වී ගැට­ලුවට විසඳුම් නොදෙන වී - සහල් මාෆියාවක් | Page 2 | සිළුමිණ

වී ගැට­ලුවට විසඳුම් නොදෙන වී - සහල් මාෆියාවක්

 

පේ ප්‍රධාන ආහාරය බතය. ඒ බත සපයන අපේ ගොවි පරපුරට තම යල කන්නයේ වී විකුණා ගැනීමට මෙවරත් ගැටලු මතුවී තිබේ. ගොවි ජනතාව පවසන්නේ තම ශ්‍රමයේ හා නිෂ්පාදන වියදමට සරිලන මිලකට නියමිත ක්‍රමයකට රජය වී මිලදී නොගන්නා බවයි. නමුත් රජය පවසන්නේ වී අලෙවි මණ්ඩලය හා මහ මෝල් හිමියන් සමඟ එකවී රුපියල් 50 ට වැඩි මුදලකට වී මිලදී ගන්නා බවයි. නමුත් එය සිදුවනවාද? අපි ඒ ගැන සොයා බලමු.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය පු‍රෝකථන සංඛ්‍යා ලේඛන අනුව මෙවර යල කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ 5 ක පමණ රටපුරා වගාකර තිබේ. ඉන් මෙට්‍රික් ටොන් ලක්ෂ 22 පමණ අස්වැන්නක් රටට ලැබෙනු ඇත.‍

මේ ප්‍රමාණය අපේ රටේ ජනතාවගේ ඉදිරි මාස පහ මාරක පමණ කාලයක් සහල් අවශ්‍යතාවට ප්‍රමාණවත් බව කෘෂි විද්‍යාඥයන්ගේ අදහසයි. ඒ වගේ ම මෙරට මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 192000 කි. බස්නාහිර පළාතට සහල් ටොන් 56000 ක ඉල්ලුමක් පවතී.

මේ පිළිබඳව කරුණු දක්වන වී අලෙවි මණ්ඩලයේ උප සභාපති හා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ කෘෂි වෙළෙඳ පර්යේෂක දුමින්ද ප්‍රියදර්ශන පවසන්නේ මෙවර කිසිම දවසක නොවූ අයුරින් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වී මෝල් හිමියන් හා රජය අතර වී මිල හා සහල් මිල ගැන එකඟතාවක් ඇතිවීම නිසා අපේ ගොවි පරපුරට මෙවර හොඳ වී මිලක් ලැබෙන බවයි.

මේ යල කන්නයේදී වියළි නාඩු රුපියල් 50 ටත් වියළි සම්බා රුපියල් 52 ටත් තෙත වී රුපියල් 44 ටත් මිලදී ගන්නවා. ඒ අනුව යල කන්නය සඳහා මුල් අදියරේ දී වී අලෙවි මණ්ඩලය ඉහත මිල ගණන්වලට මුලින් ම වී මෙට්‍රික් ටොන් 50000 ක් මිලදී ගන්නවා. ඒ සඳහා රජය දැනටමත් රුපියල් දස ලක්ෂ 3100 ක් වෙන් කර තිබෙනවා.

මේ වනවිට දිස්ත්‍රික්ක 19 ක වී ගබඩාවල මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 325 ක් විවෘත කර තිබෙනවා. වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3.5 ක් ඒවායේ ගබඩා කළ හැකියි. යුද හමුදාව අපේ ගබඩා ප්‍රතිසංස්කරණය කරනවා.

“වී අලෙවි මණ්ඩලයේ වත්මන් සභාපති මහාචාර්ය ජමාල් නෙටොල්පිටිය මහතාගේ අධීක්ෂණය මත කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ගේ උපදෙස් අනුව මේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ දැන් රටපුරා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. රජය මැදිහත්වීමෙන් දැන් නිසි වැඩපිළිවෙළක් ඊට හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව ඉස්සර වගේ වී අලෙවිය ගන්නා ඒ තොග පෞද්ගලික අංශයේ වී හිඟ මවා පාන්නන් අතට අවිධිමත් ලෙස යන්නේ නැහැ.

ඒ සමඟ පසුගිය කාලයේ කොරෝනා වසංගතය යටතේ සතොස සහ සමූපකාර සහ සුපිරි වෙළෙඳ සල්වලටත් අපි හිඟයක් නැතිව හාල් ලබාදුන්නා. එවැනි දේත් වී අලෙවි මණ්ඩලයේ කාර්ය භාරයයි” දුමින්ද ප්‍රියදර්ශන පවසයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ රටේ ගොවි ජනතාවගේ වී රජය කිලෝවක් රුපියල් 50 ගණනේ මිලදී ගන්නා බවයි.

