ්ඩායමකට අතිශයින්ම තීරණාත්-මක වන්නේ. එතැන දී ටෙස්ට් තරගවලට උචිතම කණ්ඩායම වගේම එක්දින හා විස්සයි විස්ස රටාවට ගැළපෙන ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් නිර්මාණය කරන්න කටයුතු කළ යුතුයි.

අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා තිබෙන බව අපි දන්නවා. එහෙම තිබිය දී අපි ඇයි ජාත්‍යන්තරය ඉදිරියේ මේ තරම් අසීරුතාවට පත්වෙලා ඉන්නේ? මේ තත්ත්වයෙන් මිදෙන්න මොනවද අපි දැන් කළ යුත්තේ?

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ටැලන්ට්ස් නැත හොත් දක්ෂතාව කියන්නේ එක දෙයක් විතරයි. ඇත්තම කියනවා නම් තරගයක් දිනන්න දක්ෂතාවය පමණක් ප්‍රමාණවත් නෑ. ඒකට තවත් බොහෝ දේ එකතු වෙන්න ඕනෑ. ඒ අතර විනය ප්‍රධානයි. විනය නැතුව ක්‍රීඩාවක් පවතින්නේ නෑ. ඒ වගේම වෙහෙස වී වැඩ කිරීම, යෝග්‍යතාවය පවත්වා ගැනීම වගේ ගොඩාක් දේවල් මෙතැනට එකතු විය යුතු වෙනවා. අපි ඒ දේ ගැන අවධානනය යොමු කළ යුතුයි. එවිට දක්ෂ කණ්ඩායමක් හදන්න පිළිවන්.

විනය ගැන කතා කරද්දී ජීව බුබුළ කඩලා රස්තියාදු ගහපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකුට සැලකිය යුතු දඬුවමක් පැනවුණා. මේ තත්ත්වය කොහොමද කණ්ඩායමට දැනී තිබෙන්නේ?

ක්‍රීඩකයක්, පුහුණුකරුවෙක් වශයෙන් මම විනය ගැන කතා කරද්දී දැඩිව ඉන්නවා. ඕනෑම දෙයකදි අපිට විනයක් පැවතිය යුතුයි. නැත්නම් එතැන ඇති වන්නේ අවුලක්.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වාර්තා වූ ප්‍රවෘත්තියක් තමයි මෙම ක්‍රීඩකයන්ට දඬුවම් ලබා දෙන්න හේතු වුණේ. ඔබ ඒ ප්‍රවණතාව ගැන මොකද හිතන්නේ?

දැන් කිසි කෙනෙකුට හිතෙන හිතෙන විධිහට, හිතෙන හිතෙන දේවල් කරන්න බෑ. හැම තැනම තියෙන්නේ සී.සී.ටී.වී. කැමරා, ස්මාට් දුරකථන, අන්තර්ජාලය ඇතුළු විවිධ සමාජ ජාලා නිසා මේ බව තවත් වැඩිදියුණු වෙලා තිබෙනවා. ඒ නිසා ක්‍රීඩකයන්ටත් එයින් නිදහස් වෙලා කටයුතු කරන්න අවස්ථාවක් නෑ. ඒක තමයි පසුගිය දා සිදුවුණු සිදුවීමෙන් ඔප්පු වුණේ.

දැන් සමාජ මාධ්‍ය ජාල මඟින් කරන විවේචන නිසා ක්‍රීඩක මානසිකත්වය බිඳ වැටෙන බවක් දකින්න පිළිවන්. මෙය ඔබ කොහොමද දකින්නේ?

මම කියන්නේ සමාජ මාධ්‍ය ජාලා දෙපැත්ත කැපෙන දැලි පිහියක් වගේ. එහි විවිධ දේවල් පළවුණාට අපි ඊට අනුකූල ව ප්‍රතික්‍රියා දැක්විය යුතු නෑ. කාටවත් පිළිතුරු දෙන්න යනවා වෙනුවට තමුන්ගේ උපරිමය ඉටුකිරීම තමයි සිදු විය යුත්තේ.

සමාජ මාධ්‍යය දැකලා ඔළුව අවුල් කර ගන්න ක්‍රීඩකයොත් ඉන්නවා නේද? මේ තත්ත්වය පුහුණුකරුවෙක් විදිහට තේරුම් ගන්නේ කොහොම ද?

ඇත්තටම මම ක්‍රීඩකයෙක් වශයෙන් ඉන්න කාලයේ නම් මා ගැන යම් විවේචනයක් පළ වුව හොත් ඒක කියවනවා. කියවලා එයින් නැඟෙන සංඥාර්ථය තේරුම් අරගන්නවා. අරගෙන ඒ දේ ධනාත්මක වශයෙන් භාර ගන්නවා. විවේචන භාරගන්න නොහැකි නම් සිදු කළ යුත්තේ සමාජ ජාලා මඟහැරලා තමන්ගේ ක්‍රීඩාව හරි විදිහට කරගෙන යෑමයි.

ඒ කියන්නේ සෝෂල් මීඩියා බබල් එකක් හදාගන්න ඕනෑ කියන එක ද?

ඔව්. සමාජ මාධ්‍ය දිරවගන්න බැරි නම් සෝෂල් මීඩියා බබල් එකක් හදාගෙන ඒවාට නොගිහින් හිටියට කමක් නෑ. මානසික ව ඇදගෙන වැටෙනවාට වැඩිය ඒක වඩා හොඳයි.

අපි දැන් පන්දු යවන්නෝ ගැන තව ටිකක් කතාකරමු. මෑත කාලයේ හිටපු බොහෝ වේග පන්දු යවන්නෝ සාමාන්‍යයෙන් කරන්නේ ඇඟ බේරාගෙන පන්දු යවන්න උත්සාහ කරන එක. මේ තත්ත්වය කොහොම ද පුහුණුකරු වශයෙන් ඔබ කළමනාකරණය කර ගන්නේ?

මේ දේවල් හදාගන්න පුළුවන් වෙන්නේ පුහුණුවීම් වලදීමයි. පුහුණුවීම්වලින් තොරව පිට්ටනිය මැද්දට ගිහිල්ලා ලොකු ලොකු දේවල් කරන්න බෑ. ඒ කරන්න හිතන දේවල් පුහුණුවේදී කරලා පළපුරුද්දක් ලබා ගෙන තිබිය යුතුයි. ඇත්තටම කියනවා නම් වේග පන්දු යැවීම කියන්නේ 'මස්ල් මෙමරි' එකක්. ඒක අපි අමතක නොකළ යුතුයි.

යම් වේග පන්දු යවන්නෙක් පන්දු යවද්දී පිතිකරුට අභියෝගයක් කරමින් ඉහළට ඉපිලෙන්න පන්දුයවන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් පුහුණු වෙන්න ඕනෑ. එහෙම නැතිව තරගයකට ගිහිල්ලා ප්‍රතිවාදී පිතිකරු අසීරුතාවයට පත්කරන්න අභියෝගාත්මකව පන්දු යවන්න බෑ.

ඔබ ශ්‍රී ලංකාව බිහි කළ හොඳම වේග පන්දු යවන්නෙක්. ටෙස්ට්, එක්දින වගේම පන්දුවාර විස්ස තරග රටාවේ ඔබ විශිෂ්ට දක්ෂතා දැක්වූවෙක්. ඔබ වගේ වේග පන්දු යවන්නෝ අනාගතයේ මේ රට ඇතුළේ බිහිවෙයි කියා ඔබ හිතනවා ද?

මට වැඩිය දක්ෂ වේග පන්දු යවන්නෝ දැනටමත් වර්තමාන කණ්ඩායම ඇතුළේ ඉන්නවා. ඔවුන්ව දියුණු කරන්න අවශ්‍ය කරන උපදෙස්, පුහුණුව ලබා දෙන්න අපි සැමවිටම සූදානම්. චමින්ද වාස්ට වැඩිය දක්ෂ, කඩුලු දවා ගන්න පන්දු යවන්නන් බිහි කරන එක තමයි මට උවමනා වෙන්නේ. ඒ වෙනුවෙන් මම ඕනෑ තරම් කැපවෙන්න සූදානම්.

ඔබට ඒවගේ කැපකිරීමක් කරන්න තරම් කොන්ත්‍රාත් කාලයක් ලැබිලා නෑ නේ ද?

මට ලැබිලා තිබෙන්නේ මාස හයක් තමයි. ඒ ලැබිලා තිබෙන කාලය තුළ උපරිම දේ කරන්න මම උත්සාහ කරනවා. කොටින්ම කියනවා නම් ඒ කාලය තුළ ගොඩාක් දේවල් කරන්න අමාරුයි. මොකද කෙටි කාලයකින් සියල්ල වෙනස් කරන්න මම මැජික්කාරයෙක් නොවෙන නිසා. නමුත් මම මගේ අත්දැකීම් තුළින් මට ලැබුණු කාලයෙන් උපරිමය ලබාදෙන්න උත්සහ කරනවා. මට මගේ සේවය පහසු කරන්න අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකාගෙන් ලැබෙන සහය විශේෂයි. ඒ වගේම භෞතචිකිත්සකවරයා දර්ශන ගමගේ, උසස් දක්ෂතා මධ්‍යස්ථානය බලාගන්න සෙසු පුහුණුකරුවෝ ඒ වෙනුවෙන් මට උපරිම සහයක් ලබා දීලා තිබෙනවා. ඒකත් මේ වෙලාවෙ මතක් කරන්න අවශ්‍යයි.