යල කන්නයේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල දිවයින පුරා ආරම්භ කර අවසන්. වියළි නාඩු රුපියල් 50, වියළි සම්බා රුපියල් 52, තෙත වී රුපියල් 44 සහතික මිලට සියලු වී මිලට ගන්න රජය සූදානම්. සිංහල අලුත් අවු‍රුද්දේ සිට මාස 03 ක් අපි රජයේ සහතික මිලට ගන්න වී සහල් කරලා පාරිභෝගිකයාට සාධාරණ මිලට සතොස, සමුපකාර හා සුපිරි වෙළෙඳසල් සියල්ලෙන් ලබා දුන්නා. යල කන්නයේ වී මිලදී ගැනීමෙන් පසු වෙළෙඳ අමාත්‍යාංශය හා ඒකාබද්ධව අපි සහල් අඩු මිලට ජනතාවට ලබා දෙනවා. ගොවියාට සහතික මිලක්, පාරිභෝගිකයාට සාධාරණ මිලක් අපේ ප්‍රතිපත්තිය. සමහර වෙළෙන්දෝ කීරි සම්බා රුපියල් 80 ට අරන් සහල් කිලෝ 01 ක් රුපියල් 225 ට විකුණනවා. අධික ලාබ ලබනවා. ජනතාව හූරාගෙන කනවා. ඒ සඳහා නව නීති පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා ගෙනල්ලා තියෙන්නේ. රුපියල් 2500 ක් දඩය රුපියල් ලක්ෂ 2 දක්වා ව‍ැඩි කරනවා. කාබනික පොහොර එපා රසායනික පොහොර ඕන කියලා අද උද්ඝෝෂණ කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයයි, ජේවීපී එකයි. ඒ ගොල්ලෝ කියන්නේ ගොවියාට වස දෙන්න කියලා. සහල් මාෆියාවට ඕන විදිහට මිල වැඩි කරන්න කියලා නාමල් කරුණාරත්න මහත්තයා ඉල්ලන්නේ. ජේවීපී එක ඉන්නේ ජනතාව පැත්තේ ද බහු ජාතික සමාගම් සහ සහල් ව්‍යාපාරිකයන් වෙනුවෙන් ද කියලා ජනතාව තීන්දු කරයි. 2018 දී වී කිලෝවකට දුන්නේ රුපියල් 30 යි. අපේ රජය 55 ක් දෙනවා. වී විකිණීමේ මිල අපි සියයට 90 කින් වැඩි කළා.”

වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ලැබුණු සහල් ගිය සතිය වනතුරු සාධාරණ මිලට මෙවර අපි ලබා දුන් බවයි. මේ අතර වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ අද ඉරිදා සිට සතොස අලෙවි හල් මඟින් රතු කැකුළු කිලෝ 1 ක් රුපියල් 88 ට අවශ්‍ය තරම් මිලදී ගත හැකි බවයි. ඊට අමතරව සුදු කැකුළු කිලෝවක් රුපියල් 92 කට ද නාඩු කිලෝවක් රුපියල් 97 ට ද සතොස අලෙවි සල්වලින් ලබාගත හැකි බව ද ඇමැතිවරයා කීය.

ඒ සමඟම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති පාරිභෝගික ආරක්ෂණ පනතේ අලුත් සංශෝධන 75 අනුමත වූ විට මේ රටේ පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන අයට රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කළ හැකි වනු ඇතැයි ඇමැතිවරයා පවසයි.

දැනට පවතින පාලන මිල වනුයේ කැකුළු සහල් රුපියල් 93 කි. නාඩු සහල් රුපියල් 96 කි. සම්බා සහල් රුපියල් 98 කි.

මේ පිළිබඳව කරුණු දක්වන හිඟුරක්ගොඩ ගොවි නායක ප්‍රගතිශීලී ගොවිජන පෙරමුණේ සභාපති කවුඩුල්ලේ එම්.කේ. ජයතිස්ස පවසන්නේ වී අලෙවි මණ්ඩලය හා රජය මොනවා පැවසුවත් පොලොන්නරුව හා හිඟුරක්ගොඩ කමත්වලට එන මහ මෝල් හිමියන්ගේ ලොරි, වී කිලෝවකට දෙන්නේ රුපියල් 40 - 42 ක් වැනි මුදලක් පමණක් බවයි.‍

“වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමට මධ්‍යස්ථාන විවෘත කර තිබුණත් අර මහ මෝල් හිමියන්ගේ ලොරි කෙළින්ම කමතට ඇවිත් රුපියල් 41 කට වී මිලදී ගන්නවා. වී අලෙවියේ වැඩේ සාර්ථක නැහැ. “යල කන්නයේ වී මිලදී ගැනීම මහ මෝල් හිමියන් 5 - 6 දෙනාගේම ඒකාධිකාරයක් වෙලා. පුංචි මෝල් හිමියන්ට ළං වෙන්නවත් දෙන්නේ නැහැ. රජයත් දිසාපතිවරුත් දැන් කුඩා පරිමාණ මෝල් හිමියන්ට වී ගැනීමට අවස්ථාවක් දෙන්නේ නැහැ.

“අපි වැය කරන ශ්‍රමය, නිෂ්පාදන වියදම හා ජීවන වියදම අනුව වී කිලෝවකට රුපියල් 60 කුත් මදි. ඒත් අපට දැන් ලැබෙන්නේ රුපියල් 40 - 42 ක් වගේ මුදලක්. අපේ රටේ සෑම භාණ්ඩයකටම මිල තීරණය කරන්නේ නිෂ්පාදකයායි. වී වල නිෂ්පාදකයා ගොවියායි. නමුත් අපට අපේ වී මිල තීරණය කිරීමට ඉඩක් නෑ. රජය මහ මෝල් හිමියන් අපේ අයිතිය උදුරා ගෙන. නමුත් රජයේ වී මිලදී ගැනීම අසාර්ථකයි. මහා පරිමාණ මෝල් හිමියන් දිනුම්. ඒ නිසා මේ ගැන රජය මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි” කවුඩුල්ලේ ජයතිස්ස පවසයි.”

“අපි එකතුවෙලා සමුපකාර පිහිටුවලා ඒවා මඟින් අපිම වී මිල තීරණය කළයුතුයි. ගොවි සංවිධාන එකතුවී මේ මිලට අඩුවෙන් වී ‍දෙන්නේ නැති බවට පැවසිය යුතුයි. එතකොට වෙළෙඳ ඒකාධිකාරිය බිදීමට පුළුවන්.” කවුඩුල්ලේ ජයතිස්ස පවසයි.‍

මේ පිළිබඳව දැන් කරුණු දැක්වූ පුත්තලම දිස්ත්‍රික් සහල් නිෂ්පාදන සමුපකාර සමිතියේ සභාපති කේ.ඒ.බී. අභයකීර්ති පවසන්නේ අපේ රටේ පවතින සහල් සහ වී අර්බුදය හා ඒකාධිකාරිය 1994 සිට මෙරට පැවත එන තවත් මාෆියාවක් බවයි.

“අද මේ රටේ සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයන්ට, සහල් මෝල් හිමියන්ට ණයක් දෙන්නේ නැහැ. එනිසා අපේ මෝල් හිමියන් 2000 ක් පමණ අසරණ වෙලා. ගත්තු ණය ගෙවා ගන්නත් බැහැ. සමහර මෝල් සින්න වෙන්නත් යනවා. යන්තම් කරගෙන යන්නේ සමූපකාරවලට සම්බන්ධ සහල් මෝල් පමණයි. වී මිලදී ගැනීමට අපට ණය සහ සහන දුන්නා නම් සහල්වල මිල අපට පාලනය කරන්න තිබුණා. නමුත් රාජ්‍ය බැංකුත් වැඩිපුර උදවු කරන්නේ මහ මෝල් හිමියන්ට විතරයි. අද මහ මෝල් හිමියා රටේම යල වී ටික තුට්ටුවට දෙකට ගන්නවා.

බන්දුල ඇමැතිතුමා පවසන පරිදි පාලන මිලට වැඩියෙන් හාල් විකුණන අයට රුපියල් ලක්ෂයක දඩයක් ගැසීමට තීරණය කිරීම පිළිබඳව අපි සතුටුයි. ඒත් ඒවා කිව්ව විදිහට වුණේ නැත්නම් අපි ඔය සේරටම විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරනවා.” පුත්තලම දිස්ත්‍රික් සහල් නිෂ්පාදන සමුපකාර සමිතියේ සභාපතිවරයා පවසයි.

මේ අතර බස්නාහිර, දකුණ, වයඹ හා නැගෙනහිර පළාත්වල බොහෝ ගොවි නායකයන් පවසන්නේ වී මිල තීරණය කිරීමට අවසන් අවස්ථාව තිබිය යුත්තේ අපේ රටේ ලක්ෂ 18 ක් වූ වී ගොවියන්ට බවයි. නමුත් අද එය සිදුකරන්නේ වෙනත් අය බවත් මේ නිසා ගොවි පරපුරට අසාධාරණයක් සිදුවී ඇති බවත් ඔවුහු පවසති.

Comments