ඔබ දේශීය පුහුණුකරුවෙක් වශයෙන් කොහොම ද කණ්ඩායම සමඟ ගනුදෙනු කරන්නේ?

මම පුහුණුකරුවෙක් වශයෙන් කණ්ඩායමට සමීප ව ඉන්නවා. පුහුණුකරුවෙක් කියන්නේ ක්‍රීඩාං-ගණයේ දී විතරක් ක්‍රීඩකයෝ ගැන බලන කෙනෙක් නොවෙයි කියන තැනයි මම ඉන්නේ. පිටියෙන් පිටතදීත් පුහුණුකරුවා, ක්‍රීඩකයා හා බොහෝ විට සිටින්න අවශ්‍යයි. ඔහු ක්‍රීඩකයකුගේ සහෝදරයෙක්, යහළුවෙක්, පියෙක් වැනි විවිධ භූමිකා උසුලන්න හැකි කෙනෙක් වෙන්න උවමනායි. ඔවුන්ගේ ජීවිතයට එන බොහෝ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පිළිවන්නම් තමයි ක්‍රීඩකයාට මේ පුහුණුකරුවා ගැන දැනෙන්න ගන්නේ. එහෙම නැතිව පිට්ටනියේ විතරක් පුහුණුකරු වුව හොත් ක්‍රීඩකයා හා පුහුණුකරුවා අතර සහ සම්බන්ධය දුර්වල වෙනවා.

දැන් ඔබ ක්‍රීඩකයෝ එක්ක පෞද්ගලිකව එහෙම සම්බන්ධයක් පවත්වනවා ද?

ඔව්. මගේ ක්‍රීඩකයෝ එක්ක මම ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වනවා. ඒ සම්බන්ධතාවය ක්‍රීඩකයන්ගේ දක්ෂතා මතුකරන්න ප්‍රබල විදිහට ඉවහල් වෙනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ක්‍රිකට් ප්‍රේක්ෂකයා තුළ යම් අපේක්ෂා සහගත තැනකට රැගෙන විත් තිබෙනවා. ඔබ හිටපු ක්‍රීඩකයෙක් හා අත්දැකීම් සහිත පුහුණුකරුවකු වශයෙන් මේ තත්ත්වය දකින්නේ කොහොම ද? අනාගතයට අප යා යුත්තේ කෙසේ ද?

අපේ රට තුළ ක්‍රිකට් ක්‍රීඩාවට යම් විශිෂ්ට සන්නාමයක් තිබෙනවා. ඒ සන්නාමය ආරක්ෂා කර ගත යුතු යි. ඒ වගේම අපේ ක්‍රිකට්වලට වෙනස්ම රිද්මයක් තිබෙනවා. එය ආරක්ෂා කර ගත යුතුයි. අනෙක අපි ජයග්‍රහණ ලබා ගන්න ලබා ගන්න කණ්ඩායම තුළත්, අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයා තුළත් බලාපොරොත්තු ගොඩනැගෙනවා. අපි ඒ බලාපොරොත්තු ඉදිරියට රැගෙන යා යුතුයි. ලෝක කුසලාන දෙකක් දිනාගත්ත රටක් වශයෙන් විවිධ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කළ රටක් ලෙස අපි අනාගත පරපුරට මේ ක්‍රිකට් භාරදිය යුතුයි. මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, සනත් ජයසූරිය, මාවන් අතපත්තු, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, ටී.එම්.ඩිල්ෂාන්, ලසිත් මාලිංග වැනි විශිෂ්ට ක්‍රීඩකයන් බිහිකළ ක්‍රිකට් සංස්කෘතියක් අපිට තිබුණා. මේ සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් කරන්නනම් අපේ ක්‍රීඩකයන්ව හරියට බලා ගන්න අවශ්‍යයි. මේ වගේ විශිෂ්ටයන්ගේ අත්දැකීම් ලබා ගෙන අපේ අනාගතයට එන්නත් කළ යුතු වෙනවා. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු වගකීමක්. ඔවුන් එය ඉටුකරාවි යැයි මා සිතනවා.

 

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments